යුග පෙරළිය හා වැරැදුණු විප්ලවය

  👤  4330 readers have read this article !
2018-04-24

2015 ජනවාරි 8දා පැවැති ජනාධිපතිවරණය අවසන් වී කෙටි කලකට පසු ජයග්‍රාහක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදේශකයකු පොතක් ලීවේය. මෙහි විස්තර කොට තිබුණේ පසුගිය රජය පෙරළා දැමීම සඳහා පියවරෙන් පියවර සකස් කරනා ලද සැලැස්මක් පිළිබඳවය. පොත නම් කොට තිබුණේ යුග පෙරළිය කියාය.

2015 ජනවාරි මස සිදුවූයේ කුමක් වුවත් මහින්ද රාජපක්‍ෂ මහතා 2005 ජනාධිපති බවට පත්වීම නම් යුග පෙරළියක ආරම්භය වූ බව අතීතය විමසා බැලීමෙන් පෙනී යයි.
මහින්ද රාජපක්‍ෂ 2005 බලයට එනවිට ලංකාවේ නිවාසවලින් 27%කට විදුලිය තිබුණේ නැත. දළ වශයෙන් විදුලිය නැති නිවාස දස ලක්‍ෂයක් පමණ තිබිණි. මසකට දෙතුන්පාරක් විදුලිය ඇනහිටීම් ජනතාවට සුපුරුදු අත්දැකීමක් විය.

නිවාස දස ලක්‍ෂයකට පානීය ජලය නොතිබිණි. නළ ජලය ලැබුණේ රටේ ජනතාවගෙන් 28%කට පමණි.

දුරකතන පහසුකම් තිබුණේ රටේ ජනගහනයෙන් 27%කට පමණි.

අද මෙන් එදා ජනතාවට පරිගණක පහසුකම් අන්තර්ජාල පහසුකම්, සන්නිවේදන පහසුකම් නොතිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනගහනයෙන් 99.5%කට පරිගණක සාක්‍ෂරතාව නොතිබිණි.

රැකියා වියුක්තිය උග්‍ර ගැටලුවක් විය. වැඩ කළ හැකි ජනගහනයෙන් 8.3%කට රැකියාවක් නොතිබිණි. විශ්වවිද්‍යාල උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කිරීම සුලබ දසුනක් විය.

නගරවල කුණු කසළ කළමනාකරණය ඉතා දුර්වල මට්ටමක පැවැතිණි. විශේෂයෙන්ම කොළඹ අපිරිසුදු දුගඳ හමන නගරයක් විය.
මඳ වැස්සකටත් කොළඹ නගරයේ පාරවල් යටවීම අනිවාර්යයෙන්ම සිදුවිය.

අධිවේගී මාර්ග කියා දෙයක් ලංකාවේ තිබුණේ නැත. වසර 30කට පමණ පෙර සැලසුම් කොට තිබූ කටුනායක අධිවේගී මාර්ගය ගැන ජනතාව දැන සිටියේ පෑලියගොඩ හන්දියේ දැන්වීම් පුවරුවක් වශයෙන් භාවිත වූ කොන්ක්‍රීට් සැකිල්ල නිසා පමණි.

උද්ධමනය 9% වැනි ඉහළ අගයක පැවැතිණි. අය වැය පරතරය 7.5%ක් විය. 2014දී රාජ්‍ය ණය බර දළ ජාතික නිෂ්පාදිතයෙන් 102.3%ක් විය. රටේ සැබැවින්ම ණය අර්බුදයක් තිබිණි.

උතුරු - නැඟෙනහිර විශාල භූමි ප්‍රමාණයක් තිබුණේ ත්‍රස්තවාදීන් යටතේය. සාමාන්‍ය ජනතාවට ඕමන්තෙන් ඔබ්බට යෑම සඳහා එල්.ටී.ටී.ඊ.යට දඩ ගෙවන්න සිදුවිය. උතුරේ නඩු ඇහුවේ එල්.ටී.ටී.ඊ. උසාවිවලය.

2005 - 2014 මහින්ද යුගය මේ සියල්ල වෙනස් කිරීමට සමත් විය.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ප්‍රථම ධුර කාලය තුළම දශක 3කට ආසන්න කාලයක් තිස්සේ කිසිදු රාජ්‍ය නායකයකුට නිම කළ නොහැකිව තිබූ යුද්ධය අවසන් වී මිනිසුන්ට නිදහසේ ජීවත් විය හැකි රටක් ආපසු ලැබිණි.

යුද්ධය සාර්ථකව නිම කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූයේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියටය.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ - මාතර අධිවේගී මාර්ගය, පිටත වටරවුම අධිවේගී මාර්ගයේ මුල් අදියරයන් නිම වූවා පමණක් නොව රට පුරා මහාමාර්ග රාශියක් ඉදිවිය. මහමාර්ගවලට සමාන්තරව උතුරු දුම්රිය මාර්ගය හා මන්නාරම් දුම්රිය මාර්ගයද යළි ඉදිවිය. ගමේ පාරවලට පවා කාපට් හෝ කොන්ක්‍රීට් වැටිණි.
මාගම්පුර වරාය නිර්මාණය, ඔළුවිල් වරාය නිර්මාණය, දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ වරාය පුළුල් කිරීම හා කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය සිදුවිය.

සංචාරක ව්‍යාපාරයේ වැඩිදියුණුව සඳහා දෙවැනි ගුවන්තොටුපළක අවශ්‍යතාව සුපරාලමින් මත්තල ගුවන්තොටුපළ නිර්මාණය විය. කටුනායක ගුවන්තොටුපළේ වැඩිදුර සංවර්ධනය ආරම්භ වී තිබිණි.

ලංකාවේ දිගම පාලම වන කින්නියා පාලම, සේරුනුවර හා සෝමාවතිය පාලම, දෙහිවල, ගම්පහ, පෑලියගොඩ, වේයන්ගොඩ, නුගේගොඩ ගුවන් පාලම්, අංගුපිටිය, මනම්පිටිය, ආරුගම්බේ, ඉරක්කන්ඩි පාලම් වැනි පාලම් රැසක් නිර්මාණය විය.

යාගන්ධය ජලාශය, වෙහෙරගල ජලාශය, දැදුරු ඔය සංවර්ධනය, මන්නාරම යෝධවැව සංවර්ධනය, ඉරණමඩු හා මුතියංගණ කට්ටු වැව සංවර්ධනය වැනි වාරිමාර්ග ව්‍යාපෘති රැසක් නිමවූ අතර මෑතදී විවෘත කරන ලද මොරගහකන්ද ජලාශයේ වැඩ බොහෝදුරට නිමවී තිබිණි.

උෟව වෙල්ලස්ස නව විශ්වවිද්‍යාලයක් පිහිටුවන ලදී. රට පුරා පරිගණක තාක්‍ෂණ විද්‍යාල 1000ක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පැවැතිණි.
දශක ගණනාවක් තිස්සේ කතාවට පමණක් සීමාවී තිබූ කොළඹ පැල්පත්වාසීන් වෙනුවෙන් තට්ටු නිවාස ඉදිකිරීම ආරම්භ විය. 2015 වනවිට නිවාස සංකීර්ණ ගණනාවක් ජනතාවට පවරාදී තිබුණු අතර ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වැඩ නිම වෙමින් තිබිණි.

කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය ලෙස සම්මාන ලැබුවේ චීනයේ නගර පවා පරදවමිනි.

නොරොච්චෝලේ බලාගාර පමණක් නොව ලක්විජය බලාගාරය, උතුරු ජනනී බලාගාරය හා විදුලි පද්ධතිය, කෙරවලපිටිය බලාගාරය, මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය වැනි විදුලි බලාගාර ව්‍යාපෘති හරහා විදුලිය ලැබෙන නිවාස ප්‍රමාණය 73% සිට 98% දක්වා වැඩි විය.

කොළඹ ආසියාවේ පිරිසුදුම නගරයක් බවට පත්ව තිබිණි. කසළ කළමනාකරණයට දීර්ඝ කාලීන සැලසුමක් යටතේ මීතොටමුල්ලේ දැනට ගොඩ ගැසී ඇති ටොන් මිලියන ගණනාවක කුණුවලින් වසර දෙකක් තුළ නිදහස් වීමට සැලසුම් කොට තිබිණි. මේ ව්‍යාපෘතිය වත්මන් රජය විසින් හිටි අඩියේ නවතා නොදැමුවා නම් මීතොටමුල්ලේ ජීවිත රැසක් බිලිගත් ඛේදවාචක මඟහරවා ගන්නට තිබිණි.

කොළඹ කොටස් වෙළෙඳපොළ 2014 වර්ෂයේ 29%ක ඉහළ ප්‍රතිලාභයක් ආයෝජකයන්ට ලබාදුන් අතර 2008 වසරේ රුපියල් කෝටි 46.4ක් පමණක් වූ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුප 2014 වනවිට රුපියල් කෝටි 141.5 දක්වා ඉහළ ගොස් තිබිණි. කොළඹ කොටස් වෙළෙඳපොළ ආසියාවේ තිරසරම කොටස් වෙළෙඳපොළ ලෙස 2014 සම්මාන ලැබීය.

2004 - 2014 කාලය තුළ රැකියා වියුක්තිය 8.3% සිට 4.3%ට අඩු විය. දුගී බව 15% සිට 8%ට අඩු විය. උද්ධමනය 8.3% සිට 3.3%ට අඩු විය.
රාජ්‍ය ණය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 102.3% සිට 70.7% දක්වා අඩු විය.

2005 - 2014 කාලය තුළ රටේ ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 20 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 80 දක්වා සිවු ගුණයකින් වර්ධනය විය.
ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවිය දැරූ වසර 9ක කාලය සැබැවින්ම රටේ යුග පෙරළියක් කළ සමයක් විය.

මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීම සඳහා 2015 එවකට විපක්‍ෂය භාවිත කළ ප්‍රධාන උපක්‍රමය වූයේ රට පුරා සිදුවෙමින් පවතින මහ සංවර්ධනය පිටුපස ඒ සා විශාල දූෂණ වංචාද සිදුවන බවට මතයක් ජනගත කිරීමයි. ලංකාව තුළ 2015 ජනාධිපතිවරණය තරම් ඡන්ද ප්‍රතිඵලයට බලපෑම් කිරීමට 'සැකය' මහ පරිමාණයෙන් උපයෝගී කරගත් තවත් මැතිවරණයක් අපට මතක නැත.

සැකයෙන් මනස අවුල් කරගත් ලක්‍ෂ 62ක ජනතාවගේ එදා තීරණය වූයේ මහින්ද රාජපක්‍ෂ යුගය අවසන් කරන වෙනසක් අවශ්‍ය බවයි. ඔවුන්ගෙන් බහුතරය අවංකවම විශ්වාස කළේ සුපිරිසුදු පාලනයක් හා ස්ථාවර රටක් ඔවුන්ට ලැබෙනු ඇති කියායි. දූෂණය සම්පූර්ණයෙන්ම පිටු දැක, රටට මහ සංවර්ධනයක් ගෙනැවිත් විප්ලවීය වෙනසක් කිරීමට නව ආණ්ඩුව සමත් වනු ඇතැයි ඔවුහු අපේක්‍ෂා කළහ.

වෙනස ලැබී මේ වනවිට වසර 3ක් අවසන්ය. ජනතාව පැතූ විප්ලවීය වෙනස ලැබී ඇත්ද?

වසර තුනකට පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙස විමසිලිමත් වන අයකුටද පෙනෙන්නට තිබෙන්නේ බලාපොරොත්තු වුවාට වඩා ඉඳුරාම වෙනස් චිත්‍රයකි.

2012 -2014 කාලය 7%කටත් ඉහළ මට්ටමක පැවති ආර්ථික සංවර්ධන වේගය 2017 වනවිට 3.1%ක පමණ පහළ මට්ටමකට අඩුවී තිබිණි.
2014දී 4.3% වූ කෙමෙන් අඩු වෙමින් පැවැති විරැකියාව 2017 අවසන් වන විට 4.5% දක්වා වැඩිවී තිබිණි.

2014 හා 2016 මහ බැංකු වාර්තා සැසඳීමේදී පෙනී යන්නේ 2016දී රටේ රැකියා නියුක්තිය 2014ට සාපේක්‍ෂව 476,000කින් අඩුවී තිබුණු බවයි. 2017දීද රැකියා උත්පාදනයේ ධනාත්මක වෙනසක් පෙනෙන්නට නොතිබිණි.

කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මේ වසර 3 තුළ වර්ධනය වෙනවා වෙනුවට රුපියල් බිලියන 215කින් පහත වැටී ඇත. පසුගිය වසර 3 තුළ කොටස් වෙළෙඳපොළ ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත්වී ඇති බවයි.

2014 අවසන් වනවිට රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව 133 වූ නමුත් මේ වනවිට එය 158 දක්වා පහත වැටී ඇත. ලංකාව විසින් ගෙවීමට ඇති විදේශ ණය වාරිකවල දේශීය අගය ඉහළ යෑමට මෙයද සෘජුවම බලපාන හේතුවකි.

රාජ්‍ය ණය බර 2014දී රුපියල් කෝටි 739,100 වූ අතර 2017 අග වනවිට එය රුපියල් කෝටි 10,400 දක්වා වැඩිවී තිබිණි. වසර 3ක් තුළ රාජ්‍ය ණය 40%කින් ඉහළ ගොස් ඇත.

දූෂණය නැති කිරීමට ආ රජය යටතේ ලංකාව ලෝකයේ දූෂිතම රටවල් 4 අතරට එක්වී ඇතැයි පසුගිය දිනවල වාර්තා විය.

2018 ජනවාරි මස ජාත්‍යන්තර ශේ‍ර්ණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කියා තිබුණේ ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් ලංකාව ආසියාවේ 24 වැනි ස්ථානයට පහළ වැටී ඇති බවයි.

රජය ජනතාවගෙන් අය කර ගන්නා බදු විශාල වශයෙන් වැඩිකොට ඇත. 2014ට සාපේක්‍ෂව 2018 වසරේ සමස්ත බදු 100%කින් ඉහළ ගොස් ඇත.
ඉහත කී ආර්ථික දර්ශකවලට අමතරව රටේ සමාජයීය ගැටලු රාශියක් මතු වෙමින් පවතී. සියදිවි නසා ගැනීම්, කාන්තා දූෂණ, පොලිස් ස්ථාන තුළ සිදුවන මරණ, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, සත්ත්ව ඝාතන, මත්ද්‍රව්‍ය භාවිතය වැනි බොහෝ අංශවලින් රට තවදුරටත් පරිහානියට පත්වෙමින් තිබෙනා බව පෙනී යයි.
මෙම තත්ත්වය යටතේ පසුගිය කාලයේ තමන් විසින් ගත් යම් තීරණ සමාලෝචනය කිරීමට ජනතාවට සිදුවී ඇත. එය නම් හදවතින් පමණක් නොව බුද්ධියෙන්ද විමසා කළ යුතු දෙයකි.

ආචාර්ය නාලක ගොඩහේවා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්