තරහව හිතේ එකතු කරගන්න අවශ්‍ය වෙලාවට පුපුරලා යන්න ඉඩ හරින්න

  👤  4304 readers have read this article !
2018-05-13

මෙතෙක් කතාව

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජන දිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියන් ලෙස කොටි සංවිධානයට එක්වෙති. ඉන්දු-ලංකා සාම ගිවිසුම ක්‍රියාත්මක වෙයි. ඉන්දීය හමුදා පැමිණෙති. ඉන්දීය හමුදාවට රටින් බැහැර වන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නියැළුණු දිලීපන් මිය යයි. සාම ගිවිසුම බිඳ වැටේ. කොටි නැවතත් ආයුධ අතට ගනිති. කොටි ඉන්දීය හමුදාව සමඟ යුද වදිති.

"අක්කා, ලයිට් නිවල දාන්ඩ. හමුදාවට ඇහැ ගැහුණොත් මේ පැත්තෙ එන්ඩ බැරි නෑ"

සුදර්ශන් ඉල්ලා සිටියද කාන්තාව සුපුරුදු ලෙසම වාඩි වී දිගටම මුමුනමින් සිටියාය.

"අනේ, මෙහෙන් යන්ඩ. මෙහෙන් යන්ඩ"

මට දැනුණේ ඇය නැළවිලි ගීතයක් ගායනා කරන්නා සේය.

පසුවදා උදෑසන සෙංගමාලම් අප අවදි කරවීය. එවිට වේලාව උදෑසන හය හමාර වී තිබිණි. පාන්දර දෙකට මා දුටු පරිදිම ගෙහිමි කත ඒ වන විටත් එලෙසින් එතැනම වාඩි වී පුරුදු ගීතය ගායනා කරමින් සිටියාය.

යහළු යෙහෙළියන් මිය පරලොව ගොස් සිටියදී මා එතෙක් වේලා නිදා සිටීම පිළිබඳව මට දැනුණේ සියුම් විළියකි. මා ගැන කිසිවෙක්ම සොයා නොබලන බොහෝ දුර එපිටකට දිව යන්නට මට වුවමනා විය. එහෙත් මම හිටි තැනම වාඩි වී බලා සිටියෙමි. ඊළඟට කළ යුත්තේ කුමක්දැයි කවුරුන් හෝ මට පවසන තුරු මම බලා සිටියෙමි.

සෙංගමාලම් කාන්තාව අමතා ඇගේ පරණ ඇඳුම් කිහිපයක් ඉල්ලා සිටියේය. හිරු එළිය වැටී ඇති බැවින් කලිසම් කමිසවලින් සැරසී අප මහ මඟ යෑම අනතුරුදායක විය හැකි බැවිනි.

කාන්තාව වහා නැඟී සිටියේ අප ඉක්මනින් පලවා හැරිය හැකි මඟක් දැකීමෙනි. ගෙට දිව ගිය ඇය ආපසු පැමිණියේ පරණ කාන්තා ඇඳුම් පොදියක්ද දෝතින්ම රැගෙනය.

ප්‍රමාණයෙන් විශාල වුවද මා තෝරාගත්තේ විශාල සුදු මල් වැටුණු දම් පැහැති බතික් ඇඳුමකි. අපි අපගේ රයිෆල් සහ රයිෆල් රඳවනයන් අප සතුව තිබූ සරොම්වල ඔතා ගතිමු. මම මගේ අපිරිසුදු ඇලෙනසුලු තෙත හිසකේ පෝනිටේලයකට දමා ගතිමි.
අපි ගෙන් පිටත ගියේ අසරණ ගොවි පවුලක් සේ පෙනෙන පරිද්දෙනි. තුවක්කු එතූ සරොම් අප රැගෙන ගියේ බිලින්දන් රැගෙන යන්නා සේය. පාවහන් රහිත අපගේ දෙපා බොහෝ අපිරිසුදු වී තිබිණි. හොඳින් ඉර පායා තිබූ ඒ උදෑසන පරිසරය පුරා විසිර තිබුණේ ඉදුණු තල් ගෙඩිවල සුවඳය. පුරුද්දට මෙන් අප ගමන් කරමින් සිටියේ එක පෙළටය. එක්ව ගමන් කළ යුතු බව සෙංගමාලම් අපට සිහිපත් කොට දුන්නේය. කලින් දා ඒ කඨෝර සිද්ධිය සිදුවූ ස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් අප පාර හරහා ඇවිද ගියේ කිසිදු කරදරයකින් හෝ බාධාවකින් තොරවය.

එදින මධ්‍යහ්නය වන විට අපි තවත් අත්හැර දමන ලද නිවෙසක් කරා පැමිණියෙමු. ඒ වන විටත් එහි වෙනත් පිරිමි කොටි හමුදා ඒකකයක් නවාතැන් ගෙන සිටිනු දක්නට ලැබිණි. බේරී පලා ගිය කොටි හමුදා සාමාජිකයන් සොයා ප්‍රදේශය නිතර හමුදා සෝදිසියට ලක්වන බැවින් අප කිසිවෙක් කිසිවක් කතා නොකළ යුතු බව සෙංගමාලම් දන්වා සිටියේය.

මුර සේවාව සඳහා ඔහු තරුණයන්ට අණ දුන්නේද අංග චලනයෙනි. ගෙවී ගිය ඊළඟ දින එකහමාර අප සිටියේ නිවෙස ඇතුළත ‍ෙදාරගුළු ලාගෙනය. ජනේලයක් හෝ නොතිබූ ඒ කුඩා, අඳුරු, හිස් කාමරය තුළ අප සිරගත වූවා සේය. අප පිටතට පැමිණියේ වැසිකිළි යෑමේ අවශ්‍යතාව සඳහා පමණි. එයද අඳුර වැටුණායින් පසුවය.

අප නිදාගත්තේ මාරුවෙන් මාරුවටය. කිසිවක් කතා කළේ නම් ඒ කොඳුරමිනි. ආහාර සඳහා අපට ලැබුණේ පරණ පාන් පෙති කිහිපයක් සහ වතුර ජෝගුවක් පමණකි. ගෙවී ගිය හැම මොහොතකම අහිමි වූ යහළු යෙහෙළියන් සිහිව මගේ දෑසින් කඳුළු කැට කඩා හැලුණි.

ඒ නත්තල් දා සන්ධ්‍යා යාමයයි. පෙරදා සැඟව සිටි නිවෙසින් පිටවූ අප යමින් සිටියේ 'සුදුමලෙයි' දෙසටය. පැයක ගමනකින් පසු අපි මැටියෙන් කළ කුඩා නිවෙසකට ගොඩ වූයෙමු. ඊට යාබද නිවෙස පිරිමි ඒකකයක නවාතැන විය.

විසි දෙනකුගෙන් යුත් අපගේ ඒකකය අල්ලා ගැනීම සඳහා හමුදා සොල්දාදුවන් දෙදහසකගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රදේශය පුරා යොදවා ඇති බව සෙංගමාලම් අපට දැනුම් දී තිබිණි. ඒ වන විට අපගේ බළඇණියෙහි දස දෙනෙක් මිය ගොසිනි. සතරදෙනෙක් අතුරුදන් වී සිටියහ. එක් අයකු තුවාල ලබා සිටියේය. බළඇණියක් ලෙස අප සිටියේ බෙහෙවින්ම දුර්වල තත්ත්වයකය.

අපගේ සහෘදයන්ගේ මළ සිරුරු හමුදාව මඟින් හින්දු ආදාහනාගාරය කරා ගෙන ගොස් ප්‍රදර්ශනය කරන බව දැනගන්නට ලැබිණි. ලන්තානා පඳුරේ සැඟවී සිට ඔත්තු බලන්නට ගිය තරුණයාද හමුදාවෙන් අල්ලාගෙනය. ඊසන්, පෝක් සමුද්‍ර සන්ධිය හරහා දිවෙන නීති විරෝධී බෝට්ටුවකින් ඉන්දියාවට යවා ඇත. ඒ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනු සඳහාය.

අකිලා, ජෙනී, සාරධා හා මුරලිගේ සහායක රාජන්... මේ සිවු දෙනාගේ ඉරණම කුමක් වන්නට ඇතිද?

දැවැන්ත මුරුංගා ගසක් යට තනා තිබූ ඒ කුඩා නිවෙසෙහි ඉස්තෝප්පුවෙහි වාඩි වී මම දිගින් දිගටම කල්පනා කළෙමි.

පුපුරා සුනු විසුනු වී ගිය ගාන්ධිගේ හිස, පොළොවට කඩා පාත්වූ අමුර්දාන්ගේ අප්‍රාණික සිරුර, පසුපසට ඇද වැටෙමින් සිටි අජන්තිගේ දෑසෙහි වූ හිස් බැල්ම, ආපසු තණ බිස්සට ඇදී ගිය මුරලිගේ ලේ වැකුණු සිරුර, මා කෙලෙස අමතක කරන්නටද?

අකිලා හා නිහින්තා මට එලෙසින් හෝ දකින්නට ලැබුණේ නැත.

එක් අයෙක් ගැන පමණක් සිතූ හැම මොහොතකම මගේ සිත මටම වරද පැවැරීය. මා ඒ සියලු දෙනා පිළිබඳ එක සේ ම ශෝක විය යුතුය. මේ මොහොත වන විට ඔවුනගේ සිරුරු කිසිදු ගෞරවනීය අවමංගල්‍යයකින් තොරව බලු කපුටන් විසින් භක්ෂණය කරනු ලබනවා ඇත. බොහෝ දුර පිහිටි ඔවුන්ගේ නිවෙස්වල කිසිවකුත් මේ පිළිබඳ හාංකවිසියක් හෝ නොදනිති.

මේ නත්තලට ගෙදර යන්නට අජන්තිගේ සිත තුළ සිහින් සිහිනයක් තිබිණි. දැන් ඉතින් ඒ සියලු සිහින වියැකී ගොසිනි. මාලා ආන්ටි මේ පිළිබඳ කවදා කෙසේ දැනගනු ලබාවිද? මාලා ආන්ටි, නිලන්ති, ජෙරම් අංකල්... මා ඔවුන් හට නැවත මුහුණ දෙන්නේ කෙලෙසද? අතක් පයක් හෝ අහිමි නොවී යහතින් සිටිමින් අජන්නිගේ දුක්මුසු මරණය මා ඔවුනට කෙසේ සැල කරන්නෙම්ද?

අන්ධකාරයෙහි මගේ කල්පනාවලිය තුළ තාතා, දීබාන්, බෙන්ජමින්, මෙන්ම දිලීපන්ද මට මුණ ගැසිණි. ඒ අතර මට ප්‍රභාකරන්ගේ වදන් කිහිපයක් සිහි විය.

"තරහව හිතේ එකතු කරගන්ඩ. අවශ්‍ය වෙලාවට පුපුරලා යන්ඩ ඉඩ අරින්න"

නමුත් මගේ සිත තුළ කිසිදු තරහවක් එක් රැස්ව තිබුණේ නැත. තිබුණේ බලාපොරොත්තු බිඳ වැටීම පමණි. මේ තරම් ඉක්මනින් හා පහසුවෙන් ජීවිතය කරා මරණය ළඟා වේ නම් අයිතිවාසිකම් උදෙසා කෙරෙන මේ නිමක් නැති මානව අරගලයේ අරුත කුමක්ද?

මට හදිසියේ ඇසුණේ අඩි ශබ්දයක් හා මිමිනුම් හඬකි. මගේ කල්පනා ලෝකය බිඳ වැටිණි. මුර සේවා ස්ථානයද පසු කරමින් නිවෙස වෙතට ළඟාවෙමින් සිටියේ මිනිස් ඡායාවන් තුනකි. ඔවුන්ගේ මඟට විදුලි පන්දම් ආලෝකයක් වැටුණෙන් මම ඔවුන් හඳුනා ගතිමි.

"රාජන්... ජෙනී... අකීලා"

මට දැනුණේ මගේ සිත තුළ ගිනි කන්දක් පුපුරා ගියා සේ ය. මම වහා ඔවුන් වෙත දිව ගියෙමි.

"නිරෝමි..."

අකීලාත්, ජෙනීත්, මමත් අප තිදෙනා අතින් අතට මාරුවෙමින් සිප වැලඳගත්තේ හඬා වැලපෙමිනි. ඔවුන්ගෙන් අසන්නට හා ඔවුන්ට කියන්නට බොහෝ දෑ තිබුණද මගේ මුවට වදනක් හෝ ගලා ආවේ නැත.

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon