කිරි අත්තා දන්න කතා වෙල් එළියේ කියන කතා යකුන් බැඳලා තියෙන කතා යකා වැවේ අමුතු කතා

  👤  4696 readers have read this article !
2018-05-13

ඉස්සර අනුරාධපුර දිසාවේ ගම්වල වාසය කළේ ගොවිතැන් බත් කරමින් ජීවත් වුණු අයයි. මේ හැම ගමකම වැවක්ද තිබුණා. නිතරම ගමේ අය කීවේ අපි නුවර කලාවිය ඇත්තෝ කියලා.

රෑ කාලයේ කාගේ හෝ ගෙදරක මිදුලේ පැදුර එළාගෙන පුරාණ කතා කීම තමා මේ අය කළේ. වැඩි හරියක්ම රෑට එකතු වුණේ මල්හාමි මාමාගේ ගෙදර මිදුලට. උන්දෑ කතාව කියන්න පටන් ගත්තාම රෑ පාන්දර තෙක්ම කතා කීම සිරිතක්. මේ කතා අහනකොට පොඩි අයට නින්ද එහෙම එන්නේ නැත. උන්දැගේ වයස අනූවක් පමණ වේ. ඒ වුණාට උන්දැට හොඳට කන් ඇහෙනවා. ඇස් පෙනුම එහෙම අඩුවෙලා නෑ. කොණ්ඩේ එහෙම බැඳපුවහම හොඳ ඉලන්දාරියෙක් වගේ. ඉතින් උන්දෑ තමයි ගමේ සිටිය වයස ඇත්තා. උන්දැගෙ කතා අහන්න ගමේ අය බොහොම කැමැතියි. අද උන්දෑ කතා කරන්න පටන් ගත්තේ උන්දැගෙ කිරිඅත්තා ඒ කාලේ යක්කුන්ගෙන් වැඩ අරන් ගමේ වැව බැන්ද හැටියි. ඔන්න කොල්ලනේ ඒ කාලේ අපේ කිරිඅත්තා මේ ගමට එන කාලේ මේ ගමේ වැවක් තිබුණේ නෑ. ගමේ ගෙවල් පහක් හයක් තමා තිබුණේ. මේ වෙල මහ මූකලානෙන් යට වෙලා අලි, කොටි, වලස්, මුව, ගෝන රැළ නම් අඩුවක් නෑ. මී පැණි කාලයට මී පැණිවලින් ලබු පිරිලා. රෑ බෝ වුණාම මිනිහෙක් තියා ගමේ කවුරුවත් ඔය කැලේට වදින්නේ නෑ. වලහා ඒ තරමට නපුරා. වලහා සමහර විට කැලේ කඩනවා. හැබැයි කිරිඅත්තා මේ කිසිම සතකුට බය නෑ. උන්දැ කැලේ යන විට කැලේ ඉන්න නපුරු සතුන් මඟහරිනවා. උන්දැ ඒ කාලේ ගමේ සිටිය මන්ත්‍ර ගුරුන්නාන්සේ. ඒ වගේම නපුරා. ඒ කියන්නේ යකෙකුටවත් බය නෑ. ඉතින් උන්දැට හිටිය මී හරක් පට්ටියක්. මේ මී හරක් උදේ පට්ටියෙන් පිටවී ගොස් සවස කෑම කාලා ගෙදර එන සිරිතක් තිබුණා. දවසක් මේ මී හරක් කෑම කාලා පට්ටියට ආවේ නැ. ඒකට අපේ කිරිඅත්තා කලබල වුණෙත් නෑ. පසුදා කිරිඅත්තගේ හාමිනේ මී හරක් හොයන්න කැලේට ගියා. ඒත් මීහරක් හමුවුණේ නෑ. කැලේදී උන්දැට යකෙක් වැහිලා උන්දෑ ගෙදර ආවේ මහ යකින්නියක් වගේ. අපේ කිරිඅත්තා වැඩිය කලබල වුණේ නැ. ගමේ අහල පහළ ගෙවල්වල අයත් පිරුණා. කිරිඅත්තා කෙම්මුර නූලක් දැම්මා. දැන් ආච්චිට යකාගේ දිෂ්ටිය මතක නැති වුණා. දැන් කිරිඅත්තාගේ කල්පනාව යකා ගමට ගෙන්වා ගන්නයි. කිරිඅත්ත කියන්න පටන් ගත්තා. මට වඩා ලොකු යකෙක් මේ ගම් හතේ නෑ. ඒ හන්දා බලාපියව් මම යකා ගමට ගෙනෙනවා. තොපි මට වුවමනා කරන දේවල් පමණක් හොයා දීපියව්. හෙට මම තොවිලෙ කරනවා. ඒ නිසා හෙට හැන්දෑවට අපේ ගෙදර වරෙව්.

පසුදා ගමේ හැම දෙනාම කිරිඅත්තාගෙ ගෙදර වැඩට ආවා. තොවිලෙට අවශ්‍ය හැම දේම සොයලා දුන්නා. දැන් තොවිලය පටන් ගත්තා. අල්ලපු ගමෙන් දක්‍ෂ බෙරකාරයකුත් ගෙන්වා ගත්තා. ගම් හතක සෙනඟ කිරිඅත්තගේ ගෙදර. දැන් කිරිඅත්ත ඔන්න මතුරනවා. ඔන්න දුම්මල ගහනවා. බෙරකාරයත් මහ හ¾ඩින් බෙර ගහනවා. මහ රෑ වෙනකොට හොඳ උස මහත කළුපාට කොණ්ඩය කැරලි ගැසුණු මහ යකෙක් හූ කියාගෙන කිරිඅත්තාගේ ගෙදර තොවිල්පළට පැන්නා. කිරි අත්තා මේ යකාට අතේ තිබුණු පොල් මලෙන් ගහගෙන ගහගෙන ගියා. යකා කෑ ගහන්න පටන් ගත්තා. ගමේ අයයි ගම්මානවලින් පැමිණි අයයි හොඳටම බය වුණා. "අනේ ඔඩ්ඩි මස්සිනේ මට ගහන්න එපෝ මම වැරැදි වැඩ කරන්නේ නෑ. මට යන්න අවසර දෙන්න" "තොට මොන අවසරද? තෝ මගේ බිරින්දෑට කරදර කළා. තෝ කාගෙන් අවසර අරන්ද මෙහෙ ආවේ. තෝ වෙසමුණි රජ්ජුරුවො ළඟට යවනවා. අනේ ගුරුන්නාන්සේ මට ගහන්න එපා මම ගුරුන්නාන්සෙට ඕනෑ දෙයක් කර දෙන්නම්. යකා කෑ ගහන්න පටන් ගත්තා. කිරිඅත්තා ලණුවක් ගෙන යකාව ගහක බැන්දා. අනේ බුදු මස්සිනේ මාව මුදා හරින්න මම ඕනෑ දෙයක් කර දෙන්නම් කිය කියා කෑ ගහන්න පටන් ගත්තා. කිරිඅත්තා යකාට කියනවා තෝ ආයේ මගේ බිරින්දෑට කරදර කළොත් තොපේ යක්‍ෂ සංහතියම නැති කරනවා. දැන් තෝ මේ ගහෙන් ලිහනවා. හෙට උදේ මේ ගමේ අර පේන වැව බඳින්න යක්‍ෂයන් සමඟ එන්න ඕනේ. මම එතැනට එනවා. යකා පොරොන්දුව පිට මුදා හැරියා. කිරිඅත්තා පසුවදා උදේ බලන විට යක්කු පෝලිමේ වැව බඳිනවා. කිරිඅත්තා ගහ මුලට වෙලා ගමේ අය සමඟ යකුන්ගේ වැඩ බලාගෙන සිටිනවා. සතියක් යන විට වැව බැඳලා ඉවරයි. යක්කු කිරිඅත්තාට වැව භාර දුන්නා. වැවේ විශාල ගහක විමානයක් හදාගෙන ඉන්න යකුන්ට අවසර දීලා තියෙනවා. ඒකේ ඉඳලා දැනුත් ගෑනුන්ට මේ යකුන් වින කරනවා. බය කරනවා. ඒක තමා කොල්ලනේ අපේ ගමේ ගෑනුන්ට ඉර බහින වෙලාවට මේ වැවට බහින්න බැරි. මේ වැවට අපේ කිරිඅත්තා දීලා තියෙන නම යකා වැවයි. ඒ හින්දා දැනුත් මේ වැවට කියන්නේ යකා වැවයි. යනුවෙන් මල්හාමි මාමා මහත් උජාරුවෙන් මේ කතාව කියාගෙන ගොහින් යකා වැවේ යක්කු අපේ ගමේ වැව බැන්දේ මෙහෙම තමා කියමින් කතාව නිම කළා.

(මේ යකා වැව තියෙන්නේ මැදවච්චියට සැතපුම් 4ක් පමණ දුරින්)
සුලක්ඛණ ජයවර්ධන

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon