තුන් පෙරළිය

  👤  4537 readers have read this article !
2018-05-10

"ඔබතුමයි මේ සටන් පෙරමුණට නායකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් කළ බලපෑම්වලට මුහුණදීලා තමයි ඔබතුමා මේ ජයග්‍රහණය ලබාගත්තේ. විදේශ රටවල සිටින ඊළාම්වාදී සංවිධාන ඔබතුමා සමඟ සටන් කෙරුවා. ඒ බලපෑම්වලට එරෙහිව නායකත්වය දීලා සටන් කරලා ඔබතුමා ඒවත් ජයගත්තා. ඒ වගේම තමයි ඔබතුමාට මුහුණ දෙන්න සිදුවුණු ජාත්‍යන්තර වශයෙන් එන රාජ්‍ය නොවන සංවිධානවලට, සියලු දෙනාගේ ආශීර්වාදය මැද ඔබතුමා මේ සටන ජයග්‍රහණය කළා. අපේම අය, අපේම පාර්ලිමේන්තුව, මේ සටන ආපසු හැරවීමට, පරාජය කිරීමට උත්සාහ කළා. රට ඇතුළේ තිබුණ ඒ කුමන්ත්‍රණයත් ඔබතුමා ජයග්‍රහණය කළා. ඔබතුමා ලබාගත් මේ ශේ්‍රෂ්ඨ ජයග්‍රහණය තුළින් සියලු දෙනා සතුටු වෙනවා වගේම මේ ජයග්‍රහණය දිනා ගැනීමට කටයුතු කළ සියලු දෙනාට ඒ ගෞරවය ලබාදී තිබෙනවා.

මේ යුද්ධය පරාජය වුණා නම් සම්පූර්ණයෙන්ම චූදිතයා වන්නේත් ඔබතුමා. ඒ වගේම තමයි අපිට දේශීය සහ විදේශීය වශයෙන් ආව නොයෙකුත් සංවිධාන සමඟ සටන් කරන්නට සිදුවුණා. සහාය දෙන පිරිස් වගේම විරුද්ධව කතා කරපු මාධ්‍ය ආයතනත්, දේශීය හා විදේශීය වශයෙන් සිටියා. එයත් ඔබතුමා ජයගත්තා. මේ ශේ්‍රෂ්ඨ ජයත් සමඟ ශ්‍රී ලංකාව කියන කුඩා රට ලෝක සිතියමේ අලුත් රටක් බවට පත් වුණා. ඔබතුමා ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, කලාපීය නායකයෙක් බවට පත් වුණා. ජාත්‍යන්තරය තුළ ඔබතුමාට ඇතැම් අධිරාජ්‍යවාදීන් නොයෙකුත් දේවල් කිව්වා. අතිගරු ජනාධිපතිතුමනි, ඔබ මේ සියල්ලක්ම කළේ වසර 04ක් වැනි කෙටි කාලයක් තුළ. ඒ වසර 04න් ඔබතුමා මානුෂීය මෙහෙයුම් කෙරුවේ වසර 2 1/2යි. මේ රටේ ඉතිහාසය ගත්විට විජයබා රජතුමා වසර 56ක් රට පාලනය කෙරුවා.

එතුමා වසර 35කට පසුව තමයි රාජකීය කිරුළ පැලැන්දුවේ. වසර 2 1/2කින් මේ යුද්ධය ජයග්‍රහණය කළා කියන්නේ කවුරුන් කෙසේ කීවත් ඔබතුමා කළේ මහා ප්‍රාතිහාර්යයක්. එය පුදුමසහගත දෙයක්. කිසිවකුටත් විශ්වාස කළ නොහැකි දෙයක්.

ඔබතුමාගේ පාලන කාලය තුළ අප ඉතාම සතුටු වෙනවා. මේ පසුබිම තුළ ජයග්‍රහණය කෙරුවා වගේම අපිට බොහෝ කෙටි කාලයක් තුළ මේ රටේ විශාල සංවර්ධනයක් කිරීමට හැකි වුණා. ඔබතුමා ආරම්භ කළ මහා යෝධ සංවර්ධනය තුළ තව අවුරුදු 100කට අවශ්‍ය වරාය, ගුවන්තොටුපොළවල් ඔබතුමා හදලා තිබෙනවා. ඒ වගේම නොරොච්චෝලේ, කෙරවළපිටිය වැනි විදුලි බලාගාර ඇති කරලා තිබෙනවා. විශාල වාරි පද්ධතියක් ගොඩනඟලා තිබෙනවා. මොරගහකන්ද, කළු ගඟ වැනි යෝජනා වගේම උමා ඔය, දැදුරු ඔය වැනි මහා යෝජනා ඔබතුමා ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ වගේම මාර්ග පද්ධතිය ඉතාමත් ශක්තිමත්ව සංවර්ධනය වෙමින් තිබෙනවා. ගුවන් පාලම් හදලා මේ රටේ සංවර්ධනයේ මහා පිම්මක් ඉදිරියට පැනලා තිබෙනවා.

ජාතික සතිය තුළ ගම නැඟුමෙන් ගම නැඟුණා. මඟ නැඟුමෙන් මඟ හැදුණා. ජනාධිපතිතුමනි, එය මේ රටේ සෑම කෙනකුම දන්නවා. නාගරික වැඩසටහන් තුළ කාලීන ජල යෝජනා ක්‍රම, කෘෂිකර්මාන්ත, අධ්‍යාපන ක්‍රම, රාජ්‍ය සේවයේ දීමනා, වරප්‍රසාද මේ සියල්ලක්ම සමඟම අපේ මාතෘ භූමිය නව ගමනක් කරා යනවා. යුද්ධයක් කරමින් මේ රට මහා ශේ්‍රෂ්ඨ ගමනක් කරා ගෙන ගිය ඔබතුමා මේ යුගයේ ශේ්‍රෂ්ඨ නායකයා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමනි, නව යුගයක් නිර්මාණය කළ ඔබතුමා මේ රටේ මහජන සේවකයා වගේම ඔබතුමාට ජනතාව හෘද සාක්‍ෂියට අනුව තමයි මහරජාණෝ කියලා කිව්වේ. ඔබ රජෙක් ජනාධිපතිතුමනි, ඔබතුමා අපිට රජෙක්. මේ රටට රජෙක්. විපක්‍ෂයේ දේශපාලන බලවේග, දේශපාලන කුහකයෝ මොන දේ කිව්වත් ඔබතුමා මේ රටේ රජෙක්. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ මහා පින්වන්තභාවය, මහා භාග්‍යවන්තභාවය, උතුම්භාවය, ගතිගුණ, ඔබ මානව හිතවාදියකු ශේ්‍රෂ්ඨයකු ලෙස නව යුගයක් නිර්මාණය කළ යුගයේ නායකයා ලෙස ඔබ ඉතිහාසයට එක්වෙනවා.

මේ රට අලුත් රටක් ලෙස ඉදිරියට ගෙන යෑමට මහින්ද චින්තන ඉදිරි දැක්ම ඔබතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඉදිරි දැක්ම තුළ ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ රාජ්‍යයක් විදියට තරගකාරී ලෝකය තුළ ඉදිරියට යන්නට ඔබතුමාගේ නායකත්වය මිස වෙනත් නායකත්වයක් මේ රටට අවශ්‍ය වන්නේ නැහැ. ඔබයි යුගයේ සැබෑ මිනිසා. ඔබයි යුගයේ සැබෑ මානව හිතවාදියා, ඔබයි යුගයේ ශේ්‍රෂ්ඨයා, ඔබයි ඒ යුගය නිර්මාණය කළ අපේ මිත්‍රයා, මානව හිතවාදියා. ඔබව මේ රටේ ජනතාව ඉතා සෙනෙහසින් පිළිගන්නවා. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී 06 වැනි ජනාධිපතිවරණයේදී 80%කට වැඩි ප්‍රතිශතයක් ලබාගනිමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ඓතිහාසික ජයග්‍රහණයක් ලබාදීමට මේ රටේ ජනතාව පුන පුනා බලා සිටිනවා."

මෛත්‍රි මෙහෙම කිව්වේ 2010 ජනපතිවරණය කට උඩ තියා ය. එවකට මෛත්‍රි ශ්‍රී ලනිප මහලේකම් ය. ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඔහු පෙමින් වෙළී සිටියේ ය. ඔහුගේ නායකත්වයට ආදරය කළේ ය. ඔහු වෙනුවෙන් දත් මිටිකෑවේ ය. උස් හ¾ඩින් කතා කළේ ය. ප්‍රේමය ඒ තරමට බැඳී තිබුණේ ය. මෛත්‍රි-මහින්ද ප්‍රේමය පලුදු වෙන්න වැඩි කාලයක් ගියේ නැත. බත රොස් වුණේ ය. පෙම පෙරළී ගියේ ය. මහින්දට ආප්ප කවා රාජපක්ෂ පාලනය අතුගා දැමිය යුතු යැයි කියා මෛත්‍රි එළියට බැස්සේ ය. චතුර්විධ සේනාව මෛත්‍රි වටා පෙළ ගැසුණේ ය. කියූ දේ එලෙසම කළේ ය. රාජපක්ෂලා අතුගා දැම්මේ ය.

ගම් පෙරළිය

සුවහසක් ලාංකේය ජනතාවගේ නාමයෙන් සිවිල් සංවිධාන එකතුවෙන්, යූඑන්පියේ හයියෙන්, රනිල්ගේ තල්ලුවෙන්, සුළු පක්ෂවල උදව්වෙන්, තාරුණ්‍යයේ නැවුම් බලාපොරොත්තු තොත්තුවෙන් 2015 ජනවාරි 8 බිහිවූ යහපාලන ආණ්ඩුව අභියෝග රැසකට මුහුණ දුන්නේය. ඒ තමා බලයට ගෙනා බලවේගවල සිහින සහ බලාපොරොත්තු ගොන්නක් තම හිස මත තිබූ බැවින් ය. හිසේ තිබූ සිහින ටිකෙන් ටික බිමට වැටෙන්නට පටන්ගත්තේ ය. බලාපොරොත්තු බිමට වැටී පොඩිපට්ටම් වී ගියේ ය. ගමේ ඡන්දෙට කාලේ හරි ගියේ මේ අල්ලපනල්ලේ ය. කොරේ පිටට මරේ වගේ පුංච් ඡන්දෙ මේ අස්සේ තිබ්බොත් වැඩේ නාන්නම වෙන බව ආණ්ඩුව ඉන්තේරුවෙන්ම දැන සිටියේ ය. නානව නම් නාන්න නෝනා කියා විපක්ෂයත් වැඩේ අතහැරියේ නැත. සීමා නිර්ණය හින්දි මෙගා ටෙලියක් ගානට ඇද්දේ ය. ඒත් ඡන්දය නොතියාම බැරි තැනට ආවේ ය. ගමේ ඡන්ද සටන ඇරඹුණේ ය. 2015 දී දක්ෂිණාවෘත්තව කැරැකුණු රෝදය 2018දී වාමාවෘත්තව කැරැකුණේ ය. මිනිඵසුන්ට පටි තද කරගන්න කියූ රනිල්ගේ පටි තද වුණේ ය. රටාවට මහින්ද අතුගා දැමූ මෛත්‍රි රටාවේ ලස්සන බලා බලාම සිටිද්දී තම පක්ෂය ගමෙන් අතුගෑවීම ගියේ ය. කණපිට හැරුණු රැල්ලට ගම පෙරළී ගියේ ය.

යුග පෙරළිය

මෛත්‍රි රට භාරගනිද්දී කීවේ වසර හතරකින් තමා විශ්‍රාම යනවා කියා ය. එහෙත් මැයි දින රැලියේ දී ඔහු කීවේ කරගෙන ආ වැඩ කොටස අවසන් නැති බැවින් ද, තව බොහෝ දෑ කළ යුතුව ඇති බැවින් ද 2020දී විශ්‍රාම නොයන බව ය. විධායක බලය අහෝසි කර ලාංකේය දේශපාලනයේ ලොකු පෙරළියක් කරන බව ඔහු 2014දී කීවේ ය. 2015 සෝභිත හිමි ආදාහන පූජෝත්සවය දවසේ උන්වහන්සේගේ දේහය ඉදිරිපිට පොරොන්දුවක්ද දුන්නේ ය. එහෙම බැලුවාම මෛත්‍රි බලයට ආවේ යුග පෙරළියක් කරන්නට ය. 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය අමතමින් ඔහු ඒ බව මෙසේ සනාථ කළේ ය.

"2015දී මවිසින් නායකත්වය දුන් යුග පෙරළිය තවමත් සම්පූර්ණ වී නැත. එදා එය ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් විය. 2015 වසරේ අගෝස්තු මාසයේ සිට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළද ඒ සඳහා අවශ්‍ය දේශපාලනික හා සමාජයීය මුහුකුරා ගිය බව අප තවමත් ඇති කරගන්නට සමත්වී නැති බව පසුගිය වසර තුන තුළදී ඇතිවූ සිද්ධි දාමයන් මඟින් නැවත නැවතත් සිහිපත් කොට දෙයි. සම්මුති - ප්‍රජාතන්ත්‍රවාදය සහ සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදය අද ලෝකයේ බොහෝ රාෂ්ට පාලනයන්හි පදනම වන කල එය අපට තවමත් ආගන්තුක සංකල්පයක් ලෙස පවතී.

ජාතික ආණ්ඩුව සැදුම්ලත් වන්නේ එකිනෙකින් වෙනස් දෘෂ්ටීන්ගෙන් යුතු දේශපාලන පක්ෂවලිනි. එම පක්ෂ ක්‍රියාත්මක විය යුත්තේ බුදුන් වහන්සේ පෙන්වා දුන් පරිදි වජ්ජින් මෙන් සමඟිය සහ සාකච්ඡාව පෙරදැරිව නම්,වජ්ජින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් සැබෑ ලෙසම අපද අනුගමනය කළ යුතු වෙමු. ජනාධිපතිවරයා ලෙස පසුගිය තෙවසර තුළ මා ක්‍රියාත්මක වූයේ එකී ධර්මතා පදනම් කොටගෙනය. එය රටේද සමස්ත ජනතාවගේද ජයග්‍රහණයට හේතුවන බව මම තරයේ විශ්වාස කරමි.

අවසන් වශයෙන්, අප රාජ්‍යයක් ලෙස නැඟී සිටිමින්, ආර්ථික සමෘද්ධිය සාක්ෂාත් කිරීමේදී අපගේ උරුමයන් මෙන්ම, දේශීයත්වය, අපේ මහා සංස්කෘතිය, අපේ උෟරුව ආදී සියල්ල ශක්තිමත්ව ඉස්මතු වූ දේශපාලන චින්තනයක් තුළ කටයුතු කළ යුතු බව මම අවධාරණය කරමි. පොදු ජනතාවගේ දේශපාලන හෘදස්පන්දනය හඳුනාගත් දැක්මක් තුළ අප කටයුතු කිරීම මූලික සිද්ධාන්තය ලෙස සිහි තබා ගනිමින් ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස නඟාසිටුවීමට පෙරට එන ලෙස ආරාධනා කරන අතර රටටත් ජනතාවටත් ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමි."

විධායක ජනාධිපති ඉතිහාසය ජනතාවගේ ප්‍රතිචාරයට හොඳම සාක්ෂිය යි. ජනතාව ජේ.ආර්.ගේ රජ දැක්මට දෙපාරක්ම අවසර දුන්නේ ය. එන පොට හොඳ නැති බව ඉව වැටුණු ජේ.ආර්. ඔටුන්න ප්‍රේමදාසට භාර දී යන්න ගියේ ය. ජනතාව චන්ද්‍රිකාගේ රජ දැක්මට දෙපාරක්ම අවසර දුන්්නේ ය. එන පොට හොඳ නැති බව ඉව වැටුණු චන්ද්‍රිකා ඔටුන්න මහින්දට භාර දී යන්න ගියේ ය. ජනතාව මහින්දගේ රජ දැක්මට දෙපාරක්ම අවසර දුන්්නේ ය. ව්‍යවස්ථාව වෙනස්කරගත් මහින්ද තුන්වැනි පාරත් ඉල්ලුවේ ය. ජනතාව මහින්දව අතුගා දැම්මේ ය. ජනතාව මෛත්‍රිගේ රජ දැක්මට එක පාරක් අවසර දුන්නේ ය. එක පාරින් යනවා කිව් මෛත්‍රිට ඉතිහාසය මතක් වන්නට ඇත. දෙපාරක් ඉන්න පුළුවන් නේ දැයි හිතෙන්නට ඇත. රටාව ඒ විදියටම වෙයි ද කියා නම් කියන්නට දන්නේ නැත. 2020 වෙනකොට යුග පෙරළියට ජනතාව වසර 5ක් ම දී හමාරය. රටාව බිඳුණොත් මෛත්‍රිගේ යුග පෙරළිය හබක් ය.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon