ආර්ථිකය ජනතා ඇසින් දැකීම

  👤  4204 readers have read this article !
2018-05-22

නිදහසින් පසු බලයට පත්වූ ආණ්ඩු බොහෝමයක් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තීන් කාලයත් සමඟ මහජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීමට හේතුව වූයේ ඒ ඒ ආණ්ඩු යටතේ ආර්ථිකයන් හැසිර වූවන් මහ පොළොවේ යථාර්ථය තේරුම් ගැනීමට අසමත් වීමය.

ඔවුන් බොහෝ විට උත්සාහ කළේ බටහිර හෝ අපරදිග ආර්ථික න්‍යායන් ලංකාවට හඳුන්වාදීමටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව කියන ආකාරයට ආර්ථිකය හසුරවන්නට ඔවුන් බොහෝ දෙනෙක් උත්සාහ කළහ. වර්තමාන යහපාලන ආණ්ඩුව මෙයට හොඳම උදාහරණයකි.

ලෝකයේ එක තැනක සාර්ථක වන ආර්ථික න්‍යායන් තවත් තැනක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ නොහැකිය. එක රටකට තවත් රටක් සමාන කළ නොහැකි අතර සෑම රටකටම ආවේණික ගැටලු තිබේ. ඒවායේ ජීවත් වන ජනතාවන්ගේ සංස්කෘතීන්, ජිවන රටාවන්, හැසිරීම් රටාවන්, විශ්වාසයන් එකිනෙකට වෙනස්ය. ඉතිහාසයේ යම් අවධියක අනෙකුත් රටවල් සූරා කා අන් රටවල ධනයෙන් පොහොසත් වූ යුරෝපීය රටවල් හැරුණු විට අද ලෝකයේ දියුණු යැයි සැලකිය හැකි සෑම රටක්ම සංවර්ධනය සඳහා තමුන්ටම ආවේණික ක්‍රමවේදයක් භාවිත කොට ඇති බව අපට පෙනී යයි.

ලංකාවේ ආර්ථිකය ඇත්තේ ජනතාව අතරයි. කම්හලේ, ගොවිපොළේ, කාර්යාලයේ, පාසලේ, රෝහලේ වැඩ කරන ජනතාව අමතක කොට දළ ජාතික නිෂ්පාදනයි, ඒක පුද්ගල ආදායමයි ගැන කතා කිරීමෙන් ඵලක් නැත. අපිට අවශ්‍ය මහ පොළොවේ පය ගසා කරන ආර්ථික කළමනාකරණයක් මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට උගන්වන ආර්ථික කළමනාකරණය නොවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැමවිටම දෙන සුපුරුදු උපදෙස් මාලාව කුමක්ද?

• රජයේ ආදායම වැඩි කරගෙන වියදම අඩු කරගෙන
අය - වැය පරතරය අඩු කරගන්න.
• ඒ සඳහා ජනතාවට සහන දීම නවතන්න.
• බදු වැඩි කරන්න.
• රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න.
• පාඩු ලබන රාජ්‍ය ආයතන වසා දමන්න.

නැත්නම් විකුණන්න.

• විනිමය අනුපාතය පාවෙන්න අරින්න.
• ආර්ථිකය විවෘත කරන්න.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දියුණු වෙමින් පවතින රටවල් ණය ගැනීමට පුරුදු කරනු ලැබේ. ඔවුන්ගේ කොන්දේසි ඉටු කරන්න අවධානය යොමු කරන විට ණය ගත්ත හේතුව පවා අමතක වන අතර එම ණයවලින් බොහෝ විට කිසිදු දීර්ඝකාලීන යහපත් ප්‍රතිඵලයක් නැතිව අවසන් වේ.

මේවායේ නිසැක ප්‍රතිඵල වන්නේ දුප්පත්කම වැඩිවීම, විරැකියාව වැඩිවීම, දේශීය ව්‍යාපාර දුර්වල වීම, පෞද්ගලික අංශයේ ඒකාධිකාර බිහිවී මහජනතාව සූරාකනු ලැබීම, රට විශාල වශයෙන් ණය වීම, ගත් ණය ගෙවා ගත නොහැකිව අසරණ වීමයි.

1945 ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් උපදෙස් අරගෙන දියුණු රටක් බවට පත් වූ කිසිම රටක් අප අසා නැත. ඒත් මීට පෙර සිටි සමහරක් ආණ්ඩු හා විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව උපදෙස් ගන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලිනි.

මහතීර් මොහොමඩ් මැලේසියාවෙත්, ජෙනරාල් පාර්ක් චුන් හී කොරියාවේත්, ලී කුවාන් යූ සිංගප්පූරුවේත්, ඩෙන් සියා ඕ පිං චීනයේත් යොදා ගත්තේ තමුන්ටම ආවේණික විසඳුම් මිස පිටතින් ආනයන කළ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා දුන් විසඳුම් නොවේ. ඒ නිසා අනාගතයේ මේ රටට ආර්ථික සැලසුමක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන අයත් ස්වාධීනව සිතන්නට හැකියාවක් ඇති අය විය යුතුයි.

සංවර්ධනය කවුරු කෙසේ අර්ථ නිරූපණය කළත් එය පොදු ජනතා අපේක්‍ෂා ඉටු කරන සංවර්ධනයක් නොවේ නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවකට දීර්ඝ කාලයක් බලයේ සිටිය නොහැකිය. ඒ ජනතාව ලද අවසරයෙන් සිටින පාලකයන්ව ප්‍රතික්‍ෂේප කොට නව පාලකයන් පිරිසක් පත් කර ගන්නා නිසාය.

ඒ නිසා අද අවශ්‍යව තිබෙන්නේ අප දකින විදියට ජනතා කේන්ද්‍රීය සංවර්ධනයකි. ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක මූලික ලක්‍ෂණ විය යුත්තේ එය සුළු පිරිසකගේ අපේක්‍ෂාවන් නොව සමස්ත ජනතාවගේම අපේක්‍ෂාවන් ඉටු කරන සංවර්ධනයක් වීමයි.

බොහෝ විට තමන්ට ආණ්ඩුවකින් අවශ්‍ය කුමක්දැයි කියා ගන්නට ජනතාව නොදනිති. ඡන්ද කාලයට මැතිවරණ වේදිකාවල දෙන විවිධ පොරොන්දු මත දෝලනය වන සාමාන්‍ය ජනතාව බොහෝ විට යම් රැල්ලකට අසුවී තම ඡන්දය භාවිත කරන අතර ආණ්ඩුව බලයට පත්වී යම් කලකට පසු තම සැබෑ අපේක්‍ෂාවන් ආණ්ඩුවෙන් ඉටු නොවන බව හැඟී ඔවුහු අලුත් ආණ්ඩුව ගැනද කලකිරෙති. මෙයට හොඳ උදාහරණයක් වන්නේ 2015දී ජනතාව යහපාලනයක් වෙනුවෙන් ඡන්දය දීමයි. එදා මූලික ආර්ථික ප්‍රශ්න අඩු නිසා ඔවුන්ට තිබුණේ වෙනස් ප්‍රශ්නය. දූෂණය පිටුදැකීම, හොරු ඇල්ලීම, පවුල් පාලනයට එරෙහි වීම වගේ තම පෞද්ගලික වපසරියට පරිබාහිර වූ ඉහළ මට්ටමේ ප්‍රශ්නය. නමුත් අද ඒ ජනතාවටම තිබෙන්නේ ඉහළ යන ජීවන මිල පිළිබඳ, වැඩිවෙන බදු බර ගැන ප්‍රශ්නය. එහෙත් තවමත් අනාගත ආණ්ඩුවකින් තමුන්ට අවශ්‍ය කුමක්දැයි පැහැදිලිව කියා ගන්නට ඔවුන්ට පුළුවන්කමක් නැත.

යම් ආර්ථික ක්‍රමවේදයකට ජනතාවට නිරන්තරයෙන්ම සතුට, සාමය හා සෞභාග්‍ය ලබාදිය හැකි නම් ඒ ආණ්ඩුව ජනතාවගේ අපේක්‍ෂා ඉටු කළා වේ. මේ ආර්ථික ක්‍රියාවලිය තුළ ආර්ථික සමෘද්ධිය, සමාජ සාධාරණත්වය හා පරිසර ආරක්‍ෂාව යන තුනම තහවුරු වීමද වැදගත්ය. එසේම සංවර්ධන ක්‍රියාවලිය තිරසර එකක් විය යුතුයි. මේ කරුණු ඉටු වෙනවා නම් විටින් විට ආණ්ඩු වෙනස් කිරීමට ජනතාවට අවශ්‍ය වන්නේ නැත.

දැන් අපි මෙය ප්‍රායෝගික කර ගන්නේ කෙසේදැයි බලමු. සතුට, සාමය හා සෞභාග්‍ය උදා කිරීමට නම් බලයට ආ ආණ්ඩුවක් සම්පූර්ණ කළ යුතු ජනතාවගේ අවශ්‍යතාවන් තුනක් ඇත.

ස්ථාවරත්වය - මින් අදහස් කරන්නේ රටේ සෑම පුරවැසියකුටම ආර්ථිකව ස්ථාවර වීමේ අවස්ථාව ඇත්ද යන්නයි.

ප්‍රගතිය - මින් අදහස් කරන්නේ රටේ සෑම පුරවැසියකුටම තව තවත් දියුණු වීමේ අවස්ථාව ඇත්ද යන්නයි.

ගෞරවය - මින් අදහස් කරන්නේ රටේ සෑම පුරවැසියකුටම ගෞරවාන්විතව, ආත්මාභිමානයෙන් ජීවත් වීමේ අවස්ථාව ඇත්ද යන්නයි.

ස්ථාවරත්වය ලෙස රටක පුරවැසියකු බලාපොරොත්තු වන්නේ කුමක්ද?

• ජීවත් වීමට ස්ථිර ආදායමක්.
• හිසට වහලක් තමුන්ගේම කියා නිවෙසක්.
• දරුවන්ට හොඳ අධ්‍යාපනයක්.
• පවුලට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්.
• සොර සතුරන්ගෙන් ආරක්‍ෂිත වටපිටාවක්.
• නීතියේ සාධාරණත්වය හා රැකවරණය.

මිලියන 22කට ආසන්න ජනගහනයක් සිටින මේ රටේ දස ලක්‍ෂයකට ආසන්න ජන කොටසක් තවමත් දිළිඳු ගණයට වැටෙන අතර තුන්වේල හරියට කන්න නැති පවුල් ලක්‍ෂ ගණනකි.

අපේ රටේ රැකියා වියුක්තිය 4.5%ක් පමණ අඩු අගයක් කියා මහ බැංකු වාර්තා කීවාට අද වයස අවුරුදු 20-30 අතර තරුණ තරුණියන්ගේ 16%කට රැකියා නැත. ඉන් තරුණියන්ගෙන් තත්ත්වය වඩාත් බරපතළය. තරුණියන්ගෙන් 25%ක් පමණ රැකියා විරහිතභාවයෙන් පෙළෙති.

රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වන මිලියන 7.9න් මිලියන 1.2ක් ත්‍රීවීලර් එළවති.

ආර්ථික අපහසුකම් නිසා කිසි දිනෙක පාසල් නොගිය වයස අවුරුදු 5ට වැඩි පිරිස ලක්‍ෂ 7 ඉක්මවයි.

වයස 25ට වැඩි ජනතාවගෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළෙන් හෝ ඊට ඉහළට ඉගෙන ගන්නේ 18%ක් පමණි.

රටේ පරිගණක සාක්‍ෂරතාව තාමත් 26%කි.

අද දුෂ්කර ප්‍රදේශවල විශාල ගුරු හිඟයක් ඇත. සෞඛ්‍ය පහසුකම්ද රට පුරා සමාන නොවේ.

සෞඛ්‍ය නිදහස් කියා කීවාට ලංකාවට ගෙන්වන බෙහෙත්වල ප්‍රමිතිය ප්‍රශ්නයකි. දුෂ්කර ප්‍රදේශවල දොස්තරලා, හෙදියෝ අඩුය. පහසුකම් සමානව බෙදී ගොස් නැත.

පෞද්ගලික ඉස්පිරිතාල තිබෙන්නේ ප්‍රධාන නගරවල පමණි. පසුගිය කාලේ ඩෙංගු වසංගතය පැතිරුණු අවස්ථාවේ ඉස්පිරිතාලවල ගේට්ටු ආණ්ඩුවට වසන්නට සිදුවූ අතර පෞද්ගලික රෝහලකට යන්නට වත්කමක් නැති රෝගීන්ට දුන් විකල්පය කුමක්ද?

මේ රටේ මිලියන 5.2ක් පමණ වන නිවාසවලින් 6.3%කම ජීවත් වන්නේ කුලී නිවැසියන්ය. රටේ තිබෙන නිවාසවලින් 18%ක්ම තාවකාලික හෝ අර්ධ තාවකාලික අමුද්‍රව්‍යවලින් සෑදූ නිවාසය.

අද රට පුරා හොරකම් වැඩි වී ඇත. දිනපතා මිනීමැරුම්, පාතාල ක්‍රියාකාරකම් එළිපිට, ජනතාවගේ ආරක්‍ෂාවට විශාල ප්‍රශ්නයක් වී ඇත.

ප්‍රගතිය එහෙමත් නැත්නම් දියුණු වීම ලෙස රටක පුරවැසියකු බලාපොරොත්තු වන්නේ කුමක්ද?

තම ආදායමක් වැඩි කර ගැනීමට අවස්ථා

රැකියාවේ ඉහළට යෑමට හෝ තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට අවස්ථා
නව ව්‍යාපාර පටන් ගැනීමට අවස්ථා
ව්‍යාපාර කිරීමේ පහසුව
නව ආයෝජන අවස්ථා හා ආයෝජන දිරිමත් කිරීම්
පවුලේ ජීවන මට්ටම ඉහළ දමා ගැනීමට අවස්ථා
දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන පහසුකම්
වඩා හොඳ සෞඛ්‍ය පහසුකම්
වඩා හොඳ නිවෙසක්
තමුන්ගේම කියා වාහනයක්
විනෝදාස්වාදයට ඉඩ පහසුකම්
ජීවත් වීමට වඩා හොඳ පරිසරයක්
පිට රට සංචාරය, ලෝකය දැකීම
රටේ සංවර්ධන වේගය කඩා වැටෙන විට පුරවැසියන්ටත් දියුණු වීමේ අවස්ථා අඩුවේ.

උසස් පෙළට වාඩිවෙන සිසුන්ගෙන් 60%ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුවත් අවසානයේ විශ්වවිද්‍යාල වරම් ලබන්නේ 12%ක් පමණි. වයස 25ට වැඩි ජනතාවගෙන් උපාධියක් සම්පූර්ණ කරන්නේ 3%ක් පමණි.

2017 වන විට මේ රටේ ව්‍යාපාරිකයෝ සිටියේ 218,000ක් පමණ අඩු සංඛ්‍යාවකි. ඒ වැඩ කළ හැකි ජනතාව අතුරින් 1.5%ටත් අඩුවෙනි.

අලුතින් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට පමණක් රුපියල් ලක්‍ෂයක් පමණ වැය වේ. ගෞරවාන්විතව ජීවත් වීම ලෙස රටක පුරවැසියකු බලාපොරොත්තු වන්නේ කුමක්ද?

තමුන්ගේ ආගම ඇදහීමේ නිදහස
වාර්ගික අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ අයිතිය
යම් සමාජ මට්ටමකට අයත් වීම නිසා බලාපොරොත්තු වන ගෞරවය
රටේ පුරවැසියකු වීම නිසා බලාපොරොත්තු වන ගෞරවය
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
තම ඡන්දය නිදහසේ භාවිත කිරීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය
තම ඡන්දයෙන් බලයට ආ අය බලය අනිසි ලෙස භාවිත නොකළ යුතුය යන අපේක්‍ෂාව
ජාතිවාදය හා ආගම්වාදය දේශපාලන අතකොළු වී තිබෙන තාක් අද රටේ තිබෙන සමහරක් ගැටලු විසඳන්නට නොහැකිය.
මේ රටේ උපන් සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් තිබිය යුතුය.
මේ රට එක වර්ගයකට එක ආගමකට අයත්ය කියා තර්ක කිරීමෙන් හෝ යම් භූමි ප්‍රදේශයක අයිතිය තිබෙන්නේ එක් වාර්ගික කොට්ඨාසයකට පමණය කියා තර්ක කිරීමෙන් කිසි දිනෙක තිරසර සාමයක් මේ රටේ ඇති කරගත නොහැකිය.

පසුගිය වසර 2500 තුළ බොහෝ දේ වෙනස් වී ඇත. අපි ඒ යථාර්ථය පිළිගත යුතුය.

මිනිසුන්ට එකට ජීවත් වන්නට අවශ්‍ය වන්නාක් මෙන්ම තවත් කාරණාවලදී ඔවුන්ට තම අනන්‍යතාව රැක ගැනීමටද අවශ්‍යය. මේ අවශ්‍යතා දෙකටම අප ගරු කළ යුතුය.
හැම කෙනකුටම ස්වාධීන අදහස් ඇත. නායකයන් ඔවුන්ට සවන්දිය යුතුයි. ඔවුන් කියන කියන දේ කිරීමට වඩා අවශ්‍ය වන්නේ නිසි ලෙස ඇහුම්කන් දීමය. එය පුරවැසියා බලාපොරොත්තු වන ගෞරවයයි.

යම්කිසි ආණ්ඩුවක් පුරවැසියාගේ ඇසින් සාර්ථක වන්නේ මේ අවශ්‍යතා සියල්ලම ඉටු කරන්නේ නම් පමණයි.

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon