බෝම්බ හොයන යන්ත්‍රය ගැන මහින්ද කියූ කතාව

  👤  5506 readers have read this article !
2018-06-03

1990 - ගිලන් රථ සේවාව මුළු රටටම

දැනට බස්නාහිර සහ දකුණ යන පළාත් දෙකෙහි පමණක් ක්‍රියාත්මක වන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මුළු දිවයිනටම බල පවත්වන පරිදි ක්‍රියාත්මක කෙරෙන සැලසුම අගමැති රනිල් කැබිනට් එකට ඉදිරිපත් කළේය. ඊට අනුව ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර සඳහා ඉන්දීය රජය ඇ.ඩො. මිලියන 15.02 ප්‍රදානයක් සිදු කෙරේ. ඊට අදාළ බදු වියදම් ජාතික ප්‍රතිපත්තිය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය දැරීම කැබිනට් එක අනුමත කළේය.

වන්දි ගෙවන නිසි ප්‍රතිපත්තියක්

රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හා පෞද්ගලික දේපළ පවරා ගැනීමේදී ඒ සඳහා වන්දි ගෙවීමේ විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතු බවට කබීර් හෂීම් ඇමැති ගෙනා යෝජනාව අනුමත විය. දැනට එක් එක් අමාත්‍යාංශ වෙනස් පදනම් යටතේ වන්දි ගෙවීම සිදුකරන බව කබීර් පෙන්වා දුන්නේය. මාර්ග සංවර්ධන අධිකාරිය වන්දි ගෙවීමේදී දැනට අනුගමනය කරන ප්‍රතිපත්තියද මෙහිදී සැලකිල්ලට භාජන විය.

මෙහෙම බදු ගැහුවොත් මධ්‍යම පන්තියක් නැති වේවි

රජයේ සේවකයන් ඉලක්ක වන බදු ගණනාවක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. වාහන බදු උපයන විට ගෙවීමේ බදු සහ තවත් බදු ගණනාවක් මඟින් රජයේ සේවකයා සිර කර ඇත. මෙම බදු, අයකිරීම් ගැන චම්පික රණවක ඇමැති මංගලගේ අවධානය යොමු කළේය. පාඨලීගේ අදහස වූයේ මේ අන්දමට දිගින් දිගටම බදු අය කරන්නට ගියොත් රටේ මධ්‍යම පන්තියක් නැති වන බවය.

විගණන පනතට මොකද වුණේ

යහපාලනයේ පදනම වූයේ රාජ්‍ය ආයතනවල දූෂණ සිදු නොවන අයුරු ශක්තිමත් විගණන පනතක් ඇති කිරීමය. නව විගණන පනත ගැන රටේ ලොකු කතාබහක් ඇති විය. විගණන පනත ක්‍රියාත්මක වීමත් සමඟ හොරුන්ට වැට බැඳෙන බව දේශපාලන වේදිකාවල පුරසාරම්ද ඇද බෑවෝය. එහෙත් හිටි ගමන්ම විගණන පනත ගැන කතාව ඇනහිටියේය. විගණන පනත සියල්ලන්ට අමතකව ගියේය. එහෙත් පසුගිය කැබිනට්ටුවවේදී ජනපති මෛත්‍රි ''විගණන පනතට මොකද වුණේ යැයි'' හිටි අඩියේ ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන්නේ අගමැති රනිල්ය.

''විගණන පනතට විශේෂ සංශෝධන කිහිපයක් ඇතුළු කරන්නට තිබෙනවා. ඒ කටයුතු දැනටත් සිදු කෙරෙනවා යැයි අගමැති දැන්වීය.

සමරකෝන් බූදලය

සමරකෝන් පවුල්වලට අයත් සමරකෝන් බූදලය පැවැතියේ මහ භාරකාර දෙපාර්තමේන්තුව යටතේය. එම බූදලය සංස්කෘතික හා සමාජ සුබසාධක කටයුතු සඳහා රජයට පවරා තිබිණි. පසුගිය සමයේ 'ශාඛ්‍ය ජනපදය' නමින් ව්‍යාපෘතියක් සඳහා මෙම විශාල ඉඩම වෙන්කර තිබිණි. එහි නව නගරයක් ඉදිකිරීම පිණිස මහ නගර ඇමැති පාඨලී ගෙනා යෝජනාවට විරුද්ධව අදහස් පළවිය. විජේදාස රාජපක්‍ෂ සහ ජයවික්‍රම පෙරේරා ඇමැතිවරු ඊට දැඩි ලෙස විරෝධය පළ කළහ. කෙසේ වුවද කැබිනට් එක තීරණය කළේ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවය.

දුම්රියට හානි කළ අයට සමාවක් නෑ

දුම්රිය වෘත්තීය සමිති මඟින් ඉකුත් සතියේ ගෙන ගිය දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අවස්ථාවේ වර්ජකයන් විසින් දුම්රිය කිහිපයක දැඩි අලාභ හානි සිදු කර තිබීම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැඩි කතාබහක් ඇතිවිය. එවැනි ක්‍රියාවන්ට කිසිදු බුරුලක් නොදිය යුතුය යන්න පොදු අදහස විය. දුම්රියට හානි පැමිණවීම පිළිබඳ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැවැරීමටත් හෙළිවන අපරාධකරුවනට නීති මඟින් දැඩි දඬුවම් පැමිණවීමටත් තීරණය විය.

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය

දැනට ශීඝ්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා වයිරස් උණ රෝගය සඳහා අවධානය යොමු කළ කැබිනට් මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කළේය. රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය බේත් උපකරණ, ආදිය මිලදී ගැනීමේදී ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව කටයුතු කිරීමට සෞඛ්‍ය ඇමැති රාජිතගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණි.

සෝභිත හිමි ජන්මදින සමරුවට මෛත්‍රිට ආරාධනා නෑ

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දින සමරු උත්සවයේදී ජනාධිපති මෛත්‍රි කරන ලද කතාව සති අන්තයේ දේශපාලන අංශ මහත් කලබලයට පත් කරන්නට හේතුවිය. එය එක්තරා අන්දමක දෙබරයට ගල් ගැසීමක් වූයේ පැති ගණනාවකට එකවර පහර එල්ල වූ නිසාය. උත්සවය සංවිධානය කර තිබුණේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය විසිනි. උත්සවය සඳහා ජනපති මෛත්‍රිට ආරාධනාවක් කර තිබුණේද නැත. එහෙත් ජනපති අනාරාධිතවම ඊට සහභාගි වී වේගවත් කතාවක් කළේය. දිගින් දිගටම තමා සම්බන්ධයෙන් පැතිරෙන වැරැදි අර්ථකතන සම්බන්ධයෙන් කනගාටු වන අතරම ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක විවෘත සංවාදයකට සූදානම් බවද ජනාධිපති මෛත්‍රි එහිදී ප්‍රකාශ කළේය.

රොටිය ඇට්ටකුණා වෙච්චි හැටි

'රටට නොගැළපෙන යෝජනා' කැබිනට් මණ්ඩලය හමුවට ගෙනෙනු ලැබූ විට ඒවා බැහැර කළ හැකි වූයේ ශ්‍රී ලනිප ඇමැතිවරු සිටි නිසා බව ජනපති කීය. එම ප්‍රකාශයෙන් එ.ජා.ප.යට සෘජුවම ඇඟිල්ල දිගු කළ බව පෙනිණි. දින 100 වැඩපිළිවෙළ සකස් කළේ කවුදැයි තමන් තවමත් නොදන්නා බවද හෙතෙම පැවැසීය. ජනපතිගේ උද්යෝගකර කතාවට පසුබිම සකස් වූයේ ජනපතිට පෙර සභාව ඇමැතූ ස්වාමින් වහන්සේ සිදු කළ ප්‍රකාශයකිනි.

ජනපති සිරිසේන ශ්‍රී ලනිප සභාපති තනතුර භාර ගැනීම නිසා පිච්චෙන්නට තිබූ රොටිය ඇට්ටකුණා වී යැයි උන්වහන්සේ පවසා තිබිණි.

හාමුදුරුවනේ රොටිය ඇට්ටකුණා වෙච්ච වුණු හැටි මට හොඳට කියන්න පුළුවන්. ඒ කියන උදවිය මා සමඟ සංවාදයකට එනවා නම් යැයිද ජනපති ප්‍රකාශ කළේය.
ඔය කියන විදියට ඕවා වුණා නම් මැලේසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්න බෑ
මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් හා තමන් සැසඳීමත් සහිතව ඉංග්‍රීසි පුවත්පතක පළවු වාර්තාවක් පෙන්වමින් පිළිතුරු දුන් ජනාධිපතිවරයා, 'මහතීර් මොහොමඩ් මහත්තයා දවස් 5න් කළා කියලා වැඩ වගයක් දාලා මගේ පැත්තෙන් අවුරුදු තුනක් මොනවද වුණේ කියලා ප්‍රශ්නාර්ථයක් දමලා. මැලේසියාවේ දූෂිත ඇමැතිවරු, මන්ත්‍රිවරු, විනිසුරුවරු, ව්‍යාපාරිකයෝ, අත්අඩංගුවට ගත්තලු. එහෙම දවස් පහෙන් අත්අඩංගුවට ගැනීම් කළා නම් මැලේසියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්න බැරි බව ජනපති කීය.
ඕවාට උත්තර දෙන්න කලබල වෙන්න හොඳ නෑ

දින 100 වැඩසටහන තමයි මම කර ගත්ත මෝඩම වැඩේ. ඔළුවක් තිබුණා නම් කරන්න තිබුණේ අපි ජයග්‍රහණය කරපු දා රෑම පාර්ලිමේන්තුව විසුරුවන එක යැයිද හෙතෙම පැවැසීය. මේ සියලු චෝදනා සම්බන්ධයෙන් එ.ජා.ප.ය පැත්තෙන් අගමැති රනිල් ප්‍රකාශ කර තිබුණේ ඕවාට උත්තර දෙන්න කලබල වෙන්න හොඳ නෑ කියාය.

රාජපක්‍ෂවරු මුස්ලිම්වරුන් හා අත්වැල් බැඳ ගනිති

පසුගිය සමයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මුස්ලිම් ජනයා සහ රාජපක්‍ෂ පවුල අතර වූයේ බොහෝ දුරස්ථ සම්බන්ධතාවකි. එය 2015 ජනපතිවරණයටද තදින් බලපෑවේය. මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලනිපයෙන් අෑත්ව සිටියේය. එහෙත් මේ නොහොඳ නෝක්කාඩුව සමහන් කරන්නට රාජපක්‍ෂවරු පසුගිය දිනවල ප්‍රමුඛතාව දුන් බව පෙනිණි. මුලින්ම ප්‍රශ්නයට අත්ගැසුවේ ගෝඨාය. ඔහු මුස්ලිම් නායකයන් හමු වන්නට උලමාවරුන්ගේ මූලස්ථානයට ගියේය. ඉතා සුහද සාකච්ඡා වටයක් සඳහා මුල පිරීය. පසුගියදා ඉෆ්තාර් උත්සවයට ගෝඨා බේරුවල ගියේය. මුස්ලිම් ජනතාව විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වී සිටිනු දකින්නට ලබුණු අතර මහින්දානන්ද අලුත්ගමගේ ද ගෝඨාභය සමඟ එහි ගොස් සිටියේය. බේරුවල මුස්ලිම් මිනිසුන් ගෝඨා පිළිගත්තේ අපේ අනාගත ජනාධිපතිතුමා කියමිනි.

එහිදී ගෝඨාභය සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් මුස්ලිම් ජනතාව කියා සිටියේ මෙතෙක් කල් තමන් සිටියේ වැරැදි මතයක බවය. අද ආණ්ඩුව නියෝජනය කරන ඇතැමුන් පළ කරන අදහස් නිසා ගෝඨාභය ගැන පුහු බියකින් තමන් පසු වූ බවත් ඔවුහු මෙහිදී කියා සිටියහ.

"බයවෙන්නේ මොකටද? මෙතුමා අපේ මහින්ද මහත්තයාගේ මල්ලිනේ. ඔබතුමාලා ඉතින් මහින්ද මහත්තයා ගැන දන්නවානේ. ඒ වගේම තමයි මෙයත්" මහින්දානන්ද පැවසුවේ සිනාසෙමිනි. මහින්දගේ නිල නිවෙසේ බ්‍රහස්පතින්දා ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කර තිබිණි. බැසිල් ගාල්ලේ තනිපොල්ගහ මුස්ලිම්වරු සමඟ උත්සවයකට එක්විය. දැන ගන්නට තිබෙන ආකාරයට ගෝඨා උතුරේ දෙමළ ජනයා සමඟද සහෝදරාත්මක වැඩපිළිවෙළකට සූදානම්ව සිටී.

ඔක්කොම කුණු එජාපයේ ගිණුමට වැටෙනවා

අගමැති රනිල් බ්‍රහස්පතින්දා උදේම සිරිකොත ගියේ එජාප කෘත්‍යාධිකාරී රැස්වීමටය.
"ජනාධිපතිතුමා ඊයේත් එජාපයයි ඔබතුමායි නැති කළා" බොහෝ දෙනකු කීවේ අගමැතිවරයා වාහනයෙන් බැස ඇතුළට යන අතරේය.

"කෘත්‍යාධිකාරියේදී ඒ ගැනත් කට්ටිය කතා කරාවි. බලමු.... බලමු. කලබල වෙන්න එපා." අගමැති කීවේ සුපුරුදු සැහැල්ලුවෙනි. න්‍යාය පත්‍රය අනුව කෘත්‍යාධිකාරිය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ. වැඩිවෙලා නොගොස්ම ජනාධිපතිවරයා සෝභිත හිමිගේ උත්සවයේදී කළ කතාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට විය.

"ජනාධිපතිතුමා හිතෙන හිතෙන වෙලාවට එජාපයට හා අගමැතිතුමාට පහර දෙනවා. ඒත් ඔබතුමා හෝ පක්ෂය මේවාට උත්තර දෙන්නේ නැති එකෙන් ඒ ඔක්කොම කුණු එජාප එකවුන්ට් එකටයි වැටෙන්නේ" බොහෝ දෙනකු කීවේ එවැන්නකි.

අපි කලබල විය යුතු නෑ රනිල් කියයි

"ජනාධිපතිතුමාට ඔහුගේ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය කාටවත් වළක්වන්න බෑ. එජාපයේ අපි කලබල විය යතු නැහැ. ඕවාට උත්තර බැඳීමත් අනවශ්‍යයි" අගමැති කීවේ සිනාමුසුවය.

"ඒත් ගහන්න ගහන්න වඳින එකා අන්තිමේ මෝඩයා බවට පත්වෙනවා. අපි දැන් උත්තර නොදුන්නත් අවශ්‍ය වෙලාවට මේවාට නිසි උත්තර දෙන්න ඕනෑ. ඒ වගේම එතුමා පෙන්වා දෙන අපේ වැරැදි සත්‍ය නම් ඒවා වහාම නිවැරැදි කර ගැනීමත් අත්‍යවශ්‍යයි" කෘත්‍යාධිකාරියේ බහුතරයකගේ අදහස එය විය. එහිදී අගමැතිවරයා හිස සැලුවා මිසක කිසිවක් කීවේ නැත. තවත් බොහෝ දෙනකු ජනපතිගේ කතාව හා වෙනත් දේ ගැන විවිධ අදහස් පළ කළහ. කෘත්‍යාධිකාරිය නිම කළ අගමැතිවරයා තේ පානය සඳහා සිය කාර්යාලයට ගිය විට එජාප මැති ඇමැතිවරු හා කෘත්‍යාධිකාරී සාමාජිකයන් එතනට රැස් වූහ.

මහින්දට හෙලිකොප්ටර් දුන්නේ කවුද?

"2016 අප්‍රේල් 09දා ජනාධිපතිතුමා කරපු කතාවක එතුමා කියන්නේ මහින්දට හෙලිකොප්ටර් දුන්නේ එයා කියලයි. දැන් ඒක අගමැතිතුමාගේ ඇඟේ ගහන්න හදනවා. සමාජ ජාලවල ඒ වීඩියෝ එක මම දැක්කා" සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

"අනික දින 100 වැඩපිළිවෙළට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය විහාරමහා දේවි එකේ බුදු පිළිමේ ඉදිරිපිට එළිදක්වන වෙලාවේ ජනාධිපතිතුමා කළ කතාවක් දැන් සමාජ ජාලවල තියෙනවා මම දැක්කා. ඒකෙදි එතුමා කියන්නේ දින 100 වැඩපිළිවෙළ හදන්න හා එය ක්‍රියාත්මක කරන්නත් තමා කැපවන බවයි. දැන් එතුමා වෙන බයිලාවක් කියනවා." බදුලු දිස්ත්‍රික් එජාප මන්ත්‍රි චමින්ද විජේසිරි කීවේය.

"දින 100 ඉවරවුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවන්න එජාපය යෝජනා කළා. සිවිල් සමාජය හා සෝභිත නාහිමි කියන්නේ 19 වැනි සංශෝධනයක් සම්මත කරලා විසුරුවන්න කියල නිසා තව කල් ගනිමු කියල යෝජනා ජනාධිපතිතුමාමයි" අගමැතිවරයා අතීතය සිහිපත් කළේය.

ශ්‍රී ලනිප ලේකම් ජනාධිපති කරල අපට අත පිහිදා ගන්න බෑ

"එජාපය කියපු වෙලාවේ මහ ඡන්දයට ගියා නම් අපට මන්ත්‍රිධුර 120ක්වත් ගන්න තිබුණා. කල් දැමීමෙන් එජාපයටයි අවාසි වුණේ" නවීන් දිසානායක කීය. "අපේ මාමණ්ඩි කථානායකතුමාගෙ ප්‍රධානත්වයෙන් තිබුණු රැස්වීමක ජනාධිපතිතුමා අගමැතිතුමා හා එජාපයට ප්‍රහාර එල්ල කිරීම නිසා කථානායකතුමන් අපහසුතාවට පත්වෙලා කියලා ආරංචියි" නවීන් වැඩිදුරටත් කීය. ජනාධිපතිවරණය දිනපු ගමන් එජාප නායකයා අගමැති කරන බව මැතිවරණ වේදිකාවල ජනතාවට කියපු එක කාටවත් අමතක කරල දැන් කතා කරන්න බැහැ" ලක්ෂ්මන් කිරිඇල්ල කීදේ සියලු දෙනා අනුමත කළහ.

"ශ්‍රී ලනිප ලේකම් ජනාධිපති කරල එජාපයට පස්ස පැත්තේ අත පිහිදාගන්න බැහැ. රනිල් මැතිතුමා අගමැති කළේ ඒ තුළයි" චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

පොහොට්ටුව දින්නේ 16 නඩය ආණ්ඩුවයි එජාපයයි විවේචනය කළ නිසාලු
"අගමැතිතුමාගේ ස්ථාවරය හරි. කතාවලට උත්තරදීම වෙනුවට රට පාලනය, ණය ගෙවීම, ආයෝජන ගෙන ඒම, ජනතාවට සහන දීම වගේ ආණ්ඩුවේ මූලික අරමුණුවල පිහිටා කටයුතු කිරීමට මූලිකත්වය දීම ඉතා නිවැරැදියි" නවීන් දිසානායක කීය.

"ජනාධිපතිතුමා හා අර ශ්‍රී ලනිප 16 නඩය ප්‍රසිද්ධියේ එජාපය හා ආණ්ඩුව විවේචනය කරපු නිසා පළාත් පාලන ඡන්දය එජාපය විතරක් නෙමෙයි ශ්‍රී ලනිපයත් පැරදුණා. පොහොට්ටුවට බලය අරන් දුන්නෙ ඒ කට්ටියයි" චමින්ද විජේසිරි කී දේට සියලු දෙනාගේ එකඟත්වය පළ විය. "ජනාධිපතිතුමා දැන් දේශපාලන ලෙස විශාල පීඩනයක ඉන්න හැඩයි. ඒකට එජාපය පළි නෑ" චමින්ද වැඩිදුරටත් කීය.

"රු. ලක්ෂ 10ක් පගාව අරන් දයාසිරි නාපු නෑම පුදුමයි. ඔහු පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත මේ ගැන කතා දෙකක් කීම තුළ ඔහු තවත් හිරවුණා. දයාසිරි බැඳුම්කරේට ගැහුවෙ එයාට දීපු මුදල මදිවෙලා කියලයි කුරුණෑගල පැත්තෙ ඒකාබද්දේ අය ඒ පැත්තේ පතුරවන්නේ කියල ආරංචියි" රන්ජන් රාමනායක කීවේ සිනා මැදය.

20 ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධලු

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක් පසුගිය බදාදා 30 වැනිදා විජේරාම පෙදෙසේ පිහිටි මහින්දගේ නිල නිවෙසේදී පැවැත්විණි. හමුව කැඳවා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති 20 වැනි සංශෝධන සම්බන්ධයෙන් අදහස් විමසීමටය.

"ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු මේ කෙටුම්පතේ අඩුපාඩු රැසක් තිබෙනවා. මේ වෙනස් කරන්න යන්නෙ රටේ උත්තරීතර නීතිය මිසක් පොඩි එකාගේ ලියුම නෙමෙයි. ඉවත් කරන්න ඕනේ ජනාධිපතිවරයාගේ වරප්‍රසාද මිසක් බලතල නෙමෙයි" ගම්මන්පිල පැවැසීය.

"මේ වෙලාවේ 20 වැනි සංශෝධනය ගෙන ආවේ ආණ්ඩුවට තිබෙන දේශපාලන අර්බුද වසා ගැනීමේ අරමුණෙන් කියන එක පැහැදිලියි. මේ යෝජනාව ගෙනැල්ලා රටේම කතාබහ මෙතැනට යොමු කරලා අර්බුද වසාගැනීමට තමයි ආණ්ඩුවට ඕනේ වෙලා තියෙන්නේ" වාසු පෙන්වා දුන්නේය.

"විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාට අකැමැත්තක් නැති වුණත් ඒ මුවාවෙන් ගෙනැල්ලා තියෙන මේ යෝජනාවට නම් පක්ෂ වෙන්න පුළුවන්කමක් නැහැ" වෙල්ගම පැවැසීය.

"මේ වෙලාවේ රට හමුවේ තියෙන තීරණාත්මක ප්‍රශ්නය විදියට 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ කුමක්ද කියන එක අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. මේක රට වෙනුවෙන් අවංක වුවමනාවෙන් කෙරෙන වැඩක් නෙමේ" දිනේෂ් ද පැවැසීය.

වැරැදි වෙලාවක වැරැදි තීන්දු ගත් අය ළංකර ගන්න එපාලු

මහින්ද කුරුණෑගල බලා ගියේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වන බන්දුල සමන් කුමාරගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. අවමඟුල් නිවෙසට යෑමට පෙර මහින්ද ජොන්ස්ටන්ගේ නිවෙසට ගියේය. එහෙත් මහින්ද ‍ෙදාරකඩට පැමිණෙන තුරුත් ජොන්ස්ටන් ඒබව දැන උන්නේ නැත.

"සර් මළ ගෙදර යන්නද ආවේ" ජොන්ස්ටන් ඇසුවේ පුදුමයෙනි.

"ඔව් ජොනී. මට කුරුණෑගල කියන්නේ අමුතු තැනක් නෙමේනේ" මහින්ද පැවසුවේය.
"ඒක නම් ඇත්ත දැන් මටත් වඩා සර් මෙහේ කෙනෙක් වෙලා" ජොන්ස්ටන් පැවැසීය.
"ඔයාටත් වඩා මම තමයි දැන් කුරුණෑගල ඉන්නේ" කී මහින්ද ජොන්ස්ටන්ද කැටුව මළගෙදර ගියේය.

මහින්ද එන ආරංචියට විශාල පිරිසක් පැමිණ සිටි අතර මහින්දට රියෙන් බසින්නට පවා විශාල වෙහෙසක් දරන්නට සිදුවිය. මහින්ද වටකරගත් ජනතාව සෙල්ෆි ගසන්නටත් පටන් ගත් අතර "අමතක කරන්න එපා මේක මළගෙයක්" කියමින් ඔවුන් සංසිඳුවීමටද මහින්දට සිදුවිය.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති පින්කමකට සහභාගි වීමට මහින්ද පසුගිය සතියේ ගාල්ල බලා ගියේය. රමේෂ්, රෝහිත, චන්දිම සහ සම්පත් අතුකෝරාල ද මෙම උත්සවයට සහභාගි වී සිටිනු දකින්නට ලැබිණි. අනෙක් මන්ත්‍රිවරුන් අභිභවා මහින්දට ළංවීමට චන්දිම දැරූ උත්සාහය මෙහිදී පැහැදිලිව පෙනෙන්නට තිබිණි. මහින්දගේ එක් පසෙකින් රමේෂ් අසුන්ගෙන සිටි අතර අනෙක් පසින් අසුන්ගෙන සිටියේ චන්දිමය.

හිරගෙවල් පිටරටින් හයර් කරන කතාවක්

ගැටමාන්න ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික කටයුත්තක් සඳහා මහින්ද සහභාගි වූයේ නාමල් ද සමඟිනි. එහිදී විහාරාධිපති හිමියන් මහින්දට කීවේ, "ඔබතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ වගේ නෙමේ දැන් රටේ කිසිම තැනක වැඩක් කෙරෙන්නේ නැහැ. පාරක් තොටක් හැදෙන්නේ නැහැ. ගමක් දියුණු වෙන්නේ නැහැ. රටම ආපස්සට යනවා හැර ඉදිරි ගමනක් පේන්නවත් නැහැ" කියාය.

"මම පටන් ගත්තු වැඩ ටිකවත් ඉවරයක් කරන්න බැරි ආණ්ඩුවක් තමයි දැන් තියෙන්නේ. මට බලය ගැන ආසාවක් නැහැ. හැබැයි දුක රට එක තැන පල්වෙන එකයි" මහින්ද පැවැසීය.

"ආණ්ඩුවේ තිබෙන්නේ පළිගැනීම විතරයි. මම තුන්පාරක් හිරේ ගියා. බැසිල් බාප්පා ගියා, යෝෂිත ගියා. දිගින් දිගටම කළේ පළිගන්න එක විතරයි. හැබැයි මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කාපු අයත් අද යහතින් ඉන්නවා. ඒ අයට නඩුත් නැහැ. හිරේ දාන්නෙත් නැහැ. මහතීර් මොහොමඩ්ගේ විදියට වැඩ කරන්න ගියොත් නම් මේ ආණ්ඩුවේ ඉන්න හොරු ටික හිරේ දාන්න පිටරටවලිනුත් හිරගෙවල් හයර් කරන්න වෙයි" නාමල් පැවැසීය.

නිලධාරිවාදයට යට නොවන සජිත්

උදාගම් වැඩ සටහනට අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උදාගම් 200ක් හදන්නට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉලක්කකර ඇත. එහෙත් දැනට වැඩ කෙරෙමින් තිබෙන්නේ උදාගම් 38ක පමණය. වැඩේ ප්‍රමාද වෙන්නට හේතුව ඉඩම් කොටස් නිදහස් කර දීමට රජයේ නිලධාරීන් දක්වන උකටලීභාවයයි. සජිත් මේ පිළිබඳ ජනාධිපති සිටින වේදිකාවේදීද සඳහන් කර තිබිණි. එහෙත් නිලධාරීන් බොහෝ විට අදින්නේ පස්සටය.

ලෙන් සිතුවම් ගම - 72 වන උදා ගම්මානය ඉදි කෙරුණේ පොළොන්නරුව දිඹුලාගල නව මිල්ලානේදීය. ඊට ජනාධිපති මෛත්‍රිද සහභාගි වීමට නියමිතව තිබිණි. එහෙත් ජනාධිපති හදිසියේම සජිත්ට කතාකොට ඊට සහභාගි නොවන බව දැන්වීය. ජනාධිපතිවරයා එදින ගංවතුර හේතුවෙන් විපතට පත් පිරිස් හමුවීම යොදාගෙන තිබිණි. ලෙන් සිතුවම්ගම උත්සවයට තම පුත් දහම් පැමිණෙන බව ජනාධිපති මෛත්‍රි දුරකථන පණිවිඩයක් මඟින් සජිත්ට දැන්වීය. වසන්ත සේනානායක දහම් සිරිසේන සහ ඇමැති සජිත් එකම වාහනයක නැඟී දිඹුලාගල යද්දී නිලධාරිවාදය නිසා සංවර්ධන වැඩසටහන් කඩාකප්පල් වන සැටි සජිත් විස්තර කළේය.

"මම නිලධාරිවාදයට යට වෙන්නේ නැහැ. ඒක පරාජය කරනවා" සජිත් කීවේය.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එළි දක්වන්නටත් පෙර බොහෝ දේශපාලන අංශ ඊට වටකර පහර දෙන අන්දම ජවිපෙ උපේක්ෂාවෙන් බලා සිටියේ. කෙසේ වුවද දැන් සංශෝධනය ජනතාව හමුවට පැමිණ තිබේ.

20 ගැන බොරු බිල්ලෝ මවන්න එපා

"දැන් ඉතින් බොරු බිල්ලෝ මවන්න වුවමනා නැහැ. කෙළින්ම 20 ගැන ඇත්ත කතා කරන්න පුළුවනි. අංජනම් එළි යවපු අයට 20 ඇස් දෙකින්ම බලන්නත් පුළුවන්"
අනුර දිසානායක එසේ කීවේ 20 ජනතාව අතරට ගෙනයෑමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ජවිපෙ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදීය.

"අද රටේ ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා. එකක් ආර්ථික ක්ෂේත්‍රයේ පවතින අර්බුදය. අනෙක් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය. තුන් වැන්න ජාතික සමඟිය පිළිබඳ ප්‍රශ්නය. මේ කාරණා තුනටම එක විදියට මැදිහත් වෙන්න ඕනෑ. අපි 20 ගෙනාවේ ඒ සඳහා වන මහා සංවාදය ගොඩනඟන්නයි. ආගමික නායකයන්, වෘත්තීය සමිති, කලාකරුවන් සමාජයේ සෑම ස්තරයක්ම මේ සංවාදයට මැදිහත් කරගන්න ඕනෑ" ටිල්වින් පැහැදිලි කළේය.
"මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් සංවාදයක් ඕනෑ ඒක කරන්න පුළුවන් අපට විතරයි" හඳුන්නෙත්ති කීය.

සමාජවාදී තරුණ සංගමයේ නෝම්බි ඇල්ලීමේ උත්සවය

ජුනි හයවැනිදාට යෙදෙන නෝම්බි ඇල්ලීමේ උත්සවය සමාජවාදී තරුණ සංගමයේ මෙහෙයවීමෙන් සියලු ආගම් නියෝජනය කරන ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් 06 වැනි දින පස්වරු 5.00ට මාලිගාවත්ත ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. එමෙන්ම ජාතික සමඟිය වෙනුවෙන් දීප ව්‍යාප්ත පහන් දැල්වීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි ප්‍රධාන උත්සවය ජූලි 07 වැනිදා පස්වරුවේ බත්තරමුල්ල දියත උයනේදී පැවැත්වේ. එමෙන්ම ජාතික සමඟි මෝටර් පැදි සවාරියක්ද සංවිධානය කර තිබෙන අතර එය ජූලි 23 වැනිදා හලාවතින්, රත්නපුරයෙන්, ගාල්ලෙන් සහ මහනුවරින් ආරම්භ කොට කොළඹට පැමිණීමට නියමිතය. එදින පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ජාතික සමඟි රැලියක් සහ සංස්කෘතික උත්සවයක් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ ශේ‍ර්ණියට

කථානායක කරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේද ප්‍රධානියාය. ඔහුට අතිශය සතුටුදායක ප්‍රවෘත්තියක් පසුගිය සතියේ අසන්නට ලැබිණි. ලෝකයේ මානව හිමිකම් කොමිෂන් සභා අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ ශේ‍ර්ණියට පත්වීම ඒ සුවිශේෂී ප්‍රවෘත්තිය වූයේය. කරු මානව හිමිකම් කොමිසමේ සභාපතිනි දීපිකා උඩුගම හමුවී පෞද්ගලිකවම සුබ පැතීය.

මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන කාරණය මගේ වෘත්තියට අදාළ කරගන්නේ නෑ
ජාතික රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිනිය ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද පසුගියදා තනතුරෙහි වැඩ භාරගත්තාය. ජාතික රූපවාහිනියේ සභාපතිනිය හැටියට ඇගේ ඉලක්ක සහ අරමුණු ගැන විශේෂ කතාබහක් හා උනන්දුවක් සමාජය තුළ ඇතිවිය යුතුව තිබූ නමුත් මතුවූයේ නුහුරට යන කතාවකි. සමාජ මාධ්‍යවලට ප්‍රශ්නය වූයේ ඇයි ඉනෝකා වැඩ භාර ගැනීමේ උත්සවයට කලිසමක් ඇන්දේ ඇයි සාරියක් ඇන්දේ නැත්තේ. මේ වැදගත් තනතුරට සාරියක් ඇන්දානම් නේද හොඳ ආදී පසුගාමී අදහස්ය. ඉනෝකා ස්ත්‍රීවාදිනියක් ලෙස සමාජය තුළ කටයුතු කිරීමද මෙයට බලපාන්නට ඇත. ඇය සම්බන්ධයෙන් මතුවූ සියලු මතවාදවලට ඉනෝකා සත්‍යාංගනී මෙසේ පිළිතුරු දී තිබිණි.
"මම මගේ තියෙන පෞද්ගලික ව්‍යාපෘති මෙතන ක්‍රියාත්මක කරන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ගැටුම් හෝ වෙනත් මා දරන මාගේ සංස්කෘතික සමාජ මතයන් මෙතැන පැළ කරන්න මට පුළුවන්කමක් නැහැ. මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන කාරණය මගේ වෘත්තියට මම අදාළ කරගන්නේ නැහැ. මම කරන වැඩේදි මම පිරිමියෙක්ද ගැහැනියෙක්ද කියන කාරණය මට අදාළම නැහැ."

මම ඒ වෙද්දිත් රටේ ජනාධිපති

එදා පරාජයට පත් වුණාට පස්සේ මැදමුලනට යන්න මහින්දට හෙලිකොප්ටර් දුන්නේ කවුද මමද. මේවට උත්තර දියයුතු අය ඉන්නවා. ඒ අයයි උත්තර දෙන්න ඕන. අද උදේ මම ගුවන් හමුදාපතිට කතා කරලා ඇහුවා මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට හෙලිකොප්ටර් දෙන්න නියෝග කළේ කවුද කියලා. උත්තරේ මොකක්ද දන්නවද ජනාධිපතිතුමා කිව්වා කියලා අහවලා කිව්වා කියන එකයි. මම මෙලෝ දෙයක් දන්නේ නැහැ. මගෙන් ඇහුවෙත් නෑ. අඩු තරමේ ටෙලිෆෝන් කෝල් එකක්වත් දුන්නේ නැහැ.

ජනාධිපති මෛත්‍රිගේ මේ කතාවට පසුදින මහින්ද පිළිතුරු දී තිබිණි.

'මම ඒ වෙද්දිත් රටේ ජනාධිපති මම මොකටද කාගෙන්වත් හෙලිකොප්ටර් ඉල්ලන්නෙ.'

මීටර් 100ක් ඇතුළත තිබෙන පුපුරන ද්‍රව්‍ය හඳුන ගන්නා යන්ත්‍රය කෝ

මහින්ද ගෙන ගිය වාහන ගැනද මෛත්‍රි කතා කළේය. ''ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයට ගෙනැවිත් තිබුණු ආරක්ෂක රථවලින් අලුත්ම වාහනවලින් අවශ්‍ය ප්‍රමාණය එදා යනවිට අරන් ගියා. ජනාධිපතිවරයා සිටින ස්ථානයේ සිට මීටර් 100ක් අෑතින් තිබෙන පුපුරන ද්‍රව්‍ය දැනෙන ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ගෙනා අලුත් තාක්ෂණික උපකරණයක් තිබුණා. ඒකත් ගෙන ගියා. අදටත් මට ඒක නැහැ. අලුත් වාහනවලින් දෙකක් ඉතුරු කර තිබුණා. මගේ ආරක්ෂක නිලධාරීන් කිව්වා අගමැතිතුමාට වාහනයක් නැහැ කියලා. අංක පෙන්වා ඒ දෙක ඉල්ලුවා. ඒ දෙකත් රනිල් වික්‍රමසිංහ මහතාට දුන්නා. මම අවුරුදු දෙකක් පාවිච්චි කළේ මහින්ද රාජපක්ෂ මහත්තය යන්නෙ නැතිව අයින් කරපු වාහන. අවුරුදු දෙකකට පස්සේ මුදල් ඇමැති රවි දුන්නු සල්ලිවලින් වාහන දෙකක් ගත්තා.'

මේ ප්‍රකාශය ඇසූ ෂෙහාන් සේමසිංහ එවලේම මහින්දට ඇමතුමක් ගත්තේය.

'මොකක්ද සර් අර අරන් ආවා කියන තාක්ෂණික උපකරණය'

'ඔව් ඔව් මටත් දැනගන්න ලැබුණා එහෙම කතාවක් කිව්වා කියලා' 'මීටර් 100ක් ඇතුළෙ තියෙන පුපුරන ද්‍රව්‍ය දැනගන්න පුළුවන් යන්ත්‍රයක් සර් අරගෙන ආවා කියන්නෙ ඇත්තද?'
'මොන බොරුද! මම ඔය ආරක්ෂක අංශවල වැඩ ගැන හොයන්න ගියේ නැහැ. මහින්ද උත්තර දුන්නේය.'

සියඹලාණ්ඩුවට අමතරව ලංකාව තුළ වෙනත් ආණ්ඩුවක් නැත

ජනාධිපති මෛත්‍රිගේ සෝභිත හිමි සැමරුම් කතාව ගැන ඒකාබද්ධ විපක්ෂය නිකුත් කළ නිවේදනයේ ඩලස් අලහප්පෙරුම මෙසේ කියා තිබේ.

ශ්‍රී ලනිපයට අනුව අග්‍රාමාත්‍යවරයා චෞරයෙකි. ජනාධිපතිවරයාට අනුව කැබිනට් ප්‍රකාශක මොළේ අමාරුකාරයෙකි. අර්ජුන ඇමැතිට අනුව ජනාධිපතිගෙන් හෝ අගමැතිගෙන් මෙලෝ වැඩක් නැත. රටේ පිහිටට සිටින්නේ උඩ ඉන්න දෙවියන් පමණි. රංගේ බණඩාර ඇමැතිට අනුව සංවර්ධන තීන්දුවක් ගැනීමට පිස්තෝල ඇදිය යුතුව ඇත. සුජීව ඇමැතිට අනුව ඇමැති මණ්ඩලයේ සිටින්නේ හාල්පාරුවන් පිරිසක් පමණි.

එම නිසා පුරවැසි අපට අනුව පැහැදිලි වන්නේ සියඹලාණ්ඩුවට අමතරව ශ්‍රී ලංකාව තුළ අන් කිසිදු ආණ්ඩුවක් නොමැති බවය.

ඒකාබද්ධ විපක්ෂ නිවේදනයේ මෙසේද සඳහන් වේ
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පත්කිරීම සම්බන්ධව 31(අ) (ආ) වගන්ති ප්‍රකාරව එනම් ඡන්දයෙන් තේරී පත්වූ නව ජනාධිපතිවරයකු සිය ධුරයේ නිල වශයෙන් දිවුරුම් දෙනතුරුම එතෙක් ධුරයේ රැඳී සිටින ජනාධිපතිවරයාගේ බලතල බලාත්මක වේ යන ව්‍යවස්ථානුකූල අර්ධ නිරූපණය අනුවම මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කරමින් තම ගම්බිම් බලා පිටත් වීම සඳහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් පහසුකම ලබා ගන්නා ලදී.

එහිදී එතෙක් දිවුරුම් නොදුන් හෝ නිල වශයෙන් පත්වීම් නොලද කිසිදු බලධාරියකුගෙන් අනුමැතියක් හෝ විමසීමක් එතුමා නොකරන ලද අතරම රාජ්‍ය නායකයා ලෙස සිය සෘජු සහ පරිණත බව ප්‍රදර්ශනය කරමින් තීන්දු තීරණ ගන්නා ලදී. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා අරලිගහ මැඳුරෙන් නිල වශයෙන් සමුදී පැය 10කට පසු එනම් ප.ව. 6.20ට පමණ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන ලදී.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙලිකොප්ටර් භාවිත කිරීම සම්බන්ධව, නීති විරෝධීව උදවු පදව් ලබාගත් බව ඒත්තු ගැන්වීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමු. මහින්ද රජපක්ෂ මහතා රාජ්‍ය නායකයකු ලෙසත්, දේශපාලනඥයකු ලෙසත් බැගෑපත්වීම, බයාදුවීම හෝ වර්තමාන රජයේ නායකයන් සේ පින්සෙණ්ඩුවීම කිසිසේත් සිදු නොකරන නායකයකු බව ජාත්‍යන්තරයද පිළිගත් සත්‍යයකි.

තවද මේ සම්බන්ධව 2016 අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරයා විසින්ම කියා සිටියේ සම්පූර්ණ වෙනස් කතාවකි. එනම් හිටපු ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් පසු මැදමුලන දක්වා ගමන් කිරීමට තම උපදෙස් හෙලිකොප්ටර් ලබාදුන් බවය.

කෙසේ නමුත් මෑතක සිට ජනාධිපතිවරයා යම් යම් සිද්ධීන් පිළිබඳ පරස්පර ප්‍රකාශයන් සිදු කරන බැවින් තවදුරටත් මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සුදුසු නොවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon