රට හදන තැන

  👤  3729 readers have read this article !
2018-05-10

දයා පෙරේරා, ජේ.ටී. සිල්වා

අධිකරණ සංවිධාන (සංශෝධන) දණ්ඩනීති සංග්‍රහය සංශෝධන සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

බරපතළම
ප්‍රශ්නය වී තිබෙන්නේ
නඩු ප්‍රමාද වීමයි- නියෝජ්‍ය ඇමැති සාරථී දුෂ්මන්ත

අධිකරණ ක්ෂේත්‍රය ගැන කතා කරනකොට අද බරපතළම ප්‍රශ්නය වී තිබෙන්නේ නඩු ප්‍රමාද වීම යැයි අධිකරණ නියෝජ්‍ය ඇමැති සාරථී දුෂ්මන්ත පැවැසීය.

මහජනතාවගේ විශ්වාසය දිනාගත හැකි අධිකරණ ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක විය යුතුයි.

අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්න පුළුවන් තත්ත්වයක් අපි ඇතිකරලා තියෙනවා.
ත්‍රිපුද්ගල අධිකරණ මඟින් ජනතාවට විශ්වසනීය බවක් ඇති කිරීමට තමයි අපි කටයුතු කරන්නේ. මේ අධිකරණ මඟින් දෙනු ලැබූ තීන්දු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන්නත් අවස්ථාව සැලසෙනවා. අභියාචනාධිකරණ සඳහා විනිශ්චයකාරවරුන් පත් කරනු ලබන්නේ අග්‍රවිනිශ්චයකාරවරයා විසින්.

නඩු කටයුතු ප්‍රමාදය වැළැක්වීම සඳහා අධිකරණ පද්ධතියේ සමස්ත ක්‍රියාදාමය සකස් කළ යුතු වෙනවා. දිනපතාම නඩු විභාග කිරීම තුළින් කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන නඩු කඩිනමින් විභාග කර අවසන් කළ හැකි වෙනවා.

දේශපාලනික මැදිහත්වීමකින් තොරව නඩු විභාග කිරීමෙන් ජනතා විශ්වාසය ඇති කෙරෙන තත්ත්වයක් මේ මඟින් සිදුවෙනවා. අපට අවශ්‍ය වන්නේ අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය ඇති කිරීමයි.

ආණ්ඩුවට
ඇති වී තිබෙන අලුත්ම බය
ගෝඨා - භය- උදය ගම්මන්පිල

"මේ පනත මඟින් ආණ්ඩුව කරන්න හදන්නේ ඒකාබද්ධයේ අය සිරකර තැබීමට පසුබිම හැදීමයි. දින සියයේ ආණ්ඩුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගැන ප්‍රකාශ කළා. දැන් ඊළඟට අත්අඩංගුවට ගන්නා පුද්ගලයා පිළිබඳව රාජිත ප්‍රකාශ කළා. පොලිසිය හා අධිකරණය විසින් සිදු කළ යුතු කාර්යය අද දේශපාලකයක් සිදු කරනවා.

එක්නැලිගොඩ අතුරුදන් කිරීමට උපදෙස් දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ බව පවසන ලෙස එක්නැලිගොඩ නඩුවේ සැකකරුවකු ලෙස රඳවාගෙන සිටින බුද්ධි අංශ අධ්‍යක්‍ෂවරයාට දන්වා ඇතැයි හමුදාවේ ප්‍රධානියකු මට පැවැසුවා.

අද ආණ්ඩුවට ඇති වී තිබෙන අලුත්ම බය 'ගෝඨා - භය'යි.
මෙය ස්ථාවර අධිකරණයක් වෙනවා. අද අත උස්සන මන්ත්‍රිවරුන්ටත් මෙය ඉදිරියේදී පාරා වළල්ලක් වන බව අප කියනවා.
දේශපාලන අරමුණු ඇති නීති පාර්ලිමේන්තුවෙන් සම්ම්ත කර අධිකරණය හෑල්ලුවට ලක් කරන්න එපා. ජාත්‍යන්තර අධිකරණ පැමිණිය යුතු බවට පීඩන ඇති වන්නේ මෙවැනි දේ නිසායි.

නීතිය, පොලිසිය ගැන ජනතාව තුළ විශ්වාසය නැති වුණාම ජනතාව අතින් වරදක් වූ විට තමන් විසින්ම යුක්තිය ඉටු කර ගැනීමට කටයුතු කරන්නේ, පළිගැනීම් කරන්නේ මෙවැනි හේතු නිසායි. මේ නිසා අද මිනීමැරුම් වැඩි වෙලා. දේශපාලන පළිගැනීම් සඳහා මෙවැනි පනත්වලට අත ඔසවන්න එපා යැයි මා මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලනවා.''

තිලංග සුමතිපාල මහතා තනතුරින් අස්වූ බව ජනාධිපතිතුමා
මට දන්වා නෑ- කථානායක කරු ජයසූරිය

"අපේ පක්ෂය කැමැති නම් තිලංග සුමතිපාල මහතාට විපක්ෂයේ හිඳගෙන විපක්ෂ නායක තනතුරේ කටයුතු කිරීමට පුළුවන්" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.

හිටපු කථානායකවරු මේ සභාවේ සිටිනවා. නියෝජ්‍ය කථානායකවරු විපක්ෂයේ හිඳිමින් කටයුතු කර තිබෙනවා. කාරක සභා නියෝජ්‍ය සභාපතිතුමාත් විපක්ෂයේ හිඳිමින් කටයුතු කරනවා නම් තිලංග සුමතිපාල මහතාටත් විපක්ෂයේ හිඳගෙන කටයුතු කරන්න පුළුවන්. තිලංග තනතුරෙන් ඉවත්වෙලා නැහැ"

දිසානායක මහතා එසේ සඳහන් කළේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර ජයමහ තිලංග සුමතිපාල මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නියෝජ්‍ය කථානායක තනතුර හිස්ව තිබෙනවාදැයි නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

කථානායක

තිලංග සුමතිපාල මහතා තනතුරෙන් ඉල්ලා අස්වූ බවට ජනාධිපතිතුමා විසින් මා වෙත දැනුම් දිය යුතුයි. එවැනි දැනුම්දීමක් සිදු කර නැහැ. මම අගමැතිතුමාත්, ජනාධිපතිතුමාත් සමඟ සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා.

ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ හොරකම්වල ප්‍රමාණය නොවේ හොරුන් ඇල්ලීමයි- විජිත හේරත්

"මේ ආණ්ඩුව කාලයේ අල්ලස් හෝ දූෂණ සඳහා චෝදනා ලබා සිටින පුද්ගලයන් ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණ හමුවට පත් කර දඬුවම් පමුණුවා පෙන්වන්න" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය. "ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ හොරකම්වල ප්‍රමාණය නෙවෙයි. හොරුන් ඇල්ලීමයි. හොරුන් අල්ලන බවට ජනතාවට පොරොන්දු වූ තමුන්නාන්සේලාට පසුගිය අවුරුදු තුනේම හොරුන් අල්ලන්න බැරිවුණා. තමුන්නාන්සේලා අසමත් වෙලා. මේ නීති ගේන්න තමුන්නාන්සේලා ප්‍රමාද වුණා වැඩියි. ආණ්ඩුවේ ප්‍රධානීන් හොරු අල්ලන නිලධාරීන්ට දුරකතනයෙන් කතා කරනවා නම් ඒ නිලධාරීන් කල්පනා කරනවා ආණ්ඩුවේ ප්‍රධානීන් දුරකථන මඟින් එහෙම කතා කරනවා නම් අපි මොකටද හොරු අල්ලන්නේ කියලා. එවැනි තත්ත්වයක් සිදුවෙනවා නම් හොරු අල්ලන්න කවදාවත් හැකිවෙන්නේ නැහැ. අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් පත් කෙරෙන අග්‍රවිනිශ්චයකාරවරයා ස්ථිර ත්‍රිපුද්ගල අධිකරණ වෙත ඉදිරිපත් කෙරෙන නඩු පිළිබඳ තීන්දු කෙරෙන නිසා අසාධාරණයක් සිදුවේවියි කියා හිතන්න බැහැ."

ජාතික විගණන පනත් කෙටුම්පත අනුකූල බව ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා- කථානායක

ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට ඊයේ (9දා) දැනුම් දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශේ‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමට අදාළ තීරණය සභාවට දැනුම් දෙමින් කථානායකවරයා මෙසේ නිවේදනය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි ව්‍යවස්ථාව අනුව 'ජාතික විගණන' නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණයේ තීරණය දැන්වීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
ශේ්‍රෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

හිටපු ජනපතිනි ඝාතනය කිරීමට ගිය පුද්ගලයන්ට විරුද්ධ නඩුව
අවසන් කිරීමට අවුරුදු 17ක් ගතවුණා- ඇම්.ඒ. සුමන්තිරන්

හිටපු ජනාධිපතිනිය ඝාතනය කිරීමට ගිය පුද්ගලයන්ට විරුද්ධව පැවැති නඩු විභාගය අවසන් කිරීමට අවුරුදු දාහතක් ගතවූ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රි ඇම්.ඒ. සුමන්තිරන් පැවැසීය.

අපරාධ නඩු විභාග පමණක් නොව හැම අංශයකම නඩු විභාග කිරීම ප්‍රමාද වීමෙන් අසාධාරණයක් තමයි සිදුවන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩු පවා විභාග කිරීම බොහෝ ප්‍රමාද වෙනවා. සෑම නඩු කටයුත්තකම ප්‍රමාදයක් දක්නට තිබෙනවා. කලාප වශයෙන් අධිකරණ ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. එය සාර්ථක බවක් කිව නොහැකියි.
ජූරියක් සමඟ විභාග කෙරෙන අපරාධ නඩු විභාග කිරීමට දීර්ඝ කාලයක් ගත නොහැකියි.

එවැනි නඩු දිනපතා විභාග කළ යුතු වෙනවා. නඩුව විභාග කරන දින අතරතුර දින ගණනාවක නිවාඩුවක් ලබා දුන්නොත් කලින් නඩු දිනයේ සාක්ෂිදුන් සාක්කිකරු ලබාදුන් සාක්කිය ඔහුට අමතක වීමට ඉඩ තිබෙනවා. එයින් අසාධාරණයක් සිදුවන බව කියන්න ඕනෑ.

නඩු විභාගයකදී සාක්කිකරුවන් ලබාදෙන සාක්කි විනිශ්චයකරුවන්ගේ මනසෙහි රැඳී සිටීමට කාලය වැදගත්.

සමෘද්ධි අරමුදලින් කෝටි 675ක් නොව ශත 675ක වංචාවක් වී ඇත්නම්
ඒ වගකීම භාර ගන්නවා- එස්.බී. දිසානායක

"සමෘද්ධි අරමුදලෙන් රුපියල් කෝටි 675ක් නොව, ශත 675ක වංචාවක් සිදුවී ඇත්නම්, හිටපු සමෘද්ධි ඇමැතිවරයා වශයෙන් ඒ වගකීම මම භාර ගන්නවා'' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවැසීය. 'මේ කියන වංචාව සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්‍ෂණයක් ඉක්මනින්ම පවත්වන ලෙස මම අගමැතිතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා. ඒ චෝදනාව මම ප්‍රතික්‍ෂේප කරනවා'' යැයිද දිසානායක මහතා පැවැසීය. මේක සමෘද්ධි ව්‍යාපාරයටත් හිටපු ඇමැතිවරයාටත් කරන ලද බරපතළ චෝදනාවක්' යැයිද දිසානායක මන්ත්‍රිවරයා සඳහන් කළේය.

'සමෘද්ධි අරමුදලෙන් රුපියල් කෝටි 675ක වංචාවක් සිදුවී ඇති බවට කර ඇති චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු නිලධාරීන් පස් දෙනකුගේ අස්සනින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා' යැයිද දිසානායක මහතා පැවැසීය.

මෙය විශේෂ අධිකරණයක් යැයි කීවාට එහෙම ලොකු විශේෂයක් නෑ- ඇමැති විජයදාස රාජපක්ෂ

"මෙය විශේෂ අධිකරණයක් යැයි කීවාට එහෙම ලොකු විශේෂයක් නැහැ. මේක අප රටේ තිබෙන ක්‍රමයයි. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන්න යැයි අගවිනිසුරුගෙන් ඉල්ලීමේ බලය නීතිපතිවරයාට දැනුත් තිබෙනවා" යැයි උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවැසීය.

නීතියක් ගෙනෙන විට ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොවුවහොත් පසුගිය පළාත් පාලන මැතිවරණය වගේ විවිධ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවෙයි.

අප බලයට පත් වන විට අධිකරණයේ නඩු රාශියක් ගොඩගැසී තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය තරම් නීතිඥවරු නොසිටි බැවින් වැටුප් පරිමාණ වැඩිකර අයැදුම්පත් කැඳවා නීතිඥවරු හතළිහක් පමණ බඳවා ගත්තා.

නීතිපති දෙපාර්තමේන්තුව නිසාද නඩු ප්‍රමාද වුණා. නඩු ප්‍රමාදයට හේතු වූ අනෙක් දෙපාර්තමේන්තුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවයි. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසු විශේෂ අණපනත් කිහිපයක් සම්මත කරගත හැකි වුණා.

මේ පනත ඉදිරිපත් කළ අවස්ථාවේ කාරණා දෙකක් ගැන මා අදහස් පළ කළා. නීතිය කෙතරම් සාධාරණ වුණත් එහි ප්‍රතිඵලය දේශපාලන පදනමක් වේ නම් පලක් නැහැ. මේක විශේෂ අධිකරණයක් යැයි කීවාට මෙහි ලොකු විශේෂයක් නැහැ.

මේක අප රටේ තියෙන ක්‍රමය. අහවල් නඩුව සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන්නැයි අගවිනිසුරුගෙන් ඉල්ලීමේ බලය නීතිපතිවරයාට දැනුත් තියෙනවා. එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවක් ඉතිහාසයේ නැහැ.

හොරු ඇල්ලීම පොලිසියේ වැඩක්
ඒක උසාවියට භාර දෙන්න එපා- සුසිල් ප්‍රේමජයන්ත

"මේ ආණ්ඩුව කළේ මොකක්ද? හොරු ඇල්ලුවා. කෝ අල්ලපු හොරු. හොරු ඇල්ලීම පොලිසියේ වැඩක්. හොරු ඇල්ලීම උසාවියට භාරදෙන්න එපා." යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත පැවැසීය.

අපරාධ නඩු ක්ෂේත්‍රය තුළ වැදගත් පනතක් අද සාකච්ඡා වෙන අවස්ථාවයි. මේ පනතට කලින් ඉදිරිපත් කළ පනත සම්බන්ධයෙන් නීතිඥ සංගමය හා තවත් පාර්ශ්ව කිහිපයක් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවට ගියා.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේදී මා පෙනී සිටියා. හොරු අල්ලනවාට විරුද්ධව අප කතා කරනවා යැයි කිසි විටෙක හිතන්න එපා කියා මා ඇමැතිනියගෙන් ඉල්ලනවා.

මහා බරපතළ යැයි රටට පෙන්වන්න ගියත් අපරාධ නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රය අනුවත් බරපතළ දඩුවම් ලැබෙන වැරැදි බව කියන්න බැහැ.

අධිකරණයේ ගරුත්වය නැති කරන්නේ කවුද? නීතිඥයන්ගෙන් බහුතරයක් දූෂිතයන් බවට දේශපාලකයෙක් කොහේදි හෝ පවසනවා. මහාධිකරණ වැඩි කිරීම මඟින් නඩු ප්‍රමාදය නැවැත්වීමට කටයුතු කිරීම හොඳයි. මේක ගේන්නේ සද්භාවයෙන් නම් බරපතළ ගණයේ නඩු ත්‍රිපුද්ගල අධිකරණයකට ගෙන ඒමට එකඟයි.

සංශෝධනය විය යුතු නීති දැයි තීරණය කිරීම සඳහා ප්‍රවීණ නීතිවේදීන්ගෙන් සමන්විත කොමිසමක් පත් කරන ලෙස අධිකරණ ඇමැතිනියගෙන් ඉල්ලනවා.

මේ ආණ්ඩුව කළේ මොකක්ද? අවුරුදු තුනක් තිස්සේ හොරු ඇල්ලුවා. කෝ අල්ලපු හොරු. උසාවියේ වැඩේ හොරු අල්ලන එක නොවේ. හොරු අල්ලන්නෙ පොලිසියයි. හොරු අල්ලන එක උසාවියට භාර දෙන්න එපා. නීතිය හා සාමය තිබෙන පොලිසිය ශක්තිමත් කරන්න.

මේ මහාධිකරණයේ පළමුවෙන් අහන්නෙ බැඳුම්කරය බව ඇමැතිනිය කීවා. කෝ විත්තිකාරයා. එහෙමනම් විත්තිකාරයා නැතිවයි නඩුව අහන්න වෙන්නෙ.

පළමුවැනි විත්තිකාරයා අල්ලාදීමේ වගකීම තිබෙන්නේ ඔය පැත්තටයි. ඕක කියන්න ගිහිල්ලා තමයි අපට මේ පැත්තට එන්න සිද්ධ වුණේ. නීතියට අපහාස කරන අයට විරුද්ධව ක්‍රියා කිරීමටත් නීතියක් ගේන්න.

පාර්ලිමේන්තුව අද (10දා) පෙරවරු 10.00ට යළි රැස් වෙයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon