මවගේ වියෝව ජීවිතයේ අනිත්‍ය බව පසක් කළ හැටි

  👤  5245 readers have read this article !
2018-05-13

"මං ජීවත්ව ඉන්දැද්දී අම්ම අප්පච්චි නැති වුණොත් මට දුක වැඩියි. ඊට ඉස්සරවෙලා මං නැතිවුණොත් හොඳයි"

මේ දිනවල හීන්බණ්ඩා දිසානායක සිය වැඩිමහලු සහෝදරයන් දෙදෙනා, බාල සහෝදරයන් දෙදෙනා සහ පියා සමඟ අලුතින් පොල් සිටුවන ඉඩමේ අලුතින් සෑදූ නිවෙසේ සිටී. අම්මා, අක්කා සහ නංගිලා දෙදෙනා සිටින නිවෙසට මේ පිරිස යන්නේ ආහාර ගැනීම සඳහා පමණි. පියා සමඟ එක්ව අලුත් ඉඩමේ පොල් සිටුවීමට මේ අයියලා මල්ලිලා අප්පච්චිට උදවු වෙති.

හිමිදිරි උදෑසන 4ට පමණ අවදි වන අම්මා දස දෙනකුට ප්‍රමාණවත් ආහාරපාන සකස් කර ඔවුන්ගේ උදෑසන ආහාරය අලුත් ඉඩමට එවයි.

"අම්මට හදිසි අසනීපයක්, ඉක්මනින් ගෙදර එන්න" එක් දිනක් උදෑසන 9ට පමණ ආ පණිවුඩයෙන් කළුබණ්ඩා උපාසක මහතා කලබල විය. ලහි ලහියේ නිවෙසට යන්නට පිටත් විය. හීන්බණ්ඩා ඇතුළු සහෝදර පිරිසද ඒ පසුපස වැටුණි.
ඒ යන විට දුටු දසුනින් සැමගේ නෙත් තෙත් වන්නට විය.

හීන්බණ්ඩලාගේ කිරි අම්මාගේ දෙපතුළ මත නළල තබාගෙන සිටින අම්මා "අම්මේ මගේ පව් ඇර සමාවෙන්න" අම්මා පවසන හඬ සියල්ලන්ටම ඉතා පැහැදිලිව ඇසුණි. අනතුරුව කළුබණ්ඩා උපාසක මහතාගේ දෙපතුළ මතද නළල තැබූ ඇය එලෙසම පැවැසුවාය.

තම දරු පැටවුන් දෙස මහත් වූ සෙනේහයෙන් බැලූ පුංචිමැණිකා උපාසිකාව ඇඳ මත දිගාවී පවුලේ වැඩිමලා වූ එම්.බී. දිසානායකට කතාකොට "මගෙ රත්තරන් පුතේ උඹේ සහෝදර සහෝදරියො ගැන හොඳින් බලාගනින්" යැයි ප්‍රකාශ කළාය. අනිච්චේ දුක්ඛේ සංසාරේ යනුවෙන් තුන්වරක් මුමුණා ඉතා හොඳ සිහි කල්පනාවෙන් යුතුව නෙත් පියා ගත්තාය.
ඒ පින්වන්ත ආදරණීය මෑණියන්ගේ අභාවය කළුබණ්ඩා උපාසක මහතාට මහත් වේදනාවක් විය.

එහෙත් තමන්ටත් වඩා වේදනාභරිතව සිටින දරු කැල දෙස බැලූ ඔහු තම වේදනාව යටපත් කරගෙන මරණයේ ඉතිරි කටයුතුවල නිරත වන්නට විය.

මොහොතකින් මුළු ඉමිහාමින්නේගමම එතැනය. අවසන් කටයුතු නිමවා සත් දින දානයද පිරිනැමූ කළුබණ්ඩා උපාසක මහතා තමන් උගත් ධර්මය මෙනෙහි කරමින් හිත හදා ගත්තේය. තම දරුවන්ටද ධර්මානුකූලව සිතා සිත හදා ගන්නට හැකි අවවාද අනුශාසනා කළේය.

සිය ආදරණීය මෑණියන්ගේ මරණයට දින කිහිපයකට පෙර සිට තමන් වෙත ආ සිතිවිලි හීන්බණ්ඩා දිසානායක සිහිපත් කළේ පුදුමයෙනි.

කෙසේ වුවද ජීවිතයේ අනිත්‍ය බව මනා සේ අවබෝධ කරගැනීමට හේතුවක් වූ සිය මවගේ වියෝව ඔහුට ඔහුගේ පැවිදිවීමේ සිත තව තවත් ශක්තිමත් වීමට හේතු විය.

වෙනත් අවුරුදු නවයක පුංචි දරුවකු තම වැඩිහිටියන්ගෙන් ඉල්ලන්නේ සෙල්ලම් බඩු, රසකැවිලි අලුත් ඇඳුම් පැලඳුම් වැනි දෑය. නමුත් තම දරුවා ඉල්ලන්නේ සිල් සමාදන් වන්නට අවසරයි. දෙවරක් නොසිතා පුංචි මැණිකා උපාසිකා මාතාව සිය පුතුගේ ඉල්ලීම ඉතා සතුටින් පිළිගත්තාය.

'හා එහෙනම් කිරි අම්මා එක්ක යන්න ලෑස්ති වෙන්න'

අම්මාගෙන් විවරණ ලැබූ හීන්බණ්ඩාට එය ඉහේ මලක් පිපුණාක් මෙන් විය.

නියමිත පොහෝ දින වෙනදාටත් වඩා පාන්දරින් අවදි වූ ඔහු සිරුර කිසනිමවා ස්නානය කළේය.

සුදෝසුදු සිල් ඇඳුමෙන් සැරසී පියා, මව, කිරි අම්මා ඇතුළු සිල් පිරිස සමඟ ගමේ බෝධින් වහන්සේ වෙත පිය නැඟූ හීන්බණ්ඩාගේ සිත දැන් පින් සිතිවිලිවලින් පිරී ඇත.
පැමිණ සිටි පිරිස තිසරණ සහිත අටසිල්හි පිහිටුවූයේ හීන්බණ්ඩාගේ පියා වූ කළුබණ්ඩා උපාසක මහතාය. අනතුරුව බුද්ධ පූජාව ද පැවැත්විණි.

සිල් සුවඳින්ද මල් සුවඳින්ද සුවඳවත් වූ බෝමළුව හීන්බණ්ඩා තුළ ඇතිකළේ මහා සැනසිලි දායක බවකි.

ඔහු බෝ මැඬ දෙස ඇසිපිය නොහෙළා බලා සිටියි. එවිට මතකයට ආවේ පන්සලේදී ලොකු හාමුදුරුවන් කියා දුන් බුදු පියාණන් වහන්සේ අනිමිස ලෝචන පූජාවෙන් බුද්ධත්වයට පත්වීමට පිහිට වූ බෝමැඬට කළගුණ සැලකූ කතාවයි.
'පුතේ මේ නවගුණ වැල අතට ගන්න. ඉතිපිසෝ ගාථාවෙන් බුදුගුණ වඩන්න.'

කිරිඅම්මා එසේ කියමින් නවගුණවැලක් හීන්බණ්ඩා අත තැබුවාය.

බෝමැඬහි නිසංසල තැනක හිඳගත් හීන්බණ්ඩා නවගුණවැලේ එක් ඇටයකට එක්වර බැගින් 'ඉතිපිසෝ' ගාථාව කියමින් දහවල් බුද්ධ පූජාව පවත්වන වේලාව තෙක් බුදුගුණ වැඩුවේ දැඩි ශ්‍රද්ධාවකිනි. ප්‍රීතියකිනි.

ගමේ සිල් පිරිස බෝමැඬ ළඟ සිල් සමාදන් වී දහවල් අහර කිසෙන් පසු සවස්වරුවේ නිලගම පන්සලට යෑම චාරිත්‍රයකි.
ඒ අනුව හීන්බණ්ඩාද සිල් පිරිස සමඟ නිලගම පන්සලට ගියේය. එදින රැය පහන්වනතුරු නොනිදා සිල් රැකීම කළ යුතු විය.
'නිදාගන්න එපා. සිල්හොරු සිල් උදුරාගන්නවා' වැඩිහිටි උපාසක මහතෙක් සිල් පිරිසට එසේ දැනුම් දී 'පූජාවලිය' බණ පොත ශාන්ත ස්වරයෙන් කියවන්නට විය.

අනේ මටත් ආසයි පූජාවලිය මෙහෙම කියවන්න, මේ වනවිටත් පූජාවලිය ඇතුළු පොත් රැසක් කියවා වනපොත් කර තිබූ හීන් බණ්ඩාට එවන් සිතක් පහළ වුවද එය වචන බවට පත් නොකළේ සිල් පිරිසේ ළාබාලයා වූ තමාට ඒ අවස්ථාව ලබා නොදෙතැයි යන සැකයෙනි.

ශාන්ත ස්වරයෙන් වැඩිහිටි උපාසක මහතා පූජාවලිය කියවද්දී පූජාවලිය කටපාඩම් හීන්බණ්ඩා ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවණයේ යෙදෙන්නට විය. මෙසේ සමාධිගතව බණ අසන ඔහු ඉදිරිපිට ඇති බණමඩුවේ විශාල, පැරැණි දැව කුලුනකට පිටදී නැඟෙනහිර දිශාව බලා ධර්ම දේශනා කරන බුද්ධ
ප්‍රතිමාවක් බවට තමන් පත්වී
සිටිනු ඉතා පැහැදිලිව දැක්කේ අසිරිමත් ලෙසය. මේ අසිරිමත් දසුන තුළ කෙතෙක් වේලා
සිටියේ දැයි ඔහුට නිශ්චිත නැත.

නිලගම පාසලේ ගුරුවරයෙක් තවත් පිරිසක් සමඟ පැමිණ සිසිල් බීම, ගිලන් පස, දැහැත් පිළිගන්වන මොහොතේ ඒ අසිරිමත් දසුනෙන් මිදුණු හීන්බණ්ඩා ගුරුතුමා ඇතුළු පින්වත් පිරිසගේ ගිලන්පස දානය පිළිගත්තේ මහත් දයාවෙනි. තම සිසුවකු සිල් සමාදන් වී සිටීම ගුරුතුමාටද මහත් සතුටක් ගෙන එන්නට හේතු විය.

(ලබන සතියට)
සුනිල් පොරමඬල

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon