මිස්සක ඇතා සහ මස් වැද්දෝ

  👤  3400 readers have read this article !
2018-04-24

යාල ජාතික වනෝද්‍යානයේ විසූ 'මිස්සක' ඇතා දඩයක්කරුවන් විසින් වෙඩි තබා මරා දමා ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
'මිස්සකට' මෙම අපරාධය සිදු කර තිබෙන්නේ ඉකුත් සිංහල අවුරුදු දිනවලය. මෑත කාලයේ වෙඩි තබා මරා දැමූ ඇතුන් අතර මිස්සක දස වැන්නා විය යුතුය.

යාල අභය භූමියේ විසූ මිස්සක වසර තිහක් පමණ වයසැති තරුණ හස්ති රාජයෙකි. අවම වශයෙන් තවත් අවුරුදු 50ක් පමණ ජීවත් විය යුතු සත්ත්වයෙකි. ගම්මානවලට නොගොස් අභය භූමියේම ඉපිද එහිම ජීවත් වූ මේ සත්ත්වයා මරා දමා ඇත්තේ උගේ නිජ බිම ආක්‍රමණය කළ මස්වැද්දන් විසිනි.

ලංකාවේ වනෝද්‍යාන 23 ක් ඇති අතර 'යාල' භූමි ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ විල්පත්තුවට පමණි. යාල වනෝද්‍යානය ලෝකයේ සංචාරකයන් අතර වඩාත්ම ආකර්ෂණය දිනාගත් අභය භූමි අතරට අයත් වන්නේය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වසරකට රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් උපයන අතර ඉන් ඉහළම පංගුව ලැබෙන්නේද යාල ජාතික වනෝද්‍යානයෙනි. යාල වනෝද්‍යානයට සංචාරකයන් ආකර්ෂණය වන ප්‍රමුඛ හේතුව එහි සිටින ඇතුන් හා දිවියන්ය. ජාතික ආදායමට ඩොලර් උපයන්නේ දුර්ලභ වනජීවීන් මිස උද්‍යාන පාලකයන් නොවේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව 1842ක් (2016) වන අතර ඉන් වැඩිම පිරිස රාජකාරියේ යොදවා සිටින්නේද යාල වනෝද්‍යානයේය. ඔවුන්ට පවරා ඇති එකම රාජකාරිය වනජීවීන්ගේ ආරක්ෂාව සහතික කිරීම මිස අනෙකක් නොවේ. මෙරට ජනතාවගේ බදු මුදලින් ඔවුන්ට වැටුප් ගෙවන්නේ සතුන් දඩයක්කාරයන්ට භාරදී අඹු දරුවන් සමඟ අවුරුදු කන්නට නොවේ.

අලුත් අවුරුදු සමයේ දඩමසට ඉහළ ඉල්ලුමක් පවතින නිසා වන සතුන්ගේ ජීවිතවලට බරපතළ අනතුරක් එල්ලවන බැවින් වනෝද්‍යාන සම්බන්ධව දැඩි සුපරික්ෂාකාරී අවධානයක් පවත්වා ගත යුතු බව වගකිවයුතු පුවත්පතක් ලෙස අපි කිහිපවරක්ම පෙන්වා දුන්නෙමු.

එහෙත් අවසානයේ සිදු වූයේ මස් වැද්දන් අභය භූමිය ආක්‍රමණය කොට අභය දානය ලද සතුන්ට ගිනි බිඳීමය. 'මිස්සක' ඇතා ඉලක්ක වූයේද, එම නරුමයන්ටය. අවුරුදු සමයේ වන සතුන් ජීවිතවලින් වන්දි ගෙව්වේ වනෝද්‍යාන පාලක බලධාරීන් ස්වකීය වගකීම් අත්හළ නිසාය. කලකට ඉහත කතරගම සහකාර වනජීවී අධ්‍යක්ෂ කාර්යාලයේ මුළුතැන්ගෙයි මුව මස් ඉදෙමින් තිබියදී වනජීවී ඇමැතිවරයා විසින් අල්ලා ගත්තේය.

නොබෝදා, කතරගම මහ දේවාලයට යාබද කඩවර දේවාලයේ මුව මස් අධි ශීතකරණයක තබා අලෙවි කරද්දී වනජීවී නිලධාරීන් විසින්ම අත්අඩංගුවට ගෙන තිබිණි. දකුණේ දඩ මස් හිඟ නැති බව රුහුණු කතරගම පැත්තේ යන කවුරුත් දනිති. මේ දිය වී යන්නේ ආර්.ඒ. ස්පිට්ල් වැනි සුදු ජාතිකයන් පවා බිඳෙන් බිඳ ගොඩනැඟූ වනජීවී දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය බව වනජීවීන් භාර නිලධාරීන් වටහාගත යුතුය.

යාල ජාතික වනෝද්‍යානය 1900 ප්‍රකාශයට පත් කළ පසු උද්‍යානය මධ්‍යයේ දළ ඇතකුට වෙඩි තැබූ සිදුවීමක් ගෙවුණු වසර සියය තුළම වාර්තා වී නැත. ඒ නිසා ලංකාණ්ඩුව තමන්ට පැවැරූ වගකීම තමන් විසින් නිසියාකාර ඉටු නොකළ බව යාල වනෝද්‍යානයේ බලධාරීන් පිළිගත යුතුය. නීතිය ඔවුන්ටත් පොදු විය යුතුය. යාල ජාතික වනෝද්‍යානය දඩයක්කාරයන්ගෙන් මුදාගැනීමට අසමත් නම් ජනතාව වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයක් නඩත්තු කරන්නේ කුමකටද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon