පද්මාසනය තබාගෙන තනිවම භාවනාවක් කළ අපූරු අවස්ථාව

  👤  4545 readers have read this article !
2018-06-10

සටහන - සුනිල් පොරමඬල

තවත් එවැනිම පුණ්‍යවන්ත දිනයක් උදාවිය. අතිපූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමිපාණන් වහන්සේ ඇතුළු සත් නමක් වූ පින්වන්ත ස්වාමීන් වහන්සේ බඹරගස්වැව දම්දෙසුමක් නිමවා ඉමිහාමිනේගම හරහා නාඋයනට වැඩම කරද්දී මඳක් ගිමන් නිවාගැනීමට සඳහා ගමේ සමාගම් ශාලාවට වැඩම කළ එදින ද එම ස්වාමීන් වහන්සේට ගිලන්පස පිරිනැමීමේ වාසනාව හීන්බණ්ඩලාට පෑදුණි.

එදින සවස ගමේ සිල්වත් පිරිස සමඟ නාඋයන ආරණ්‍ය සේනාසනයට ගිය හීන්බණ්ඩාට අතිපූජ්‍ය කඩවැද්දුමේ ශ්‍රී ජිනවංශ ස්වාමීන් වහන්සේ විසින් "පහාරාද" සූත්‍රය ඇසුරෙන් පැවැත්වූ දම් දෙසුමද අතිපූජ්‍ය මීගහතැන්නේ මෙත්තානන්ද ස්වාමීන් වහන්සේ විසින් "මංගල" සූත්‍රයේ "පතිරූප දේස වාසෝච" ගාථා රත්නය ඇසුරෙන් පවත්වන ලද දම් දෙසුම ද ශ්‍රවණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවිය.

ඒ හීන්බණ්ඩා නාඋයන ආරණ්‍ය සේනාසන භූමියට පය තැබූ ප්‍රථම දිනය විය.
මේ තමයි කවදා හෝ මා මහණදම් පුරන්නට පැමිණිය යුතු පුණ්‍ය භූමිය. කවදා හෝ නෙමේ බොහොම ඉක්මනින් මෙතැනට එන්න ඕනෑ. මගෙ ජීවිතේම මම ගත කරන්නේ මෙතැන" හීන්බණ්ඩා නැවතත් තම අධිෂ්ඨානය ශක්තිමත් කර ගත්තේය.
1948 වසරේ නව හැවිරිදි දරුවකු ලෙස ආරම්භ කළ සීල සමාදානය නාඋයන ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වීමට ඔහුට මඟ පෑදුණේ. මේ නාඋයන ගමනින් පසුවය.

කළුබණ්ඩා උපාසක මහතා දිනපතා රාත්‍රි පැය දෙකක් පමණ භාවනාවෙන් ගත කරයි. නිතර විශුද්ධි මාර්ගය, අභිධර්ම චÂද්‍රිකාව, උපාසන ජනලංකාරය, විදර්ශනා භාවනාව, චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදය ආදී දහම් පොතපත පරිශීලනය කරමින් එම කරුණු තම දරුවන්ට පහදා දෙනු කළුබණ්ඩා උපාසක මහතාගේ එම දින චර්යාවෙන් උපරිම පල නෙළා ගත්තේ හීන්බණ්ඩාය. පියා එම කටයුතුවල යෙදෙන මුළු කාලයම පියා සමඟම ගත කරන හීන්බණ්ඩා එම පොතපත කියවීමටද හැදෑරීමට පුරුදු විය.
විශේෂයෙන්ම විශුද්ධි මාර්ගයේ එන භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම ඔහු වඩාත් ප්‍රිය කළ කාර්යයක් විය.

කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව මඟින් වරින් වර ප්‍රකාශයට පත් කරන දහම් පොත් පත්, සඟරා ආදිය කළුබණ්ඩා උපාසක මහතාට ද ලැබේ. ඒවා ඔහුටත් පෙර කියවා ධාරණය කර ගන්නේ හීන්බණ්ඩාය.

මාතර සිරි ඤාණාරාම ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත "විදර්ශනා මාර්ගය" නම් පොත් පිංච කියවද්දී හීන්බණ්ඩාට "පද්මාසනය" තබා ගන්නා ආකාරය පිළිබ¼ද විස්තරයක් දකින්නට ලැබිණි. එහි ස¼දහන් උපදෙස් අනුගමනය කරමින් "පද්මාසනය" තබාගෙන භාවනා කිරීම තනිවම හුරු පුරුදු වූ ඔහු දින කිහිපයක්ම අපහසුවකික් තොරව විනාඩි 30ක් පද්මාසනයෙන් වාඩි වී භාවනා කිරීමට සමත් විය.

සැමදා රාත්‍රි ආහාරයෙන් පසු නිදාගැනීමට පෙර නිදන ඇඳේම බද්ධ පර්යංකය බැඳ වාඩිවී "බ්‍රහ්මචරියක ආජීව අෂ්ටමක සීලය" සමාදන්ව මෙම වත්පිළිවෙත කරගෙන යද්දී විනාඩි කිහිපයක් ඇතුළත සිරුර ගැන කිසිත් නොදැනී යන බවක් හීන්බණ්ඩාට දැනේ.

ඒ මොහොතකින් ඔහුට දැනෙන්නේ ඉතා සැහැල්ලුවෙන් අහසේ ඉන්නා බවකි. භාවනාව නිමාවන තුරු මේ තත්ත්වය මෙසේ පවතී. අවසානයේ "ආකාසට්ඨාච භුම්මට්ටා" ගාථාවෙන් දෙවියටන් පින් දී නිදාගන්නා ඔහු අලුයම 5.00 අවදි වෙයි. මේ සඳහා ඔරලෝසුවේ සීනුව නියමිත වේලාවට නාද වීමට සකස් කර නිදා ගත්තද සීනුව නාද වීමට මොහොතකට පෙර සමාධි නින්දකින් අවදි වන්නා සේ ඉතා ප්‍රබෝධවත්ව ඔහු අවදි වේ. හැමදාම ඔරලෝසුවේ සීනුව නාද වන්නේ ඔහු අවදි වීමත් සමඟය. අවදි වූ මොහොතේ සිට නැවත නිදි ඇඳට යන තුරු දවස ගතවන්නේ ද ඉමහත් ප්‍රීතියෙනි.

කරණීය මෙත්ත සූත්‍රය කියා සවිස්තරව "දීසාෂ්රන මෙත්‍රිය" හෙමින් - හෙමින් කියවීම හීන්බණ්ඩගේ පුරුද්දක්ව පැවතුණි. මේ පුරුද්දට හේතු වූයේ අතිපූජ්‍ය වතුරුගම අතුලවංස ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත කුඩා දහම් පොතක තිබූ මෛත්‍රි භාවනාව පිළිබඳ පාඩමක් ප්‍රගුණ කිරීමය.
පාලි වචනාර්ථයන් හරි හැටි නොදැන පාලියෙන් රචිත මෛත්‍රි භාවනාව ප්‍රගුණ කිරීමෙන් පමණක් සිතට, ගතට මොනතරම් සැනසිලිදායක බවක් දැනේ නම් ආරණ්‍යගත පැවිදි දිවියකට පත්ව උතුම් ශ්‍රී සද්ධර්මයම ප්‍රගුණ කළහොත් කොතරම් නම් සුවයක්, සතුටක්, සැනසිල්ලක් දැනේ දැයි හීන්බණ්ඩාට දිනකට සිය දහස් වාරයක් සිතේ.
සැමදා නිදි ඇඳේ සිට මෙසේ මෛත්‍රි භාවනාව වඩා දෙවියන්ට පින් දීමෙන් අනතුරුව ඔහු කරන එකම ප්‍රාර්ථනාව වන්නේ " මට උතුම් ලෙස මහණදම් පුරන්නට තැනක්, අවස්ථාවක් සැලසේවා!" යන්නයි.

(තවත් කොටසක් ලබන සතියේ...)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon