මරණයට අත වනන බෝට්ටු ගමන

  👤  4191 readers have read this article !
2018-06-10

පරිවර්තනය - සුනිලා විජේසිංහ

අකිලා හා මා හටද කලින් අප සතුව තිබූ අවි ආයුධ හා බඩු භාණ්ඩ ආපසු ලැබිණි. අප නැවතත් කලිසමට හා කමිසයට මාරු විය යුතු විය. ඇඳුම් කට්ටලයේ හඩු ගඳත් අබලන් තත්ත්වයත් ඒ මොහොතේ මට හොඳින්ම දැනිණි. මගේ නිල් හා කොළ පැහැය මිශ්‍රිත ඩෙනිම් කලිසමත් නිල්, කහ සහ සුදු කොටු වැටුණු කමිසයත් පළින් පළ ඉරී තිබිණි. අවපැහැ ගැන්වී අපිරිසුදුව තිබූ ඒවායෙහි ලේ පැල්ලම්ද දක්නට තිබිණි.

ඒ රාත්‍රියේදී නැවතත් අපි අඳුරට එක්ව ගමන ආරම්භ කළෙමු. පාර හරහා පැමිණි අපි බෝට්ටුවට නැඟ අන් අය පැමිණෙන තුරු බලා සිටියෙමු. අපට වෙඩි හඬ ඇසුණේ ඉන් අනතුරුවය. ඉන් කියැවුණේ අප කණ්ඩායමේ කවුරුන් හෝ පාර හරහා පැන එද්දී හමුදා වෙඩි උණ්ඩයකට ගොදුරු වූ බවයි. ඉතිරි උදවිය එදා මෙන්ම ආපසු දිව යන්නට ඇත. ඔවුන් වෙනත් දවසක පාර හරහා පැමිණ බෝට්ටු ගමනට එක්වනු ඇත.

ඒ වනවිට අපි තිස් දෙනෙක් කුඩා මෝටර් බෝට්ටුව තුළ තදබදව සිටියෙමු. මුහුද මැද අප යාත්‍රා කරමින් සිටියේ අනතුරු ගණනාවක් වට කොටගෙනය. නාවුක හමුදා සෝදිසි මෙහෙයුම් දවසේ පැය විසිහතර පුරා ක්‍රියාත්මක කෙරෙමින් තිබිණි. අප කිසිවකුත් පිහිනන්නට දැන සිටියේද නැත.

බෝට්ටුව පදවන්නා එකී කාර්යය සඳහා අති දක්‍ෂයකු විය. හොර රහසේ මිනිසුන් ප්‍රවාහනය කරන්නට පෙර ඔහු හොර බඩු ජාවාරමෙහි පළපුරුදුකරුවකු වන්නට ඇතැයි මට සිතිණි. ලංකාවත් ඉන්දියාවත් අතර හොර රහසේ වෙළෙඳ භාණ්ඩ හුවමාරු වන බව එක අතකට ප්‍රසිද්ධ රහසකි. මේ දෙරටම ඉතා කිට්ටු වෙළෙඳ ආර්ථික සබඳතාවන්ද පවත්වාගෙන යනවා නොවේද?
බෝට්ටු ගමනට පැය පහක පමණ දීර්ඝ කාලයක් ගත විය. ගන අන්ධකාරයේ නොදන්නා ගමනාන්තයක බෝට්ටුව නවතින විට මා සිටියේ හොඳටම අසනීපයෙනි. කොටි සංවිධානය තුළ මාගේ අප්‍රසන්නතම අත්දැකීම එය විය යුතු යැයි මට සිතේ. මුහුදේ රළු කටුක ස්වභාවට ගැළපෙන ආම්පන්න කිසිවක් අප සතුව තිබුණේ නැත. අප හැඳ සිටි සැහැල්ලු ඇඳුම් හා නිරුවත් දෙපා බෝට්ටුව තුළට කඩා වැදුණු චණ්ඩ රැලි මාලාවලට ඔරොත්තු නොදෙන සුලු විය. අයිස් වතුර සහිත නාන බේසමක බැස සිටියදී ලුණු සහිත අයිස් වතුර බාල්දිවලින් අපට කවුරුන් හෝ නිරන්තරවම පහර දෙන්නේ යම් සේ ද අපි එලෙස පීඩා වින්දෙමු. කතා කරන්නට, සෙලවෙන්නට හෝ ඇසිපිය හරින්නටත් අපට ඉඩක් ලැබුණේ නැති තරම්ය. පෙට්රල් ගඳද මට දරා සිටීම අසීරු විය. මගේ ආමාශය පෙරළෙමින් හඬ නඟද්දී දිගින් දිගටම මුඛය ඛේටයෙන් පිරී ගියේය.

අපායට නොදෙවැනි තැනක රැඳී සිටිමින් මම බෝට්ටු බඳෙන් පිටත මුහුදට වමනය කරන්නට උත්සාහ ගතිමි. ඒ දුටු බෝට්ටුකරුවා මට බැනවැදුණේය.

''නාවික හමුදාවට සැක හිතුණොත් හෙම අපි ඔක්කොම ඉවරයි. පහත් වෙන්න. මේ අනෙක් අය වගේ ඔය ළමයත් බෝට්ටුව ඇතුළේ වමනේ දාන්න.''

මා සිටින්නේ ද වමනය ගොඩක නොවේදැයි මට පැහැදිලි වූයේ එවිටය. ඒ අපුළ පරිසරය තුළ නොනවත්වාම එක දිගටම පැය පහක් වමනය කළෙමි. බෝට්ටු ඇන්ජිමෙහි හඬ සන්සුන් වන විට මම වියළි පරැඬලා පතක් බවට පත්ව සිටියෙමි.

වැලි කැට පිරුණු දැවෙන දෑස හරින්නට අවසානයේදී මට හැකි විය. මුළු ලොවම මා වටා කැරකෙන සෙයක් මට දැනිණි. වේලාව උදෑසන හතර, පහ පමණ වන්නට ඇත. අහසේ නැඟෙනහිර දෙසින් යාන්තම් ආලෝකයක් දැකිය හැකි විය. අප ගොඩබැස්සේ ඉන්දියාවේ දකුණු වෙරළට හෝ ශ්‍රී ලංකාවේ නැඟෙනහිර වෙරළට විය යුතු යැයි මට සිතිණි. කොහේ කොතැනක වුව කම් නැත. බෝට්ටුව නැවතී තිබිණි. එය අපායෙන් මිදී යෑමක් බඳුය. මින් මතු කිසිදාක මෙවැනි ධීවර බෝට්ටුවකට නොනඟින්නට මම මගේ සිත හා ගිවිසුමකට එළැඹ ගතිමි.

බෝට්ටුකරුවා චිමිනි ලාම්පුව හොඳින් දැල්වූයේය. අනතුරුව එය තෙවරක් ඒ අතටත් මේ අතටත් පැද්දුවේය. වෙරළ දෙසින් තෙවරක් තියුණු විදුලි පන්දම් ආලෝකයක් ගලා ආවේ ඊට ප්‍රතිචාර වශයෙනි.

කුසෙහි කිසිවක් නැතද මට අවසන් වතාවටද ඔක්කාරයක් ආවේය.
බෝට්ටුකරුවා මා හට සිනාසුණේය.

''වමනේ මැරතන් එකෙන් ඔය ළමයා වාර්තාවක් තිබ්බා මම හිතන්නේ.''
මා වටා සිටි සියලුම දෙනා මට පෙනුණේ භූතයන් මෙනි. හිසත්, සිරුරත්, තෙත සරොම්වලින් ආවරණය කරගත් ඔවුහු බෝට්ටුව පතුලේ වූ අපිරිසුදු ජලය සෙමෙන් කලතමින් ඉදිරියට ගමන් කරමින් සිටියහ. ඔවුන්ගේ කලිසම් කකුල්, දෙපා සහ රයිෆල් හිස් වමනය නිසා පෙණ නඟිමින් තිබූ ලවණ ජලයේ ගිලී පැවැතිණි. මගේ සිරුරේ මුළු ශක්තියම කවුරුන් හෝ විසින් සූරා මිරිකා විසිකර දැමුවා සේ විය.

මා දෙපයින් නැඟී සිටියේ මහත් අසීරුවෙනි. වටපිට විමසූ මගේ දෑසට හමු වූයේ පාළු වෙරළකි. වෙරළ තීරය නිමාවේ පොල් ගස් පෙළක් දක්නට ලැබිණි. අප ගොඩබැස්සේ ඉන්දියාවේ වෙරළකට නම් නොවන බව මට ප්‍රත්‍යක්‍ෂ විය. ඉන්දියාවේ වෙරළ තීරය නිතර ජනාකීර්ණව පවතින බව මා අසා තිබිණි.

යාපනය අර්ධද්වීපය රටේ සෙසු කොටස්වලින් වෙන්ව තිබුණේ ඉතා පටු බිම් තීරයකිනි. අලිමංකඩ නම් වූ ඒ පෙදෙසෙහි දැඩි හමුදා පාලනයක් පැවැතිණි. එබැවින් අප හට නැඟෙනහිරට හෝ දකුණට යා හැකිව තිබුණේ මුහුදු මාර්ගයකින් පමණි. එලෙස අප පැමිණ තිබුණේ නැඟෙනහිර දෙසටය. එහෙත් අප කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව කිසිවක් අප දැන සිටියේ නැත.

බෝට්ටුවෙන් බට අප සියලුම දෙනා සීතලෙන් වෙවුලමින් සිටින අපිරිසුදු, වනචාරී මිනිසුන් කොට්ඨාසයක් සේ දිස්වන්නට ඇත. දුබල හිරු එළියෙන් දිස්වූයේ පොල් ගස් අතර ගඩොලින් තැනූ කුඩා නිවෙසක් ඇති බවකි. අප අසල වූ ළිඳ වෙත ගොස් පිරිසුදු වතුර පානය කොට යන්තමින් පිරිසුදු වීමු. අකිලා ළිඳෙන් ඇදගත් වතුර බාල්දියක් මගේ හිසට වත් කළාය. දෙපතුල දක්වා ජලය ගලා යද්දී මම වහා මගේ කමිසයේ සාක්කුව පරීක්‍ෂා කළෙමි. ඒ මුරලි මට ඇඳ දුන් පින්තූරය එහි වූ පොලිතින් උරය තුළ සුරක්‍ෂිතව ඇතිදැයි බලන්නටය.

පිරිසුදු මිරිදිය ජලය ඇඟපත දැවටීමෙන් පසුව අපට දැනුණේ යම්තාක් පමණක ප්‍රාණවත් බවකි. වෙරළ තීරයට දිස්වුණු ඉර උදාවීමේ දර්ශනය සැබැවින්ම මනස්කාන්ත විය. ඒ උදෑසන අතිශය චමත්කාරජනක විය. එහෙත් අධික තෙහෙට්ටුව හා කුසගින්න ඒ අසිරිය සිත් සේ විඳින්නට අපට ඉඩක් දුන්නේ නැත. මඳ වේලාවක් රන්වන් පැහැති වැල්ලේ වැතිර සිටි අපි නැඟී සිට වෙරළ තීරය දිගේ දකුණු දෙසට ඇවිද ගියෙමු. අපගේ තෙත ඇඳුම්වලත් සිරුරුවලත් තැවරී තිබූ සියුම් වැලි කැට ක්‍රමයෙන් වියළි ආපසු වැල්ලටම වැටී සැඟවී ගියේය. පොල් ගස්වල දිගු සෙවණැලි අපගේ හිස්වලට සෙවණ සැදුවේය. කුඩා කකුළු පැටවුන් වැල්ලෙන් මතුව ඇවිද ගොස් නැවත කුඩා ගුල් තුළට ඇදී නොපෙනී ගියහ. විසල් මුහුදු රළ රුවැති මුහුදු බෙල්ලන් හා සිප්පුකටු උසුලා ගෙනැවිත් අපගේ දෙපා මුල රඳවා ආපසු මුහුදටම ඇදී ගියේය. ඒ හැරුණු විට වෙරළෙහි දකින්නට කිසිවක් හෝ කිසිවෙක්ම නොවීය.

උදෑසන ගෙවී යද්දී අපට තවත් කොටි සෙබළ කණ්ඩායම් තුනක් මුණගැසිණි. ඔවුහු සිටියේ ධීවරයන් විසින් අත්හැර දමනු ලැබ තිබූ පැල්පත් කිහිපයකය. අසල වෙරළෙහි කොල්ලෑ ඔරු යුගලයක්ද දක්නට තිබිණි. අපට මුණගැසුණු කණ්ඩායම් තුනෙන් එකක සිටියේ කාන්තාවන් පමණි. ඔවුන් පැමිණ තිබුණේ අපට පෙර පැමිණි බෝට්ටුවකිනි. එහි සිටි බොහෝ තරුණියන් මට පුහුණු කඳවුරේදී හෝ විශ්වවිද්‍යාලයේ නැතහොත් කාර්මික විද්‍යාලයේ මුර සේවාවන්හිදී ඉන් පෙරද මුණගැසී තිබිණි.

අපගේ ඒකකයේ අහිමි වූවන් පිළිබඳව ඔවුහු ශෝකය පළ කළහ. මේ අතර මම කාංචනා ගැන තොරතුරක් දැනගන්නට උත්සාහ ගතිමි. එහෙත් ඒ කිසිවෙක් ඇය සිටිනා ඉසව්වක් නොදැන සිටියහ. අවසානයේදී අපි සියලු දෙනා පොල් ගස් සෙවණක හන ගෝනි අතුරා ඒ මත වැතිර ගතිමු.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon