දුප්පතාට කෝ සැප ලෝකේ

  👤  4861 readers have read this article !
2018-06-03

මේ සිටින්නේ ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාය. දුගී පැලකට ඔහු ගොඩ වී සිටී. මේ රටේ දුප්පත්කම වඩාත්ම අත්විඳි රාජ්‍ය නායකයා ලෙසද ඔහු හැඳින්විය හැකිය. මේ කල්පනා කරන්නේද දුප්පතාට කෝ සැප ලෝකේ කියා වන්නට පුළුවන. ප්‍රේමදාස මහතාගේ රාජ්‍ය පාලන සංකල්පය වූයේ නැති බැරි අය ඇති හැකි අය කිරීමය. එය ජය ගැන්මට බොහෝ වෙහෙස දැරූ නමුදු අදත් නැති බැරි අය නැති බැරි අයමය.

ප්‍රේමදාස මහතා සහ දුගී දුප්පත් ජනතාව අතර නොබිඳෙන සම්බන්ධතාවක් පැවැතියේය. ඔහු මේ ගොඩවැදී සිටින්නේ දුප්පතකුගේ පැලකටය. ගෙහිමියා නැත. මේ ගෙහිමියාගේ නිදි යහනයි. ප්‍රේමදාස මහතා එහි ගොඩවැදී ඇත්තේ අනවසරයෙනි. මේ නිවෙසේ භාරකරු පැමිණෙන තුරු රැඳී සිටිනවා විය යුතුය.

එය බ්ලොග් ගලින් බඳින ලද නිවෙසකි. ගෘහ මූලිකයා ගොවි මහතකු විය යුතුය. තරමක් විශාල කුඹුරු යායක වැඩ කරන්නෙක් බව පෙනේ. සාම්ප්‍රදායික ගොවි නිවෙසක දකින උදලු දෙකක් ඇඳ යට තිබේ. තවත් උදැල්ලක් ඇඳ පාමුල තිබේ. උදලු තුනම මිට දිග මඩ උදලුය. බිතක්කනේ තිබෙන්නේ මඩ පෝරුගාන වඩා දිග උදැල්ලය. ගොවි මහතාගේ කුඹුරු පිහිටා තිබෙන්නේ කැලෑ මායිමේය. නිතර පොරව අවශ්‍ය නිසා එය ඇඳ යට අතේ දුරින් තිබේ.

ප්‍රේමදාස මහතා සුපුරුදු රෙදි බැනියම් ඇඳ සිටී. ඇඳ පාමුල පැත්තෙන් වාඩි වී සිටින්නේ ගොවියා පැමිණෙන තුරු අනවසරයෙන් ගෙට ඇතුළු වී අෑඳිගත් නිසා විය යුතුය. අනුන්ගේ තැනක තමන්ගේ තැනක වාගේ හරි හරියට වාඩි වෙන සිරිතක් නැත. දුප්පත් ගොවියාගේ අල්පේච්ඡ ජීවිතය ගැන ප්‍රේමදාස මහතා කම්පාවට හා දුකට පත්ව සිටින බව දෙනෙතේ බැල්ම කියයි. දුප්පතාට කෝ සැප ලෝකේ. මේ නිවෙසේ ජීවත් වන ගොවියා මැදි වියද පසුකළ වියපත් තැනැත්තෙකි. ඔහුට ඇඹේණියක් නැති බව වටපිටාව අනුව සිතාගත හැකිය. ඇය කලකට ඉහත මිය පරලොව ගියාවත්ද? ඇගේ අතින් වියන ලද රටා පැදුර තවමත් වැල් ඇඳේ තිබේ. ඔහුට හැමදාමත් නින්දට යනවිට රටා වියපු අත්දෙක සිහි වෙනවා ඇත. හිතේ දුකට එතකොට කවි කියැවෙනවාත් ඇත. ඔහු අතීතය මෙනෙහි කමින් බුලත් විටක් සපනවා හැර මොනවා කරන්නද? විට කන වාරයක් වාරයක් පාසා පිස දැමූ හුනු ඇඟිලි සලකුණු ඇඳ කකුල්වල දකින්නට තිබේ. ප්‍රේමදාස මහතා සිතන්නේ දුගී පැල රජ මාලිගයක් කරන්නේ කෙසේද යන්න විය හැකිය.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon