අහසින් පොළොවට බැහැපල්ලා

  👤  4614 readers have read this article !
2018-05-18

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයකු හෝ ආණ්ඩුවක් කොළ පාටින්ම ඕනෑ නම් කළ යුතුව තිබෙන කරුණු කාරණා බොහෝය. එය ඉතා ඉක්මනින් කළ යුතු ඒවා බැව් කියන්නේ ගම් මට්ටමේදී පාක්ෂිකයා හමුවන්නට යන පළාත් පාලන, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ය. ඔවුන්ට ඒ බැව් දැනෙන්නේ කොළ පාට හිත් තියෙන, "කැපුවත් අපි කොළ පාටය" කියන මිනිසුන් කියන කරන දේ අනුවය.

"එහෙම නම් මුලින්ම දිනන සටනක් දීලා වැඩේ ගොඩින්ම බේරාගන්න තියෙන්නේ මීළඟ ජනාධිපතිවරණයෙන්ම තමයි. පළාත් සභා ටිකක් පස්සට දාගෙන හරි මේ කඩුල්ල හරියට පැන්නොත් වැඩේ ගොඩ."

එහෙම කියන්නේ උදේ පාන්දරින්ම කොළ පාට ඇඳුමක්ම ඇඳගෙන ඡන්ද මධ්‍යස්ථානයේ පෝලිමට ගිහින් නමෝ විත්තියෙන් අලියා ඉදිරියේ කතිරය ගහන ඔරිජිනල් යූඑන්පී කාරයෝය. රනිල් නෙවෙයි පොල් පිත්තක් තියලා වුණත් ඡන්දෙ ඉල්ලුවෝතින් අලියටම කතිරේ ගහන උදවියයි.

"මේ වතාවෙ අලියා නෑ. ගහපියව් ඒ වෙනුවට කණ්ණාඩි කුට්ටමට" කියලා කිව්වත් ඒ වගේ අය ගහන්නේ ගැම්මටය. යූඑන්පී කමටය.
"නෑ අපි මෙදා පාර අපේ කෙනෙක් දාන්නේ නෑ. අපි කෙනෙක් කුලියට ගන්නවා. එයාගේ ලකුණ හංසයා. හංසයාට ගහපල්ලා කතිරය කියා" කීවොත් යූඑන්පීි කාරයා ගිහින් ඒ දේ කරන්නට සැදී පැහැදිලාය. මේ ගැම්ම පසුගිය කාලයේ කොයිතරම් වැටුණත් දුර්වල වුණත් මැරෙන්නෙ නැතිව තිබුණේ අතීතයේ අපේ නායකයන් පක්ෂයට රටට කරපු දේවල් නිසයි. ඒ නිසා පහර ගහන්න ගහන්න මේ ගහ වැටුණේ නෑ. පාක්ෂිකයෝ වැටෙන්න ඉඩ දුන්නෙත් නෑ. පක්ෂය රැක ගත්තා. සමහර දිනපු ආසනවලින් බරපතළ විදියට ඡන්ද අඩු වෙද්දිත් යුතුකමක් විදියට උදේම ගිහින් අලියාට කතිරය ගහපු උදවිය නිසා පක්ෂය හතරගාතෙන් වැටෙද්දිත් මැරුණෙ නෑ. ඒ වුණාට ගම් මට්ටමේ පාක්ෂිකයා හැමදාමත් එහෙම කැපවුණාට නායකයෝ මේ පාක්ෂිකයා ගැන ඒ තරමින්ම හිතුවාද කියලා සැක හිතෙනවා. ඒක මේ පක්ෂයේ අද පැවැත්මට හානිකරයි. විශේෂයෙන් අද ඒ තත්ත්වය ගැන හිතුවොත් ගමේ බිම් මට්ටමේ ඡන්ද දායකයාගේ දෙපතුලට ගිහින් ඔවුන්ගේ හිත දිරිමත් කරන්න මහා වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒක දැන් වෙනවද කියලා සැකයි."

කලක් මේ දැවැන්ත පක්ෂයේ ඉතාමත් පුළුල් රාජකාරියක් ඉටු කළ විශ්‍රාමික දැවැන්තයකු එසේ ප්‍රකාශ කළේ අලි ඉතිහාසය ඇතැඹුලක් සේ දන්නා බව දක්වමිනි. දැන් අලියාගෙත් නාඩි වැටෙන හැටි හඳුනාගෙනය.

ඒ අනුව එජාපයේ නායකයන් මේ මොහොතේ සිහිබුද්ධියෙන් තත්ත්වය හඳුනාගෙන වැඩට බැහැලා සටන අතට අරන් බව පෙනෙන්නට තිබිය යුතුය. එහෙත් එවැන්නක් සිදුවේදැයි දැනෙන්නේ නැත.

"හවුල් ආණ්ඩුවක් ඇතුළේ, දෙපිටකාට්ටුවො රොත්තක් මැද්දේ හරි තීන්දු ගන්න බැරි තැනට අපි වැටිලා. ඒ වගේ වෙලාවක යූඑන්පීිය ආණ්ඩුව කරන බව ජනතාවට දැනෙන්නේ නෑ තමයි. හොඳට නොව නරකට තනි තීරණයක් ගන්න දැන් යූඑන්පීියට ශක්තියක් නෑ. මෛත්‍රි එක පැත්තකින් අපිව හිර කරනවා. මෛත්‍රි ළඟ ඉන්න කූඩැල්ලො එයාවත් විනාශ කරගෙන අපිවත් විනාශ කරන වැඩේ අත්ඇරලා නෑ. මෛත්‍රිට ඒක තේරෙන්නේ නෑ. තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ. එයා හිතනවා ඇති ශ්‍රී ලංකා ආණ්ඩුවක් වෙනුවෙන් මේ ඔක්කොම එකතු කරවලා මහින්දට අන්තිම මොහොතෙ උදවු දුන්නොත් එයාව රැක ගනීවි කියලා. ඒවා දවල් හීන තමයි. යූඑන්පීියට තමයි කවදා හරි මෛත්‍රිව රැකගන්න වෙන්නෙත්. ඒ නිසා මේ වෙලාවේ යූඑන්පියට වැඩ කරන්න වෙලා තියෙන්නේ හොඳට කැපෙන පිහියක් උඩ නොකැපී ඇවිදීම වැනි වැඩක්."
කැබිනෙට්ටුවේ එජාප ප්‍රබලයෙක් කියන්නේ එවැනි කතාවක්ය. එහෙත් ඊට වඩා එහා ගිය කරුණු කාරණා බොහොමයක් පවතී. මෛත්‍රි යූඑන්පීියට කකුල් මාට්ටු දමන බවත් ඔහු වටා සිටින උපදේශකයන් කුමන්ත්‍රණ කරන බවත් සහචරයන් බුරන බවත් දෙපිටකාට්ටු වැඩ කරන බවත් අංචි අදින බවත් කවුරු කවුරුත් දන්නා දේවල්ය. එහෙත් තවමත් තියෙන්නේ නායකයා පෙරළන සටන සහ නායකත්වයට එන සටන පමණක් බව පාක්ෂිකයාට දැනෙන බවක්ය.

නායකයා හොඳ නැත්නම් ඊට බැට දෙන්නට සටන් කරන්නට හදන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂය හා සම්බන්ධකම් ඇතිව කටයුතු කරන බවට තොරතුරු ලැබීමත් භයානකය. රනිල්ගේ අනේක වැරැදි ඇති මුත් මේ මොහොතේ ඔහු පෙරළා දමන්නට ගත කරන කාලය අපතේ යෑමක් නේදැයි කියන්නෝද සිටිති. කෙසේ වෙතත් නායකයා ඇතුළු නායකයන් වන්නට සිටින්නන්ද මහජන සම්බන්ධතාව අතින් පහළම අඩියේ බවට වන විවේචනද බොහෝය.

"දවසක් ලලිත් ඇතුළත්මුදලි මහපොළ ඥානදර්ශන දේශනයකට ඇවිත් කතා කළා. ප්‍රශ්න අහන අවස්ථාව සරසවි සිසුන්ට දුන්නා.
ඒ අතරෙ ලියුම් කෑල්ලක් ලැබුණා සිසුවකුගෙන්. ඒක හරිම අනුවේදනීය කතාවක් ඇතුළත් කෙටි ලිපියක්. සභාව ඉවර වෙලා ගෙදර ගිය ලලිත් එසැණින් නිලධාරීන්ට දන්වලා ඒ දුකට පත් සිසුවාගේ පවුලේ දැවෙන ප්‍රශ්නයක් විසඳුවා. එක් වැඩිමහල් සොයුරියකට රැකියාවක් දුන්නා. අන්න එදා නායකයෝ."

මෙහෙම කියන්නේ ලලිත්ගේ තතු දන්න පැරැණි යූඑන්පීකාරයෙක්ය. ලලිත්ලාගේ මහජන සම්බන්ධතාවත් පාක්ෂිකයාට, රටවැසියාට ඇහුම්කන් දුන් හැටිත්ය.

"ප්‍රේමදාස මහත්තයා පාන්දර තුනට ඔළුවේ ජටාවක් ගැටගහගෙන ඇවිත් සුචරිතේදී පෝලිමේ ඇවිත් ලියුම් දීලා ඡන්ද දායකයෝ ඉදිරිපත් කරන ගැටලු එළිවෙද්දී විසඳුවේ හරි පුදුම ජනතාවාදී විදියට. එහෙම නායකයෝ අද කෝ?"ය කියන්නේ මැද කොළඹ ප්‍රබල එජාප පාක්ෂිකයෙක්ය. ඒ කියන විදියට අද මැද කොළඹ මිනිස්සුද අනාථ වෙලාය. ඡන්දෙ ගන්න විතරක් ඕනෑ වුණු පිරිසක්ය.

"මහවැලි ජනපදයකට ගිහින් අහන්න ගාමිණී දිසානායක ගැන. ඒ මිනිස්සු අත්දෙක එකට එකතු කරලා වැඳලයි ගාමිණීව මතක් කරන්නෙ. ඒ මේ රටේ පෙරළියක් ඇති කළ මිනිහෙක් නිසයි. ජනතාවගේ හිතේ රැඳුණු මිනිහෙක් විදියට ආදරේ ලබපු නිසයි".

ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පාක්ෂිකයෙක් එසේ පැවැසූවක්ද අමතක කළ නොහැකිය. එහෙත් ගැටලුවක් ඉදිරිපත් කරන්න ළඟට එන පාක්ෂිකයා තේරුම් ගන්න, ඔහුගේ හඬට සවන් දෙන නායකයන් අද යූඑන්පියේ අඩු බවට පැමිණිලි බොහෝය.

"කතා විතරක් වැඩක් නෑ මහත්තයෝ. ෆොටෝ විතරක් වැඩක් නෑ. ඔය නායකයන්ට ගමට එන්න කියන්න. ගමේ ප්‍රශ්න තේරුම් ගන්න කියන්න. මිනිස්සු හිතන්නේ මෙහෙමයි කියලා වටහා ගන්න කියන්න. යූඑන්පී කාරයාගේ ඡන්දය නොවැටෙන්නේ ඇයි කියලා ඇත්ත දැන ගන්න කියන්න. ඒ නැතිව මේ නායකයා හරි නෑ අලුත් නායකයෙක් ඕනෑ කියන මතයම නෙවි අද ගම් මට්ටමේ තියෙන්නේ. සමහර වෙලාවල්වල ගම දන්නෙ නැති සංවිධායකයො පත්වෙනවා. ඒ අය කොළඹ ඉඳලා ඡන්දෙ දිනන්න කොම්පියුටර් වාර්තා හදනවා. මේවා යූඑන්පීයේ වැඩ නොවේ. කොළඹ පිස්සන්ගේ වැඩ. ඒ ප්‍රශ්න විසඳීම හැම තරාතිරමකම නායකයන්ගෙ වගකීමක්."

ආවේගයෙන් මෙන් කතා කළ මාතර ප්‍රදේශයේ පාක්ෂිකයෙක් එසේ කීවේ නිකමට නොවේ. නායකයන් තෝරා ගන්නට පෙර ගම සංවිධානය කරන තැනට තවම අතවත් තියලා නැති බවට වන සාක්ෂි බොහෝය.

පත්තරකාරයන් හැටියට සෑම දෙයක්ම විනිවිද දකිනට අපට හදිසියකටවත් කතා කරන්නට බැරි තරමට යූඑන්පීයේ ඇතැම් නායකයන්ගේ දුරකථන ගොළුය. උත්තර කෙටිය. හරියට අපේ වැඩකට අප කථා කළා වගේය. ඒ වෙලාවල්වලදී නම් අපට කථා කරන්නට බැරි උතුමන්ලාට ජනතාව කොහොම කථා කරන්නට බලා ඉන්නවාදැයි අපට නම් සිතාගන්නට පුළුවන.

එක්සත් ජාතික පක්ෂය නම් මහා වෘක්ෂයට පණ පෙවූ අතීත නායකයන් අඩුවෙන් කතා කර වැඩියෙන් වැඩ කර තිබූ නිසා වැඩ දිහා බලලාම නොව නායකයාට හද බැඳගත් බලවේගයක්ද එදා ගොඩනැඟුණේය. ජේ.ආර්., ප්‍රේමදාස, ලලිත්, ගාමිණී වැන්නවුන් රට කරවන්නට අවශ්‍ය වැඩකාරයා සොයාගෙන ගොස් එම ගමනට එකතු කරගත්තේ දුරදක්නා නුවණින්ය. එහෙත් ඇතැමුන් තමන්ට පමණක් මේ ගමන යන්නට පුළුවන් යැයි සිතාගෙන එක එක පදනම් හා එක එක ව්‍යාපාර හරහා ප්‍රචාරක යුද්ධයකට වැඩි බරක් දෙමින් කාලය ගත කරන්නේ උද්දච්ච කමින් පිරීගෙනය.

මේවා වෙනස් විය යුතු යැයි කියන්නට උත්සුක වෙද්දී ඇතැමුන්ට ඒවා දිරවන්නේ නැතිව යන්නේය. මෙයින් වන්නේ තව තවත් පිරිහෙන ඒකය. මහ පොළොවේ ඇත්ත වටහා නොගන්නා නායකයෝ අතරමඟ වැටී වැනසෙන බව තේරුම් ගන්නේ නැති තරම් ඉදිමිලාය. එජාපයට මේ මොහොතේ හානිකරය.

මේ අතර ගමට වැඩක් කරන ඉතාමත් ක්‍රියාකාරී පුද්ගලයන් පවා ඒ කරන සේවය රටට නොදැනෙන තරමට රාජ්‍ය මාධ්‍ය හැසිරවීම ඉතාමත් දුර්වලය. ඒවායෙහි ලැගුම් ගත්තවුන් අති පණ්ඩිතයෝය. ඒ අය තරම් දන්නා තවත් අය නැති තරමටම ඉදිමිලාය.

"පක්ෂයක් කරන දේ රටට පෙන්වන්න බැරි මාධ්‍ය ඔස්තාර්ලාගෙන් ඇති පලේ මොකක්ද..?" යනුවෙන් ප්‍රචාරක මෙහෙවරේ "අ" යන්න දන්නා පොඩි එකකු පවා විමසීම මේ ඔස්තාර්ලාට නොතේරීම කනගාටුදායකය.

ගමක විසඳන්නට ඇත්තේ ඉතා කුඩා දේ වුවත් එය ඉටුකර ජනහද දිනාගන්නට මේ අය දන්නේ නැත.

ගමේ අවුරුදු තිස් හතළිස් ගණන් තියෙන වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් දීමත්, කුඹුරට වතුර දෙන වැව පිළිසකර කිරීමත්, පාරට තාර ටිකක් දා ගැනීමත් ගමට බස් එකක් ලබාගැනීමත් වැනි අහිංසක ප්‍රාර්ථනා ඉෂ්ට කර දෙන්නට බැරි උදවියද සමඟ යූඑන්පීයට ජය මාවතේ පෙනෙන තෙක් මානයටවත් යන්නට බැරිය.

එහෙත් මේ ව්‍යසනය ගමේ යූඑන්පීකාරයාට හොඳටම දැනෙන අතර ඔහුගේ ඒ හැඟීම් පත්තරකාරයෝ හැටියට අපට නම් නායකයන්ට වඩා දැන ගන්නට පුළුවන. එය නායකයන්ට නොතේරෙන තාක් කල් ඔවුන් තරුණ වුවත් ඔවුන්ට ගමනක් නැතිවනු ඇත. මහලු වුණත් ගමනක් නැති වනු ඇත. ඒ නිසා තරුණ පෙළ නායකත්වය හෝ මහලු පෙළ නායකත්වයේ සිටින සියල්ලෝම සිහිබුද්ධියෙන් යුතු වූවන් වීම ඇඟට ගුණය.

සරලි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon