ආර්ථිකය හරි මඟට ගන්නේ කවදාද?

  👤  3933 readers have read this article !
2018-05-15

අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනස්කම් සිදුවූ අවස්ථා කිහිපයක් දේශපාලන ඉතිහාසයේ ඇත.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් සිදුවූ 56 පෙරළිය ඒ එක් අවස්ථාවකි.

එතෙක් දේශීය හා විදේශීය ධනකුවේරයන් යටතේ තිබූ බොහෝ දේපොළ ජනසතු කිරීම ආරම්භ වුණේ බණ්ඩාරනායක යුගයේදීය. කොළඹ හා ත්‍රිකුණාමලය වරාය, කටුනායක ගුවන්තොටුපොළ ආදිය රජයට පවරා ගන්නා ලදී. බස් ජනසතු විය. නම්බු නාම ක්‍රමය නැති කරන ලදී. කුඹුරු පනත සම්මත කරන ලදී. සේවක අර්ථ සාධක අරමුදල පිහිටුවන ලදී. කෙසේ වෙතත් ආණ්ඩුව විසින් හඳුන්වා දෙන ලද භාෂා පනත මුල්කරගෙන රට තුළ කාලයක් තිස්සේ ජාතීන් අතර තිබුණු බෙදීම් උග්‍ර වූ අතර අවසානයේ රට පුරා ජාතිවාදී කෝලහාල ඇතිවන තත්ත්වයට වර්ධනය විය.

බණ්ඩාරනායක මහත්මයාගේ ජනසතු කිරීමේ වැඩපිළිවෙළ 1960 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව යටතේද ක්‍රියාත්මක විය. වතු ජනසතු කිරීම පටන් ගත්තේ මේ ආණ්ඩුව විසිනි.

1970 - 77 සමඟි ආණ්ඩුව වාමාංශික දේශපාලනයේ තවත් අන්තයකට රට තල්ලු කළේය. එදා ඔවුන් විශ්වාස කළේ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් ගැනය. පෞද්ගලික ව්‍යාපාරිකයා ජනතාව සූරා කන දූෂිතයකු ලෙස හංවඩු ගැසිණි.

හාල් පොල්ල, මිරිස් පොල්ල වැනි වචන ජනවහරට එකතු වුණේ මේ යුගයේදීය. දේශීය කම්හල් රාශියක් රාජ්‍ය අනුග්‍රහයෙන් පටන් ගැනිණි. ඒ වන විට අපි වානේ, වීදුරු, සිමෙන්ති, රෙදිපිළි, සම්භාණ්ඩ, කිරිපිටි, කඩදාසි, සීනි, තුනී ලෑලි, ටින් ආහාර, පොහොර සහ පරිභෝජනයට අවශ්‍ය තවත් බොහෝ දේවල් දේශීයව නිෂ්පාදනය කරමින් සිටියෙමු.

ජේ.ආර්. ජයවර්ධනගේ 1977 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් යළිත් වරක් සියල්ල උඩු යටිකුරු කරන ලදී. ධනේශ්වර චින්තනය මත පදනම් වූ විවෘත ආර්ථික ක්‍රමය රටට හඳුන්වා දෙනු ලැබුවේ මේ කාලයේදීයි.

ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් විශාල වශයෙන් ආධාර හා ණය ලබා ගනිමින් මහවැලි ව්‍යාපෘතිය වැනි සංවර්ධන වැඩපිළිවෙළවල් ආරම්භ කරන ලද අතර මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවන ලදී. හාල් පොල්ලෙන්, මිරිස් පොල්ලෙන් හෙම්බත් වී සිටි ජනතාව විවෘත ආර්ථිකය දෑත් විදහා සතුටින් භාර ගත්තද වැඩිකල් යන්නට පෙර සමාජයේ ඇති නැති පරතරය වර්ධනය වී විශාල සමාජ අර්බුද රැසක් නිර්මාණය විය.

ජනාධිපතිවරයාට අසීමිත බලතල ලැබෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන් මේ ආණ්ඩුව විසින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දරුණු ලෙස යටපත් කරනු ලැබීමේ අවසාන ප්‍රතිඵලය වූයේ උතුරේත් දකුණේත් තරුණ තරුණියන් අවි අතට ගැනීමයි.

ඇඟලුම් කර්මාන්තයට ලංකාවේ ආර්ථික කළමනාකරණය තුළ වැදගත් භූමිකාවකට ඉඩ පෑදුණේ ප්‍රේමදාස යුගයේදීයි.

විදේශ ආයෝජන වේගයෙන් ලංකාවට ගලා එන්න පටන් ගෙන තිබිණි. ගම්උදාව, නිවාස දශලක්‍ෂයේ වැඩසටහන, ජන සවිය වැනි ව්‍යාපෘති පටන් ගත්තා. ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ පැහැදිලි පිබිදීමක් ඇති වුණත් අතිශය ඒකාධිපති ස්වරූපයේ පාලනයක් ගෙන ගියා. ප්‍රේමදාස යුගය ලංකාව ලෙයින් නැහැවුණු භීෂණ යුගයකි.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ආර්ථිකය අන්ත වාමාංශික පැත්තකට ගෙන ගියා නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක අන්ත දක්‍ෂිණාංශික පැත්තකට ආර්ථිකය ගෙන ගියාය. ආර්ථිකය කළමනාකරණය ඉතා දුර්වල වී 2002 වන විට වර්ධන වේගය ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට ඍණ විය. රාජ්‍ය දේපොළ තොග පිටින් කුණු කොල්ලයට විකුණා දමන ලදී.

2005 - 2014 මහින්ද රාජපක්‍ෂ යුගයේදී ආර්ථිකය සිවු ගුණයකින් ප්‍රසාරණය විය. යටිතල පහසුකම්වල විශාල දියුණුවක් ඇතිවිය. ලංකාවේ සංවර්ධන වේගය ආසියාව තුළ දෙවැනි වුණේ චීනයට පමණි. කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියාවේ තිරසරම කොටස් වෙළෙඳපොළ ලෙස සම්මාන ලබද්දී කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස සම්මාන ලැබීය. සෑම ආර්ථික දර්ශකයකින්ම වාගේ රට ඉදිරියට ගියද ජනතාව ඔවුන් ඇස් පනාපිට දුටු සංවර්ධනයෙන් පමණක් සෑහීමකට පත්වුණේ නැත. දූෂණය හා පවුල් පාලනය පිටුදැකීම තේමාව කරගත් යහපාලනයක් බලයට ගෙන ඒම සඳහා ඡන්දදායකයන් 52%ක් එක්ව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කරන ලදී.

මේ අතීත ආවර්ජනය තුළින් අපට පෙනී යන්නේ රටේ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තීන් විවිධ යුගවලදී විවිධ දිශාවන්ට දෝලනය වූ ආකාරයයි. එක් යුගයක සංවෘත ආර්ථිකයක් තුළින් රට ස්වයං පෝෂණය කරන්නට උත්සාහ කළ අපි වරෙක විවෘත ආර්ථික ක්‍රමයක් ගැන විශ්වාස තැබුවෙමු. තවත් විටෙක මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්තියක් ගැන කතා කළෙමු. මොනම ආර්ථික ප්‍රතිපත්තියක්වත් නැතිව ආණ්ඩුව පවත්වාගෙන යන ක්‍රමවේදයකුත් වර්තමානයේ අපට දක්නට ඇත.

පසුගිය වසර 3 තුළ රටේ ආර්ථික ගමන සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බව රහසක් නොවේ.
2012 - 2014 කාලයේ 7%ක ආසන්න මට්ටමක පැවති ආර්ථික සංවර්ධන වේගය 2017 වන විට 3.1%ක පමණ පහළ මට්ටමකට මන්දගාමී විය.

දස ලක්‍ෂයක් රැකියා පොරොන්දු වී බලයට පැමිණියද එදා තිබුණු රැකියා ප්‍රමාණයවත් අද නැත. මහ බැංකු වාර්තාවලටම අනුව 2014 ලක්‍ෂ 84ක් වූ රැකියා ප්‍රමාණය 2017 වන විට ලක්‍ෂ 82ට අඩුවී ඇත.

කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වත්මන් ආණ්ඩුවේ පළමු වසර 3 තුළ පමණක් රුපියල් බිලියන 215කින් එහෙමත් නැත්නම් කෝටි 21,500කින් පහත වැටිණි. එදා ආසියාවේ තිරසරම වෙළෙඳපොළ ලෙස සම්මාන ලබපු කොළඹ කොටස් වෙළෙඳපොළ අද ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත්වී ඇත.

2015 ජනවාරි සිට 2018 අප්‍රේල් දක්වා වූ වසර 3කුත් මාස 4ක කාලය තුළ රුපියල 19%කින් බාල්දු විය. ලංකාව විසින් ගෙවීමට ඇති විදේශ ණය වාරිකවල දේශීය අගය මේ නිසා පමණක් රුපියල් බිලියන 886කින් ඉහළ ගොස් ඇත. මහින්ද රාජපක්‍ෂ යුගයේ වසර 9ක් තුළ කළ හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නොරෙච්චෝලේ විදුලි බලාගාරය, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය යන සියලු මෙගා ව්‍යපෘතීන්ට වැය වූ මුළු මුදල රුපියල් බිලියන 460ට වඩා අඩුය.

රාජ්‍ය ණය බර 2014දී රුපියල් කෝටි 7,39,100ක්වූ අතර 2017 අග වන විට එය රුපියල් කෝටි 10,40,000 දක්වා 40%කින් ඉහළ ගොස් තිබිණි.

මේ අතර රජය ජනතාවගෙන් අයකර ගන්නා බදු විශාල වශයෙන් වැඩිකොට ඇත. 2014ට සාපේක්‍ෂව 2017 වසරේ රාජ්‍ය බදු රුපියල් බිලියන 620කින් ඉහළ ගොස් තිබිණි. 2018 වසරේ බදු ප්‍රමාණය රුපියල් ටි්‍රලියනය ඉක්මවනු ඇත. එය 2014ට සාපේක්‍ෂව 100%ක වැඩිවීමකි.

නමුත් මේ බදු වැඩිවීම හරහා ජනතාවට ලැබුණු දෙයක් නැත. උදාහරණයක් වශයෙන් 2017දී අධ්‍යාපනයට රජය වැය කළේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.9%ක්. සෞඛ්‍යයට 1.5%ක්. 2014දී තිබුණේද මේ ප්‍රතිශතයන්මය. එදා පොරොන්දු වූ ආකාරයට අධ්‍යාපනයට 6% හෝ සෞඛ්‍යයට 3% ජනතාවට ලැබිලා නැත. බදු පමණක් 60%කින් වැඩිවී ඇත. ඉහත කී ආර්ථික දර්ශකවලට අමතරව රටේ සාමාජයීය ගැටලු රාශියක් මතුවෙමින් පවතී.

සියදිවි නසාගැනීම්, කාන්තා දූෂණ, පොලිස් ස්ථාන තුළ සිදුවන මරණ, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, සත්ත්ව ඝාතන, මත්ද්‍රව්‍ය භාවිතය වැනි බොහෝ අංශවලින් රට තවදුරටත් පරිහානියට පත්වෙමින් තිබෙනා බව පෙනී යයි.
ලෝකය ඉදිරියට යන විට සමාජයේ බොහෝ වෙනස්කම් සිදුවේ. එක් යුගයකට ගැළපෙන සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ තවත් යුගයකට ගැළපෙන්නේ නැත. ඒ නිසා අතීතය අපට වැදගත් වන්නේ පාඩම් ඉගෙන ගන්නට පමණි. අතීතය විවේචනය කරමින් සිටීමෙන් අපේ ඉදිරි ගමනට වෙන සෙතක් නැත. ඒ නිසා අපි අද සාකච්ඡා කළ යුත්තේ හෙටට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන්නය.

නිදහසින් පසු බලයට පත්වූ රජයන් බොහෝමයක් විසින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තීන් කාලයත් සමඟම මහජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමට මූලික හේතුව ඒ ඒ රජයන් යටතේ ආර්ථිකයන් හැසිරවූවන් බොහෝ දෙනකු මහ පොළොවේ යථාර්ථය තේරුම් ගැනීමට අසමත් වීමයි. ඔවුන් බොහෝ විට උත්සාහ කළේ බටහිර හෝ අපරදිග ආර්ථික න්‍යායන් ලංකාවට හඳුන්වාදීමටය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක හා ලෝක බැංකුව කියන කියන ආකාරයට ආර්ථිකය හසුරවන්නට ඔවුහු බොහෝ දෙනෙක් උත්සාහ කළහ. නමුත් ලෝකයේ එක තැනක සාර්ථක වන ආර්ථික න්‍යායක් තවත් තැනක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ නොහැකිය. එක රටකට රටක් සමාන කළ නොහැක්කේ සෑම රටකටම ආවේණික ගැටලු තිබෙන බැවිනි. ඒවායේ ජීවත්වන ජනතාවන්ගේ සංස්කෘතීන්, ජීවන රටාවන්, හැසිරීම් රටාවන්, විශ්වාසයන් එකිනෙකට වෙනස්ය. අනෙකුත් රටවල් සූරාකා, අන් රටවල ධනයෙන් පොහොසත් වූ යුරෝපීය රටවල් හැරුණු විට අද ලෝකයේ දියුණු යැයි සැලකිය හැකි සෑම රටක්ම සංවර්ධනය සඳහා තමුන්ටම ආවේණික ක්‍රමයක් භාවිත කොට ඇත.

මේ රටේ ආර්ථිකය ඇත්තේ ජනතාව අතරය. කම්හලේ, ගොවිපොළේ, කාර්යාලයේ පාසලේ, රෝහලේ, වැඩ කරන ජනතාව අමතක කොට ආර්ථිකය ගැන කතා කරලා ඵලක් නැත. රටට අවශ්‍ය මහ පොළොවේ පය ගසා කරන ආර්ථික මිස ලෝක බැංකුව එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට උගන්වන ආර්ථික කළමනාකරණය නොවේ.

මහතීර් මොහොමඩ් මැලේසියාවෙත්, ජනරාල් පාර්ක් චූන්හි කොරියාවේත්, ලී ක්වාන් යූ සිංගප්පූරුවේත්, ඩෙන් සියා ඕ පිං චීනයේත් යොදා ගත්තේ තමුන්ටම ආවේණික විසඳුම් මිස පිටතින් ආනයන කළ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියාදුන් විසඳුම් නොවේ. ඒ නිසා අනාගතයේ මේ රටට ආර්ථික සැලසුමක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන අයත් ස්වාධීනව සිතන්නට හැකියාවක් ඇති අය විය යුතුය.

සංවර්ධනය කවුරු කෙසේ අර්ථ නිරූපණය කළත් එය පොදු ජනතා අපේක්‍ෂා ඉටු කරන සංවර්ධනයක් නොවේ නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුවකට දීර්ඝ කාලයක් බලයේ සිටින්නට නොහැකිය. ඒ ජනතාව ලද අවසරයෙන් සිටින පාලකයන්ව ප්‍රතික්ෂේප කොට නව පාලකයන් පිරිසක් පත් කර ගන්නා නිසාය.

අද රටට අවශ්‍යව තිබෙන්නේ සුළු පිරිසකගේ අපේක්‍ෂාවන් පමණක් නොව සමස්ත ජනතාවගේම අපේක්‍ෂාවන් ඉටුකළ හැකි ජනතා කේන්ද්‍රීය සංවර්ධනයකි. ඒ සඳහා අපටම අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් අවශ්‍යව ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්