රට හදන තැන

  👤  4146 readers have read this article !
2018-05-23

ජේ.ටී. ද සිල්වා, පහන් විජේසේකර

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය (අංක 1) සහ (අංක 2) පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්.

ශ්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කරන කාර්යාලයේ ප්‍රධානියා අර්ජුන මහේන්ද්‍රන්-දයාසිරි ජයසේකර

ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කාර්යාලයේ ප්‍රධානියා ලෙස අර්ජුන මහේන්ද්‍රන් කටයුතු කරනවා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පැවැසීය.

සිංගප්පූරුව සමඟ අස්සන් කළ ගිවිසුමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ නෑ කියලා අද පාර්ලිමේන්තුවේ විශාල සාකච්ඡාවක් ඇති වුණා. මේ ගිවිසුම් ගතවීමේදී දේශීය කර්මාන්තවලට හානි වෙනවා නම් ඒ ගැන කතා කරන්න ඉඩ තියලා ඊට යටත්ව සාකච්ඡා කරන්න කියලා එදා අවධානය යොමු වුණා. වෙළෙඳ ගිවිසුමක් අස්සන් කරන්න ගියාම අපිට කිසිම ජාතික ප්‍රතිපත්තියක් නෑ.

මීට පෙර අස්සන් කරපු ගිවිසුම් ගැන ශක්‍යතා අධ්‍යයනයක් කරලත් නෑ. විශේෂයෙන්ම ක්ෂේත්‍ර ආරක්ෂණ ක්‍රමයක් තිබිය යුතුයි. හැබැයි අපේ රටේ තියෙන රැකියා ටිකත් විදේශ ශ්‍රමිකයන්ට ලබා දෙන්නත් හදනවා නම් මොකක්ද රටේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය. අපේ රටේ වෘත්තීයවේදීන් එකතුවෙලා ජාතික පෙරමුණක් විදියට පෙළ ගැහිලා රටක ආණ්ඩුවක් වෘත්තිකයෝ රකින්නේ නැතිනම් ඔවුන්ට සිද්ධවෙලා උද්ඝෝෂණය කරන්න.

මේ වෙළෙඳ ගිවිසුම නිසා විශාල අවාසි ගණනාවක් රටට අත් වෙනවා. පළමුවැනි ඡේදයේ පැහැදිලිව තියෙන විදියට ලංකාවේ වෘත්තිකයන්ගේ වෘත්තිය ආරක්ෂා කරන ක්‍රමවේදයක් නෑ. නමුත් සිංගප්පූරුවේ එහෙම නෑ.

හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කිව්වට ර්ධඤඥ -3 වහලා කිව්වට මෑන්පවර් ක්‍රමය යටතේ ඕනෑම කෙනකුට මේ රටට ඇවිත් රස්සාවක් කරන්න පුළුවන්. ඒ වගේම ගිවිසුමේ 17 වැනි පරිච්ඡේදයේ තියෙනවා සදාකාලික ගිවිසුමක් බව. මෙය අවසන් කිරීමක් හෝ ඉවත් කිරීමක් ගැන කොන්දේසි කිසිවක් නෑ. සාකච්ඡා කරලා අපේ අදහස් අනුව වෙනස් කරන්න බැහැ.

සාකච්ඡා කරලා බැරිම තැන අපිට යන්න වෙන්නේ බේරුම්කරන ක්‍රියාවලියකටයි. එකක් සිංගප්පූරුවේ. සිංගප්පූරුවට ගිහින් ඩොලර් මිලියන ගණන් දීලා හිරවෙලා තමයි බේරුම්කරණයට යන්න වෙන්නේ.

ඒ විතරක් නෙමෙයි මෙයාකාර ඇමැතිවරයෙක් තනි මතයට පාරිභෝගික බදු වෙනස් කරන්න අවස්ථාව ලැබෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් වුණත් ඇමැතිට පුළුවන් ටැක්ස් බින්දුවට දාලා ගෙන්වන්න.

මලික් සමරවික්‍රම

මන්ත්‍රිතුමා ඔබතුමත් කැබිනට් එකේ හිටියා මුකුත් කිව්වේ නෑනේ එදා.

දයාසිරි ජයසේකර

ඔබතුමා මෙතැන හිටියේ නෑ. මං මුලදි කිව්වා කැබිනට් එකේ කතා කරන්න වුණේ නෑ. මෙය හදිසියේම අනුමත වුණු බව.

ඔබතුමාගේ අවංකභාවය ගැන මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ගිවිසුමේ අන්තර්ගතය ගැන හොඳට සාකච්ඡා කරලා බලන්න. කරුණාකරලා පරණ ගිවිසුම් ගැන ශක්‍යතා අධ්‍යයනයක් කරන්න. මේ පිළිබඳ අධ්‍යයනය කරන්න කමිටුවක් හෝ පත් කරන්න.

මේ රටේ තිබෙන්නේ කබරගොයි පැනලා යන අහිංසක තලගොයන් අහුවෙන නීතියක්සුනිල් හඳුන්නෙත්ති

මේ රටේ තිබෙන්නේ කබරගොයි පැනලා යන අහිංසක තලගොයන් අහුවෙන නීතියක්. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

ගංවතුර ප්‍රශ්න ගැන මේ පාර්ලිමේන්තුව ඇතුළේ කෑ ගැහුවට වැඩක් නෑ. මහජන නියෝජිතයන් විදියට එළියට යා යුතුයි. මේ වගේ ආපදා කටයුතුවලදී අඩුම දායකත්වය සැපයෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයෙන්. අපිට ජනතාවට කියන්න තියෙන්නේ ගංවතුරෙනුයි, ආණ්ඩුවෙනුයි පරිස්සම් වෙන්න කියලා.
මේ පනත ගැන කිව්වොත් මට එක ගැටලුවයි තියෙන්නේ. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පනත පසුගිය රජය ගේනකොට බරපතළ ලෙස විවේචන එල්ල කළා.

ඒ වගේම එක්සත් ජාතික පක්ෂයත් මේ පනතම දැන් ක්‍රියාත්මක කරනකොට එජාපය තමන්ගේ දේශපාලන දර්ශනය පදනම් කර ගන්නේ නැද්ද? 2014 ජුනි 16 මේ ගැසට් එක ගහද්දී ඒ පැත්තේ හිටිය අය මේ පැත්තේ. එදා මොවුන් කිව්වේ මේවා හානිකරයි. මේවායින් බැසිල්ලට කොමිස් යනවා කියලයි. දැන් ඔබතුමාලා කියනවා මේ ගිවිසුම් කාලය දික් කරනවා කියලා.

මලික් සමරවික්‍රම

කරුණාකරලා කොමිස් ගැන කතා කරන්න එපා. අපිට සල්ලි තියෙනවා. අපි සල්ලි හොයාගෙන තමයි මෙතැනට ආවේ. මෙතැන ඉඳන් සල්ලි හොයන්න ඕනේ නෑ අපිට.

සුනිල් හඳුන්නෙත්ති

කොහොමහරි අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නෑ. මේ ක්‍රමෝපාය සංවර්ධන පනත ගේන්නෙත් ඒ දවසටයි. ගිවිසුම් අස්සන් කරලා ඉවරයි ලබන අවුරුද්දේ මොකක් හරි කරමු කියලා.

ආයෝජන ප්‍රවර්ධන හැම පනතකටම මේ රටේ මාධ්‍ය, වෘත්තීය සංගම් විරුද්ධ වෙන්නේ නැහැ. ඔබතුමාලා කැමැති නම් අපි කියන්නේ වෘත්තීය සංගම් එක්ක මේ ගැන කතා කරමු මේ පරස්පරය නැති කරගන්න.

මේ රටට තියෙන එකම කෝකටත් තෛලය ආර්ථික සංවර්ධනයයි- මලික් සමරවික්‍රම

"මේ රටට තිබෙන එකම කෝකටත් තෛලය ආර්ථික සංවර්ධනය නිසා, ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම වැදගත් වෙනවා" යැයි, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඩොලර් බිලියන 1.7ක විදේශ ආයෝජන ලැබී තිබෙනවා. ලබන වසරේ එය ඩොලර් බිලියන 1.9ක් කිරීමට අපේක්ෂා කරනවා.

ජුනි මාසය වනවිට ආයෝජන මණ්ඩලය ඩොලර් බිලියන 1ක ව්‍යාපෘති ආරම්භ කරනවා. අපනයන ක්ෂේත්‍රයේ දියුණුවක් මේ වසර තුළ ඇතිවී තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දිනවල කරන ප්‍රකාශවලින් මේ රජය විදේශ ආයෝජන අතින් දියුණුවක් ලබාගෙන ඇති බව සනාථ කර තිබෙනවා.

අපි සිංගප්පූරුවත් සමඟ අස්සන් කළ ගිවිසුම නිසා රටට සෘජු ආයෝජන ලැබෙන බව කියන්න ඕනෑ.

බන්දුල ගුණවර්ධන

ගරු ඇමැතිතුමා, ඔබතුමා අස්සන් කළ සිංගප්පූරු ගිවිසුමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන තිබෙනවාද?

මලික් සමරවික්‍රම

ඔව්, කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා.

බන්දුල ගුණවර්ධන

ඔබතුමා අනුමැතිය ලබාගෙන නැහැ. ලබාගත්ත නම් ඒ දින ලබාදෙන්න.

මලික් සමරවික්‍රම

මමනෙ කැබිනට් එකට යන්නෙ. ඔබතුමා කොහොමද නැහැ කියන්නෙ. මම දිනවකවානු දෙන්නම්. මේ ගිවිසුම යටතේ විදේශීය ශ්‍රමිකයන්ට මේ රටට එන්න ඉඩ ලබාදී නැහැ. සිංගප්පූරු සමාගමක සේවය කරන සිංගප්පූරුවේ ස්ථිර පදිංචිකරුවකුට එරටට ඇවිත් ඒ සමාගමේ අවුරුදු දෙකක් පමණක් සේවය කරන්න පුළුවන්. එහෙම පැමිණෙන අයකුට ඒ සමාගමේ හැරෙන්න වෙනත් සමාගමක සේවය කරන්න ලැබෙන්නේ නැහැ.

මහ බැංකුව කොල්ලකාපු එවුන් සිංගප්පූරුවේ සුරසැප විඳිනවා- ඉන්දික අනුරුද්ධ

"රාජකීය විද්‍යාලයේ, රාජකීයයෝ ටික එකතුවෙලා භයානක පාලනයක් ගෙනයනවා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ පැවැසීය.

මහ බැංකුව කොල්ලකාපු එවුන් සිංගප්පූරුවේ සුරසැප විඳිනවා. දැන් අලුතෙන් සිංගප්පූරු කෝලමක් ගෙනල්ලා. එදා ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරද්දී අපි පොඩියි. දැන් ඒ ශාපය අපි තාම අත්විඳිනවා. ඉන්දියාවෙන් එන භාණ්ඩයකට අදාළ උපාංගයක්වත් මෙහේ හැදෙනවද? අද එහෙනම් ආණ්ඩුව කටයුතු කරන්න ඕනේ කොහොමද?

අද ආණ්ඩුවට, අගමැතිට, ජනාධිපතිට ජනප්‍රියත්වයක් නෑ. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයටයි අද ජනප්‍රියත්වය. කෝ මේ ආණ්ඩුව උතුරට දෙනව කිව්ව සංවර්ධනය. එදා රාජපක්ෂ පාලනය රේල්ලුව උතුරට ගෙනගියේ අද අරුණලු හෙට දකින්නයි.

අපේ රටේ ඉන්න ඉන්ජිනේරුවෝ, වෛද්‍යවරු පැහැදිලි කරනවා අද ඔවුන්ගේ අනාරක්ෂිතභාවය. නිෂ්පාදිත ආර්ථිකයක් හදන්න මේ ඔළුගෙඩිවලට මොළයක් පහළ වෙන්නේ නෑ. ව්‍යාපාරිකයෝ විදියට අපි දන්නවා විදේශිකයන්ට පහසුකම් සලසවන්න. කලින් දේශීය ව්‍යවසායකයන් දිරිමත් කළ යුතුයි. රටට ආදරය කරන නායකයන්ට ඉදිරියට එන්න දෙනවා. ජනතාව පැත්තේ හිටගන්න කැමැති නායකයන්ට මේ කෝලම් පේන්න බැහැ.

කවදාවත් නායකයෝ රකින්න යන්න එපා. ජනතාව රකින්න උත්සාහ කරන්න. මේ ගජ මිතුරු පාලනය බොහෝම දරුණු තත්ත්වයක් ඇති කරලා. රාජකීය විද්‍යාලයේ රාජකීයයෝ ටික එකතුවෙලා මේ ගෙනියන්නේ භයානක පාලනයක්.

මහින්ද රාජපක්ෂ කවදාවත් කිසිම දවසක මෙවැනි ගිවිසුම්වලට ගියේ නෑ. එතුමා විදේශිකයන්ට සැලකුවේ නැති වුණාට ස්වදේශිකයන්ට සැලකුවා. අපිට අවශ්‍ය වෙන්නේ සිහින නෙමෙයි. ලොරි ටෝක් නැව් ටෝක් දුන්නට වැඩක් නෑ.

එදා විපත් මඟට තල්ලු කරපු උදවිය අද වියත් මඟක් ගැන කතා කරනවා- අජිත් මාන්නප්පෙරුම

පසුගිය 2015 වසරේදී මෙරට විප්ලවයක් ඇති නොවුණා නම්, ජේම්ස් පැකර්ලා වැනි කැසිනෝකාරයන්ගෙන් මේ රට පිරී ඉතිරිලා යාවි යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම පැවැසීය.

පසුගිය කාලේ හිටියේ කප්පම්කාරයෝ. එදා විදේශ ආයෝජකයන්ට එන්න පුළුවන්කමක් තිබ්බේ නෑ. එදා ජාත්‍යන්තර නායකයෝ ආවාම ඇමැතිවරු පාරේ බුදියගන්නවා. ඉතින් විදේශ ආයොජකයෝ එයිද? අදත් අපිට තියෙන ප්‍රශ්නය ඒ විදේශීය ආයෝජකයන්ගේ බය නැති කිරීමයි. වැඩි පොලියට ණය අරගෙන මේ ගොල්ලෝ වරායවල් හැදුවා. අපි ඒකාබද්ධ ගිවිසුමක් ඇති කරගෙන අද ඒ වරාය ගොඩනඟාගෙන තිබෙනවා.

ණය ගෙවාගන්න බැරි වුණාම සමහරු වහ බොනවා, සියදිවි නසා ගන්නවා. එදා රාජ්‍ය නායකයන් අවුරුදු 10න් පැනලා ගියා. එදා ඉතිහාසය අමතක වෙලා තමයි අද කයිවාරු ගහන්නේ.

එදා මත්තල ගුවන්තොටුපොළ බලන්න ගියාම අපිට අඩන්තේට්ටම් කළා. සද්භාවයෙන් කරපු ආයෝජන නම් ඇයි මහජන නියෝජිතයන්ට යන්න නොදුන්නේ. අද වියත් මඟක් ගැන කතා කරනවා. එදා වියතුන්ට කතා කරන්න ඉඩක් තිබුණද? එදා විපත් මඟකට තල්ලු කරපු උදවිය අද වියත් මඟක් ගැන කතා කරනවා.

2015දී වෙලාවට මේ රටේ විප්ලවයක් වුණා. නැත්නම් ජේම්ස් පැකර්ලා වගේ කැසිනෝ කාරයන්ගෙන් මේ රට පිරිලා ඉතිරිලා.

දේශපාලන - ආර්ථික පරිහානියට විසඳුමක් ලෙස ආණ්ඩුව කරන්නේ විද්‍යාත්මක ක්‍රමයට ඇමැතිවරු මාරු කිරීමයි-චන්ද්‍රසිරි ගජධීර

රටේ ඇති වී තිබෙන දේශපාලන හා ආර්ථික පරිහානියට විසඳුමක් ලෙස ආණ්ඩුව සිදු කරන්නේ විද්‍යාත්මක ස්වරූපයකින් ඇමැතිවරු මාරු කිරීම පමණක් යැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර පැවැසීය.

නව ලිබරල් ආර්ථික සංකල්පය ලෝකයේ විකිණිලා ඉවරයි. ඒ ප්‍රතිපත්තියට ගිය රටවල්වල ආර්ථික විසමතාවන්, දුගීභාවයන් මෙන්ම සමාජ අසහනයන් ඇතිවෙලා තියෙනවා. අද මේ ආණ්ඩුව මුහුණ දෙන්නෙත් එවැනි අර්බුදයකටයි. දැන් එළියට බැස්සත් ගල් ගහන තත්ත්වයක් උදාවෙලා. මේකට ආණ්ඩුව දකින උත්තරය ඇමැතිවරු මාරු කරලා විද්‍යාත්මක ස්වරූපයකින් පවතින්න හදනවා.

අපේ රටේ බුද්ධිමතුන් පිටරටවල ඉන්නවා. මේ රටවල පුරවැසිභාවය ලබාගෙන සේවය කරනවා. එක උත්සාහයක්වත් ගත්තද අපේ රටේ පරිසරය ගැන දන්න ඔවුන්ව ගෙනැල්ලා බුද්ධිමය දායකත්වය ලබාගන්න. දන්න විදියටම යනවා. මේ ක්‍රමෝපාය සංවර්ධනය රටකට අවශ්‍යයි. ඊට අවශ්‍ය මානව සම්පත ඕනෑ. සැලසුම් හැදුවට වැඩක් නෑ පාඩු ලබනවා නම්. ජාතික වශයෙන් ශ්‍රම සම්පත, බුද්ධිමය දායකත්වය එක තැනකට එකතු කළ යුතුයි.

ලාඕසයේ ගම්මානයකට ගියා. සිල්ක් රෙදි පිළි කර්මාන්තය ඔවුන්ගේ ආවේණික කර්මාන්තයක්. අපේ රටේ එවැනි දේවල් තියෙනවද?

විදේශිකයන්ට නෙමෙයි අපිටවත් ගිහින් බලන්න එවැනි තැන් මෙහෙ තියෙනවද? ලෝකයේ අද්දැකීම් ලබා ගත යුතු වන්නේ ණය ගන්න විතරක් නොමෙයි අපේ ආර්ථිකය තෘප්තිමත් කරන්නයි.

ජෝන් අමරතුංග ඇමැතිතුමාට නියෝජ්‍ය නායකකම නොලැබුණේ කරපු නෝටි වැඩ නිසයි-මහින්දානන්ද අලුත්ගමගේ

ජෝන් අමරතුංග ඇමැතිතුමාට නියෝජ්‍ය නායකකම නොලැබුණේ ඔබතුමා කරපු නෝටි වැඩ නිසා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය.

විදේශ ආයෝජන නැතිව අපේ වගේ රටකට ඉදිරියට යන්න බෑ. ඒක ඇත්ත. අපේ රටට එන ආයෝජකයන්ට බදු ගහනවා. එතකොට ආයෝජකයෝ එනවද? අපි ඒ කාලේ සමාගම් බදු ගැහුවේ නෑ. අපේ රටේ මිනිසුන්ට බදු ගැහුවාම යන්න රටක් නෑ. නමුත් ඒ මිනිසුන්ට ආයෝජන කරන්න යන්න රටවල් තියෙනවා. එයාලා ආයෝජනය කරන්න මුදල්, අමුද්‍රව්‍ය සියල්ල අරගෙන එනවා නම් ඇයි බදු ගහන්නේ? ඔබතුමා පාර්ලිමේන්තුවට බොරු කියන්න එපා

මලික් සමරවික්‍රම

මම කවදාවත් මේ පාර්ලිමේන්තුවට බොරු කියල නෑ.

මහින්දානන්ද අලුත්ගමගේ

ඔබතුමාගේ පළමුවැනි බොරුව වැඩිම විදේශ ආයෝජන බිලියන 1.7ක් ගෙනාවා කීමයි. තමුන්ගේ ආණ්ඩුව ෂැංග්‍රිලා -පෝර්ට් සිටි ඔබලා හැදුවේ නෑ. විදේශ ආයෝජන මිලියන 17ක් විතරයි ඔබතුමන්ලට ගේන්න පුළුවන් වුණේ. මේවා අලුත් ආයෝජන නෙමෙයි. බිලියන 1710ක් ආපු ආයෝජනවලින් අපේ කාලයේ ආයෝජන මම කිව්වා. ආණ්ඩුවක් වුණාම විදේශ ආයෝජන ගේන්න ඕනේ. තමුන්නාන්සේලා දවසින් දවස ප්‍රතිපත්ති වෙනස් කරනවා. මේවා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ ආපු ආයෝජන. අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්න හදන්න එපා.

2013දීත් තමුන්නාන්සේලා ගිවිසුම් කිහිපයක්ම අස්සන් කළා. නමුත් තවම සල්ලි නැහැ. ඔය ඉන්දියාවත් එක්ක ගහන්න යන එල්. එන්. ජී. ව්‍යාපෘතිය කොහොමත් කෙරෙන්නේ නෑ. වැඩිපුර කෑගැහුවොත් මා දන්නවා එෆ්.සී. අයි.ඩී.යට කෝල් එකක් දීලා කියයි මහින්දානන්දට තව නඩුවක් දාන්න කියලා. කෝ ඔබේ රාජ්‍ය ඇමැතිතුමා. එතුමා කියපු දේ මේ සභාවේ කියන්නත් බෑ. මං අද උදේ කෝල් කළා. විදේශ ආයෝජකයෝ තියා ඔබතුමාගේ රාජ්‍ය ඇමැතිවරයවත් සතුටු කරන්න ඔබතුමාලට බැරිවෙලා.

පාර්ලිමේන්තුව අද (23දා)
පස්වරු 1.00ට යළි රැස්වෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon