රට හදන තැන

  👤  4010 readers have read this article !
2018-05-11

දයා පෙරේරා, ජේ.ටී. සිල්වා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ආරම්භ කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ පැවැති විවාදයේදී ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ මැති ඇමැතිවරුන් දැක්වූ අදහස්.

රජවරුන්ගේ අනුහස් හා ආශීර්වාදය මැද්දේ තමයි මේ වංචා දූෂණ සිදුවන්නේ

මෛත්‍රි - රනිල් ආණ්ඩුව තරම් මෑත ඉතිහාසයේ ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ ආණ්ඩුවක් නැති බව කිවයුතුයි.

එදා පැවැති ආණ්ඩුව බිඳ වැටීමට සමත් වූවත් මේ රට ගොඩනැංවීමට තමුන්නාන්සේලාට නොහැකි වී තිබෙනවා.

මේ ආණ්ඩුව තුළ සිටින බල කඳවුරු දෙකෙහිම බල අරගලයක් පවතිනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙහි මේ බල අරගලය ගැන සඳහන් වුණා.

එස්.බී. දිසානායක මහතා සමෘද්ධි මුදල් අසීමිත අන්දමින් වියදම් කර ඇති බවට අද කතා කරනවා. එතුමා ආණ්ඩුවෙන් ගිය නිසයි මේවා කියන්නේ. ඇතුළේ හිටිය නම් මේවා කියන්නේ නැහැ.

ලංකා ඉතිහාසයේ බලයේ සිටින ආණ්ඩුවක පක්ෂයක් තුළ පවතින ගැටුම්කාරී තත්ත්වයක් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී නැහැ.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමට හේතුව ජනාධිපතිතුමා ප්‍රකාශ කරාවිය කියා අපි හිතුවා. එය එසේ වුණේ නැහැ.

අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රිවරු 95 දෙනෙක් ඉන්නවා. ඒ 95 දෙනාගෙන් 23 දෙනකු පමණයි මේ ආණ්ඩුව තුළ ඉන්නේ. 95න් 23 දෙනකු තියාගෙන කොහොමද ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ? ඒ ඉන්න 23 දෙනාගෙන් දෙන්නෙක් මැද ඉන්නේ. කොයි පැත්තට ඒ දෙන්නා පනීවිද කියලා දන්නේ නැහැ.

වංචාව දූෂණය පිළිබඳව තමුන්නාන්සේලා කිසිම සාධනීය පියවරක් ගෙන නැහැ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන් අද වංචාවේ දූෂණයේ යෙදී අත්අඩංගුවට පත්වී සිටිනවා.

කන්තලේ සීනි සමාගමේ යකඩ ලබා දෙන්න කැබිනට් පත්‍රිකාව දාන්නේ කවුද? ඒක මහානාමට කරන්න බැහැ. පී. දිසානායකගෙනුයි මහානාමගෙනුයි ප්‍රශ්න කරන්න ඕනෑ.

මහ බැංකුවේ අධිපතිවරයා, අගමැතිවරයා සමඟ ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කරපු කෙනෙක්. අද ඔහු ගැන අගමැති කතා කරන්නෙත් නැහැ. පිට්ටු ගිල්ලා වගේ ඉන්නවා.

හිටපු ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරිය, අගමැතිවරයා, දැන් ඉන්න ජනාධිපතිවරයා මේ අයගේ ආශීර්වාදය ඇතිව තමයි මේ වංචා දූෂණ සිදුවෙලා තිබෙන්නේ. රජවරුන්ගේ අනුහස් සහ ආශීර්වාදය මැද්දේ තමයි මේ වංචා දූෂණ සිදුවන්නේ.
දූෂකයන්ට දඬුවම් ලබාදීමට තමුන්නාන්සේලාට අවුරුදු තුනක් යනතුරු නොහැකිවී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජනවාර්ගික ප්‍රශ්නය ගැන වචනයක්වත් නෑ

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් එක වචනයක් හෝ සඳහන් නොවීම කනගාටුවට කරුණක්.

ජනතාවාදී වැඩපිළිවෙළක නිර්ණායක පහළොවක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ සඳහන් වුවත් ජනවාර්ගික ප්‍රශ්නය ගැන සඳහනක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට පනතක් හදන්න යන බව අප දන්නවා. අදියර වශයෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ වාර්තා ගැන හෝ ඒවා ගැන විවාදයක් කිරීම ගැන හෝ එම ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් අප රවටා ඇති බවක් පෙනෙනවා.

යහපාලනයට එකඟ වී ඇති අවස්ථාවක අපි පාර්ලිමේන්තුවේ ආසන පමණක් වෙනස් කර වාඩි වෙනවා. සුළු ජන කොටස් වශයෙන් අප නොයෙක් පරිත්‍යාග සිදු කර තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි එක වචනයක් හෝ ව්‍යවස්ථා සංශෝධනය ගැන සඳහන් නොකිරීම සම්පූර්ණයෙන් කනගාටුයි. හමුදාව පමණක් නොව වනජීවී, වන සම්පත් ආදී දෙපාර්තමේන්තු විසින් ජනතාවගේ ඉඩම් අහිමි කර තිබෙනවා. හමුදා මෙහෙයුම් පැවැති කාලයේ නොව රජයේ වෙනත් ක්‍රියාකාරකම් නිසා ජනතා ඉඩම් අහිමි වී තිබෙනවා.

ජනතා ඉඩම් 85%ක් ආපසු ලබාදුන් බවට ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන සඳහනේ සත්‍යතාව ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

පළාත් පාලන ඡන්දයෙන් පරාජය වූ ආසන 122 සඳහා පුළුවන්නම් අතුරු
මැතිවරණ පවත්වන්න

ජනපතිගේ ප්‍රකාශයේ රටේ සංවර්ධනය ගැන වචනයක් නැහැ. ණය ප්‍රශ්නයට කිසිදු විසඳුමක් සඳහන් වී නැහැ. ගොවියා ගැන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරයි කියා අපි හිතුවා. කාබනික පොහොර කොහෙවත් නැහැ. ගොවියා අතරමං වෙලා. ආර්ථිකය 3.1 දක්වා කඩා වැටිලා. හාල් කිලෝව රුපියල් 80යි. මොනරාගල ගොවියාට හාල් කිලෝවක් ගන්න වට්ටක්කා කිලෝ 16ක් විකුණන්න ඕනෑ.

වැට් බද්ද අහෝසි කිරීම ගැන කතාවක් නැහැ. ජේ‍යෂ්ඨ පුරවැසි හා ළමා ගිණුම්වලටත් බදු ගහනවා.

අද ක්‍රියාත්මක වෙන්නේ ණය, බදු හා දඩ මත දුවන ආර්ථිකයක් බව කිවයුතුයි. මතට තිත කොහෙවත් නැහැ.

සර්ව ජන ඡන්ද බලය යථාර්ථයක් බවට පත් කිරීමට පළාත් පාලන ඡන්ද පනත සම්මත කළ බව ජනපති ප්‍රකාශයේ දැක්වෙනවා. ඡන්ද බලය බලු මයිලක් බවට ඇද දැමූ ඡන්ද ක්‍රමයක් හඳුන්වා දුන්නා. වැරැදි ඡන්ද ක්‍රමය වහා අහෝසි කළ යුතුයි.

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ව්‍යාජයක්. රට රැවැටීමක් බව කිව යුතුයි. එදා ජේ. ආර්. ජනමත විචාරණයෙන් පරාජය වූ හැම ආසනයකටම අතුරු මැතිවරණ දුන්නා. පළාත් පාලන ඡන්දෙන් ආණ්ඩුව පැරදුණු ආසන 122ට පුළුවන්නම් අතුරු මැතිවරණ තියන්න. ජනපති වජ්ජින් ගැනත් අගමැති ලිච්ඡවී ගැනත් බණ කියනවා. හැබැයි කවුරුත් සෝවාන් වෙන්නෙ නැහැ.

එස්. බී. අගමැති සිහිනය දකිමින් ඉඳලා නොලැබෙනකොට පැනලා ගියා, තවත් යන අය ඉන්නවා නම් යන්න පුළුවන්

සමෘද්ධිය ඔස්සේ එස්. බී. දිසානායක මහතා විශාල මුදලක් භාවිත කර තිබෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් කරනවා. අගමැති සිහිනය දකිමින් ඉඳල නොලැබෙනකොට පැනල ගියා. තවත් යන අය ඉන්නව නම් යන්න පුළුවන්.

සමෘද්ධි අමාත්‍යාංශය කියන්නේ මේ රටේ ජනතාව දුප්පත්කමෙන් එළියට ගෙන යා යුතු අමාත්‍යාංශයක්. දුප්පත් ජනතාව තවදුරටත් දුප්පතුන් බවට පත් කිරීම නොවෙයි ඒ අමාත්‍යාංශයෙන් කළ යුතු වන්නේ.

ඒකාධිපති පාලනයෙන් එදා මේ රටේ ජනතාව හිරකරගෙන හිටියා. ඒ තත්ත්වය අද වනවිට ඉවත්වෙලා. රට ප්‍රජාතන්ත්‍රවාදී වෙලා.

අපේ සටනේ ප්‍රධාන කරුණු අපි අද ජයග්‍රහණය කර තිබෙනවා. රටේ සංවර්ධනය ගොඩනැඟීම සඳහා අපට කටයුතු කිරීමට තිබෙනවා.

සමෘද්ධිය වගේ වැඩසටහන් මඟින් දුගී දුප්පත් ජනතාව දුගී බවෙන් මුදා ගැනීමට අලුත් මුහුණුවරකින් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

තෙල් මිල අඩුකරන්න කියලා හලාවත මිනිස්සු කෑගහනකොට එදා උණ්ඩයෙන් ජනතාවට පිළිතුරු දුන්නා. ලෝක වෙළෙඳපොළේ අද වනවිට තෙල් මිල ඉහළ ගිහිල්ලා. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තෙල් මිල වැඩි කළා වගේ වැඩි කරන්නේ නැහැ.

ජනපතිගේ ප්‍රකාශය රජකුගේ ප්‍රකාශයක් වශයෙන් සිදුකළේ නෑ

රජයට තිබෙන විවේචන පවා ඇතුළත් කරමින් ජනාධිපතිතුමා සමබර කතාවක් පැවැත්වූවේ රජකුගේ විලාසයෙන් නොවේ.

ජනපතිගේ ප්‍රකාශය රජකුගේ ප්‍රකාශයක් වශයෙන් සිදු කළේ නැහැ. ජනාධිපතිතුමා බලයට පත්වන විට අප හුදකලා රටක් ලෙස සිටියේ. ජාත්‍යන්තර පිළිගැනීම රටට ලබාගත හැකි වුණා. ළඟම පාසල හොඳම පාසල බවට පත්කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම ඉඩම් ඔප්පු ලක්ෂ 10ක් ලබාදීම ගැනත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වෙනවා.

අද කුමන අභියෝග ආවත් එතුමාත් රජයත් ඊට මුහුණ දෙනවා. විශ්වාසභංගය ජයගෙන ස්ථාවර ආණ්ඩුවක් බව අගමැතිවරයා පෙන්වා දුන්නා. ජනාධිපතිවරයා බලයට පත්වන විට පැවැති රට ගැන කවුරුත් කියන්නෙ නැහැ. එදා ලෝකයේ ලොකුම ඇමැති මණ්ඩලය නඩත්තු කළේ මේ රටේ පැවැති රජයයි.

දේශපාලන බලය උදුරාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් ඒක විහිළුවක්

ලංකාවේ දේශපාලන බලය උදුරාගෙන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් ඒක විහිළුවක්. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පණ ගන්වන්නට පුළුවන් වන්නේ මේ ආණ්ඩුව විසුරුවා අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් පමණයි.


අන්තර්ජාතික වශයෙන් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳවැටී තිබෙනවා. රට අරාජික වෙලා. රජය මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් ගෙන නැහැ. පාලන තන්ත්‍රය බිඳ වැටී තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව ඇති කර ගත් හවුල් රජය අද අසමත් වී තිබෙනවා.


රොනී ද මැල් හිටපු මුදල් ඇමැතිතුමා රුපියලේ අගය එකට එකක් වැඩි කළා. අද ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයකට පත්වෙලා. ජාතික ආර්ථිකයට, මූල්‍ය ක්‍රමයට සිදුවී ඇති දේ ගැන ජනාධිපතිතුමාගේ කතාවේ කිසි තැනක සඳහන් වෙලා නැහැ.

දැන් පළාත් සභා තුනක් ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවත්වාගෙන යනවා. ඒ පළාත් සභාවලට ඡන්දය නැහැ. ජනාධිපතිතුමාගේ කතාවේ කිසිම තැනක මේ පළාත් සභා තුනේ ඡන්දය ගැන සඳහන් කළේ නැහැ.

අපි ආණ්ඩුවට බල කරනවා. මේ ඡන්දය තියන්න. රටේ නායකයා හැටියට වහාම ඡන්දය තියන්න උපදෙස් දෙන්න. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට මේ ඡන්ද පැවැත්වීමට බල කරන ලෙස කථානායක තුමාගෙන් ඉල්ලනවා.
ඇමැතිවරු දුසිම් ගණන් වැඩි කළාට ආර්ථිකය නඟා සිටුවෙන්නේ නැහැ. ඇමැතිවරු දුසිම් ගණන් අඩු කළොත් ආර්ථිකය ශක්තිමත් වේවි.

පසුගිය පෙබරවාරි 10 වැනිදා මේ ඇමැතිවරු ජනතාව විසින් පරාජය කළා. අද මේ ඉන්නේ තමන්ගේ ආසන පරාජය වූ ඇමැතිවරු පිරිසක්.

රටේ හැමදෙනාටම බදු පැනවීමෙන් ආණ්ඩුවේ බංකොලොත් භාවය ප්‍රදර්ශනය වෙනවා. අද ළමා ඉතුරුම්වලටත් බදු ගහලා තියෙනවා. ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ තේරෙන්නේ නැති අයත් සමඟ ආණ්ඩු කරන්න බැහැ කියලා. ඒ නිසා මේ බදු ඉවත් කරන්න.

එදා මන්ත්‍රිවරු 47ක් හිටපු එක්සත් ජාතික පක්‍ෂය දි.මු. ජයරත්න අගමැතිතුමා ඉවත් කරලා අගමැතිකම ලබා ගත්තා. ඇමැතිවරු දුසිම් ගණන් පත් කළා. මේ පූර්වාදර්ශය නිසා රටේ ආර්ථිකයත් කඩා වැටුණා.

රටක් හැටියට සාර්ථක වෙන්නට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕනෑ

අපට අවශ්‍ය වන්නේ අභිමානයෙන් ජීවත් විය හැකි නොබෙදුණු රටක්. රටක් හැටියට සාර්ථක වෙන්නට නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි.

මේ ආණ්ඩුව වෙනස් වන අවස්ථාවේ මේ රටේ දේශීය හා විදේශීය වශයෙන් ණය වෙලා හිටියේ. නිකං ආණ්ඩු වෙනස් කරනවට වඩා රටට වැඩක් වෙන ආකාරයට කටයුතු කළ යුතුයි.

උතුරු නැඟෙනහිර ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන ලෙස සියලුම මන්ත්‍රිවරුන් ගෙන් ඉල්ලනවා. නොබෙදුණු වගේම නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් ඇති කරන්නයි විපක්‍ෂ නායකවරයා හැටියට මට අවශ්‍ය වී තිබෙන්නේ.

මේ රට බෙදීමෙන් මේ රටටවත් දෙමළ කතා කරන ජනතාවටත් වාසියක් ඇති වන්නේ නැහැ. ඇතැම් අය දේශපාලන වාසි ලබා ගැනීමට රට බෙදීමට උත්සාහ කරනවා.

1947 පටන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇති කෙරුණා. නමුත් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමක් සිදුවුණේ නැහැ.

දෙමළ ජනතාව දීර්ඝ කාලයක් ඒ ප්‍රදේශවල ජීවත් වෙලා තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන නොබෙදුණු හා බෙදිය නොහැකි ශ්‍රීලංකාවක් ඇති කිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව අතර ගැටුම නිසා තෙල් මිල වැඩි කිරීමට සිදුවුණා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව අතර ඇතිවූ ගැටුම නිසා ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව අතර ඇතිවූ ගැටුම නිසා පෙට්රල් මිල රුපියල් 20කින්, ඩීසල් රුපියල් 14කින්, භූමිතෙල් 57කින් අද සිටි වැඩි කිරීමට සිදුවීමයි යථාර්ථය.

2014 ආර්ථික වර්ධන වේගය 7.5යි. 2017 වසරේ වර්ධන වේගය 3.1 දක්වා පහත වැටී තිබෙනවා. කෘෂිකර්මාන්තය ඝෘණ 0.5ට කඩා වැටිලා. 2017 සේවා අංශයේ වර්ධනය 3.7 දක්වා අඩුවී තිබෙනවා. ඒකපුද්ගල ආදායම වැඩිවීමේ වේගය සිය ගණනින් අඩුවී තිබෙනවා.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා දියව් කියමින් පාරට බැහැලා. මූර්ත වැටුප අඩුවෙලා. රාජ්‍ය සේවක මූර්ත වැටුප් දර්ශකය මේ වසරේ බින්දුවයි. එදා ජාත්‍යන්තර සංචිතය 8.2ක් වුණා. අද එය 7.9යි. තවම එදා මට්ටමට ගේන්න බැරිවෙලා. ඩොලරයට ගෙවන මුදල රුපියල් 158ක් බවට වැඩිවෙලා. 2015 සිට 2017 යන වසර තුන ආර්ථිකය කඩා වැටී තිබෙනවා.

අද මැලේසියාවෙ සිදු වූ දේ තමයි කවදා හරි මේ රටෙත් සිදුවෙන්නේ

අද මැලේසියාවේ සිදුවූ දේ තමයි කවදා හරි ශ්‍රී ලංකාවෙත් සිදු වෙන්නේ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට අපි නම් විරුද්ධයි. අපේ ජනතාවට ආර්ථික හයියක් අවශ්‍යයි. එහෙත් ඒක ලැබී නැහැ.

මැලේසියාවේ මහතීර් මොහොමඩ් අගමැතිතුමා අවුරුදු 92දී ජයගෙන තිබෙනවා. එහෙනම් මහින්ද රාජපක්ෂ මහත්තයාත් අනාගතේදී ජයගෙන එන එක වළක්වන්න බැහැ. අද මේ ආණ්ඩුවට තියෙන්නේ විසුරුවන එක පමණයි.

පළාත් සභා කල් දාන්නේ ඇයි? වක්‍ර ක්‍රමවලින් කල් දාගෙන ඉන්නවා. මැලේසියාවේ සිදුවූ දේ තමයි කවදා හරි ශ්‍රී ලංකාවෙත් වෙන්නේ.

අද එජාපය හා ශ්‍රී ලනිපය මේ රට විනාශ කළා. අද මහජනයාට ජීවත් වෙන්න බැහැ. අද මෙතැන හපන්කම් කතා කරන කාටවත් ගෙදර යන්න බැහැ. ආසන පරාදයි.

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අකුළා ආඥා දායකත්වයෙන් ප්‍රශ්න විසඳන්න යනවා

රටක් විදියට අපට මේ ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙළ ගැන සතුටු වෙන්න පුළුවන්ද? ජනාධිපතිවරණය ජයගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රජාතන්ත්‍රවාදයට වැරැදි පූර්වාදර්ශයක් දෙමින් ආයතන 42ක් තිබූ එජාපයට අගමැති ධුරය ලබා දුන්නා. අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ආණ්ඩුවේ සිටි මන්ත්‍රිවරු 16 දෙනා විපක්ෂයේ වාඩි වුණා. මේක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ප්‍රශ්නයක්.

විශ්වාසභංගය ජය ගත්තත්, අගමැතිතුමාට එරෙහි චෝදනා ගැන ජනතා අධිකරණයේදී නම් ජය ගන්න එකක් නැහැ.

ගොවි, කම්කරු, ධීවර හා මැද පන්තියේ ජනතාව අද ඉච්ඡා භංගත්වයට පත් වෙලා. තරුණයෝ අද මහ පාරේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගිය තරුණයන්ට අධි පීඩන ජල ප්‍රහාර දුන්නා. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය අකුළා ආඥාදායකත්වයෙන් ප්‍රශ්න විසඳන්න යනවා.

පාර්ලිමේන්තුව අද (11දා) පෙරවරු 10.00ට යළි රැස්වෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්