එගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ

  👤  5876 readers have read this article !
2018-05-06

මේ වික්ටෝරියා ජලාශයයි. එය නිර්මාණය කරමින් එදා මහවැලි ඇමැති ගාමිණී දිසානායක මහතා කීවේ මහවැලි ව්‍යාපාරය අවසන් වනවිට අපි සියල්ලෝම එගොඩ වනු ඇති බවය. ගල්ඔය යෝජනා ක්‍රමය අරඹමින් මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකද ඔය කතාවම කීවේය. ඒත් අප තවමත් සිටින්නේ මෙගොඩය. මේ යන විදියට දැන් නම් ඉතින් එගොඩ යෑමක් ගැන හිතන්නවත් බැරි තැනකට රට පත්ව තිබේ.

මේ බෝට්ටුව පැද යන්නේ වික්ටෝරියා ජලාශයේය. එහි ප්‍රකට ජෝඩු දෙකක් සිටී. මුලින් සිටින්නේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ එලීනා ජයවර්ධන ආර්යාවය. මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක මහතාත් ශ්‍රීමා දිසානායක මහත්මියත් පසු පස අසුනේ සිටිති. තමන් විසින්ම නිර්මාණය කළ මහා ජලාශයක බෝටුවකින් ගමන් කරන්නට ලැබීමේ සොම්නස සිවු දෙනාගේම මුහුණුවල සටහන්ව තිබේ.

නායකයන් දෙදෙනා මේ බෝට්ටු සවාරිය යන්නේ වික්ටෝරියා ජලාශයේ ජලය විදුලි බලාගාරයට මුදාහළ දින උත්සවයෙන් පසුව විය යුතුය. බෝට්ටුව දියඹට ඇදී යන නමුදු රාජ්‍ය නායකයාට ජීවිතාරක්ෂක ජැකට්ටුවක් වත් අන්දවා නැත. හදිසි අනතුරක් වී නම් සිවු දෙනාටම වෙන්නේ මෙගොඩට පීනන්නටය. ජයවර්ධන මහතාගේ ඔඩොක්කුවේ බොහොම උවමනාවෙන් තබාගෙන සිටින්නේ කුමක් විය හැකිද. තමන්ගේ හපන්කම් මෙසේ බිරින්දෑවරුන් කැටුව ගොස් පෙන්වන්නට අවස්ථාව ලැබෙන්නේ නායකයන්ගෙන් කීයෙන් කී දෙනාටද. සිහිල් මඳ පවනට මුහුණ දෙමින් බෝට්ටුව ජල තලය මත ඇදී යද්දී මහා ජල ව්‍යාපාරය ජීවමාන යථාර්ථයක් කරන්නට විඳි අපමණ වෙහෙස ගාමිණී ශ්‍රී මාට පවසන්නට ඇත.

ගාමිණී වරෙක මෙසේ පවසා තිබිණි. "මා කුඩා දරුවකුව සිටියදී පාසල් නිවාඩු කාලයේ පියා සමඟ මහවැලි ගඟේ නාන්නට ගියෙමි. මේ ගඟ ගලන්නේ කොහි සිටද අතු ගංගා එන්නේ කොහෙන්ද? මේ ගඟ හැමදාම පවතීද? නැත්නම් මෙය කිසියම් දිනෙක සිඳීයාද? ආදී නොයෙකුත් ප්‍රශ්න පුංචි සන්ධියේ මට ඇති විය. මේ මහා වනාන්තර නැති දිනෙක ගංගාව සිඳී යන බව පියා මට කියා දුන්නේය. මේ ශේ්‍රෂ්ඨ ගංගාවත් ඊට ජීවය දෙන මහා වන උයනත් රැකීමට මතු පරපුරට හැකිවේවා.

කඩිනම් මහවැලිය ගැන යෝජනා මවිසින් කැබිනට් මණ්ඩලය හමුවේ තැබුවේ 1977 නොවැම්බර් 21 දිනය. 1978 ජනවාරි 18දා ඊට අනුමැතිය ලැබිණි. 1978 මාර්තු මාසයේ සල්ලි සොයා විදේශ සංචාරයක යෙදුණෙමි. "මහවැලි ව්‍යාපාරය සල්ලි සොයන්න බැහැ" ලෝක බැංකුව කීවේය. ලෝක බැංකුවේ අනුමැතිය ලැබුණත් නැතත් බි්‍රතාන්‍යය වික්ටෝරියා ව්‍යාපාරයට මුදල් දෙන බව විදේශ ඇමැති නීල් මාර්ටින් කිවේය. ලූසාකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී හමුවූ අගමැතිනි මාගරට් තැචර් ද එය ස්ථිර කළාය. එය ඒ අයුරින්ම ඉටුවිය." ඡායාරූපයේ පසු පසින් පෙනෙන ආරුක්කු හැඩය ගත් කොන්ක්‍රීට් වේල්ල උසින් මීටර් 222කි. දිගින් මීටර් 507කි. ජල ධාරිතාව අක්කර අඩි 500,800කි. එදා අපේක්ෂා කළ ජල විදුලිය කිලෝ වෝට් පැය 78 කෝටියකි. මෙගාවොට් 70 උත්පාදන යන්ත්‍ර තුනකි. ජලය ගෙනයන උමඟ දිගින් අඩි 16,000ක් වන අතර විෂ්කම්භය අඩි 20කි. උමං කෙළවර සිට බලගාරය දක්වා අඩි 4,100ක වානේ බටයකි.

මහවැලි ව්‍යාපාරය වෙනුවෙන් ඉන්ජිනේරු කුලසිංහයන්ගේ සිට බොහෝ තරුණ විශේෂඥයෝද ඇතුළු මහ පිරිස් කැපවූහ. මංමාවත් නැති වන බිම්වල අපමණ දුක් වින්දෝය.

පාරවල් නොමැතිකම නිසා මිනින්දෝරු කාන්තාවක් මාදුරුඔය හරහා පීනාගිය සැටි පුවත්පත්වලද පළවිය. එවැනි දුෂ්කර ව්‍යායාමයක ඉලක්ක ඒ අයුරින්ම සපුරාගත නොහැකිවී තිබෙන්නේ වර්තමාන දේශපාලනඥයන්ගේ අවිධිමත් ක්‍රියා මාර්ග හේතුවෙන් වනාන්තර විනාශ වෙමින් පැවැතීම නිසාය. වන බිම් රැකගන්නට වත්මන් පරපුර අසමත් වෙතොත් මේ මහා කොන්ක්‍රීට් අරුක්කු ශිෂ්ටාචාරයේ තවත් යුගයක නටබුන් සේ අනාගත පරපුරට ඉතිරිවනු ඇත. ඔවුන්ට එගොඩත් මෙහොඩත් දෙකම නැති වනු ඇත.

උදේනි සමන් කුමාර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්