රජු ඉවත් කිරීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොවූ නිසා ඉතිහාසය පුරා රාජකීය ඝාතන

  👤  4462 readers have read this article !
2018-05-13

ඓතිහාසික රාජාණ්ඩු සමයේ සිට පැවත එන මෙරට ආණ්ඩුක්‍රම විකාශයේ රජවරුන් බලයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන නොවූ බව ඉහතද සඳහන් කළෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලිඛිත සම්ප්‍රදාය මත පැවත එන්නක් වුවද එහි රජවරුන් පත් කිරීමට විනා ඉවත් කිරීමට ක්‍රමවේද තිබුණේ නැත.

එහි ප්‍රතිඵලය වූයේ කුමන්ත්‍රණ මඟින් රජු ඝාතනය කොට බලය අල්ලා ගැනීමයි. ලංකා ඉතිහාසය පුරාම මෙම ඛේදවාචකය සටහන්ව තිබේ. අනුලා බිසව රජවරු පෝලිමක්ම දංගෙඩියට යැවූ අන්දම මහාවංශය හෙළිකර තිබේ. රජු මරා දැමීම හෝ ඉංග්‍රීසින්ගේ උදවු ඇතිව නෙරපා දැමීම හැර රජකම තමන් අතට ගැනීමට වෙනත් ක්‍රමයක් නැති බව පිළිමතලාව මෙන්ම ඇහැළේපොළද දැන සිටියේය. එහෙත් ඉංග්‍රීසීන්ගේ උදව්වෙන් රජු සිංහාසනයෙන් බැස්ස වීමත් සමඟ දේශීය රාජ වංශය නිමාවට පත්වන අතර ලංකා ද්වීපයම බි්‍රතාන්‍ය ආණ්ඩුකාරයාගේ පාලනයට යටත් වන බවත් රදල නායකයන්ට මොහොතකටවත් කල්පනා වූයේ නැත. අවසානයේ සිදුවූයේ එයය.

ඉංග්‍රීසීන්ගේ හමුදා කන්ද උඩරටට ආවේ රට නිදහස් කරදීමේ මානුෂික යුද මෙහෙවර පිණිස බව කියති. ඔවුන්ගේ මානුෂික යුද්ධ ලොව බොහෝ ස්වාධීන රාජ්‍යයන්හි සම්භාවනීය රජවරු කානුවලට ඇද දමනු ලැබීය. හිරු නොබසින අධිරාජ්‍යය ගොඩනැඟුවේ එපරිද්දෙනි. මේ ප්‍රශ්නය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හරිද වැරැදිද, සාධාරණද අසාධාරණද කියා තෝරන්නට යෑම නිවැරැදි නැත. ආක්‍රමණිකයාගේ පැත්තේ සිට කරුණු විභාග කිරීමෙන් නූතන ඉතිහාසය ලියා තිබීම මුළුමනින්ම වැරැදිය. අපේ බොහෝ ඉතිහාසඥයන් පෑන අතට ගන්නේම ආක්‍රමණිකයාට සුදු හුනු ගාන්නටය. එයට සිංහල භාෂාවේ යෙදෙන වචනය 'යටත් විජිත මානසිකත්වයයි. බි්‍රතාන්‍ය යටත් විජිත සඳහා ඔවුන් මුලින් භාවිත කළේ යටත් විජිත රාජ්‍යයන් යන යෙදුමය.

යටත් විජිතය යන්නට ඔවුන් යෙදුවේ කොලනි යන්නයි (ඛ්තධදර). අපේ උගතුන් එම යුගය ඛ්තධදඪචත ර්ථීඥපඪධඤ යනුවෙන් සාඩම්බරයෙන් හඳුන්වති.

යටත් විජිත රාජ්‍යයන් යන යෙදුම පසුව ඛ්ධථථධථ එඥචතබඩ ර්ණීට ව්චබඪධද යනුවෙන් වෙනස් කළේද බි්‍රතාන්‍ය පරිපාලකයෝය. අද එයම පොදු රාජ්‍ය මණ්ඩලය නමින් සංවිධානගතව තිබේ. මේ වසරේ බි්‍රතාන්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට රටවල් 53ක් සහභාගි වූ අතර මේ රටවල් සියල්ල 18, 19 සියවස්වල බි්‍රතාන්‍ය හමුදා ලෝකය ශිෂ්ටාචාර ගත කිරීම සඳහා බව පවසමින් කරනු ලැබූ අමානුෂික යුද්ධවලින් අත්පත් කරගන්නා ලද රටවල්ය. ඒ සෑම අවස්ථාවකම එකී රටවල දේශීය ජනයාගේ ලෙයින් භූමිය තෙත් කළ තිරශ්චීන යුද්ධ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරයා විසින් මේජර් ජනරාල් මැක්ඩොවෙල් යටතේ 1700ක හමුදාවක් කන්දේ නුවර බලා කොළඹ සිට පිටත් කළේ 1803 ජනවාරි 31 වැනි දිනය. තවත් හමුදාවක් ත්‍රිකුණාමලය පැත්තෙන් නුවරට ළඟා වෙමින් සිටි අතර එය මෙහෙයවන ලද්දේ කර්නල් බාබුට් විසිනි. රජු පලවා හැර ඒ වනවිටත් ඉංග්‍රීසීන් භාරයේ සිටි මුත්තුසාමි රජ කරවීම ෆෙඩ්රික් නෝර්ත්ගේ නාටකයේ පළමු පියවර විය.

මහනුවරට ළඟා වූ සේනාංක පෙබරවාරි 24 වැනිදා නුවර තමන් යටතට ගත්තේය. මාර්තු 8 වැනිදා මුත්තු සාමි රජ කරවා ගිවිසුමක්ද අස්සන් කරන ලදී. කර්නල් බාබුට් යටතේ කුඩා හමුදාවක් මුත්තු සාමිගේ ආරක්ෂාවට නුවර නවත්වා අප්‍රේල් පළමු වැනිදා මැක්ඩෝවල් කොළඹ ගියේය.

මුත්තුසාමි කුමාරයාගේ තත්ත්වය එතරම් යහපත් නොවීය. කන්දේ නුවර ඔහුගේ ආරක්ෂාවට සිටි බාබුට්ගේ හමුදාව රෝගාබාධවලට ගොදුරු වූහ. හමුදාවේ සිටි සිංහල සහ මැලේ භටයෝ පලා ගියෝය. අසනීප තත්ත්වය උත්සන්න වීමෙන් කර්නල් බාබුට්ද මරණයට පත්විය. හමුදා ඛණ්ඩයට නායකත්වය දීම මේජර් ඇඩම් ඩේවිට භාර විය. මුත්තු සාමිගේ සහායට එකම රදල ප්‍රභූවරයකු හෝ සිට නැත. රාජසිංහ රජුගේ හමුදා මහනුවර නගරය වටකොට බි්‍රතාන්‍යයන්ට පහර දුන්හ. පැය දහයක පමණ වෙඩි හුවමාරුවකින් පසුව ඉංග්‍රීසීහු යටත් වූයේ ආරක්ෂා සහිතව ත්‍රිකුණාමලයට යෑමට ඉඩදෙන බවට එකඟත්වයකට පැමිණීමෙන් අනතුරුවය. ඔවුන් පිටත්ව ගියද මහවැලි ගඟ ගලා තිබූ බැවින් වටපුළුවෙන් එහාට යෑමට නොහැකි විය. ඔවුන්ට මරණය අත්වූ අන්දම බොහෝ ප්‍රකටය.

මහනුවරට නැඟෙනහිර දෙසින් වූ මාලිගයකදී මුත්තුසාමි සහ ඥාතීන් රජු වෙත පැමිණවීමෙන් අනතුරුව රාජ නීතියට අනුව වරදකරුවන් කර හිස් ගසා දමන ලදී. ඉංග්‍රීසි හමුදා සේනාංකයෙන් දිවි රැකුණේ මේජර් ඇඩම් ඩේවිගේ පමණි. ඔහු සිරකරුවකු ලෙස මහනුවර ජීවත් විය.

මේ සිදුවීම ගැන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මුරිසිය බලා රැගෙන යන අතර කොන්වැලිස් නෞකාවේදී මෙසේ පවසා ඇත.
"මා නොමේරු අවධියේ අදිකාරම්ගේ බලපෑම්වලින් මිදෙන්න මට නොහැකි වුණා. බොහෝ දේ මා දැනගත්තේ ඒවා සිදුවීමෙන් පසුවයි. මම මේජර් ඩේවිගේ ජීවිතය ආරක්ෂා කළා. මගේ සිරකරුවකු විදියට ඔහු රැකුණා. නමුත් අදිකාරම් යටතට පත් සියල්ලන් ඔහු විනාශ කළා.

මම ඩේවිට අවශ්‍ය තරම් ආහාර පාන දුන්නා. භාර්යාවන් දුන්නා. පැවැති නීතියට අනුව ඊට වැඩි දෙයක් කරන්න බැහැ. ඒ නීති මම හදපුවා නොවෙයි. රාජද්‍රෝහි වූ නිසා මුත්තු සාමිට හා ඔහුගේ අනුගාමිකයනට මරණ දඬුවම නියම කළා. එය නීතියෙන් නියම වූ දෙයක්."

ලංකාවේ අන්තිම රජ ග්‍රන්ථයේ
විලියම් ග්‍රැන්විල්ගේ සටහන්

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon