බි්‍රතාන්‍ය ආධිපත්‍යය ඉන්දියාවේ තහවුරු කළ හැටි

  👤  4795 readers have read this article !
2018-06-03

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ලංකාව යටත් කර ගැනීම සඳහා සටන්වැද සිටි වකවානුවේම ඉන්දියාවේද සටන් මෙහෙය වූහ. අපේ කන්දඋඩරට රාජධානිය යටත් කර ගැනීමට 19 වැනි සියවසේ මුල සටන් වැදුණු අයුරින්ම පන්ජාබය අල්ලා ගැනීමටද සටන් කළහ. එවකට ඉන්දියාවේ එකම ස්වාධීන රාජ්‍යය වූයේ පන්ජාබය පමණි. 1848 උඩරට කැරැල්ල මර්දනය කළ කාලයේම පන්ජාබය බි්‍රතාන්‍ය කිරීටයට යටත් විය.

පන්ජාබය යටත් වීමත් සමඟ බි්‍රතාන්‍ය ආධිපත්‍යය කාශ්මීරයේ සිට කොමරින් තුඩුව දක්වාද හින්දුකුෂ් කඳු වැටියේ සිට ඇසෑමය දක්වාද විහිද ගියේය. ඉන්දියානු ජනතාව තම නිදහස පාවාදී අධිරාජ්‍යවාදීන්ට හිස නැමුවේ නැත. 1857-58 වර්ෂවල ඇතිවූ මහා කැරැල්ල ඉන්දියාවේ දේශීය පාලක පන්තිය අධිරාජ්‍ය පාලනයට එරෙහිව හෙළුෑ අවසන් සුසුම් පොද වූයේය. 1858දී අවසාන මෝගල් අධිරාජයා බුරුමයේ රැංගුන් කරා පිටුවහල් කරනා ලද්දේ ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරිසියට පිටුවහල් කළ පරිද්දෙනි. 1858 සිට 1947 දක්වා වසර 90ක් මෝගල් බලකොටුව මත බි්‍රතාන්‍ය ධජය ලෙළ දුන්නේය.

ප්‍රථමයෙන් යටත් විජිතයක්ම පමණක් වූ ඉන්දියාව ඇයටම ආවේණික ආර්ථික, දේශපාලන හා භූගෝලීය කරුණු හේතු කොටගෙන ක්‍රමයෙන් අධිරාජ්‍යයක් බවට පරිවර්තනය වෙමින් තිබිණි. ඉන්දියාව ලන්ඩනයේ අධිකාරීන්ට යටත්වූ නමුදු තම අයිතීන්ට හිමිකම් කියමින් මවු රටේ ආණ්ඩුව සම්පූර්ණයෙන් එකඟ නොවූ ප්‍රතිපත්තීන් ක්‍රියාවේ යෙදවීමට බල කරමින් සිටියේය. ඉන්දීය නායකයන්ගේ එම උත්සාහය චීනය, ඇෆ්ගනිස්තානය හා පර්සියාව ආදී රාජ්‍යයන්ගේ බි්‍රතාන්‍ය ප්‍රතිපත්තිය සකස්වීමට බලපෑවේය. ඉන්දියානු ජාතිකවාදය ඊළඟ යුගයේදී නව ආසියාවේ හැඩගැස්මටද අතිශය වැදගත් වූයේය.

1858 ඇතිවූ අධිරාජ්‍ය විරෝධී කැරැල්ලේ එක් ප්‍රතිඵලයක් වූයේ ඉන්දියාවේ පාලනය බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට පැවරීමය. 1946 දක්වාම ඉන්දීය ආණ්ඩුව රාජ්‍ය ලේකම්වරයකු යටතේ බි්‍රතාන්‍ය විසින් පාලනය කළේය. ඉන්දියාව සම්බන්ධ වැදගත් තීරණ ගනු ලැබූවේ බි්‍රතාන්‍ය කැබිනට් මණ්ඩලය විසිනි. ඉන්දියාවේ ඉංගී්‍රසි ප්‍රතිරාජයාගේ බලතල එමඟින් සීමා කොට තිබිණි. ඉන්දියාවේ සිටි ඉතා විශිෂ්ට ප්‍රතිරාජයා ලෙස බි්‍රතාන්‍යයන් සැලකූ කර්සන් සාමි ප්‍රකාශකර තිබුණේ ඉන්දීය ආණ්ඩුව බි්‍රතාන්‍ය රජයේ ශාඛාවක් බවය.

බි්‍රතාන්‍යයන් ඉන්දියාව පාලනය සඳහා සිවිල් සේවාවක් පුහුණු කළ අතර එහිදී වැඩි අවධානය යොමු කළේ ඔක්ස්පර්ඩ්, කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලවලින් පිටවන ඉන්දියානු ප්‍රභූ පැලැන්තියේ දරුවන් කෙරෙහිය. සිවිල් සේවාවේ පන්ති තත්ත්වයද අධිරාජ්‍ය සම්ප්‍රදායද එමඟින් ආරක්ෂා කර ගන්නා ලදී. එහෙත් 1919 දක්වාම සිවිල් සේවාවේ ප්‍රධාන නිල මෙන්ම, විනිශ්චයකාරවරු හා නීතිය හා සාමය රැකීමේ තනතුරු පැවැතියේ සුදු ජාතිකයන් අතය.

ඉන්දියාවේ ආරක්ෂාව එංගලන්තයෙන් පත් කරන ලද සෙන්පතියකු යටතේ පැවැති අතර භට හමුදාව සිපොයි භටයන්ගෙන් සමන්විත වූයේය. ඔවුහු අතර හින්දු, සික් හා මුස්ලිම් භටයෝ වූහ. ඔවුන්ට ආගම් ඇදහීමේ ඉඩපහසුව සලසා තිබූ අතර ඒ තුළින් දේශපාලන අදහස් පැතිරවීමේ ඉඩ වළක්වා තිබිණි. සික්වරු රාජ්පුත්වරු, පංජාබ් මුස්ලිම්වරු, බලුකිස්වරු ආදී ජනවර්ග හමුදාවට ඇතුළු කරගන්නා අතරම භේද කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවේ යෙදවිණි.

කාර්මික විප්ලවය දියත් වීමත් සමඟ ඉන්දියාව තුළ බදු අය කිරීම් ඉහළ දැමුණු අතර ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවන පොරොන්දුව පිට දුම්රිය මාර්ග තැනීම බි්‍රතාන්‍ය සමාගම්වලට භාර දෙන ලදී. තේ, රබර්, කෝපි හා නිල් අවරිය වගාව සඳහා වැවිලි සමාගම් ඉන්දියාවට කැඳවීය. ප්‍රාග්ධනය සපයන ලද්දේ බි්‍රතාන්‍ය රජයෙනි. එමඟින් බිහාරයේ ඇසෑමයේ වතු අධිරාජ්‍යයක් බිහිවූ අතර ඉන්දීය කුලීකරුවා වතු හිමියාගේ දේපොළක්ම පමණක් විය.

යුරෝපීය ජාතිකයන්ට පදිංචිවීමේ අනුමැතිය ලබා දෙන 'මුඩු බිම් පනත්' සම්මත කළේය. විශාල වැවිලි ඇති කිරීම සඳහා සෞම්‍ය දේශගුණය සහිත ප්‍රදේශවල විශාල ඉඩම් යුරෝපීයයන් සඳහා වෙන්කර දෙන ලදී. වතු හිමියෝ නීතියට ඉහළින් සිටි කෘෘර සුදු ජාතිකයන් වූ අතර වහල් සේවයට සමාන තත්ත්වයක් නැවත ඇති කළහ. රජයේ නිල් අවරිය කොමිසම සඳහන් කර තිබුණේ මින් පසු කිසි කලෙක ඉන්දියාවේ නිවහල් මිනිසකු බිහි නොවන බවය. බි්‍රතාන්‍ය ප්‍රාග්ධනය සඳහා සිදුකළ මෙම අනුකම්පා විරහිත සූරාකෑම නිසා ඉන්දියාවේ ජනයා භාජන වූ දුඛිත පිළිබඳව බෙංගාලයේ නිල් අවරිය කොමිසමේ වාර්තාවේ සඳහන්වේ. නීල දර්පනය හෙවත් නිල් අවරිය කැඩපත යන බෙංගාල දෘශ්‍ය කාව්‍යය බි්‍රතාන්‍ය පාලනයේ මෙම අඳුරු පැත්ත අනාවරණය කළේය.

ශි්‍රයානි අජන්තා විතාන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon