ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  4363 readers have read this article !
2018-05-25

ජේ.ටී. ද සිල්වා, පහන් විජේසේකර

දේශපාලනඥයන් වගේම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ගැන ජනතාව තුළ තිබෙන්නේ අපුලක්-සුනිල් හඳුන්නෙත්ති

දේශපාලනඥයන් වගේම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාව තුළ තිබෙන්නේ ඉතාම අපුල සහගත තත්ත්වයක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

සෑම තේ කිලෝවකින්ම රුපියල් 3.50 බැගින් අය කර ඇතිකර තිබෙන අරමුදලේ මිලියන අටදහසක් තිබෙනවා. ඒ මුදල මඟින් තේ ප්‍රවර්ධනයට මොනවද වෙලා තියෙන්නේ.

අද තේ අලෙවි ප්‍රවර්ධන අරමුදල 'සිලෝන් ටී' නාමය ආරක්‍ෂා කිරීමට සමත් වී නෑ.

තේ කර්මාන්තයටත්, තේ කර්මාන්තයේ යෙදෙන අයට දැනෙන කිසිවක් මේ අරමුදලෙන් සිදුවෙලා නැහැ.

තමුන්නාන්සේලා කරන තේ මංගල්‍ය දේශපාලන මංගල්‍යයක් වෙලා. තේ මංගල්‍යයෙන් තේ ප්‍රචාරණය වෙලා නැහැ. තේ ප්‍රවර්ධන අරමුලෙන් ණය දෙනවා මුදල් තියෙන සමාගම්වලට. ණය ලැබෙන්න ඕනෑ මිනිසුන්ගේ අතට මේ ණය යන්න ඕන. ලැයිස්තු බැලුවම කාටද මේ ණය ලබාදී තිබෙන්නේ කියලා බලාගන්න පුළුවන්.

තේ කර්මාන්තය රටේ දියුණු කරනවාද නැද්ද කියන එකේ විශාල කාර්යභාරයක් තේ මණ්ඩලයට තියෙනවා. ඒ කාර්යභාරය තේ මණ්ඩලය ඉටු කරන්න ඕනෑ.

ගංවතුර හා පස් කඳු කඩා වැටීම නිසා උඩරට සහ පහතරට තේවලට හානි පැමිණෙනවා. මේ හානි සඳහා තේ ප්‍රවර්ධන අරමුදලෙන් හෝ ආධාර ලබාදෙන ලෙස ඉල්ලනවා.

ශ්‍රී ලංකා තේ ප්‍රවර්ධනයට අද මේ සංශෝධන මඟින් ඇති කෙරෙන තනතුරට පත් කෙරෙන අයගෙන් යම් කාර්යභාරයක් සිදුවුවහොත් ජනතාව තුළ තිබෙන සැකය නැති වෙන්න පුළුවන්.

වතු නොරකින සමාගම්වල කටයුතු නියාමනයට පියවර ගන්නවා-නවීන් දිසානායක

රජය සතු තේවතු පාලනය කරන සමාගම් අතුරින් එම වතු ආරක්ෂා නොකරන සමාගම්වල කටයුතු පිළිබඳ නියාමනය කිරීමට නීතිමය තත්ත්වයක් ඇති කිරීමට පියවර ගන්නවායැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක පැවැසීය.

තේ මණ්ඩලයේ සියලුම නිලධාරීන් අතර කිසිම බෙදීමක් නැහැ. ඒ අය ඉතාමත් සහයෝගයෙන් එකමුතුව කටයුතු කරනවා.

එදා තේ මණ්ඩලයේ සභාපති කතා කළේ ජනාධිපතිවරයාට විතරයි. අද එවැනි තත්ත්වයක් නැහැ.

අද තේ සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා. තේ මණ්ඩලයේ මුදල් එසේම මුදල් ඇමැතිතුමා ලබාගැනීමට ගිය අවස්ථාවේ ඇමැතිවරයා වශයෙන් ඊට විරුද්ධ වුණා.

මම ආයතනවලට නිලධාරීන් පත් කරන කොට සුදුසු අය තෝරාගෙනයි පත්කරන්නේ. තනතුරුවලට සුදුසුකම් තිබෙන අය පත්කරන්නේ නැත්නම් ඒ ආයතන කඩා වැටෙනවා.

මේ සංශෝධනයට අනුව කෙනකු පත් කරනකොට, තේ කර්මාන්තය ගැන හොඳට දැනුම ඇති ප්‍රවීණයෙක් තමයි පත් කරන්නේ.

තේ සඳහා අපේ තේවල තියෙන නම පලුදු වෙලා නැහැ. අපි තේවලට මිශ්‍ර කිරීම් කරන්නේ නැහැ. මිශ්‍ර කරණයෙන් අපේ තේවලට ලැබෙන මුදලෙන් එක රුපියලක් හෝ අඩු වුණොත්, කුඩා තේවතු හිමියන්ට තමයි ඒකෙන් පාඩු වෙන්නේ. ඒ නිසා බ්ලෙන්ඩින්වලට අපි ඉඩදෙන්නේ නැහැ.

තේ ප්‍රවර්ධනය සඳහා ඩොලර් මිලියන පනහක් තියෙනවා. ඒ මුදල් යොදවලා සමාජ වෙබ් අඩවි ඔස්සේ මුළු ලෝකයටම තේ පිළිබඳව ප්‍රචාරණයක් කරනවා.

මැදපෙරදිගින් අපට තේ අලෙවියේ අඩුවීමක් ඇතිවෙනවා නම් චීනයෙන් ඒ අඩුව මඟහරවා ගැනීමට හැකිවන බව මා විශ්වාස කරනවා.

තේ නැවත වගාව සඳහා දෙන බව කියූ සහනාධාරය තවම නෑ-කනක හේරත්

'තේ නැවත වගාව සඳහා ලබාදෙන බව කී සහනාධාරය තවම ලැබී නැහැ'යි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් පැවැසීය.

තේ වතු හිමියා නිසි ප්‍රමිතියකට පොහොර තේ ගසට නොයෙදීම නිසා නිෂ්පාදනය අඩුවී තිබෙනවා. තේ වගාව සඳහා ලබාදෙන බව කී සහන බොහොමයක් ලැබී නැහැ.

වල් නාශක තහනම නිසා, මාස තුනකට වරක් තේ අක්කරයක් සුද්ද කරන්න ඕන. ඒ සඳහා රුපියල් විසිදහසක් පමණ වැය කරන්න සිදුවී තිබෙනවා.
අපේ ලාංඡනය සඳහන් තේ වගේම 'බ්ලෙන්ඩඩ්' තේ නිෂ්පාදන පිළිබඳ උනන්දුවක් දක්වන්න ඕනෑ.

අපි තේවලින් වැඩිම ආදායමක් ලබා ගන්නේ ජපානයේ වෙළෙඳපොළෙන්. වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන තේ නිෂ්පාදනය කිරීම නිසා ජපානය තේ මිලදී ගැනීම අඩුවී තිබෙනවා.

චීනයට යවන තේ එහි වරායට ගියාට පසු ඒවාට ලැබෙන මුදල් ලබාගැනීමට දින 45ක් පමණ ගතවන බව දැනගන්නට තිබෙනවා. ඒ ගැනත් සොයා බලන්න.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගාව මාසයක් පමණ නවත්වා තිබෙනවා. කටුපොල් වගාව පිළිබඳ වාර්තාව ලබා දුන් නිලධාරියා මාරුකර තිබෙනවා. මේ මස නැවත කටුපොල් වගා කිරීමට යනවා. ඒ ගැනත් සොයා බලන්න.

සභාපතිවරු පත් කිරීමේදී දේශපාලනය නොසලකා දියුණුවට කටයුතු කරන ප්‍රවීණයන් පත් කළ යුතුයි-චාල්ස් නිර්මලනාදන්

"ඇමැතිවරු තමන් යටතේ පවතින ආයතන ස¼දහා සභාපතිවරු පත්කිරීමේදී දේශපාලන වශයෙන් සලකන්නේ නැතිව, එම ආයතනවල දියුණුවට කටයුතු කළ හැකි ප්‍රවීණයන් පත්කළ යුතුව ඇතැයි" දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි චාල්ස් නිර්මලනාදන් පැවැසීය.

"අපේ රටේ තේ නිෂ්පාදනය අලුතින් තේ වගා කරන රටවලට වඩා අඩු වී තිබෙනවා. සංකීර්ණ සමාජයක ගෝලීයකරණය ගැන සිතා කටයුතු කරන අධ්‍යක්ෂවරයකු පත්කිරීම වැදගත්.

"තේවලට අගය වැඩි කරන්නේ නැතිව ඒවා විකුණා ගන්න බැරි වෙනවා. මේ නව අධ්‍යක්ෂවරයකු පත් කරන්න ගත්ත තීරණය ඉතිහාස ගත වෙනවා"."ඔවුන්ට වැටුප් ප්‍රශ්න, ඉඩම්, නිවාස ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්න එකින් එක විසඳඟන්න ඕන."

යූ.එන්.පී. ආණ්ඩුව සමාගම්වලට දුන්
වතු දැන් කැලෑ වැදිල විනාශ වෙලා-මහින්දානන්ද අලුත්ගමගේ

මේ රටේ තිබුණු හොඳම වතු ටික යූ.එන්.පී. ආණ්ඩුව සමාගම්වලට දීලා. ඒ වතු ටික දැන් කැලෑ වැවිලා විනාශ වී ගොස් තිබෙනවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් 2,22,000ක තේ වගා කළ ප්‍රමාණය 2,03,000ක මට්ටමට අඩු වී තිබෙනවා.
නවීන් දිසානායක: ඉඩම් ප්‍රමාණය අඩු වුණාට නිෂ්පාදනය වැඩි වී තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ: තේ වතු පමණක් නෙවේ ඒවායේ වැඩ කරන සේවකයන්ද ඔබතුමා යටතට ගන්න ඕන.
මේ වතු සමාගම් ඇමැතිතුමා යටතේ නියාමනය කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන්න.

මේ වතු සමාගම් නඩත්තු කරන්න පසුගිය රජයන් කිසිම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක
කළේ නැහැ.

එකම කොම්පැනියකට එක දිගටම වතු නොදී නැවත ලබාගෙන සංවර්ධනය කළ යුතුයි-වාසුදේව නානායක්කාර

කොම්පැනිකාරයන්ට ලබාදී තිබෙන ආණ්ඩුවේ වතු විනාශ වී ගොස් තිබෙනවා. එම වතු දිගටම එකම කොම්පැනියකට නොදී ඒවා ආපසු ලබාගෙන සංවර්ධනය කරන්න යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පැවැසීය.

මේ වතුවල සේවය කරන කම්කරුවකුට දර කෑල්ලක් කඩාගන්න කොම්පැනිකාරයන් ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් ඒ වතුවල තිබෙන වටිනා ගස් කපා තිබෙනවා. ආණ්ඩුව හොඳට ලාභ ලබමින් තිබුණු වතු තමයි කොම්පැනිවලට දුන්නේ. ඒ වතුවල කළමනාකරණ ගාස්තු කියමින් ඔවුන්ගේම වෙනත් සමාගම්වලට විශාල වශයෙන් මුදල් ගෙවනවා. ලාභයක් පෙන්වන්නේ නැහැ. හැම වෙලාවෙම පාඩුයි කියනවා.

ලංකාවේ සියයට හැටක් තේ නිෂ්පාදනය කරන්නේ කුඩා තේවතු හිමියන්. නමුත් ඔවුන් සතුව තිබෙන්නේ සියයට හතළික භුමියක්.

සෞඛ්‍ය ඇමැති ජනපති වගේ අනාගෙන හැම අමාත්‍යාංශයකටම අත දානවා-ජානක වක්කුඹුර

සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති වගේ අනාගෙන තියෙන්නේ. හැම අමාත්‍යාංශයකටම අත දානවා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර පැවැසීය.

තමන්ට පවරා ඇති වගකීම සෞඛ්‍ය ඇමැතිවරයා හරිහැටි ඉටු කළා නම් මේ උණ රෝගයෙන් දකුණේ දරුවන් මේ අන්දමට මිය යන්නේ නැහැ.
දැන් ගංවතුර බැස යද්දී රෝග පැතිරෙනවා. සමහර රෝහල් හවස් වරුවේ හතරෙන් පස්සේ වහනවා. ගිලන් රථයක් නැති නිසා රෝගීන් නතර කර ගන්නේ නැහැ කියලා සමහර රෝහල් කියනවා. සමහර රෝහල්වල ඉන්නෙ එක වෛද්‍යවරයයි. රෝහලක් පැය විසිහතරක් පවත්වාගෙන යා යුතුයි. දකුණේ පැතිරෙන මේ වයිරස් උණ රෝගය රට පුරා ව්‍යාප්ත වීම නතර කිරීමට මැදිහත්වන ලෙස සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලනවා.

කටුපොල් වගාව නිසා විශාල හානියක් සිදුවෙලා -බන්දුලාල් බණ්ඩාරිගොඩ

කටුපොල් වගාව නිසා විශාල හානියක් සිදුවී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

කටුපොල් නිසා ජලය හිඳෙනවා. මේ කටුපොල් භෝගය විනාශ කරන්න කටයුතු කළ යුතුයි.

එසේ නොකළහොත් අපේ රටේ හැම බිම් අඟලකම කටුපොල් වගා කරන්න පුළුවන්.

වැවිලි ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ජනතාවට ගැටලු තිබෙනවා. ඇමැතිතුමා මැදිහත් වෙලා ඒ ගැටලුවලට විසඳුම් ලබාදෙන මෙන් ඉල්ලනවා.

දකුණේ වයිරස් උණ රෝගය සෑම වසරකම දෙවතාවක් පැතිරෙන අවදානමක් තිබෙනවා-ෆයිසාල් කාසිම්

දකුණු පළාතේ ව්‍යාප්ත වූ වයිරස් රෝගය සෑම වසරකම දෙවතාවක් පැතිරයෑමේ අවදානමක් පවතිනවා යැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ෆයිසාල් කාසිම් පැවැසීය.

පසුගිය වතාවේ එය වෙනත් පළාතක පැතිර ගියා. මේ වයිරස් උණ අපි නිතරම අධීක්‍ෂණය කරනවා. අද පවතින වැසි කාලගුණය නිසා විවිධ රෝග පැතිරෙනවා.
මේ තත්ත්වය සාමාන්‍ය කිරීමට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස මම සහතික වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් මෙය කරන්න බැහැ. මෙයට ජනතා සහයෝගය අවශ්‍යයි.රෝගී තත්ත්වය උග්‍ර වුණාම තමයි රෝගීන් රෝහලට රැගෙන එන්නේ. කුමන ආකාරයක රෝගයක් වැලඳුණත් රෝහලට යන්න කියා ජනතාවට අපි කියනවා. අවශ්‍ය සියලු පහසුකම් රෝහල්වලට අපි ලබාදී තිබෙනවා.

කාරක සභා හය නම් කෙරේ

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) යන කාරක සභා හය සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කර ඇති මන්ත්‍රිවරු කථානායක කරු ජයසූරිය විසින් ඊයේ (24දා) පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව

කථානායක (සභාපති), නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති ඇතුළු අජිත් පී. පෙරේරා, විජිත හේරත්, චන්දිම වීරක්කොඩි, ජේ.එම්. ආනන්ද කුමාරසිරි, එම්.ඒ. සුමන්තිරන්, ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රිවරු

පාර්ලිමේන්තු මහජන පෙත්සම්

පිළිබඳ කාරක සභාව

වජිර අබේවර්ධන, සුජීව සේනසිංහ, ඩග්ලස් දේවානන්ද, සාලින්ද දිසානායක, මහින්ද යාපා අබේවර්ධන, සුසන්ත පුංචිනිලමේ, නිහාල් ගලප්පත්ති, බිමල් රත්නායක, රංජිත් අලුවිහාරේ, අනුර සිඩ්නි ජයරත්න, ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න, ක. තුරෙයිරත්නසිංහම්, වෛද්‍ය රමේෂ් පතිරණ, විදුර තිලකරාජා, මුහම්මදු ඉබ්රාහිම් මහම්මදු මන්සූර්, වෛද්‍ය තුසිතා විජේමාන්න, චමින්ද විජේසිරි, ශක්ති ශ්‍රී ස්කන්ධරාසා, වෛද්‍ය එස්. සිවමෝහන්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

ලසන්ත අලගියවන්න, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, සුසන්ත පුංචිනිලමේ, බිමල් රත්නායක, ජේ.එම්. ආනන්ද කුමාරසිරි, මාවෙයි සේනාධිරාජා, ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න, පූජ්‍ය අතුරලියේ රතන හිමි, වෛද්‍ය රමේෂ් පතිරණ, ඊ. සරවනබවන්, එම්.ඒ. සුමන්තිරන්, ශෙහාන් සේමසිංහ, අජිත් මාන්නප්පෙරුම, මයිල්වාගනම් තිලකරාජා මයන්ත දිසානායක, ආශු මාරසිංහ, වෛද්‍ය තුසිතා විජේමාන්න, විජේපාල හෙට්ටිආරච්චි යන මන්ත්‍රිවරු

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

කථානායක (සභාපති), නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, විරුද්ධ පක්ෂයේ නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විරුද්ධ පකෂයේ ප්‍රධාන සංවිධායක, නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම, රවුෆ් හකීම්, මහින්ද සමරසිංහ, වෛද්‍ය රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, මනෝ ගනේෂන්, අජිත් පී. පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, රවි කරුණානායක, විජිත හේරත්, එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරු
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

රවුෆ් හකීම්, රවීන්ද්‍ර සමරවීර, ලක්ෂ්මන් සෙනවිරත්න, සුජීව සේනසිංහ, වසන්ත අලුවිහාරේ, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, ලසන්ත අලගියවන්න, රන්ජන් රාමනායක, අශෝක් අබේසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා, අනුර දිසානායක, චන්ද්‍රසිරි ගජධීර, මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, මාවෙයි සේනාධිරාජා, අබ්දුල්ලා මහරුෆ්, ජයන්ත සමරවීර, එස්. ශ්‍රී ධරන්, එම්.ඒ. සුමන්තිරන්, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය නලින්ද ජයතිස්ස, හර්ෂණ රාජකරුණා, ඥානමුත්තු ශ්‍රී නේෂන් යන මන්ත්‍රිවරු
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

මහින්ද සමරසිංහ, පී. හැරිසන්, ෆයිසර් මුස්තාපා, පාලිත රංගේ බණ්ඩාර, නිරෝෂන් බණ්ඩාර, නිරෝෂන් පෙරේරා, සුජීව සේනසිංහ, ඉරාන් වික්‍රමරත්න, ලසන්ත අලගියවන්න, සෙයිඩ් අලී සාහීර් මවුලානා, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, විජිත හේරත්, වාසුදේව නානායක්කාර, නිහාල් ගලප්පත්ති, බිමල් රත්නායක, බුද්ධික පතිරණ, සින්නතම්බි, යෝගේෂ්වරන්, එස්. ශ්‍රී ධරන්, චන්දිම ගමගේ, උදය ප්‍රභාත් ගම්මන්පිල, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන, චාල්ස් නිර්මලනාදන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, එස්. වියාලේන්දිරන් යන මන්ත්‍රිවරු

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon