රට හදන තැන

  👤  3995 readers have read this article !
2018-06-06

දැන් අපට ඉතුරුවෙලා තියෙන්නේ කතානායකවරියක පත්කර ගන්නයි

පාර්ලිමේන්තුවට ඉදිරියේදී කථානායකවරියක් පත් කර ගත යුතු කාලය එළැඹ ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත් වූ ආනන්ද කුමාරසිරි මහතාට සුබ පැතීමෙන් අනතුරුව අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.
"මම සුබපතනවා අලුතින් පත්වූ නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මැතිතුමාට. එතුමා දේශපාලන අත්දැකීම් බහුල කෙනෙක්. ඒ වගේම එතුමා එක්ක තරග වැදුණු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරියත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සඳහා දායක වුණු මන්ත්‍රිවරියක්. එතුමියගෙ ස්වාමිපුරුෂයාගෙ අභාවයෙන් පසුවයි එතුමිය මේ සභාවට ආවේ. ඇය දක්ෂ මන්ත්‍රිවරියක්. ජනාධිපතිතුමා එතුමියට සහාය දිය යුතුයි කිව්වම මම විපක්ෂ නායකතුමා එක්ක වාද කළා. ඒවා නැවත කියන්න අවශ්‍ය නෑ. දැන් අපට ඉතුරු වෙලා තියෙන්නෙ කථානායකවරියක් පත්කර ගන්නයි. ජනාධිපතිවරියක්, අගමැතිවරියක්, අගවිනිසුරුවරියක් අපට ඉඳල තියෙනවා. දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ කථානායකවරියක් පත්කරගන්න. එය ඉදිරියේදී සිදුවෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා."
කථානායක
"මමත් ප්‍රාර්ථනා කරනවා කාන්තාවක් ඉදිරියේදී මේ පුටුවට පත්වේවා කියලා."

දකුණේ උණ රෝගය වසංගත මට්ටමට ඒමට පෙර වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූයේද යන්න ගැටලුවක්

දකුණු පළාතේ පැතිර ගිය ඉන්ෆ්ලුවන්සා උණ රෝගී තත්ත්වය වසංගත මට්ටමකට පැමිණීමට පෙර වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූයේද යන්න ගැටලුවක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් අනුර දිසානායක මහතා මෙසේද කීය.
දකුණු පළාතේ වසංගත තත්ත්වයක් පෙන්නුම් කරමින් පැතිර යන ඉන්ෆ්ලුවන්සා උණ රෝගී තත්ත්වය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වන විට කුඩා දරුවන්ද ඇතුළු 14 දෙනෙක් මියගොස් ඇති බවත් පළාතේ දහසකට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවත් ජනමාධ්‍ය වාර්තා කළා.
විශේෂයෙන්ම මෙවැනි රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙද්දී වෛද්‍යවරුන් සියයකගේ පමණද, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තුන්සියයකගේ පමණද පුරප්පාඩු ඇතිව කරාපිටිය රෝහල පවත්වාගෙන යෑම අසීරු තත්ත්වයක් බවද වාර්තා වෙනවා. මේ තත්ත්වය තුළ පැනනඟින පහත ගැටලුවලට පිළිතුරු විෂය භාර අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙවර පැතිර යමින් ඇති රෝගී තත්ත්වය හා රෝගීන් පිළිබඳ නිවැරැදි සංඛ්‍යාව කවරේද, රෝගය පිළිබඳ තොරතුරු ග්‍රාමීය මට්ටමින් වගකීම් සහගතව සමාජගත කිරීම සඳහා ආණ්ඩුව සතු වැඩපිළිවෙළ කුමක්ද, මෙවැනි රෝගී තත්ත්වයක් වසංගත මට්ටමට පත්වීම වළක්වා ගැනීම සඳහා වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පූර්ව සූදානම කවරේද, රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශවල රෝහල්වල රෝගීන් සඳහා වන පහසුකම් හා කාර්ය මණ්ඩල අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් තිබේද, දැනට රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කර ඇති බවට ආණ්ඩුව ජනතාවට සහතික වන්නේද?

මේ වන විට තත්ත්වය පාලනය කර තිබෙනවා

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) ප්‍රකාශ කළේය. දකුණු පළාතේ රෝහල් මඟින් ලබා ගන්නා ලද දත්ත අනුව මෙය පෙනී ගොස් තිබෙන බවද ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.
සෑම වසරකම අප්‍රේල්, මැයි හා ජුනි මාසයේදී ශ්වසන රෝගයක් වන ඉන්ෆ්ලුවන්සා රෝගය පැතිර යනවා. දකුණේ මෙවර එය විශාල වශයෙන් පැතිර ගියා. එය වළක්වා ගන්න ගත යුතු පියවර අපි ගත්තා. ශ්වසන ආබාධයක් වන ඉන්ෆ්ලුවන්සා රෝගය උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව යන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙය සමහරුන්ට එතරම් අපහසු තත්ත්වයක් නොවන බැවින් ඔවුන් ඩිස්පැන්සරියකින් බෙහෙත් අරගෙන රෝගය සුව කර ගන්නවා. නමුත් සමහරුන්ට මෙය බරපතළ ලෙස බලපානවා. රෝගීන් සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතව ගණන කියන්න බැහැ.
නමුත් රෝගීන් පිළිබඳව මාසයකට සැරයක් විශේෂඥ කමිටුව රැස්වී තොරතුරු එක්රැස් කරනවා. එම තොරතුරු මත දිස්ත්‍රික්ක තුනේම මැයි 21 වන විට රෝගීන් 665ක්ද, මැයි 22 වන විට රෝගීන් 117ක්ද, මැයි 23 වන විට රෝගීන් 194ක්ද, මැයි 24 වන විට රෝගීන් 189ක්ද, මැයි 25 වන විට රෝගීන් 240ක්ද, මැයි 26 වන විට රෝගීන් 216ක්ද, මැයි 27 වන විට රෝගීන් 238ක්ද, මැයි 28 වන විට රෝගීන් 234ක්ද, මැයි 29 වන විට රෝගීන් 209ක්ද, මැයි 30 සහ 31 දින වන විට රෝගීන් 238ක්ද, ජුනි මස 01 වන විට රෝගීන් 162ක්ද, ජුනි 02දා වන විට රෝගීන් 151ක්ද, ජුනි 03 දා වන විට රෝගීන් 123ක්ද ලෙස රෝගීන් 2,510ක් වාර්තා වුණා.
එම සංඛ්‍යා ලේඛන බැලූ කල මැයි මස 31 දායින් පසුව රෝගීන් ඇතුළත් වීම භාගයට භාගයක් ලෙස අඩුවෙලා තියෙනවා. දරුවන් 14 දෙනකු සහ එක් වැඩිහිටියකු පමණක් මියගොස් තිබෙනවා. සෞඛ්‍ය අංශ හරහා ජනතාව දැනුවත් කිරීම කරමින් සිටිනවා. මෙවැනි වසංගත රෝග වළක්වා ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවා. කරාපිටිය රෝහල වැඩිදියුණු කිරීමට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කටයුතු කිරීමට අවශ්‍ය බලය රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා. එන්නත් සඳහා වැඩිම මුදලක් වැය කරන්නේ මේ ආණ්ඩුවයි. පිළිකා රෝගීන්ට එන්නත් වෙනුවෙන් කෝටි 8,500ක් වැය කරනවා.
ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීම සම්බන්ධයෙන් මට තීන්දුවක් ගන්න බැහැ. ඒ ගැන තීන්දු කරන්න වෙනම විශේෂඥ කණ්ඩායමක් ඉන්නවා. එම කමිටුව තමයි ඒ තීන්දුව ගන්නේ. ලොව හොඳම ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තියෙනවා. ඩෙංගුවලටත් මෙවැනිම එන්නතක් ආවා. අපේ නිලධාරීන් එය හොඳම එක බව පිළිගත්තේ නැහැ. ප්‍රංශයේ නියෝජිතයෙක් පවා පැමිණ මට කිව්වා අපේ සෞඛ්‍ය නිලධාරීන් එම එන්නත ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. නමුත් පසුව හෙළි වුණා එය ඩෙංගුවලට හොඳම එන්නතක් නොවෙයි කියලා. එම නිසා අපේ සෞඛ්‍ය කමිටුව ඉහළ තැනක ඉන්නවා. මේ කමිටුව මට හෙට කිව්වොත් ඉන්ෆ්ලුවන්සා එන්නත දෙන්න කියලා මම එය කරනවා. කොහොම වුණත් මේ වන විට ඉන්ෆ්ලුවන්සා තත්ත්වය දකුණු පළාතේ පාලනය වෙලා තියෙනවා

කෝප් කමිටුවේ සාමාජිකයන් ඇලෝසියස්ට දුරකථන
ඇමතුම් දී ඇත්නම් ඒ අය යළි කමිටුවට පත් කරන්න එපා

බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන චෙක් මාරු කළ මැති ඇමැතිවරුන් 24 දෙනකුගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් රහස් පොලිසිය මේ වන විට ප්‍රශ්න කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඒ අතර කෝප් කමිටු සාමාජිකයන්ද සිටින බව අලුත්ගමගේ මන්ත්‍රිවරයා කීවේය.
කෝප් කමිටුවේ සාමාජිකයන් ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දී ඇත්නම් ඒ අය යළි කෝප් කමිටුවට පත් කරන්න එපා. අද වෙනකොට රහස් පොලිසිය මැති ඇමැතිවරුන් 24 දෙනකුගේ ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරීන්ගෙන් කටඋත්තර අරගෙන. ඒ අය චෙක් මාරු කරලා. කෝප් එකේ ඉන්න අයගේ රාලහාමිලාගෙනුත් කටඋත්තර අරගෙන. මමත් ජයන්ත සමරවීර මන්ත්‍රිතුමත් අද දිවුරුම් ප්‍රකාශ දෙනවා. අපි කෝප් කමිටු සාමාජිකයන් හැටියට ඇලෝසියස් සමඟ කතා කරලත් නෑ. සල්ලි අරගෙනත් නෑ. අනෙක් අයටත් ඒ වගේ දිවුරුම් ප්‍රකාශ දෙන්න කියන්න.

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හෙළි නොකළ පිටු 360න් ජනපති ලේකම් මට එවා ඇත්තේ පිටු 11යි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හෙළිදරව් නොකළ පිටු 360න් ජනාධිපති ලේකම්වරයා තමා වෙත එවා තිබෙන්නේ පිටු එකොළහක් පමණක් බැවින් ඉතිරි පිටු තුන්සිය හතළිස් නවයද ලැබුණු පසු සියල්ලම සභාවට ඉදිරිපත් කරනවා. මේ සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේද එකඟතාව ලැබී තිබෙනවා.
භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශන කොමිෂන් සභාවට අදාළ සමහර වාර්තා එළිදක්වා නොමැති බැවින් ඒ කරුණු මුල් කරගෙන සමාජයේ විවිධ මාධ්‍ය නිවේදන නිකුත් වෙමින් තිබෙන බවද කථානායකවරයා සඳහන් කළේය.
සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීම නිසා මන්ත්‍රිවරුන්ටත්, පාර්ලිමේන්තුවටත් පොදුවේ රටටත් විශාල අපකීර්තියක් ඇති වී තිබෙන බවත් එය කනගාටුදායක බවත් කරු ජයසූරිය මහතා කීය.
තමා වෙත අද දින ලැබ තිබෙන සී 350-360 දක්වා ලේඛන සමස්ත ලේඛනවල කොටසක් පමණක් බැවින් පාර්ලිමේන්තු කාරක සභාවේදී ඒකමතිකව තීරණය කළ පරිදි සම්පූර්ණ ලේඛන ලැබුණු විගස ඒවා මෙම සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද කථානායකවරයා වැඩිදුරටත් කීවේය.

118 දෙනාගේ නම් හෙළි නොකිරීමෙන් මන්ත්‍රිවරුන් 225 දෙනාම සැකයට භාජනය වෙලා

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රිවරුන් 118 දෙනාගේ නම් හෙළි නොකිරීමෙන් මන්ත්‍රිවරුන් 225 දෙනා ගැනම සැකයට භාජන වෙලා. ඊයේ පාර්ලිමේන්තුවට ලබාදුන් වාර්තාවේදීවත් එම නම් තිබේදැයි විමල් වීරවංශ මන්ත්‍රිවරයා කථානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.
"අපිට සැකයක් තියෙනවා. මේ වාර්තාවේ කොළේ දෙන්නෙ ඇයි? අනාගතේ ලැබෙන්න තියෙන දෙයක් දිහා බලලා ලැබුණු දේ හංගන්න එපා. මේ වාර්තාව ඉතා ඉක්මනින් ලබා නොදුන්නොත් ජනතාව සැක කරයි ජනාධිපතිතුමාගේ නමත් මේකෙ තියෙනව කියලා."

යහපාලන ආණ්ඩුව අගමැතිවරයාගේ සහෝදරයාගේ රූපවාහිනි නාළිකාවේ විකාශනාගාරයට සීල් තබලා

මාධ්‍ය නිදහස ඇතැයි අඬබෙර ගහන යහපාලන ආණ්ඩුව අගමැතිවරයාගේ සහෝදරයාගේ රූපවාහිනි නාළිකාවේ පොල්ගහවෙල විකාශනාගාරයට සීල් තබලා. එම නාළිකාවෙන් තමාටත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් දිගින් දිගටම පහර ගැහැව්වද, මාධ්‍ය නිදහස අගයන ආණ්ඩුව ගෙන ඇති එම ක්‍රියාදාමය හෙළා දකින බවද මන්ත්‍රිවරයා කීවේය.
"ගරු කථානායකතුමනි, මාධ්‍ය නිදහස ගැන රසමසවුළු" පම්පෝරි ගහලා බලයට ආපු රජයත් අගමැතිවරයාගේ සහෝදරයගේ රූපවාහිනි නාළිකාවෙන් මටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් දිගින් දිගටම ගහනවා. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අද ඒ නාළිකාවට අයත් පොල්ගහවෙල විකාශනාගාරයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීන් ගිහිල්ලා සීල් තබා තිබෙනවා. එහි උපකරණ රැගෙන ගොස් තිබෙනවා. මාධ්‍ය ඇමැතිතුමා මේ සභාවේ ඉන්නවා. මේ ගැන ඔබතුමා මොකද කියන්නෙ.
ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර
මේ අවාසනාවන්ත සිද්ධිය ගැන මට දැනගන්න ලැබුණෙ පාර්ලිමේන්තුවට ඇවිල්ල පැයකට කලින්. මම ටී.ආර්.සී. සභාපතිතුමාව දුරකථනයට සම්බන්ධ කරගන්න උත්සාහ කළා. තවම බැරිවුණා. මම ඒ ගැන සොයා බලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නම්.
විමල් වීරවංශ මහතා
ඇමැතිතුමනි, සභාපතිවරයෙක් කවදාවත් මේ වගේ තනි තීන්දුවක් ගන්නෙ නෑ. ඉහළ කවුරු හෝ නායකයෙක් උපදෙස් දෙන්න ඕනෙ. පහුගිය දවස්වල ජනාධිපතිතුමා සම්බන්ධයෙන් එම නාළිකාවෙන් විවිධ ප්‍රවෘත්ති ප්‍රචාරය වුණා. මේකට හේතුව ඒකද දන්නෙ නෑ. කොහොමත් මේක ආණ්ඩුවෙ පිපිරීමක්.
අමාත්‍ය මංගල සමරවීර මහතා
සැබෑ තොරතුරු දැනගන්නෙ නැතිව මට උත්තරයක් දෙන්න බෑ. හතුරකුගේ අදහස් කොයිතරම් අමිහිරි වුණත් ඒ අය කියන දේ අහගෙන ඉන්න එකයි ප්‍රජාතන්ත්‍රවාදය කියල කියමනක් තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දේශපාලන වශයෙන් විමල් වීරවංශ මැතිතුමා එක්ක අපි එකඟ නෑ. හැබැයි මේ ප්‍රශ්නයේදී අපි එතුමා එක්ක එකඟයි. මාධ්‍ය නිදහස අපි අගය කරනවා. මතයක් ප්‍රකාශ කරන්න ජනමාධ්‍යට අයිතියක් තිබෙනවා. අපි මාධ්‍ය නිදහස දීල තිබෙනවා. මාධ්‍ය නිදහස තවදුරටත් ආරක්ෂා කරන්න ඕන කියලා ජනාධිපතිතුමාටත් මතක් කරන්න ඕන. මොකද මේ ආයතනය තියෙන්නෙ ජනාධිපතිතුමා යටතේ.
මංගල සමරවීර ඇමැතිතුමා
සිරස මට කොටළුවා කිය කියා කාටූන් දම දමා පහර එල්ල කළා. නමුත් කිලී මහරාජා මැතිතුමා මගේ හොඳ මිත්‍රයෙක්. අපට පුළුවන් වෙන්න ඕන දේශපාලනයත් විවේචනයත් එක පෙට්ටියකට දාලා මිත්‍රත්වය වෙනම තියාගන්න.
විමල් වීරවංශ මහතා
කථානායකතුමනි, මම අපහසුතාවට පත්වෙලයි ඉන්නේ. මට හිතුණා මේ ආණ්ඩුව කරන්නෙ අපිද කියලා.

තනතුරේ වගකීම උපරිම ශක්තියෙන්
ඉටු කරනවා

'නියෝජ්‍ය කථානායක වශයෙන් මට ලබාදුන් තනතුරෙහි වගකීම හැකි උපරිම ශක්තියෙන් ඉටුකරනවා' යැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි නව තනතුරට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී පැවැසීය.
'මට ඡන්දය ලබාදුන් සියලුම මන්ත්‍රිවරුන්ට මගේ ස්තුතිය පළ කරනවා. ඒ වගේම මා මේ පාර්ලිමේන්තුවට පත් කර එවූ මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් මම ස්තුතිය පළ කරනවා.'
'නියෝජ්‍ය කථානායක තනතුරේ කටයුතු කිරීමේදී සියලුම පක්ෂවලත් සියලුම මන්ත්‍රිවරුන්ගේත් සහයෝගය ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.'
'මා සමඟ තරග වැදුණු සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හමුවූ අවස්ථාවේ අපි කතා කළා. එතුමිය අද මේ තනතුරට තරග කරන බවත් කීවා'

පරාජයට පත් වූයේ
මා නොව රටේ
කාන්තා නියෝජනයයි

පරාජයට පත්වූයේ තමන් නොව රටේ කාන්තා නියෝජනය බව නියෝජ්‍ය කථානායක තනතුර සඳහා තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී කීවාය.
එම තනතුර සඳහා පැවැති රහස් ඡන්දයේ ප්‍රතිඵල නිකුත් කරමින් අනතුරුව අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරිය මෙසේද කීවාය.
"මා සමඟ තරග කර නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත්වූ ආනන්ද කුමාරසිරි මැතිතුමාට මා සුබපතනවා. මට කියන්න තියෙන්නෙ මේ පරාජය වුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියන මන්ත්‍රිවරිය නොවේ. මේ රටේ කාන්තා නියෝජනය. ඒ වගේම මේ රටේ කාන්තාව. මුළු රටම මේ ඡන්දය ගැන බලාගෙන හිටියා. ඡන්දේ පාවිච්චි කරපු ආකාරය ගැනත් රටේ ජනතාව බලාගෙන හිටියා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon