ඩඩ්ලි හාමු ‘බත් දුන් පියා’

  👤  4396 readers have read this article !
2018-06-10

උදේනි සමන් කුමාර

හිටපු අගමැති ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා ලංකාවේ බහුතර ජනතාව විසින් හඳුන්වන්නේ 'ඩඩ්ලි හාමු' නමිනි. ඔහුට මෙරට පොඩි මිනිස්සු බොහෝ සේ ආදරය කළහ. ජනතා ආදරයේ ප්‍රමාණය මැන බලන්නේ නම් මිනිස්සු ඩඩ්ලි හාමුව සිවු වරක්ම අගමැති පුටුවේ වාඩි කළහ. ඒ සිවු වතාවේම ඩඩ්ලි හාමු නැඟිට යෑමට උත්සාහ කළා මිස අගමැති පුටුවේ ඇලුණේ නැත.

අද සිටින කට්ට කයිරාටික වෙට්ට පිත්තල දේශපාලනඥයන් සමඟ සස¼දා බලන කල ඩඩ්ලි හිත හොඳ අහිංසක මහත්මයෙකි. ඔහු බලයට කෑදර දේශපාලනඥයකු නොවූ අතර අගමැතිකම ගත්තාට වඩා කැමැත්තෙන් අත් හරින්නට සූදානම්ව සිටියේය. බලය සඳහා කුමන්ත්‍රණ මෙහෙයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන න්‍යාය පත්‍රයක් ඩඩ්ලි සතුව නොතිබිණි. ඔහු අවස්ථා ගණනාවක් මෙරට විපක්ෂ නායක වශයෙන්ද කටයුතු කළේය.
ඩඩ්ලි හාමුටද දේශපාලන දිවියේ චෝදනා රැසකට මුහුණ දෙන්නට සිදුවිය. ඔහුට ඇති චෝදනාව මිනිසුන් නොමැරීමය. මිනිසුන් දහස් ගණනක් ඝාතනය කර 1953 හර්තාලය මර්දනය කිරීමේ හැකියාව තිබියදී එය නොකොට ඩඩ්ලි කැබිනට් මණ්ඩලයත් රැගෙන කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ 'නිව්පවුන්ලන්ඩ්' නම් නැවට ගොස් සැඟවුණු බවට චෝදනාවක්ද තිබේ. කෙසේ වුවද හර්තාලය අවසන් වුණු හැටියේ ඩඩ්ලි සර් ජෝන් කොතලාවලට අගමැතිකම භාරදී පැත්තකට වුණේය.

‍ෙදාන් ස්තෙපාන් සේනානායක ඩඩ්ලි හාමුගේ පප්පාය. පප්පාගෙන් පසු අගමැති පුටුවට එන්නට එජාපයේ තුන් දෙනෙක් බලා සිටියේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, සර් ජෝන් කොතලාවල හා ජේ.ආර්. ජයවර්ධන ඒ තිදෙනාය. එහෙත් ඩී.එස්. ගාලු මුව‍ෙදාර පිටියේ අශ්ව වෙළඹක පිටින් වැටී හදිසියේ අභාවප්‍රාප්ත වූ විට ඒ තිදෙනාටම පසුපසින් සිටි ඩඩ්ලි හාමු අගමැති තනතුරේ දිවුරුම් දුන්නේය. ඊට හේතුව තමාගෙන් පසු අගමැතිකම දියයුත්තේ ඩඩ්ලිට යැයි ඩී.එස්. කල් ඇතිව ආණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකට දන්වා තිබීමය. බණ්ඩාරනායක එජාපයෙන් එළියට බැස්සේ තවත් බලා සිටීමේ තේරුමක් නැති බව වැටහුණු නිසාය. ඉවසිලිවන්තයකු වූ ජේ.ආර්. ජයවර්ධන අගමැති පුටුව තමා ළඟට එනතුරු අවුරුදු 25ක් බලා සිටියේය.

ඩඩ්ලි සේනානායකගේ 1965 ආණ්ඩුව හාල් සේරුවක් නොමිලේ දුන්නේය. රටේ හැම පුරවැසියකුටම සතියකට වරක් හාල් සේරුවක් නොමිලයේ දීම සුළු පටු වැඩක් නොවේ. ඒ නිසා මිනිස්සු ඩඩ්ලි හාමුට 'බත් දුන් පියා' යැයි නම් තැබීය. 70 මහ මැතිවරණයට ශ්‍රී ලනිපයෙන් තරග වැදුණු සිරිමා බණ්ඩාරනායක "මම බලයට ආවොත් හාල් සේරු දෙකම නිකන් දෙනවා" යැයි වේදිකාවේ කීවාය. දෙකම නිකන් දෙන්න හාල් කොහෙන්දැයි මිනිස්සු ඇසූවිට 'හඳෙන් හරි ගෙනත් දෙනවා' යැයි ඇය කීවාය. මිනිස්සු සේරු දෙකම නොමිලේ කන්නට සිරිමාට ඡන්දය දී ඇය දිනවීය. එහෙත් ඇය ඩඩ්ලි හාමු නොමිලයේ දුන් හාල් සේරුවත් නැති කොට හාල් අරන් පාරේ යෑමත් නීතියෙන් තහනම් කර කුප්‍රකට හාල් පොල්ලද දැමීය.

ඩඩ්ලි හාමුගේ කාලේ තවත් මතක හිටින දෙයකට තිබෙන්නේ වගා සංග්‍රාමයයි. රටේ සියලුම පුරන් කුඹුරු වගා කරන්නට සැලසුමක් ඇති කොට ගොවි හමුදාවක් පිහිටු වීය. ඩඩ්ලි හාමුද යුරෝපීය ඇඳුමින් සැරසී උදැල්ල කර තබාගෙන කුඹුරට ගියේය. ගොවි හමුදාව ඇමෙරිකන් උපදෙස් ඇතිව මිලිටරි ආණ්ඩුවක් හදන්න ඇටවූ උප්පරවැට්ටියක් යැයි වාමාංශිකයෝ චෝදනා කළහ.

ඩඩ්ලි හාමු බොරැල්ලේ වුඩ්ලන්ඩ් නිවෙසේ චාම් ජීවිතයක් ගත කළේය. ඔහු විවාහයක් කරගත්තේද නැත. ඔහු අයාලේ ගියා යැයි කිසිවකු චෝදනා කරන්නේද නැත. අගමැතිකම හෝ විපක්ෂ නායකකම තිබුණත් නැතත් හාන්සි පුටුවක ඇලවී නිස්කාන්සුවේ දුම් පයිප්පය ඉරුවේය. ඔහු කොහේ යතත් උරහිසේ කැමරාවක් එල්ලාගෙන ගියේය. ඡායාරූප ගැනීම ඔහුගේ විනෝදාංශය විය. 70 මැතිවරණයෙන් ඔහු අන්ත පරාජයක් ලැබුවේය. ඩඩ්ලි රටින් පළා ගියා යැයි ප්‍රතිවාදිහු කීහ. එහෙත් මැතිවරණයෙන් පසුදින උදෑසන හිරුඑළිය වැටෙන විට ඩඩ්ලිගේ මෝටර් රථය අත්තිඩිය පාර අයිනේ නතර කර තිබිණි. ඩඩ්ලි බෙල්ලන්විල වගුරු බිම අයිනේ සේරුන් රෑනකගේ ඡායාරූප ගනිමින් සිටියේය. 1973 අප්‍රේල් 14 සිංහල අලුත් අවුරුදු දින මියයනවිට ඩඩ්ලි සේනානායකගේ බැංකු පොතේ තිබුණේ ශත ගණනක් පමණක් බව රටම දනී.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon