සුරාබදු ආඥා පනත යටතේ නිවේදන තුනක් පිළිබඳ පැවැති විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක් වූ අදහස්

  👤  4037 readers have read this article !
2018-06-08

ජේ.ටී. ද සිල්වා , රුචිර දිලාන් මධුශංඛ

මූල්‍යායතනවල මුදල් තැන්පත් කළ 51 ක් දිවි නසාගෙන ක්ෂුද්‍රමූල්‍ය ක්‍රමයට ණය ලබාගත් කතුන් අද අතරමං වෙලා -දයාසිරි ජයසේකර

"ක්ෂුද්‍රමූල්‍ය ණය ක්‍රමය යටතේ ණය ලබාගත් කාන්තාවන් විශාල පිරිසක් අද අතරමං වී සිටිනවා. මේ ආයතනවලින් ණය ලබාගත් බොහෝ පිරිසකට අද සියදිවි නසාගන්නා තත්ත්වයක් ඇති වී තිබෙනවා"යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවැසීය.

"මේ ගම් මට්ටමේ ක්‍රියාත්මක මූල්‍ය ආයතන පාලනය කරන්න ආයතනයක් නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව මේ මූල්‍ය ආයතන පාලනයට පියවර ගන්න ඕනෑ."

"මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කළ 51 දෙනකු අද වන විට සියදිවි නසාගෙන තිබෙනවා. වැඩිහිටි පිරිස් මෙම ආයතනවල මුදල් තැන්පත් කර විශාල අර්බුදයකට මුහුණ පා සිටිනවා. යූ.බී. ෆිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළේ මුදල් තැන්පත් කරන්නේ නැතිව තැන්පත්කරුවන්ට, සහතික නිකුත් කර තිබෙනවා. මේ සහතික නිකුත් කිරීම ගැන මහ බැංකුව කර අරින්නේ නැතිව සෙයා බැලිය යුතුයි."

"ලංකාවෙ තිබෙන ක්ෂුද්‍රමූල්‍ය බැංකු සම්බන්ධයෙන් මහ බැංකුවත් සමඟ සම්බන්ධ වෙලා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලනවා. කුඩා ක්ෂුද්‍රමූල්‍ය ආයතන පිළිබඳව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත්, බරපතළ අර්බුදයකට මුහුණ පාන්න සිදුවෙනවා."

ජීවන වියදම වැඩිවෙලා
කියන කතාව බොරුවක් පොඩි මිනිහා බොන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ යුතුයි-ඇමැති මංගල සමරවීර

පොඩි මිනිහා පාවිච්චි කරන ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ යුතු බව මම අදහස් කරනවා. පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රිවරුන්ගේ අනුමැතිය ලැබෙනවා නම් ගල් අරක්කුවල මිල අඩු කළ හැකි යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.

''මහින්ද රාජපක්‍ෂ, කරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා අද ගොබෙල්ස් න්‍යාය අනුව කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා. එතුමා කවුරුහරි ලියලා දෙන බොරු නිතර කියනවා.

මහින්ද රාජපක්‍ෂ මහත්තයා කියලා තියෙනවා බදු සියයට විස්සකින් අඩු කරනවා කියලා. නව බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසු මුල් මාස දෙක තුළ බදු ලිපිගොනු 41,000ක් විවෘත කර තිබෙනවා.

සාමාන්‍ය මිනිසුන් ගෙවන බද්ද සියයට 2.5කින්වත් අඩු කිරීමේ ඉලක්කයක් ඇතිවයි අපි කටයුතු කරන්නේ. අද බඩු මිල වැඩි වෙලා කීවට, අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල 2014ට වඩා අද අඩුවී තිබෙනවා. ජීවන වියදම වැඩිවෙලා කියන කතාව බොරුවක්. පිටි, සීනි, ආදියෙහි මිල අඩුවෙලා. සහල් වර්ග බොහොමයක මිල අඩුවී තිබෙනවා.

අද අල කිලෝවක් රුපියල් 89යි. අද පරිප්පු කිලෝව 147යි. මිල වෙනසක් තියෙන්නේ පොල්වල පමණයි. පොල් ගෙඩිය රුපියල් 75යි. ඒ මිලත් දැන් අඩු වෙනවා. එහෙමනම් බඩු මිල වැඩියි කියලා ඔබතුමන්ලා කෑ ගහන්නේ ඇයි?

චැනල් කරන බොහෝ ‍ෙදාස්තර මහත්වරු, ටියුෂන් මහත්වරු, නීතිඥ මහත්වරු, බදු ගෙවන්නේ නැහැ. බදු ගෙවන ප්‍රමාණය වැඩි කර ගන්න ඕන.

ස්වයං රැකියා කරන කාන්තාවෝ තමයි හැම වෙලේම වංචාකාරයන්ට අහුවෙන්නේ-අජිත් මාන්නප්පෙරුම

"සිය දිවි නසා ගැනීමේ ව්‍යසනයෙන් මිනිසුන් බේරාගන්න ඕනෑ. ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනවලින් වැඩිපුරම ණය ගන්නේ ගෙවල්වල ස්වයං රැකියා කරන කාන්තාවෝ. ඒ අය තමයි හැමවෙලේම මේ වංචාකාරයන්ට අහුවෙන්නේ" යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම ඊයේ 07දා පැවැසීය.

මූල්‍ය සමාගම්වලට දඬුවම් කරන්න ඍජු නීතියක් අපට නෑ. ඒකයි මේ ප්‍රශ්නය. ඒ නිසා මහ බැංකුව මීට වඩා ශක්තිමත්ව ක්‍රියා කළ යුතුයි.

මහජනයාගේ මුදල් කොල්ලකන්නෙ කොම්පැනිකාරයොයි මහ බැංකුවයි එකතුවෙලා-වාසුදේව නානායක්කාර

"කිසිම මුදල් ඇමැති කෙනෙක් රට ණය උගුලක හිරවෙලා කියලා සියදිවි නසා ගන්නෙ නෑ. ඒ අයට රට ගැන බරක් නෑ. හැබැයි මූල්‍ය සමාගම්වල සල්ලි අතින් ගෙවාගන්න බැරිව මිනිස්සු සියදිවි නසා ගන්නවා යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි වාසුදේව නානයක්කාර මහතා පැවැසීය.

උතුරු මැද පළාතේ මිනිස්සු ගොවිතැන් කරන්න මූල්‍ය සමාගම්වලින් ණය ගන්නවා. කන්න එකක් දෙකක් විනාශ වෙනවා. මොකද මූල්‍ය සමාගම්වල මහත්තුරු කියන්නෙ දැන් වී වගා කරල හරියන්නෙ නෑ. දැන් වට්ටක්කා වවන්න. වට්ටක්කා වවන්නත් ණය ගන්නවා.

ඔක්කොම ගොවියො වට්ටක්කා වැව්වා. අස්වැන්න විකුණගන්න බෑ. දැන් වී ණයයි, වට්ටක්කා ණයයි දෙකම ගෙවන්න බෑ. ඉතින් මොකද කරන්නෙ. සියදිවි නසා ගන්නවා මහ බැංකුව මේ මූල්‍ය ආයතන අධීක්ෂණයක් කරන්නෙ නෑ. මහ බැංකුවත් බලපෑමක් කරනවා සියදිවි නසාගන්න. මේ යක්කුන්ට මූල්‍ය සමාගම් කියන්න බෑ. මුන්ට එහෙම නම්බු දෙන්න ඕනෑ නෑ. මුන් පොලීකාරයො. මුන් සල්ලි විකුණන්නෙ. මේ කොම්පැනි අසාර්ථකයි. බංකොලොත්. හැබැයි මේවයෙ අයිතිකාරයෝ සාර්ථකයි. මහජනතාවගෙ මුදල් මේ විදියට මංකොල්ලකන්නෙ කොම්පැනි කාරයොයි මහ බැංකුවයි එකතුවෙලා. ඉතින් කොහොමද මහ බැංකුව මුන්ව අධීක්ෂණය කරන්නෙ. මොන මළඉලව් අධීක්ෂණයක්ද?

එ.ජා.ප.යේත් ශ්‍රී ල.නි.ප.යේත් ආර්ථික ප්‍රතිපත්ති සියයට සියයක් ගැළපෙන්නේ නෑ-රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

''එක්සත් ජාතික පක්‍ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත් ආර්ථික ප්‍රතිපත්ති සියයට සියයක් ගැළපෙන්නේ නැහැ'යි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අපි අපනයනය මත විවෘත ආර්ථිකය තුළින් ශක්තිමත්ව තිබුණු රටක්. 2015 අපි රජය භාර ගන්න කොට අපේ රටට ආදායම අඩුවෙලා. අපේ රටේ තිබුණු කර්මාන්තශාලා බංග්ලාදේශය වැනි රටවලට ගිහිල්ලා තිබුණා. අපි ශක්තිමත් අපනයනයක් ඇති කරන්න ඕන. ඉතිහාසයේ අපනයන අතින් ශක්තිමත්ව පැවැති අපේ රටේ ඒ තත්ත්වය අඩුවී තිබුණා. අද වෙනකොට අපනයන ශක්තිය වැඩි වෙලා අපේ ආර්ථිකය සුබ දිසාවකට ගමන් කරන තත්ත්වයට පත්ව තිබෙනවා.

තමන්ගේ දක්‍ෂතාවෙන් ප්‍රයෝජන ගත හැකි ආර්ථිකයක් අපි මේ රට තුළ ගොඩනඟනවා. අපි ඒ ඉලක්කය කරා ගමන් කරමින් සිටිනවා.

ඇලෝසියස්ගේ ස්කාගාරවලින් මන්ත්‍රින්ට
ලැබුණු මුදල් සෘජු බදු වශයෙන් අය කර ගන්න ඕනෑ-සුනිල් හඳුන්නෙත්ති

අර්ජුන් ඇලෝසියස්ගේ ස්කාගාරවලින් මන්ත්‍රිවරුන්ට ලැබුණු මුදල්, සෘජු බදු වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අය කර ගැනීමේ වැඩපිළිවෙළක් මුදල් ඇමැතිතුමා විසින් ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

ඇලෝසියස්ගේ ස්කාගාරවලින් ලැබෙන ආදායමෙන් බදු අය කර ගන්න තිබුණා. එවැනි අයගෙන් බදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරන්නේ නැතිව බදු ලිපිගොනු වැඩි කළාට වැඩක් වෙන්නේ නැහැ.

ජාවාරම්කරුවන්ගෙන් පඩි ලබන අයගේ ලැයිස්තුවක් තිබෙනවා. ඒ ලැයිස්තුව හොයා ගන්න. ඒ මඟින් විශාල බදු මුදලක් අය කරගන්න පුළුවන්.

චීනයෙන් ආනයනය කර ඇති සැමන් ටින් කල් ඉකුත් වූ බවට වාර්තා වී තිබෙනවා. ඒ සැමන්වල එස්.එල්.එස්. සහතිකය තිබෙන්න ඕන.

මූල්‍ය ආයතන අයිතිකරුවන්ගේ සැඟවූ දේපළ සෙවීම රහස් පොලිසියට භාර දෙන්න -අනුර කුමාර දිසානායක

"කඩාවැටී තිබෙන මූල්‍ය ආයතන අයිතිකරුවන් සතු සඟවා තිබෙන දේපළ සෙවීම රහස් පොලිසියට භාරදිය යුතුව ඇතැයි" විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය.

"මොවුන්ගේ සඟවා ඇති දේපළ තිබෙන ස්ථාන තැන්පත්කරුවන් දන්නවා. රාජ්‍ය නොවන මූල්‍ය ආයතනවල ජනතාව මුදල් තැන්පත් කරන්නේ කිසියම් විශේෂ කරුණක් නිසයි. මේ මූල්‍ය ආයතන කඩාවැටුණම මහ බැංකුව කියන්නේ, තැන්පත්කරුවන්ට ඒ සමාගමේ කොටස් ගන්න කියල. ජනතාව මුදල් තැන්පත් කළේ එහෙම කොටස් මිලදී ගන්න නොවේ. මේ කඩාවැටුණු මූල්‍ය ආයතන ගැන මහ බැංකුව කිසි ලෙසකින් ජනතාව දැනුවත් කළේ නැහැ. මහ බැංකුව ඒ ආයතන ගැන ලබාදුන් නිර්දේශ නිසයි, මහජනතාව ඒවායේ මුදල් තැන්පත් කළේ. මේ මූල්‍ය ආයතන රට පුරාම තිබෙනවා. සී.එෆ්.එල්.අයි. ආයතනය මූල්‍ය අර්බුදයකට පත්වී තිබියදීත්, ඔවුන් මුදල් තැන්පත් භාරගත්තා."

"අපේ රටේ මූල්‍ය ජාවාරම් කරුවෝ පිරිසක් ජනතාවගේ මුදල් සූරාගෙන, විරාජමානව වැජඹෙනවා. ඊ.ටී.අයි. සල්ලි ඇද්දෙ කොහොමද? පින්දහම්වලට යටවී සමහර ආයතන ජනතාව මුලා කරනවා."

"ණය හේතුවෙන් 195 දෙනෙක් ගිය වසරේ සියදිවි හානිකරගෙන තිබෙනවා. අද කඩා වැටුණු මූල්‍ය ආයතන ඇතුළේ පවුල් දස ලක්ෂයක් කාඩවැටිලා. මෙතැනදී මහ බැංකුව කාර්යභාරය අතහැරලා."

"මහ බැංකුවේ සමහර නිලධාරීන් ජාවාරම්කරුවන්ගේ පැත්තේ ඉන්නවා. තැන්පත්කරුවන්ට සාධාරණය ඉටුකරන්න ඕනෑ. මේ සඳහා රජය මැදිහත් වෙන්න ඕනෑ."

"මුදල් ඇමැතිතුමා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. මහ බැංකුවේ නිලධාරීන්, තැන්පත්කරුවන්ගේ නියෝජිතයන්, කැඳවල මේ ගැන සාකච්ඡා කරන්න. අපිත් එන්නම්, මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න.

රු. 1,50,000කට අඩුවෙන් ක්ෂුද්‍රමූල්‍ය ණය ගෙන ගෙවා ගැනීමට නොහැකි කතුන්ගේ පොලී මුදල කපා හරිනවා-මුදල් ඇමැති කියයි

ක්ෂුද්‍රමූල්‍ය බැංකු මඟින් රුපියල් 1,50,000කට අඩුවෙන් ණය ලබාගත්, එම ණය ගෙවා ගැනීමට නොහැකිව සිටින ශ්‍රී ලංකාවේ සියලුම කාන්තාවනට ගෙවීමට සිදුව ඇති පොලී මුදල කපා හැරීමට තීරණය කර ඇති බව මුදල් ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ලබන 22 වැනිදා සිට ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් කාන්තාවන් සඳහා මෙම සහනය සලසන බවද මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.
ස්වයං රැකියා සඳහා මෙසේ ණය ලබාගත් කාන්තාවන් බොහෝ දෙනකු දැඩි අපහසුතාවට ලක්ව සිටින බවත්, වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු සියදිවි හානි කරගෙන ඇති අතර, තරුණ කාන්තාවන්ට ලිංගික අල්ලස් ලබාදීමට සිදුවූ අවස්ථා වාර්තා වී ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය.

ණය ගෙවීමට නොහැකිවූ කතුන්ගෙන් ලිංගික
අල්ලස් ගන්නා තත්ත්වයක්
වාර්තා වී තිබෙනවා-ඇමැති මංගල සමරවීර

"ගම්බද ප්‍රදේශවල පවත්වාගෙන යන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙතින් ණය ලබාගෙන, ආපසු ගෙවීමට නොහැකි වන තරුණ කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගන්නා තත්ත්වයක් වාර්තාවී තිබෙනවා" යැයි මුදල් ඇමැති මංගල සමරවීර පැවැසීය. "අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල මෙවැනි ආයතනවලින් ණය ලබාගෙන ගෙවීමට නොහැකිවූ කාන්තාවන් දෙදෙනකු සියදිවි නසාගත්තා."

මේ රටේ මහා පරිමාණයේ මූල්‍ය සමාගම් 44ක් පමණ පවත්වාගෙන යනවා. මූල්‍ය සමාගම් අතුරින් කඩාවැටී ඇති මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් ඔවුනට ආපසු ලබා දීම සඳහා ක්ෂණික හා ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතුයි.

"කඩා වැටෙන මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගත යුතුව තිබෙනවා. කඩාවැටී ඇති මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කර ඇති එක් තැන්පත්කරුවකුට රුපියල් ලක්ෂ හයක මුදලක් ලබාදීමට අදහස් කරනවා. එසේ ලබාදීමෙන් බොහෝ පිරිසකට සහනයක් සැලසෙනවා."

"මූල්‍ය සමාගම්වල කටයුතු කරමින් තැන්පත්කරුවන් රවටා ඇති පුද්ගලයන් 155 දෙනකු හඳුනාගෙන තිබෙනවා. ඒ අයට ඉදිරියේදී එවැනි කටයුතුවල යෙදීමට නොහැකි වන සේ කටයුතු කරනවා.

නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන්ට සමහර දේශපාලනඥයන්ගේ රැකවරණය තියෙනවා-ශෙහාන් සේමසිංහ

නීති විරෝධී මත්පැන් අලෙවි කරන ජාවාරම්කරුවන්ට සමහර රජයේ දේශපාලනඥයන්ගේ රැකවරණය තියෙනවා. පොලිසියටත් ඔවුන් විවිධ බලපෑම් කරනවා. ගම්වල මේ ගැටලුව ඉතාම තදින් තියෙනවා. රජයේ දේශපාලනඥයන් මේ ගැන මුනිවත රකනවා'' යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පැවැසීය.

ජනතාවට අධික බදු බරක් තියෙනවා. ඒක තමයි මහ පොළොවේ යථාර්ථය. බදු මුදල්වලින් එකතු කර ගත්තු මුදල්වලින්ම බඩු මිල අඩුයි කියලා පුරසාරම් කියනවා. හැබැයි ජනතාවගේ බදු බර කිසිම අඩුවක් වෙලා නෑ. අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ම කියනවා අල්ලස දූෂණය වැඩි වෙලා කියලා. ඉතින් කොහොමද දෙයියනේ රටට ආයෝජකයෝ එන්නේ. ගොබලස් න්‍යාය හරියටම කළේ මංගල සමරවීර ඇමැතිතුමා. අපිට මතකයි ඒ කාලේ මංගල ඇමැතිතුමා කිය කිය ගියා රනිල්ට බෑ කියලා. දැන් අගමැතිතුමා කියනවා අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ගෙවල් තැනින් තැනට මාරු කරනවලු. ඒ තරම් දිග ගනුදෙනුවක් තියෙනවා දෙන්නා අතර. ඒ නිසා අගමැතිතුමාට පුළුවන් අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නලා මේ පරීක්‍ෂණ කරන්න කියලා අපි කියනවා. අද අපිට පාරේ බැහැලා යන්න ලැජ්ජයි. මිනිස්සු අපෙන් අහනවා බැඳුම්කර සල්ලි ගත්තද කියලා.

පාර්ලිමේන්තුව අද (08දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon