භූමිතෙල් ගින්න

  👤  3808 readers have read this article !
2018-05-16

හවුල් ආණ්ඩුව බලයට පත්වී වසර තුනකට පසු මුල් වරට ඉන්ධන මිල ඉහළ ගියේය. ඩීසල්, පෙට්රල් හා භූමිතෙල් අතරින් භූමිතෙල් මිල රුපියල් 44ක සිට රුපියල් 101 දක්වා රුපියල් 57කින් වැඩි වීම විශේෂයෙන්, වතු කම්කරු ජනතාවට හා ධීවර ජනතාවට දැඩි ලෙස බලපා තිබේ.

භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ධීවර ජනතාව මුහුදු යෑම වර්ජනය කර කළු කොඩි ඔසවා තිබිණි. ඔවුන් පවසන්නේ ඉන්ධන වියදම දෙගුණ වී ඇති බවයි. විශේෂයෙන් සුළුපන්න ධීවරයන් මින් දැඩි අපහසුතාවට පත්ව සිටී. ධීවර රැකියාවේ නිරත වන්නන් ලක්ෂ දෙකහමාරක් පමණ මෙරට සිටින අතර භූමිතෙල් මිල ඉහළ දැමීම ඔවුන්ගේ ජීවිකාවට මරු පහරක් වී ඇත.

ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේ භූමිතෙල් මිල ඉහළ දැමුණද ධීවරයන්ට සහ සමෘද්ධිලාභීන්ට රුපියල් 44ටම භූමිතෙල් ලබාදෙන බවය. එහෙත් ධීවර ජනතාව පවසන ආකාරයට, ඉන්ධන ලබා ගැනීමට රජය ලබාදුන් සහනාධාර කූපන් පත් රැගෙන ගියද එය ප්‍රතික්ෂේප කරන ඉන්ධනහල් හිමියන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා ගන්නා ලෙස කියා හරවා එවනු ලබයි. මේ තත්ත්වය ආණ්ඩුවද අවබෝධ කරගෙන ඇති බව පෙනෙන්නේ විදුලිය නොමැති සමෘද්ධිලාභී පවුල්වලට සහ භූමිතෙල් භාවිත කරන ධීවර බෝට්ටු හිමියන්ගේ ගිණුම්වලට අදාළ සහනාධාර මුදල බැර කිරීමට ඛනිජ තෙල් අමාත්‍යාංශය වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රකාශ කර ඇති නිසාය.

මෙරට අඩු ආදායම්ලාභී පවුල් දෙලක්ෂ හැටහතර දහසක් සිටින අතර ඉන් පවුල් 47,555ක් ජීවත්වන නිවාසවලට විදුලි බලය නොමැත. භූමිතෙල් භාවිත කරන බෝට්ටු විසිහත්දහස් හත්සියයක් තිබේ. එක් ධීවර බෝට්ටුවකට මාසයකට භූමිතෙල් ලීටර් 375ක් පමණ භාවිත කරන අතර එම ප්‍රමාණයට අදාළ මුදල ගණනය කර ලබාදෙන බව බලධාරීහු පවසති. ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර තිබුණේ භූමිතෙල් සහනාධාරය ජුනි මුල සතියේ ලබාදෙන බවය.

භූමිතෙල් මිල ඉහළ යෑම ධීවරයන්ට මෙන්ම වතුකරයේ ජනතාවට දැඩිව බලපාන්නකි. විදුලි බලය ඇති වතුකරයේ නිවාසවල පවා දෛනික අවශ්‍යතාවන් වෙනුවෙන් භූමිතෙල් පරිහරණය කරනු ලබයි. සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් තිබියදී මෙලෙස භූමිතෙල් මිලද ඉහළ දැමීම අඩු ආදායම්ලාභීන්ට දරාගත නොහැකි වී ඇත. වතු කම්කරුවන් ලක්ෂ 9ක් පමණ මෙරට ජීවත් වන අතර කම්කරු පවුල් සංඛ්‍යාව එක්ලක්ෂ හැටදහසක් පමණ වේ. මේ අතරින් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක නිවෙස්වලට විදුලි බලය නැත.

හවුල් ආණ්ඩුව 2015 ජනවාරියේදී රුපියල් 81ක් වී තිබූ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 65 දක්වා අඩු කළ අතර 2017 වසරේදී රුපියල් 44 දක්වා යළි මිල අඩු කරනු ලැබීය. එහෙත් එකවර මෙලෙස රුපියල් 57කින් ලීටරයක මිල ඉහළ දැමීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

පසුගිය ආණ්ඩුව කාලයේ වරෙක භූමිතෙල් මිල ඉහළ දැමීමට ධීවර ජනතාව තුළ දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉන්ධන සහනාධාරය ඉල්ලා රට පුරා උද්ඝෝෂණ පැනනැඟිණි. හලාවත පැවැති එවැනි ධීවර උද්ඝෝෂණයකට හමුදාව කළ වෙඩි තැබීමකින් 'ඇන්ටනි' නම් ධීවරයා මියගිය අතර තවත් ධීවරයෙක් ආබාධිත විය. පසුව ඒ ධීවරයාද සියදිවි නසා ගත්තේය.

යළිත් එවැනි ධීවර උද්ඝෝෂණ භූමිතෙල් මිලට එරෙහිව මතු වෙමින් තිබේ. කටින් බතල කොළ සිටුවමින් නොසිට ආණ්ඩුව වහා මේ දැවෙන ප්‍රශ්නයට විසඳුම් ලබාදිය යුතුය. භූමිතෙල් නිසා ඇවිළෙන ගින්නට පිදුරු දැමීමට ඉඩ තැබිය යුතු නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon