වයිරසය

  👤  3933 readers have read this article !
2018-05-22

දිවයිනේ දිස්ත්‍රික්ක දහයක පවුල් දෙදහසකට අධික සංඛ්‍යාවක් අයහපත් කාලගුණය නිසා විපතට පත්ව සිටිති. නිරිත දිග මෝසම් වැසි දිවයින පුරා ස්ථාපිත වෙමින් පැවැතීම මේ කාලගුණ තත්ත්වයට බලපා ඇත. පැය ගණනකදී වැස්සකට යටවන මංමාවත් ඇති රටක් නිසා දිගින් දිගටම වැසි වැටීම සාමාන්‍ය ජන ජීවිතය අවුල් කර දමන්නක් වී තිබේ. නාගරිකයෝ පවා මේ වැස්සට බිය වෙති. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව බියට පත් වන්නේ ගංගා, ඇළ - ‍ෙදාළ, වැව් - අමුණු පිටාර ගලන නිසාය. කඳුකරයේ ජනතාව නාය යෑමට බිය වෙති.

වැසි වතුර හා ගංවතුර තර්ජනය නිසා විපතට පත් වූවන්ට ගංවතුර ආධාර බෙදාමට ආණ්ඩුවට සිදුවන අතර ආපදා කළමනාකරණයට අදාළ නිලධාරීන්ට වැඩ අධික වේ. අපේ ආපදා කළමනාකරණය බාර මහත්වරුන් වැඩ පටන් ගන්නේ වැසි වැටී ආපදා සිදුවූ පසුවය. නියඟය ඇති වූ විටද ආණ්ඩුවට නියං සහනාධාර බෙදීමට සිදුවේ. ආපදා කළමනාකරණය බාර මහත්වරුන්ට ගංවතුර, නියඟය දෙකේදීම වැඩ තිබේ. එහෙත් 'විපත්' වසරින් වසර ඉහළ යයි. මීට ආත්මාර්ථකාමීන්ගේ ක්‍රියාකාරකම්ද මහත් සේ බලපා ඇති බවද කිව යුතුමය. කාරණය අනෙකකි.

වැසි වැටීමත් සමඟ ඩෙංගු යළි හිස ඔසවනු ඇත. මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 18,586කි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ පොදු ජනතාව ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බවයි. වසංගත රෝගද පැතිර යෑමේ අවදානමක් 'වැස්ස' සමඟ ඇති විය හැකිය.

දැනටමත් දකුණු පළාතේ පැතිර යන වයිරසයට ගොදුරු වූ රෝගීහු 600කට වැඩි සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. සිදුව ඇති මරණ සංඛ්‍යාව 13කි. ඉන් 12 දෙනෙක්ම දරුවෝ වෙති.

බලධාරීන් දැනුම් දී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ ගතිය ඇත්නම් දකුණු පළාතේ දරුවන්ව පාසල් නොයවා නිවෙසේ රඳවා ගන්නා ලෙසටය. ඉකුත් සතියට සාපේක්‍ෂව මේ වනවිට රෝගීන් හමුවීමේ අඩුවීමක් දක්නට ලැබුණද 'අනතුර' පහව ගොස් නැතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

පෞද්ගලික සනීපාරක්‍ෂක ක්‍රමවේද අනුගමනය කිරීමෙන් රෝගයෙන් පරිස්සම් විය හැකිය. මුඛය හා නාසය වැසෙන පරිදි ආවරණයක් යොදා ගැනීම, දෙඅත් සබන් යොදා පිරිසුදුව තබා ගැනීම කළ යුතුවේ. ජනාකීර්ණ ප්‍රදේශවල සැරිසැරීම අවම කිරීමද වැදගත්ය.

මේ ආපදාව සම්බන්ධයෙන් බලධාරීන් යුහුසුලුව ක්‍රියාත්මක වී අවශ්‍ය පියවර ගෙන ඇති බව පෙනෙන්නට තිබීම සතුටට කරුණකි. බොහෝ විට මෙරට සිටින්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වසන බලධාරීන් වීම ඊට හේතුවයි. සෙසු පළාත්වලට මේ රෝගය පැතිර යෑම වැළැක්වීමට අවශ්‍ය ආරක්‍ෂක පියවර ගැනීමද වැදගත් වේ. වැසි සහිත මේ අයහපත් කාලගුණ තත්ත්වය මත රෝගය පැතිර යෑමේ අවදානමක් ඇත.

ඉන්ෆ්ලුවන්සා වයිරස තත්ත්වයත් සමඟ ඇඩ්නෝ වයිරසය හා බැක්ටීරියාවන් ආසාදනය වීමෙන් මෙම උණ රෝගය පැතිර යන බව හඳුනාගෙන තිබේ. කුඩා දරුවන්, හෘද රෝගීන් හා ගර්භණී මවුවරුන් මේ වයිරසයට ගොදුරු වීමේ අවදානම වැඩි නිසා ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

අපේ රටේ බොහෝ ප්‍රශ්න උග්‍ර වීමට නොසැලකිල්ල ප්‍රධාන හේතුවකි. උපදෙස් පිළිපැදීමට ඇතැමුන් කැමැති නැත. අවවාද අනුශාසනා ඔවුහු නොරුස්සති. විශේෂයෙන් සෞඛ්‍යමය කාරණාවලදී මේ හිතුවක්කාරකම හා නොසැලකිල්ල බරපතළ ගැටලු මතු කරයි. ඩෙංගු වසංගතයක් වීමටද ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බෙහෝ දෙනාගේ නොසැලකිල්ලය. ආත්මාර්ථකාමීත්වය ය. ආණ්ඩුවට බැන බැන සිටීමට ප්‍රිය කරන බොහෝ දෙනා සිය වගකීම් ඉටු කරන්නේ නැත. විවේචනයට දක්‍ෂ වුවද ඔවුන් වැඩට අදක්‍ෂය. මේ රටේ වයිරස් රෝගයක් වුවද වසංගතයක් නොවී මැඬපවත්වා ගත නොහැක්කේ ඒ නිසාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon