බදුල්ලේ විදුහල්පතිවරියගේ අවනඩුව

  👤  3698 readers have read this article !
2018-05-17

බදුල්ල දෙමළ බාලිකාවේ විදුහල්පතිනිය සිය නිල නිවෙසට කැඳවා ඇයට තර්ජනය කළ උෟව පළාත් මහ ඇමැතිවරයාව ඔහු දැරූ අධ්‍යාපන ඇමැති ධුරයෙන් ඉවත් කළද සිද්ධියේ උණුසුම මැකී යෑමටත් මත්තෙන් යළි එම ධුරයම ලබාදීම දේශපාලන බලධාරීන්ගේ නිර්ලජ්ජිතකම ප්‍රකට කරයි. අවසානයේ විදුහල්පතිනියට සිදුවී ඇත්තේ උෟව මහ ඇමැතිවරයාට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයට යෑමටය.

මේ වනවිට සිද්ධිය වී වසරකට ආසන්නය. චූදිතයා වූ මහ ඇමැති සුපුරුදු පරිදි කටයුතු කරමින් සිටියදී විදුහල්පතිනියට සිදුව ඇත්තේ නීතියේ පිහිට පැතීමය. අඩුම ගණනේ උෟව පළාතේ විදුහල්පතිවරුන්ගේ සංගම් පවා මහ ඇමැතිට යළි අධ්‍යාපන ඇමැති ධුරය ලබාදීමට විරෝධය පළ කළේ නැත.

තමන්ගේ රැහේ එකෙක් වෙනුවෙන්වත් පෙනී නොසිටින්නන් ගැන කතාකර පලක් නැත. ඇතැම් විට ගුරුකමට වඩා "ජාතිය" මුල් තැනට ආවා විය හැකිය.

මහ ඇමැතිගේ නියමයෙන් සිසුවකු පාසලට ඇතුළත් කර නොගත් විදුහල්පතිනිය සිය නිල නිවෙසට ගෙන්වා තර්ජනය කිරීම නිසා බියට පත්වූ ඇය ඔහු ඉදිරියේ වැඳවැටී ඇත. කෑ ගසාගෙන පැන්න මහ ඇමැතිට බිය වී මරන්න එපා කියමින් ඔහු ඉදිරියේ දණ ගැසූ බව විදුහල්පතිනිය ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

සිය දියණියට අවවාද කළ "වරදට" ගුරුවරියක දණ ගැස්සූ පළාත් සභා මන්ත්‍රිවරයකු ගැන වාර්තා වූයේ රාජපක්ෂ ආණ්ඩුව කාලයේය. මන්ත්‍රිවරයා ධුරයෙන් ඉවත් වූ අතර අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට රැගෙන යනු ලැබිණි. සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත්වූ පසු ඔහුට ආසන සංවිධායක ධුරයක්ද පිරිනැමීමට ශ්‍රී ලනිපය කටයුතු කළේය.

පළාත් සභා මන්ත්‍රිවරයා පාසලට පැමිණ ගුරුවරිය දණගැස්සුවේ දරුවන්, ගුරුවරුන් බලා සිටියදීය. උෟව මහ ඇමැතිවරයා විදුහල්පතිනියට තර්ජනය කළේ උෟව පළාත් අධ්‍යාපන ලොක්කන් කිහිපදෙනකු ඉදිරියේය. විදුහල්පතිනියව නිල නිවෙසට රැගෙන යෑමට මැදිහත් වී ඇත්තේද අධ්‍යාපන බලධාරීන් වීම විශේෂත්වයකි. දණගැස්සූ ගුරුවරියට මෙන්ම වැඳ වැටීමට සිදුවූ විදුහල්පතිනියටද ඊනියා දේශපාලනඥයන්ට එරෙහිව පෙනී සිටීමට කොන්දක් තිබීම ආඩම්බරයකි. ඔවුන් නැඟී සිටියේ ඊනියා දේශපාලනයට එරෙහිව මෙන්ම අශිෂ්ට පිරිමිකමට එරෙහිවය. මවුවරුන්ගේ දිනය සමරමින් කාන්තාවට ගෞරව කිරීම ගැන කතා කරද්දී ගෙදර බුදුන්ට, ගුරු දෙවිවරුන්ට අවමන් කළ අමනෝඥ දේශපාලනඥයන් අවශ්‍යයෙන් මතක් කළ යුතුව තිබිණි.

මෙවැනි සිද්ධි යළි මෙරට සිදු නොවේ යැයි සහතිකයක් දිය නොහැකිය. මේ මුග්ධ අමන දේශපාලන ක්‍රමය තිබෙන තුරු මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියා තව තවත් සිදුවනු ඇත. දේශපාලනඥයන් පමණක් නොව ගුරුවරුන් අතරද "තක්කඩියෝ" සිටිති. අල්ලස් ගැනීම, ලිංගික හිංසන හා වෙනත් දූෂිත ක්‍රියාවලට ගුරුවරුන් චූදිතයන් වූ අවස්ථා ඕනෑ තරම් ඇත. එහෙත් මේ සමාජය කුණු වී මජර ගලන තත්ත්වයට පත්කිරීමේ පළමු වගඋත්තරකරුවන්, ගුරුවරුන් හෝ වෙනත් වෘත්තිකයන් නොව ඊනියා දේශපාලනඥයන්ය. මේ මජර ක්‍රමය නඩත්තු කරමින් පෝෂණය කරන්නේ ඔවුන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon