ගොම රිටි සහ මිණි මුතු

  👤  4421 readers have read this article !
2018-04-26

විධායක ජනාධිපතිවරයකුට එරෙහිව ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම සහ එකම දෝෂාභියෝගය ගෙනා නායකයන් දෙදෙනා ලලිත් සහ ගාමිණි ය. දෝෂාභියෝගය කටඋඩ තියා ලලිත් ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කළේ ය. එදා ඔහු පාර්ලිමේන්තුවේදී කළ අමතක නොවෙන කතාවයි මේ.

මම 1972ට පෙර සිටම එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙක්මි. 1977දී මම ඡන්ද 19,972ක් ලබා වැඩි ඡන්ද 7,831කින් රත්මලාන ආසනයට තේරී පත්වූයෙමි. 1989 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෝ මට මනාප 235,447ක් ලබාදී විශිෂ්ටතම ජයග්‍රහණයක් ලබාදී මා නැවත පත්කර ගත්හ. එය මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ යම් අපේක්‍ෂකයකු ලද ඉහළම ඡන්ද සංඛ්‍යාව බව මාගේ මතයයි. එබැවින් ඒ සා විශාල පරිමාණයකින් මා කෙරෙහි විශ්වාසය තැබීම ගැන රත්මලානේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් වෙත මාගේ කෘතඥතාව පළ කළ යුතුයි. මා හැමවිටම මගේ හිත තුළ ඉහළින්ම සලකන්නේ ඔවුන්ගේ වුවමනා එපාකම් හා සුබසාධනයයි. එහෙත් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ඔවුන්ට ඇති වී තිබෙන්නේ තමන් නොසලකා නොතකා හැර, තත්ත්වයෙන්ද පහළට හෙළනු ලැබ ඇතැයි යන හැඟීමකි. තමන්ගේ ජීවිත පරදුවට තබා මැතිවරණ ක්‍රියාවල සටන් කළ ඔවුන් අද තමුන්ගෙන්ම අසන ප්‍රශ්නය නම් "පක්‍ෂය තුළ අපට තැනක් තිබෙනවාද?"

යන්නයි. පක්‍ෂයේ සාමාන්‍ය සාමාජිකයා ඒ ප්‍රශ්නය ශාඛා සභාපතිවරයාට යොමු කළ විට ශාඛා සභාපතිවරයා එයට පිළිතුරු දෙන්නේ "මට ඔබ වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නෑ" යනුවෙනි. ශාඛා සභාපතිවරයා සහනයක් පතා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා වෙත හෝ පළාත් සභා මන්ත්‍රිවරයා වෙත හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වෙත හැරෙයි. නමුත් තමුන් විසින් තෝරා පත් කරන ලද නියෝජිතයාගෙන් ඔවුනට ලැබෙන එකම පිළිතුර වන්නේ "මට ඔබ වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නැහැ" යන්නය. පක්‍ෂයේ හැම මට්ටමකම ඇත්තේ අපේක්‍ෂාභංගත්වය පිළිබඳව ගැඹුරට කාවැදුණු හැඟීමකි. එය ඉවසා පිළිගත හැකි තත්ත්වයක් නොවේ.

මා ඉල්ලා අස්වීමට තීරණය කරන විට රජයේ මුළු මහත් ප්‍රචාරක යන්ත්‍රයම මට එරෙහිව යොදවනු ඇතැයි මම දැන සිටියෙමි. ගුවන්විදුලියට හා රූපවාහිනියට අප වෙනුවෙන් වෙන් කරන්නට කාලයක් නැත. මගේ ඉල්ලා අස්වීම පිළිබඳ හෝ මා අනුගමනය කළ සෙසු ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීම් පිළිබඳව මේ තාක් කිසිදු ප්‍රවෘත්තියක් නොදුන් ඒ අයගෙන් ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද? අවාසනාවන්තභාවයේ පත්ලටම කි¼දා බැස තිබෙන රජයේ පුවත්පත්ද දීනත්වයේ හා දූෂිතභාවයේ ගැලී සිටින නිසාම මධ්‍යස්ථ පාඨකයන්ගේ විශ්වසනීයත්වයෙන් ගිලිහී ගොස් ඇත. මෙය පාර්ලිමේන්තුවේ බලතල හා ගෞරවනීයත්වය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගෙන යන මෙහෙවරක් මිස පුද්ගලයකුට එරෙහිව ගෙන යන සටනක් නොවන බව මම පුන පුනා පැහැදිලි කළද රජයෙන් පාලනය වන පුවත්පත් ආයතනවලින් පළ කෙරෙන දීන පත්‍රිකා කල්පනා කරන්නේ එය මටත් මගේ සගයන්ටත් පෞද්ගලිකව ප්‍රහාර එල්ල කරන්නට සුදුසු හේතුවක් හැටියටය. ඉන් ඔවුන්ගේ අධමභාවයත් අපගේ තර්ක විතර්කවලට මුහුණ දීමට නොහැකි බංකොලොත්භාවයත්් මැනවින් පිළිබිඹු වෙයි.

අද මේ පාර්ලිමේන්තුවේත්, මෙහි අසුන් ගන්නා ජනතා නියෝජිතයන්ගේත් සැබෑ පරමාධිපත්‍ය සහතික කිරීමටත් එක් පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත කිරීම නිසා ඔඩුදුවගොස් ඇති රෝගවලින් ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලන දේහය වහා සුව කර ගැනීමටත් මා හා මගේ සහෝදර මන්ත්‍රිවරුන් ගෙන යන අරගලයේදී ප්‍රතිපත්තියක් නැති පුවත්පත් සමූහයකින් මා පතුරු ගසන්නට හදනවිට එදා මට සෙත් පැතූ ජනතාවගේ ආශීර්වාදය අදත් එලෙසම මට ලැබෙන බව මම තරයේ විශ්වාස කරමි.

ශ්‍රී ලංකාවේ අද දිග හැරෙන සිදුවීම් බි්‍රතාන්‍ය ඉතිහාසයේ පළමුවැනි චාල්ස් රජු හා නියෝජ්‍ය මන්ත්‍රි මණ්ඩලය අතර ඇති වූ අරගලයට සමීප සමාන්තරභාවයක් පෙන්නුම් කරයි.

නියෝජිත මන්ත්‍රි මණ්ඩලය සමඟ සුහදතාවෙන් ආණ්ඩු කරනවාද නැති නම් නීතිය කඩනවාද යන තීරණයට රජයට මුහුණ දෙන්නට සිදුවූ බව මැකෝලි සාමිවරයාගේ 'මොනියුමන්ටල් හිස්ටි්‍ර ඔෆ් ඉන්ග්ලන්ඩ්' නමැති ග්‍රන්ථය සඳහන් කරයි. ක්‍රමානුකූලව ව්‍යවස්ථා විරෝධී කටයුතු කිහිපයකට පෙලැඹුණු ඔහු තුමූම අත්තනෝමතික හිතුවක්කාරයකු බවට පත්විය. රජුගේ සියලු දේශද්‍රෝහී ක්‍රියා සහ හිංසාවාදී ක්‍රියා උණ්ඩත්වයෙන් කෙළවර විය. එදා කතානායක ලෙන්තොල් තුළ ඇති වූ ධෛර්යය විචක්‍ෂණභාවය හා තම වගකීම පිළිබඳ හැඟීම හේතු කොටගෙන ඔහුගේ මුවින් පිට වූ "මට දකින්නට ඇස් හෝ කතා කරන්නට දිව හෝ නැත" යන සුප්‍රසිද්ධ වදන් පෙළ පාර්ලිමේන්තුවේ විජයග්‍රහණයට හේතු විය. එය නියෝජිත මන්ත්‍රි මණ්ඩලයට සුවිශේෂී දිනයක් විය. රජුට ව්‍යසනයක් විය. මන්ද කතානායකවරයා පාර්ලිමේන්තුවේ අයිතිය ආරක්‍ෂා කළ බැවිනි. කිරීටය සහ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය අතර ඇති වූ ගැටුමේදී කතානායකවරයා තරම් මැදි වූ වෙනත් කෙනකු නොවීය.

ලලිත් විලියම් ඇතුලත්මුදලි ඉපදුණේ 1936 නොවැම්බර් 26 දා ය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම මන්ත්‍රි ඩී.ඩී. ඇතුලත්මුදලි තාත්තා ය. තරුණ ලලිත් 1955දී ඔක්ස්ෆර්ඩ් ගියේ නීතිය හදාරන්නට ය. හැදෙන ගහ දෙපෙත්තේදීම දැනුණේ ය. 1956 දී ඔහු ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ ලේකම් විය. 1957 භාණ්ඩාගාරික විය. 1958 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති විය. ඒ වාර්තාවක් ද සමඟ ය. ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපති වූ ප්‍රථම ආසියාතිකයා ඔහු ය. දැන් කාලේ වගේ නොව තාත්තා මන්ත්‍රි වුණත් ඇතුලත්මුදලි පවුල පොහොසත් නැත. ලලිත්ගේ පියා ඩී.ඩී. ඇතුලත්මුදලි මියගියේ ය. තවදුරටත් ඔක්ස්ෆර්ඩ්හි ඉගෙන ගන්න ලලිත්ට සල්ලි තිබුණේ නැත. සියල්ල හැරදා ලංකාවට එන්නට සිදුවෙන තත්ත්වයකට ඔහු මුහුණ පෑවේ ය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පිහිටට ආවේ මේ වෙලාවේ ය. ශ්‍රී ලනිපය පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙනෙමින් ලලිත්ගේ අධ්‍යාපනික පිරිවැය භාරගත්තේ ය. යූඑන්පිය වෙනුවෙන් දිවි හිමියෙන් වැඩ කළ ඩී.ඩී. ඇතුලත්මුදලිගේ පුතා ලලිත්ට රාජ්‍ය ශිෂ්‍යත්වයක් දෙන්න ජේ.ආර්. ප්‍රමුඛ යූඑන්පිය දැඩි ලෙස විරුද්ධ වුණේ ය. ඇමැති බණ්ඩාරනායකගේ දැඩි ස්ථාවරය හමුවේ එය පරාජය වුණේ ය. යම් දිනෙක ලලිත් රටේ අගමැති පවා වෙන්න පුළුවන් බවට බණ්ඩාරනායකගේ මතය විය. ලලිත්ට එය ඔප්පු කරන්න වැඩි කල් ගියේ නැත.

1946 පාම්කෝට් මන්දිරයේදී යූඑන්පිය බිහිකළ අවස්ථාවට සහභාගි වූ දා පටන් මියෙන තුරුම ඩී.ඩී. ඇතුලත්මුදලි ප්‍රබල යූඑන්පීකාරයකු විය. පියාගේ සහ ලලිත්ගේ කිට්ටුම හිතවතකු වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලනිපයට එක්වන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ලලිත්, 1973දී ඩඩ්ලිගේ ආරාධනයෙන් අගලවත්ත ආසනය භාරගනිමින් යූඑන්පීයෙන් දේශපාලනයට පිවිසුණේ ය. 1991දී ප්‍රේමදාසට එරෙහි වූ වරදට ඔහු එජාපයෙන් නෙරපා හැරියේ ය. ඒ වන විට ඔහු රත්මලාන ආසනයේ ප්‍රධාන සංවිධායක ය. 1993 අප්‍රේල් 23 දා කිරුළපනදී වෙඩි තබා මරා දමන තෙක් ඔහු මෙරට දේශපාලනයේ ගිනිසිළුවක් විය.

ලලිත්ගේ මේ කතාවට වසර 25ක් ගෙවුණත් කතාව අදටත් වලංගු ය. යූඑන්පී මන්ත්‍රි ඩී.ඩී. ඇතුලත්මුදලිගේ පුතා ලලිත්ට ශිෂ්‍යත්වය දෙන්න ජේ.ආර්. ප්‍රමුඛ යූඑන්පිය විරුද්ධ විය. ඒත් ලේ උරුමයෙන්ම යූඑන්පීකාරයකු වූ ලලිත් දේශපාලනයට එන්නෙත් යූඑන්පියෙන්ම ය. 1988 වන විට ලලිත් යූඑන්පී නායකත්වයට පවා සුදුසු තැනක සිටියේ ය. ඒත් ලලිත්ට ශිෂ්‍යත්වය දෙන්න විරුද්ධ වූ ජේ.ආර්.ලා ලලිත්ට ඒ අවස්ථාව දුන්නේ නැත. ජේ.ආර්. තෝරාගත්තේ ප්‍රේමදාස ය. ප්‍රේමදාස ලලිත්ට පල නොකියා පලා බෙදුවේ ය.

යූඑන්පියට මේ නායකත්ව අපලය ඉතිහාසයේ සිටම තිබුණේ ය. ලලිත් 1993දී ඝාතනය වුණේ ය. 1994දී ජනාධිපති අපේක්ෂක ගාමිණි ඝාතනය වුණේ ය. ලලිත්ලා-ගාමිණීලා ප්‍රේමදාසට එරෙහිව කැරලි ගසද්දී ප්‍රේමදාස පසුපස වැටුණු ජේ.ආර්.ගේ මුනුබුරා රනිල්ට යූඑන්පී නායකකම නිතැතින්ම හිමිවුණේ ය.

ගොමරිටි උඩ ආවේ ය. මිණි මුතු යට ගියේ ය. 1993දී මෙන් පක්ෂය නැවතත් පිරිහිලා ය. ලලිත්ලා-ගාමිණීලා දැන් නැත. 1991-1993 මෙන් පසුගිය වසර දෙකහමාර තුළ ද ආණ්ඩු බලය තිබියදීම යූඑන්පියත්, පාක්ෂිකයනුත් නන්නත්තාර වී ඇත, පක්ෂය නැවතත් ඒකාධිපති නායකයකුට වහල් වී ඇත. අවසාන වශයෙන් ලලිත් අවුරුදු 25කට කලින් කියූ කාරණාව නැවතත් මතක් කළ යුතුව ඇත.

"පසුගිය වසර දෙකහමාරක කාලය තුළ ඔවුන්ට ඇති වී තිබෙන්නේ තමන් නොසලකා නොතකා හැර තත්ත්වයෙන්ද පහළට හෙළනු ලැබ ඇතැයි යන හැඟීමකි. තමන්ගේ ජීවිත පරදුවට තබා මැතිවරණ ක්‍රියාවල සටන් කළ ඔවුහු අද තමුන්ගෙන්ම අසන ප්‍රශ්නය නම් "පක්‍ෂය තුළ අපට තැනක් තිබෙනවාද?" යන්නයි. පක්‍ෂයේ සාමාන්‍ය සාමාජිකයා ඒ ප්‍රශ්නය ශාඛා සභාපතිවරයාට යොමු කළ විට ශාඛා සභාපතිවරයා එයට පිළිතුරු දෙන්නේ "මට ඔබ වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නෑ" යනුවෙනි. ශාඛා සභාපතිවරයා සහනයක් පතා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා වෙත හෝ පළාත් සභා මන්ත්‍රිවරයා වෙත හෝ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වෙත හැරෙයි. නමුත් තමුන් විසින් තෝරා පත් කරන ලද නියෝජිතයාගෙන් ඔවුනට ලැබෙන එකම පිළිතුර වන්නේ "මට ඔබ වෙනුවෙන් කරන්නට කිසිම දෙයක් නැහැ" යන්නය. පක්‍ෂයේ හැම මට්ටමකම ඇත්තේ අපේක්‍ෂාභංගත්වය පිළිබඳව ගැඹුරට කාවැදුණු හැඟීමකි. එය ඉවසා පිළිගත හැකි තත්ත්වයක් නොවේ."

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon