අපේ සෞඛ්‍ය

  👤  3579 readers have read this article !
2018-06-08

"සෞඛ්‍ය" විෂයට ආණ්ඩුවේ අවධානය හදිසියේ යොමු වී තිබේ. කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා සෞඛ්‍ය විෂය අනිවාර්ය කිරීමය. නිරෝගිමත් සමාජයක් නිර්මාණය කිරීමට නම් "සෞඛ්‍ය" පිළිබ¼ද ජනතාව දැනුම්වත් විය යුතු බව ආණ්ඩුවේ අදහසය.

රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් පලක් නැත. 'ආරෝග්‍යා පරමාලාභා' යැයි ගෞතම බුදුන් වහන්සේ දේශනා කළේ එනිසාය. එහෙත් මේ සමාජය දිනෙන් දිනම රෝගී වෙමින් සිටී. මෙරට වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් 75%ක් බෝ නොවන රෝගවලින් සිදුවේ. බෝ නොවන රෝග ලෙස සැලකෙන හෘදයාබාධ, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, පිළිකා, දෘෂ්ටි උෟනතාවලට තරුණ වයසේ පසුවන්නෝද ගොදුරු වෙති.

මෙරට මුළු ජනගහනයෙන් 72.5%ක් එළවළු හා පලතුරු අවශ්‍ය ප්‍රමාණයෙන් ආහාරයට නොගන්නා බව සෞඛ්‍ය බලධාරීහු පවසති. පලතුරු මිලදී ගන්නවා තබා තුන්වේලට එළවළු ටික මිලදී ගැනීම පවා සැලකිය යුතු පිරිසකට ප්‍රශ්නයක් වී ඇත. පසුගිය දිනවල වර්ෂාව ඇදහැලීම නිසා එළවළු මිල මේ වන විට ඉහළ ගොස් තිබේ. එවැනි තත්ත්වයක් තුළ පලතුරු ගැන කුමන කතාද? ඕස්ට්‍රේලියාව වැනි රටක මිදි, ඇපල්වලට ඇත්තේ ඉතා අඩු මිලක්ය. ඉන්දියාව වැනි රටක "කිරි" මිල අඩුය. ඒ ඒ රටවල නිෂ්පාදනවල මිල අඩු වීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ මෙරට හැදෙන පලතුරුවල මිල ඉහළ අගයක් ගැනීමය. සාමාන්‍ය ජනතාවට නිතර නිතර පලතුරු ආහාර ගැනීම සිහිනයක් පමණි. අඩුම මිලකට ඇති කෙසෙල්වලට විස රසායන යෙදීම නිසා කෙසෙල් ආහාර ගැනීමද ප්‍රශ්නයක් වෙමින් පවතී.

කාන්තාවන්ගෙන් 44%ක් කායික ව්‍යායාම්වල නොයෙදෙන බව අනාවරණය වී ඇත. පිරිමින්ගේ තත්ත්වයේද එතරම් වෙනසක් නැත. සාමාන්‍ය ජනතාවට ව්‍යායාම්වල නිරතවීමට කාලයක් නැති තරම්ය. ඔවුහු ජීවිත සටනේ යෙදෙති. ඒ අතරේ "සිරුර" ගැන සිතීමට විවේකයක් ඔවුන්ට නොලැබේ.

ආර්ථික අර්බුදයේ කරවටක් ගිලීි ඇති රටක ආදායම් බෙදී යෑමේ විසමතාව උග්‍ර සමාජයක ජනගහනයෙන් බහුතරයක් ජීවන බරින් පීඩිතව සිටින කාලයක "සෞඛ්‍ය" පිරිහීම පුදුමයට කාරණයක්ද?

යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරලීම ආණ්ඩුවේ යහපත් ප්‍රගතිගාමී පියවරකි. ඒ අනුව සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට එක්කර එය අනිවාර්ය කිරීමද හොඳය. සැබෑ ප්‍රශ්නය ඇත්තේ සෞඛ්‍ය අධ්‍යාපනයේ නොවන බවද ආණ්ඩුව තේරුම් ගත යුතුය.

දකුණේ පැතිර යමින් තිබූ උණ රෝගය මේ වන විට සබරගමුවට ද පැමිණ ඇතැයි දැන ගන්නට තිබේ. එය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවේ. සෑම ප්‍රශ්නයකදීම මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නවලදී ද පාලකයන් තීරණ ගන්නේ පමාවෙලාය. එහෙත් සෞඛ්‍ය යනු ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි. ඊට කල් බලා සිටිය නොහැකිය. ඉන්ෆ්ලුවන්සාවෙන් මේ වන විට 15ක් මරු මුවට පත්ව ඇත. රෝගීන් සංඛ්‍යාව 2000කට අධිකය. මියගිය අයගෙන් 14ක්ම දරුවන් වීම කැපී පෙනෙන කාරණයකි. මරණ සංඛ්‍යාව වැඩිවන තරමට බලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය ඉහළ යයි. මැති ඇමැතිවරයකුගේ දරුවකු මිය ගියා නම් ඉන්ෆ්ලුවන්සාවට එරෙහිව බලධාරීන් ඊටත් වඩා ක්‍රියාකාරී වනු නිසැකය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon