ලිඳුලින් ආණමඩුවට...

  👤  3644 readers have read this article !
2018-06-07

රාජ්‍ය ඇමැතිවරයකු වන රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පැදවූ වාහනයක් නිවෙසක සාලයක් මැදට ගොස් නතර වී ඇත. අද 'මව්බිම' මුල් පුවතින් පැවැසෙන පරිදි බංගදෙණිය ප්‍රදේශයේදී සිදුවී ඇති මෙම රිය අනතුරින් ජීවිත හානි සිදුවී නැතත් දේපොළ හානි සිදුවී තිබේ. අලාභහානි වූ නිවෙස පෞද්ගලික හිමිකරුවකුගේ වුවද අනතුරට තුඩු දුන් කැබ් රිය රජයට අයිති එකකි.

රාත්‍රියේ අනතුර සිදුවූ අවස්ථාවේ ඇමැති පුතා බීමත්ව සිටියාද නැද්ද යන්න පැහැදිලි නැතත්, රියේ මත්පැන්, අවුල්පත් (බයිට්) තිබී ඇත. කඩුවක්, පොල්ලක් හා රජයේ ලිපි ලේඛනද රිය ඇතුළේ තිබී හමුවී ඇත.

ඇමැති පුත්තු, මන්ත්‍රි පුත්තු රජයේ වාහන හෝ පෞද්ගලික වාහන පදවාගෙන ගොස් අනතුරට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එමෙන්ම මේ 'පුත්තු' කලකෝලහල ඇති කරගත් අවස්ථාද ඒමටය. දේශපාලනඥයන්ගේ දූ දරුවන්, ඥාතීන් පමණක් නොව දේශපාලනඥයන් එනම්: පාර්ලිමේන්තු හා පළාත් සභා ඇමැතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන්, නගර සභාපතිවරුන් හා නගරාධිපතිවරුන්ගේ නම් අෑඳුණු සිද්ධින් ලැයිස්තුවක් තිබේ.

තලවාකැලේ ලිඳුල නගර සභාවේ සභාපතිවරයා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේ නුවරඑළිය ආගරපතනෙහි මවක සහ ඇගේ දරුවන් දෙදෙනා උපක්‍රමශීලීව රැගෙන ගොස් මව සහ කුඩා දරුවා බලහත්කාරයෙන් රඳවා ගනිමින් අනෙක් දරුවා එනම්, වැඩිමහල් දියණිය මෙහෙකාරකමට විකුණු බවට නැඟුණු චෝදනා මතය. ලිඳුල නගර සභාවට මේ චූදිත මන්ත්‍රිවරයා තේරී පත්වූයේ ඉකුත් පෙබරවාරි 10 වැනිදා පැවැති පුංචි ඡන්දයෙනි. එහෙත් ඔහු මේ පැහැරගැනීම සිදුකර ඇත්තේ ඊට පෙරාතුවය. දූෂිතයන්, මිනීමරුවන්, වංචනිකයන් හා අපරාධකාරයන් සිය ඡන්දයෙන් තෝරා නොගන්නැයි පුන පුනා ඉල්ලා සිටියද ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ඒ ඉල්ලීම කනකට ගෙන නොමැත. 'ලිඳුල' නගර සභාපතිවරයා ඊට කදිම නිදසුනකි. වතු අධිකාරිවරුන් ඝාතනය කරන, විදේශික කාන්තාවන් දූෂණය කර විදේශිකයන් මරා දමන, කාන්තාවන් සියයක් සමඟ ලිංගිකව හැසිරීමේ සතුටට සාද පවත්වන, දැරියන් අපයෝජනය කරන, පිස්තෝල එල්ල කරගෙන මන්ත්‍රිවරුන් පිටුපස පන්නන, ගුරුවරියන් දණ ගස්වන, ඔවුන් ලවා වන්දවා ගන්න, මුදල් හා ලිංගික අල්ලස් ගන්න, වැලි ජාවාරම් කරන, කසිප්පු පෙරන, ප්‍රාදේශීය දේශපාලනඥයන් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ කාලයක සිටය. ඊට ආණ්ඩු බලය වෙනස්වීම අදාළ වන්නේ නැත.

විපක්ෂයේ සිටියදී මේ කාලකණ්ණි වැඩවලට ඇඟිල්ල දිගු කරන්නන් බලය ලැබුණු විගස කරන්නේද ඒ කාලකණ්ණි වැඩමය.

දේශපාලනඥයන්ට බලය ලැබුණු පසු වන්නේ දූෂිතයන්, අපරාධකාරයන්, සල්ලාලයන් වීම නොව බොහෝ දුරට එවැන්නන් දේශපාලනඥයන් බවට පත්වීමය. එනම්, මහජන ඡන්දයෙන් මන්ත්‍රිවරුන් වීමය. ඒ මන්ත්‍රිවරුන්ට පක්ෂ විසින් ඇමැති, සභාපති, නගරාධිපති තනතුරු ලබාදීමය. මහජන ඡන්දයෙන් පත්වී පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ හා නගර සභා, ප්‍රාදේශීය සභාවල සිටින සැලකිය යුතු පිරිසක් මන්ත්‍රි ධුරවලට සුදුස්සන් නොවන බව ඉතා පැහැදිලිය. අවාසනාව වන්නේ ඔවුන්ව තෝරා පත් කර එවූවන් මෙන්ම ඔවුන්ට තනතුරු ලබාදුන්නන්ද තමන් වැරැදි යැයි නොපිළිගැනීමය.

ඡන්ද දායකන්ගේ හැටියට දේශපාලනඥයන්ය. ඊනියා දේශපාලනඥයන්ගේ හැටියට ඡන්ද දායකයන්ය.
එක්කෝ දේශපාලනඥයන්ට මොළය පහළ විය යුතුය. නොඑසේනම් ඡන්ද දායක ජනතාව මොළේ පාවිච්චි කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon