නුවරඑළියේ මහින්ද සිටි හෝටලයේ නවත්වා තිබූ ලැම්බෝගිනිය කාගේද?

  👤  6386 readers have read this article !
2018-04-22

උදේනි සමන් කුමාර

ජනපති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ

පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වැනි රාජ්‍ය නායක සමුළුව බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (19දා) ලන්ඩන් නුවර බකිංහැම් මාලිගාවේදී ආරම්භ වූ අතර ජනාධිපති මෛත්‍රි ලංකාව නියෝජනය කළේය. සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන් පිළිගන්නා ලද්දේ චාල්ස් කුමරු විසිනි.

ලන්ඩන් සංචාරයේ ප්‍රථම දින ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයට ගිය ජනාධිපති මෛත්‍රි වැඳපුදා ගැනීමෙන් අනතුරුව විහාරස්ථානයේ පුස්තකාලය නැරඹීමටද ගියේය. විහාරාධිපති බෝගොඩ සීලවිමල නා හිමියන් සමඟ පිළිසඳරේ යෙදෙමින් මෛත්‍රි පුස්තකාලය නිරීක්ෂණය කළ අතර සංරක්ෂණය කොට ඇති ග්‍රන්ථ හා විශාල කෞතුක වටිනාකමක් ඇති ලේඛන සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළේය.

මෛත්‍රි - හැරි කුමරු එක ලඟ අසුන්වල

බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ජනාධිපති මෛත්‍රි අතර නිල සාකච්ඡා සඳහා කාලය වෙන්වී තිබුණේ 18 වැනිදා පෙරවරුවේය. එහෙත් පසුව බි්‍රතාන්‍ය අගමැති කාර්යාලය විසින් එම හමුව අවලංගු කළේය. ඊට හේතුව වූයේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් පැවැත්වීම බැවින් අගමැතිනිය මෙම සිදුවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රි වෙත කනගාටුව පළකර තිබිණි.

බි්‍රතාන්‍ය ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ආසන තුනක වැඩි ඡන්දයකින් බැවින් තෙරේසාට හැමවිටම පාර්ලිමේන්තුවේ කටයුතු ගැන උනන්දුවෙන් හා පරිස්සමින් කටයුතු කිරීමට සිදුව තිබේ.

කෙසේ වුවද 19දා පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආරම්භයේදී බි්‍රතාන්‍ය අගමැතිනිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තාය.

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමෆෝසා මෛත්‍රි සමඟ යාළු වෙයි

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව රාජ්‍ය නායක සමුළුවට සමගාමීව 19 පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස්හිදී පැවැත්වුණු අතර ජනාධිපති මෛත්‍රි එහිදී විශේෂ දේශනයක්ද කළේය. විධායක සමුළු සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රි අසල අසුන්ගෙන සිටියේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රමෆෝසාය. දෙදෙනා අතර දීර්ඝ කතාබහක් සිදුවනු පෙනිණි. එය කොතරම් සුහද හා දීර්ඝ වීද යත් දකුණු අප්‍රිකානු ජනාධිපති සමඟ එදින පස්වරුවේ යොදාගෙන තිබුණු නිල හමුවද අවලංගු කෙරිණි. සිරිල් රමෆෝසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සාමය හා ගැටුම් නිරාකරණය කිරීමේ නියෝජිතයකු ලෙස අවස්ථා ගණනාවක් ලංකාවට ආගිය ජාත්‍යන්තර නියෝජිතයකි.


මේ අතර පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වෙමින් සිටි දකුණු අප්‍රිකා රාජ්‍ය නායක සිරිල් රමෆෝසා සියලු කටයුතු නවතා දමා 20 වැනිදා නැවත සිය රට බලා ගිය බව මාධ්‍ය වාර්තා කළේය. දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ පවතින අස්ථාවරභාවය හේතුවෙන් එරට මතුව ඇති ප්‍රචණ්ඩ ක්‍රියා ජනාධිපතිවරයා හදිසියේ නික්ම යෑමට හේතුවී තිබේ.

මේ අතර බි්‍රතාන්‍ය මහ රැජනගේ පදවිප්‍රාප්තියේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රහයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දකුණු පස යාබද අසුන්ගෙන සිටියේ චාල්ස් කුමරුගේ දෙවැනි පුත් හැරී කුමාරයාය.

අජිත් පෙරේරාගේ හැඟීම්බර කතාව හා රනිල්ගේ කනස්සල්ල

එක්සත් ජාතික පක්ෂය විසින් පත්කර ගන්නා ලද අභිනව දේශපාලන මණ්ඩලය පසුගිය 19 වැනිදා ප්‍රථම වරට සිරිකොතේදී රැස්විය. එහිදී ඇමැති අජිත් පෙරේරා තරමක හැඟුම්බර උණුසුම් කතාවක් කර ඇත. ඔහු අදහස් පළකළේ ඉදිරි පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙනි.

"නායකතුමනි, මම ඔබතුමාට කැමැතියි. මම ඔබතුමාට ආදරෙයි. මම ඔබතුමා වෙනුවෙන් වැඩ කළා. අදටත් වැඩ කරනවා. ඔබතුමා වෙනුවෙන් හැමවිටකම පෙනී සිටිනවා. ඒක තමයි මා පිළිබඳ ඇත්ත තත්ත්වය. නමුත් නායකතුමනි අපේ පක්ෂය අද තිබෙන තත්ත්වය අනුව පක්ෂයේ තනතුරු සඳහා තෝරා පත්කර ගැනීම්වලදී හැමදෙනා තුළම විශ්වාසය තහවුරු වන පරිදි එම පත්වීම ඡන්දය විමසා සිදුකිරීම සුදුසු බව මා යෝජනා කරනවා"

අජිත් පෙරේරාගේ යෝජනාව ගැන රනිල් විමතියට පත්වූ බව ඔහුගේ මුහුණේ ඉරියව්වලින් සියල්ලන්ටම දැකගත හැකිවිය. එහෙත් අදහස් පළනොකළ රනිල් නිහඬ විය. දේශපාලන මණ්ඩලයේ බොහෝ දෙනා අජිත්ව අනුමත කරමින් අදහස් දැක්වීය. එහෙත් රවි කරුණානායක කලබල වී සිටියේය. ඔහු අදහස් දැක්වූයේද විරුද්ධවය. යම් හෙයකින් අභ්‍යන්තර ඡන්ද විමසීමක් සිදුවුවහොත් තමා විසි වී යතැයි රවී බියවන වන පෙනුණි.

එජාප මන්ත්‍රිවරු සජිත් - රංජිත් හමුවෙති

එජාප පසු පෙළ මන්ත්‍රිවරු පිරිසක් පසුගියදා සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුම බණ්ඩාර හමු වී සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. පක්ෂ ප්‍රතිසංවිධානය එම සාකච්ඡාවල මාතෘකාව වී ඇත. ඔවුන් එකහෙළාම පවසා ඇත්තේ මේ තත්ත්වයෙන් පක්ෂයට ඉදිරි ගමනක් නැති බැවින් ඔබතුමන්ලා ඉදිරියට පැමිණ නායකත්ව වගකීම් ගතයුතු බවය. දැන ගන්නට ඇති ආකාරයට මේ කණ්ඩායම තවත් වර්ධනය වෙමින් බලපෑම් කණ්ඩායමක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ උදිත ලොකු බණ්ඩාර ඉකුත් සතියේ තනතුර හැර ගියේය. උදිත ඒකාබද්ධ විපක්ෂයේද ප්‍රබලයෙකි. හිටපු කතානායකවරයකු වූ විජමු ලොකු බණ්ඩාරගේ පුත්‍රයාය. උදිතගේ ඉවත්වීම දේශපාලන අංශවල කුතුහලයට හේතු විය.

උදිතගේ විවාහ මංගල්‍යය සිදු වූයේ මහින්ද ජනාධිපති ධුරයේ සිටියදීය. ප්‍රධාන සාක්ෂිකරුවා ලෙස අස්සන් කළේද මහින්දය. මහින්ද එදා මංගල උත්සවයට ගියේ මනමාලයාට සුවිශේශී තෑග්ගක්ද රැගෙනය. තෑග්ග වූයේ හපුතලේ ආසනයේ ශ්‍රී ලනිප සංවිධායකකමය. උදිත ඉවත් වූයේ ඇයි දැයි දැන ගැනීමට දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද නොහැකි විය.

මෛත්‍රි හමුවීමට ලන්ඩන් ගිය හිටපු ඇමැතිවරු

ජනාධිපති මෛත්‍රි සියරට පැමිණි වහාම අමාත්‍ය මණ්ඩල ප්‍රතිසංවිධානය සිදු කරන බව ප්‍රකාශ වී තිබියදී විශ්වාසභංගයෙන් පසු ඇමැති ධුර අහිමි වූ ශ්‍රී ලනිප මන්ත්‍රිවරු තිදෙනෙක් ජනපති හමුවීමට ලන්ඩන් ගොස් ඇත. චන්දිම වීරක්කොඩි සහ ඩිලාන් පෙරේරා පළමුව ගිය අතර ලක්ෂ්මන් වසන්ත පෙරේරා සිය පවුලේ උදවියද සමඟ පසුව ගොස් ලන්ඩන් නුවරදී ඔවුන්ට එකතු වී තිබේ. ඔවුන් ජනාධිපති හමු වී සාකච්ඡා කළාද යන්න ගැන තොරතුරු වාර්තා නොවීය.

අවුරුදු නිවාඩුවට තංගල්ලට ගොස් එහි ජනතාව සමඟ දින ගණනාවක්ම ගත කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 15 වැනිදා ගිරිතලේ බලා ගියේය. ඒ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ දියණියගේ තුන් මාසයේ දානමය පින්කමට සහභාගි වන්නටය.

ඉන් අනතුරුව නුවරඑළිය බලා ගිය හිටපු ජනාධිපතිවරයා දින තුනක්ම එහි විවේකීව ගත කළේය. නුවරඑළියේ අවුරුදු නිවාඩුව ගත කරමින් සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යළි කොළඹ බලා පැමිණියේ මහින්ද රාජපක්ෂ මහතා නුවරඑළිය ගිය දිනයේදීමය.

පසුගිය බ්‍රහස්පතින්දා හිටපු ජනාධිපතිවරයා දිවා ආහාරය ගත්තේ් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේදීය. ඒ අවස්ථාව වන විට ලැම්බෝගිනි වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර් රථයක්ද හෝටල් භූමියේ නවතා තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ දිවා ආහාරය සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අසලට පැමිණි හඳුනන අයකු මෙසේ විමසීය.
'ලැම්බෝගිනි එකේ ආවෙ මහින්ද ජනාධිපතිතුමාද?

අමාරුවෙන් සිනහව නවත්වා ගත් කබ්රාල් මහතා ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.
'නෑ... නෑ... ඒකෙ නෙවෙයි ආවෙ. ඊටත් වඩා හොඳ වාහනේක.'
එය ඇසූ අමුත්තා පසුබා ගියේය.

මේ කතාව කන වැකුණු හිටපු ජනාධිපතිවරයාටද සිනහ පහළ විය.
'සමහරු තාමත් ඔය කතා විශ්වාස කරන හැටි' යනුවෙන් හෙතෙම අවට සිටියවුන්ට කීවේය.

රෝසි නිදි වරාගෙන වැඩ

කොළඹ මහ නගර සභාවේ නව පුරපතිනිය ලෙස පත්ව සිටින රෝසි සේනානායක මහත්මිය දින කීපයක්ම නගර ශාලාවට නොපැමිණීම නිසා වැඩ කටයුතු රාශියක්ම අතපසු වූ බව නගර ශාලාවේ සේවකයෝ පවසති.

පුරපතිනිය 19 වැනි දින නගර ශාලාවට පැමිණ පැය කීපයක්ම පස්වරුව ඉක්ම යන තුරු නාගරික දෙපාර්තමේන්තුවලට යැවිය යුතු ලිපි ගොනු රාශියක්ම අස්සන් තැබීමෙන් ඉදිරි සතියට නියමිත වැඩකටයුතු රාශියක්ම ක්‍රියාත්මක කිරීමට හැකි වන බව නාගරික නිලධාරීහු පිරිසක් පවසා සිටියහ.

මෙලෙස අස්සන් කරනු ලැබූ අවස්ථාවට නාගරික කොමසාරිස් නාගරික භාණ්ඩාගාරිකවරයා ඇතුළු පිරිසක් පුරපතිනියගේ කාමරයේ සිටිබවද වාර්තා වේ.

කුණු කන්දට යට වූ වාහන 40කට වන්දි
මීතොටමුල්ල කුණු කන්දට යට වූ ප්‍රදේශවාසීන්ගේ වාහන 40කට වන්දි ගෙවීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ ඇමැති සියඹලාපිටිය පවසා ඇත. වාහනවලට අදාළ නිල ලියකියවිලි නොමැති වීමෙන් ප්‍රශ්නය මෙතෙක් හිර වී තිබී ඇත. ප්‍රවාහන අමාත්‍යාංශයේ විශේෂ කවුළුවක් වෙතින් තොරතුරු රැස්කර වහාම මෙම ගෙවීම් කිරීමට ඇමැති බලාපොරොත්තු වන බව කියයි.

අගමැති රනිල් කඩුවෙන් කේක් කපයි

අගමැති රනිල් කඩුව අතට ගනී කීවාට කවුරුත් කලබල විය යුතු නැත. රනිල් කඩුව අතට ගත්තේ කේක් කපන්නටය. කේක් ගෙඩිය එසේ මෙසේ එකක් නොවේ. නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් ගිනස් වාර්තාවක් පිහිටුවීමට ලෝකයේ දිගම කේක් එක නිර්මාණය කර තිබිණි. එය විශාල අර්තාපල් කේක් එකකි. රනිල් අවුරුදු නැකතට කේක් කැපුවේය. ඒ සඳහා රනිල්ගේ අතට දී තිබුණේ පෞරාණික කඩුවකි.

කෞතුකාගාරයේ තිබී කන්ගැට්ටා සොරෙන් ගෙන ගියා යැයි කී රන් කඩුවට වඩා කුඩා එකකි. කේක් කැපීමෙන් අනතුරුව අගමැති රනිල් නුවරඑළිය සංචාරක පුරයේද ඇවිද ගියේය. අගමැති බිරිඳ මෛත්‍රිද නුවරඑළියට පැමිණ සිටි අතර අවුරුදු චාරිත්‍ර සහ අමුත්තන්ට සංග්‍රහ කිරීම නුවරඑළිය අගමැති මැඳුරේ සිදු කළේය.

ක්‍රිකට් පාලක මණ්ඩලය සුද්ද කරන්න ඕනෑ

අගමැති රනිල්ගේ අලුත් අවුරුදු කිරිබත් සංග්‍රහය බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැඳුරේදී පැවැත්විණි. මැති ඇමැතිවරු රැසක් ඊට එක්වසිටියහ. රනිල් මේසයෙන් මේසයට යමින් සියල්ලන් සමඟ සාමීචියේ යෙදෙනු පෙනිණි. අර්ජුන රණතුංග සිටි මේසය අසලට ගිය රනිල්

"කොහොමද අර්ජුන කියා දේශීය ක්‍රමයට දෙඅත් එක්කොට ආචාර කළේය. ප්‍රති ආචාර දැක්වූ අර්ජුන"

"අගමැතිතුමා ක්‍රිකට් පාලක මණ්ඩලය නම් සුද්ද කරන්න වෙනවා. දූෂණ ගොඩයි. මිනිස්සු ආණ්ඩුවටත් බනිනවා. ‍ෙදාස් කියනවා" යැයි කීවේය.

"දැන් ක්‍රිකට් නිලවරණය ළඟයිනෙ. නිලවරණයේදි දැන් ඉන්න සභාපති එළවලා දාන්න. මන් දන්නවා එයා තමයි ප්‍රශ්නවලට මුල" රනිල් කීවේය.

සංග්‍රහ භුක්ති විඳීමෙන් අනතුරුව සජිත්, අකිල, අලවතුවල මෙන්ම චමින්ද විජේසිරි, මරික්කාර්, තුෂාර ඉඳුනිල්, බණ්ඩාරිගොඩ, සිඩ්නි ජයරත්න ප්‍රමුඛ පසුපෙළ මන්ත්‍රිවරු සමඟද අගමැතිවරයා එජාප ප්‍රතිසංස්කරණ මෙන්ම ඇමැති සංශෝධනයට අදාළව සාකච්ඡා කළේය.

"පසුපෙළ ශක්තිමත් කරන්න. ජේ‍යෂ්ඨ අයට තනතුරු දෙන්න. එජාප ප්‍රතිසංස්කරණවලට අදාළව ඔබතුමාට දුන් කමිටු තුනේ වාර්තාව අනුව කටයුතු කරන්න. කල් දාන්න එපා. ජනපතිවරණයට තව වසර 1 1/2යි තියෙන්නෙ. ජනතාවට සලකන්නත්, තරුණ පරපුරට රැකියා දීමටත්, වේගවත් සංවර්ධනයටත් මුල පුරමු. ආණ්ඩුවට දැවැන්ත ජනමාධ්‍ය මෙහෙයුමක් අත්‍යවශ්‍යයි. අපි එකතුවෙලා වැඩ කරමු" චමින්ද විජේසිරි ඇතුළු පසුපෙළ සියලු දෙනා කීවේ එකම අදහසකි.

"ඔයාලා එක මතයක ඉන්න එක වටිනවා. කමිටු තුනේ නිර්දේශ අනුවයි එජාප ප්‍රතිසංස්කරණ සිදුවන්නේ. ඇමැතිකම්වලට පත් කරන කොට ජනාධිපතිතුමා එක්කත් කතා කරලා වඩාත් හොඳ දේ කරනවා" අගමැතිවරයා කීය.

"විශ්වාසභංගයෙන් ඔබතුමා අමාරුවේ දාන්නයි ශ්‍රීලනිපයේ සමහරු බැලුවේ. අන්තිමට අමාරුවේ වැටුණේ ඒ අයමයි" ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

"එජාපය තනතුරුවල වෙනසක් සිදුකළ යුතුයි. දක්ෂ, අලුත් අයට තැන දෙන්න ඕන. නව මහ ලේකම් කවුරු වුණත් බලතල අඩුවේවි. සභාපතිකමටත් අලුත් මුහුණක් දාන්න ඕනෑ" අගමැතිවරයා සිය එජාප ප්‍රතිසංස්කරණවලට අදාළව දැවැන්ත ඉඟියක් පළ කළේය.

"පොහොට්ටුවේ න්‍යායාචාර්ය කෙනෙක් තමයි ආචාර්ය චරිත හේරත්. එයා ළඟදි රූපවාහිනි සංවාදයකදී ඉතා පළල් විග්‍රහයක් කළා. අගමැතිතුමා බැඳුම්කරේට සම්බන්ධ වුණාට පස්සෙ ශ්‍රීලනිප 16 දෙනා ඇමැතිකම් අරන් අගමැති එක්ක වසර 2ක් කළා. අගමැතිගෙ ප්‍රශ්න එයාලට ඒ කාලෙ මතක් වුණේ නැද්ද කියල චරිත ඇහුවා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය නිසා එයාල 16 දෙනා තම අනාගතය ගැන බයවෙලා ඉතා ආත්මාර්ථකාමීව විශ්වාසභංගයට පක්ෂ වෙලා දැන් පොහොට්ටුවට පනින්න හදනවා. මේ 16 දෙනාගෙන් ප්‍රවේශම් විය යුතු බව ඇඟවෙන ප්‍රකාශයක් තමයි චරිත හේරත් කළේ." චමින්ද විජේසිරි කීය. ඒ ගැන සියලුදෙනාගේ අවධානය යොමු විය.
එජාපය

ඉල්ලන් කෑවා

"එජාප කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රි කණ්ඩායම ජාතික රජය ඉදිරියට ගෙනියන්න එකඟත්වය දෙනවා. ඒත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙදී ඒ යෝජනාව සම්මත කරගන්න දැන් ඡන්ද කීපයක් මදි කියල ආරංචියි. ජනාධිපතිතුමා ලොකු හිරවීමකලු ඉන්නෙ. තීරණාත්මක ඡන්දයක් නම් ඒකට මහින්දත් එන්නලු හදන්නෙ.ඒත් චන්ද්‍රිකාත් ඉන්න නිසා මහින්ද ඒවිද දන්නෙ නෑ" පී. හැරිසන් කීවේ කාගෙත් සිනා මැදය.

"ශ්‍රීලනිපය දැන් තුනට කැඩිලා. පළාත් පාලන ඡන්දත් ශ්‍රීලනිපයේ වුවමනාවට කල් දාන්න උදවු කරලා එජාපයත් ඉල්ලං කෑවා" දයා ගමගේ කීය.

"කැබිනට් සංශෝධනය කවදද වෙන්නෙ දන්නෙ දෙයියො තමයි. එජාප ඇමැති සංශෝධනයක් කළ නිසා යළිත් එජාපයට එහෙම දෙයක් ඕන නෑ. විෂයයන් මාරුවත් ඕන වෙන්නෙ නෑ කියන එකයි එජාපෙ පොදු මතය වෙන්නේ" කිරිඇල්ල කී දේ අගමැතිවරයා ඇතුළු සියලු දෙනාම අනුමත කළහ.

කාල්ටන් අවුරුදු උළෙලේ මහ බැංකු හොරා සෙවීමේ තරගය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවුරුද්ද ගත කළේ තංගල්ල කාල්ටන් නිවෙසේය. පරණ අවුරුද්ද යෙදී තිබුණු 13 වැනි දා දහවල් මහින්ද බැලීමට පළාත් සභා මන්ත්‍රිවරු නෑගම් පැමිණියේ කදමලු බැඳගෙනය. සිය පවුලේ උදවියද සමඟ පැමිණ සිටි පළාත් සභා මන්ත්‍රිවරුන් පිළිගත්තේ මහින්ද, ශිරන්ති හා නාමල්ය.

එදා (13දා) හවස තංගල්ල කාල්ටන් නිවෙසේ අලුත් අවුරුදු උත්සවයක් සංවිධාන කර තිබිණි. එය සංවිධාන කර තිබුණේද පළාත් සභා මන්ත්‍රි සංසදයයි. වෙනත් අවුරුදු උත්සවයක දක්නට නොලැබෙන අපූරු තරග රැසක් මෙහිදී සංවිධාන කර තිබිණි. සැඟවුණු අමුත්තා සෙවීම වෙනුවට තිබුණේ "මහ බැංකු හොරා සෙවීමේ" තරගයයි.

කණාමුට්ටිය බිඳීම වෙනුවට මහ බැංකුව කැඩීම යනුවෙන් නම් කළ තරගයක්ද සංවිධාන කර තිබිණි. මීළඟට පැවැත්වෙන්නේ "මහ බැංකු හොරා සෙවීමේ තරගයයි" නිවේදකයා ලෙස කටයුතු කළ සම්පත් අතුකෝරල මන්ත්‍රිවරයා කියද්දී මහින්ද කීවේ එයා මේක ඇතුළේ නම් නෑ. එයා ඉන්නේ අරලියගහ මන්දිරයේ ඇතුළේ කියාය.
මෙහිදී කඹ ඇදීමේ තරගය වෙනුවට තිබුණේ අගමැතිට එරෙහි විශ්වාසභංගය ඇදීමේ තරගයයි. මන්ත්‍රිවරු දෙපිල බෙදුණේ 16 කණ්ඩායම ලෙස හා 22 කණ්ඩායම ලෙසය. ඒ විශ්වාසභංගයට විරුද්ධ ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායම ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි මන්ත්‍රි කණ්ඩායම සංකේතවත් කරමිනි. කෙසේ වෙතත් අවසානයේදී ජයගත්තේ විශ්වාසභංගයට පක්ෂ කණ්ඩායම සංකේතවත් කළ මන්ත්‍රි කණ්ඩායමයි.

මහ බැංකු හොරාට ලැම්බෝගිනියක් තෑගි
තරගාවලිය ජයගත් මන්ත්‍රිවරුන්ට තෑගි ලබා දුන්නේ මහින්ද හා නාමල්ය. මන්ත්‍රිවරුන්ට ලැබුණේ අපූරු තෑගිය. මහ බැංකු හොරා සෙවීමේ තරගයෙන් ජයගත් මන්ත්‍රිවරයාට ලැබුණේ සෙල්ලම් ලැම්බෝගිනියකි. කඹ ඇදීමේ තරගයෙන් ජයගත් මන්ත්‍රිවරුන්ට සෙල්ලම් හෙලිකොප්ටරය බැගින් ලැබිණි. මහින්ද සෙල්ලම් හෙලිකොප්ටරය බැගින් මන්ත්‍රිවරුන්ට තෑගි දෙද්දී අසල සිටි නාමල් මහින්දට කීවේ,

"ඔය ඒ කාලේ මම නුවරඑළි ගිහින් අශ්වයෝ පැදල එන්න ගිය හෙලිකොප්ටරය" කියාය.

"කෝ එතකොට රත්තරං අශ්වයෝ" මහින්ද ඇසුවේය.

"මේ තියන්නේ සර්" සම්පත් මහින්දට රත්තරං පාට සෙල්ලම් අශ්වයෙක් පෙන්වමින් කීවේය.

"ඕවා තියෙනවා කියලා ආරංචි වෙලා එෆ්.සී.අයි.ඩී. එක මෙහෙට පනීවිද දන්නෙ නෑ" මහින්ද කීවේ හැමෝම සිනාගන්වමිනි.

මහින්ද අවුරුදු චාරිත්‍ර කළේ තංගල්ල කාල්ටන් නිවෙසේය. මහින්ද සමඟ පවුලේ සියලු දෙනා එක්ව සිටියහ. වැඩ අල්ලන නැකැතට මහින්ද කාල්ටන් භූමියේ නා පැළයක් රෝපණය කළේ ශිරන්ති හා නාමල් සමඟය. 14 වැනිදා චාරිත්‍ර අවසන් වී පැයක් දෙකක් ඇතුළත මහින්දගේ තංගල්ල කාල්ටන් නිවහන අතුරු සිදුරු නැතිව පිරී ගියේ මහින්දට අවුරුද්දට සුබ පතන්නට පැමිණි පිරිස්වලිනි. රට පුරා මහ පිරිසක් මහින්දට සුබ පතන්නටත්, ඔහුගෙන් ආශීර්වාද ගන්නටත් තංගල්ල කාල්ටන් නිවෙසට වැල නොකැඩී පැමිණෙමින් තිබිණි. ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා සිය උඩුගම්පළ නිවෙසේ අවුරුදු නැකැත් ඉටු කිරීමෙන් පසු ගියේ තංගල්ලේ කාල්ටන් නිවෙසටය. ඒ මහින්දගේ ආශීර්වාද ගන්නටය. ප්‍රසන්න සමඟ දුලිප්, ඉන්දික මෙන්ම ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයාද ඔවුන්ගේ පවුල්වල උදවියද වූහ.

ශ්‍රීලනිප රනිල් පිල
ප්‍රසන්න ඇතුළු පිරිස තංගල්ල කාල්ටන් නිවෙසට යන විටත් මහ පිරිසක් මහින්දගේ නිවෙසට පැමිණ සිටියහ. මහින්ද සිටියේ ඔවුන් සමඟ කතා බස් කරමිනි. මහින්ද එනතුරු ප්‍රසන්න ඇතුළු පිරිසට පැයකට ආසන්න කාලයක් මහින්ද එනතුරු බලා සිටින්නට සිදු විය.

"ප්‍රසන්න ඇවිත් හුඟක් වෙලා නේද. මම සෙනඟට කතා කර කර හිටියේ" යැයි කියමින් මහින්ද ප්‍රසන්නලා සිටින තැනට ආවේ ප්‍රමාදය පිළිබඳ කනගාටුව පළ කරමිනි.

"කමක් නෑ සර්. ඔය හැමෝම ඇවිත් තියෙන්නේ සර්ගේ ආශීර්වාදය ගන්නනේ. ඒ නිසා සර් ඒ හැමෝටම කතා කරන්න ඕනෑ" ප්‍රසන්න කීවේය.
"ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාද ආවේය.

"සර්ට මෛත්‍රි පිල කතා කළේ නැද්ද" ප්‍රසන්න මහින්දගෙන් ඇසුවේය.

"කවුද?" මහින්ද ඇසුවේය.

"ඇයි සර් දැන් ශ්‍රී ලංකා එකේ කණ්ඩායම් 3ක් ඉන්නවානේ. එක කට්ටියක් අපි. ඒ කියන්නේ ඔබතුමාගේ කට්ටිය. අනිත් අය මෛත්‍රි පිල විදියට හිටියේ. විශ්වාසභංගයේදී ඒකත් දෙකට කැඩුණා. ඔය දයාසිරිලා වගේ අය ඉන්න 16 දෙනා ශ්‍රීලනිප මෛත්‍රි පිල. එතකොට විශ්වාසභංගයේදී රනිල් රකින්න ඡන්දය නොදුන්න අමරවීරලා, දුමින්දලාගේ කණ්ඩායම, ශ්‍රීලනිප රනිල් පිල" ප්‍රසන්න පැහැදිලි කළේය.

"ශ්‍රීලනි පක්ෂය ඉන්න ඕනේ මහජනතාවගේ පැත්තේ. ඒත් ඉන්නේ වෙන පැත්තක. ඒකයි කනගාටුව" මහින්ද ඊට පිළිතුරු දෙමින් කීවේය.

16 දෙනා මොනවද කරන්නේ

"ආණ්ඩුවේ ලගින අය රනිල්ට කඩේ යන එක සාමාන්‍ය දෙයක්නේ. ඒත් මේ විපක්ෂ නායකවරයා රනිල්ව ආරක්ෂා කරන්න ඡන්දය දුන්න එකනෙ වුණේ"

ජොන්ස්ටන් කීවේ විපක්ෂ නායක සම්පන්දන් ගැනයි.

"සම්පන්දන්ලා වැඩ කරන්නේ රනිල්ව රකින්න. රනිල්ව රකින්න රනිල්ට පක්ෂව ඡන්දය දීපු සම්පන්දන් කොහොමද විපක්ෂ නායක විදියට රෙද්දක් ඇඳගෙන ඉන්නේ. හරිනම් එයා ඉන්න ඕනේ ආණ්ඩුවේ කැබිනට් එකේ" ප්‍රසන්න කීවේය.

"දැන් සර් මේ 16 දෙනා මොකද කරනවයි කියන්නෙ" දුලිප් ඇසුවේය.

මේ අය මට නම් කිව්වේ විපක්ෂයේ අසුන් ගන්නවා කියලයි. මම ඒ අයට කිව්වා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ අය තවම ඒ ගැන තීන්දුවක් අරන් නෑ.මහින්ද කීවේය.

"ඒ වුණාට සර් ඔය අය ඒකාබද්ධයට එකතු නොවී වෙනම කණ්ඩායමක් හැටියට ඉඳගත්තොත් ඒක වැඩක් නෑ. ඒ අයට ඇත්තටම ඕනෑ රනිල්ව එළවන්න නම් ඒ අය කරන්න ඕනෑ ඒකාබද්ධයට එකතු වෙලා මේ සටනට සහාය දෙන එක" ප්‍රසන්න කීවේය.

"ප්‍රසන්නගේ කතාව ඇත්ත" මහින්ද කීවේ ප්‍රසන්නගේ කතාව අනුමත කරමිනි.

15 දිනය පුරාම මහින්ද සිටියේද තංගල්ල කාල්ටන් නිවෙසේය. එදිනද රට පුරා සිට පැමිණි ජනතාවගෙන් තංගල්ල කාල්ටන් නිවෙස පිරී පැවැතිණි. එලෙස පැමිණි බොහෝ දෙනකු මහින්ද හා පවුලේ අය සමඟ ඡායාරූප ගත්හ.

ඇඟේ තෙල් ගාලා රටම අවුල් කළා

16 වැනිදා උදෑසන මහින්ද මත්තල ගුවන්තොටුපොළින් හෙලිකොප්ටරයක නැඟී පොළොන්නරුවට ගියේ හිසතෙල් ගෑමේ උත්සවයට සහභාගි වීම සඳහාය. උත්සවය සංවිධාන කර තිබුණේ දියබෙදුම ඥානාරාම විහාරස්ථානයේදීය. මහින්ද පිළිගන්නට රොෂාන්, ලොහාන්, එස්.එම්. මන්ත්‍රිවරු පැමිණ සිටියහ. මහින්දට ආචාර කරන අතරතුර සිනාසෙමින් මහින්දට කීවේ සර්... පොළොන්නරුවේ ඉපදුන අය යන කොට සර් පොළොන්නරුවට නෑගම් එනවා නේදැ"යි අසමිනි.

මහින්ද ඊට මහ හ¾ඩින් සිනාසුනා මිසක් කිසිවක් කීවේ නැත. ලොහාන් අනතුරුව හැරුණේ රොෂාන් දෙසටය.

"සර් රාජිත සර්ගේ ඇඟේ තෙල් ගාලා රටම අවුල් කළා. අද රොෂාන් මොනව කරන්නද දන්නෙ නෑ හදන්නේ" ලොහාන් කීවේය.

"රොෂාන්ලා ඔළුව අවුල් කරන්නේ නෑ කවදාවත්" මහින්ද කීවේය.

"ඔව් ඔව් සර්, රොෂාන් ඔළුව අවුල් කරන්නේ මෙහෙ කට්ටියගෙනේ" ලොහාන් කීවේය. ලොහාන් කීවේ කා ගැනදැයි දන්නා මහින්ද ඊටද මහ හ¾ඩින් සිනාසුණේය.
මේ අතර අලුත් අවුරුදු දින කිහිපයේ බැසිල් රාජපක්ෂ රැඳී සිටියේ නැඟෙනහිර පාසිකුඩා වෙරළට යාබද සංචාරක හෝටලයකයි. බැසිල් එහි සිටින බව ආරංචි වී වාලච්චේන ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් පිරිසක් ඔහු මුණගැහෙන්න පැමිණියේය.

කොහොමත් යන එන සූරියආරච්චි

අවුරුදු විවේකයෙන් පසු බැසිල් කෙළින්ම ගියේ පොළොන්නරුව ගිරිතලේ පිහිටි සිරිපාල ගම්ලත් මහතාගේ නිවෙසටයි. එදින රාත්‍රියේ ගම්ලත් මහතාගේ මියගිය දියණියගේ තුන් මාසේ පින්කමෙහි ධර්ම දේශනය පැවැත්විණි. බැසිල් පැමිණි දුටු විගස ඔහු ඉදිරිපිටට ගියේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනයි. හිටපු ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි, ලොහාන්, රොෂාන් අනුරාධපුරයේ එස්.එම්. රංජිත් සහ චන්ද්‍රසේනත් එම අවස්ථාවේ එහි සිටියේය. ධර්ම දේශනය පැවැත්වුණේ මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසිනි. බැසිල් පැමිණ සිටි දුටු භද්දිය හිමියන් බැසිල් රාජපක්ෂ පිළිබඳ දෙතුන් වතාවක්ම බණ කියන ගමන් මතක් කළේ තමන් වහන්සේ සාමණේර සමයේදී රාජපක්ෂ පවුලේ ඥාති නායක ස්වාමීන් වහන්සේ නමකගේ ගුරුහරුකම් ලබා ගත් අතීතයද සිහිපත් කරමිනි.

බණ ඉවර වුණාට පස්සේ හිටපු ඇමැති සූරියආරච්චි යළි බැසිල් ළඟට ආවේය.

"එහෙනම් මම ගිහිල්ල එන්නම් සර්"

"ඔයා ඉතිං කොහොමත් යනව එනවනේ"
බැසිල් කීවේ සිනාසෙමිනි.

"ඒ වුණාට මමත් ඉන්නේ ඔබතුමාල එක්ක තමයි. කියමින් චන්ද්‍රසිරි සූරියආරච්චි පිටව ගියේය.

නාමල්ගෙන් තානාපති කාර්යාලවලට තෑගි පාර්සල්
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා එෆ්.සී.අයි.ඩී.යට කැඳවා තිබුණේද එදිනයි. පොළොන්නරුවේ සිට මහින්ද විටින් විට නාමල්ට කතා කරමින් මහින්දානන්දගේ තත්ත්වය විමසා බැලුවේය.

ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිව මහින්දානන්ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගත් මහින්ද ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන්නැයි නාමල්ට පැවැරුවේය.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් 15 වැනිදා සියලුම තානාපති කාර්යාලවලට විශේෂ තෑගි පාර්සලයක් යැව්වේය. ඒ කැවුම්, කෙසෙල්, කිරිබත් සහිතවය.

පක්ෂයේ අර්බුද යට ගහන්න මෛත්‍රි මුළු රටම අර්බුදයට යවනවා

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගිය දහ අටවැනිදා රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සඳහා කොළඹදී රැස්වූහ. මෙම හමුවේදී ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි සංශෝධනය, පාර්ලිමේන්තුව කල්තැබීම සහ ශ්‍රීලනිප පක්ෂ අර්බුදය නිසා රට අර්බුදයට යෑම පිළිබඳ අවධානය යොමු විය.

"පාර්ලිමේන්තුවට විශේෂ පනතක් සහ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වෙන්න තිබියදී පාර්ලිමේන්තු කල් තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. විගණන පනත අප්‍රේල් 19 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න නියමිතව තිබුණා. මේක මාස ගාණක් කල් දාපු පනතක්. මේ ආණ්ඩුව වැදගත් දේවල් හැම එකක්ම පස්සට දානවා. අනික අපේ 20 සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න තිබුණේත් 19 වැනිදා. දැන් හැම එකක්ම කල් යනවා" බිමල් රත්නායක කියා සිටියේය. "පාර්ලිමේන්තුව කල් දාන්න සිදුවුණේ ශ්‍රීලනිප පක්ෂ අර්බුදය නිසයි. මේ පාර්ලිමේන්තු සභාවාරයේදී ශ්‍රීලනිප කණ්ඩායම විපක්ෂයේ වාඩි වෙන්න තමයි සැලසුම තිබුණේ. නමුත් ජනාධිපති කල්පනා කළා තමන් රටේ නැති වෙලාවක පක්ෂයේ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන්න එක එයාට වෙන දේශපාලන අවුලක් කියලා. ඒ වගේම එයාට පොදු රාජ්‍ය මණ්ඩල නායකයන්ටත් මුහුණ දෙන්න බැරිවෙන තත්ත්වයක්" ටිල්වින් සිල්වා කියා සිටියේය. "පක්ෂයේ අර්බුද යටගහන්න රටේ නායකයා මුළු රටම අර්බුදයට යවනවා. ජනාධිපති පක්ෂය බදාගෙන මේ වෙනකල් කළෙත් රට අර්බුදයට යවන එක. පාර්ලිමේන්තුව කියන්නේ ඒ අයම කියන විදියට රටේ ජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදයට වගකියන රටේ උත්තරීතර ආයතනය. එහෙම ආයතනයක් තමන්ගේ පක්ෂයේ අර්බුදය විසඳගන්න තමන්ට ඕන ඕන වෙලාවට කල් තියෙනවා. මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්.ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ආපු අයම ප්‍රජතන්ත්‍ර විරෝධීව වැඩ කරනවා" පක්ෂ නායක අනුර දිසානායක පෙන්වා දුන්නේය.

20 වැනි සංශෝධනය ගැන ජවිපෙ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව කල්තැබීමත් සමඟ පසුවට තැබීමට ජවිපෙට සිදුවිය. මේ සංශෝධනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජවිපෙ නායකයන්ගේ අවධානය යොමු වී තිබේ. "20 සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න වෙන්නේ මැයි මාසයේ මුල් සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී. දැනටමත් 20 ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. සමහරු මේක අල්ලගෙන ආපහු අපිට අවලාද ගහන්න පටන් අරගෙන" විජිත හේරත් කියා සිටියේය. "ඔව්. ඇතැම් බංකොලොත් දේශපාලන විචාරකයෝ මේකත් අපිව රනිල්ට හේත්තු කරන්න මාතෘකාවක් කරගන්න හදනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටනේ අතීතය හිතාමතා අමතක කරලා දාලා තමයි මේ විචාරකයෝ කතා කරන්නේ" සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

"මහින්ද රාජපක්ෂ කණ්ඩායමෙත් මේ සම්බන්ධයෙන් විවිධ මත තියෙන්නේ. බන්දුල ගුණවර්ධන කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ 20 සංශෝධනයට සහාය දෙන්නේ පසුදිනම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කොන්දේසිය උඩ කියලා. ඒ වගේම වාසුදේවලා ඉන්න මතය වෙන්නේ මෛත්‍රිපාල සිරිසේනගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුත්තේ කියලා" විජිත හේරත් කීවේය. "කොහොම වුණත් දැන් මහින්ද රාජපක්ෂලා විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කොන්දේසි පිට හරි සහාය දෙන්න තීරණය කරලා. ඒක හොඳ ප්‍රවණතාවක්. කොහොමත් විධායක ජනාධිපති ධුරය අහෝසි වීම මෛත්‍රිගේ ධුර කාලයට බල නොපාන ලෙස තමයි සංශෝධනය කෙටුම්පත් වෙන්නේ. ඒ නිසා වාසුදේවලාගේ ප්‍රශ්නයට උත්තර තියෙනවා. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන මෙම සංශෝධනයට ප්‍රතිපාදන ඇතුළු කරන්න පුළුවන්කමක් නැහැ. ඒක කරන්න ඕනෑ පාර්ලිමේන්තුවේ 2/3 බහුතරය අනුවයි" ටිල්වින් සිල්වා පැහැදිලි කළේය. "මේ ගැන විවිධ මත තියෙන නිසා අපි පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා වටයක් යන්න ඕනෑ. නිශ්චිතවම පක්ෂවල ස්ථාවරය දැනගන්න එක තමයි අපි කළ යුත්තේ. එක එක්කෙනාගේ ප්‍රකාශවලට මේකෙන් පිළිතුරු හදන්න බැහැ" අනුර දිසානායක යෝජනා කළේය. ඒ අනුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායක, මහින්ද රාජපක්ෂ ඇතුළුව පක්ෂ නායකයන් හමුවී මේ පිළිබඳ අවසාන වශයෙන් සාකච්ඡා කිරීමට ජවිපෙ නායකයෝ තීරණය කළහ.

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ලැයිස්තු හදන්නේ ඩාර්ලි පාරේ සහ සිරිකොතේලු

රැකියා විරහිත උපාධිධාරීන් නියෝජනය කරන දිස්ත්‍රික් නියෝජිත පිරිසක් පසුගිය සතියේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා හමුවී විශේෂ සාකච්ඡාවක් කළහ. එහිදී රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද සාකච්ඡා විය.

"මේ වෙනකොට රැකියාවලට ඉල්ලුම්පත් පමණක් 57,000ක් ඇවිත් තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඉන්ටර්වීව් කරනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ සිරිකොතේ සහ ඩාර්ලි පාරේ ඉන්ටර්වීව් වෙනම කරලා ගන්න ඕන අය තීරණය කරලා ඉවරයි" දිස්ත්‍රික් නියෝජිතයෙක් පැවැසීය. "අනෙක් ප්‍රශ්නය තමයි ආණ්ඩුව ගන්න තීරණය කරලා තියෙන්නේ 20,000ක් කියන එක. නමුත් උපාධිධාරීන් විශාල පිරිසක් ඉන්නවා. ඉල්ලුම්පත් විතරක් 57,000ක් දීලා තිබෙනවා. ඒ වගේම 2012 ඉඳලා ආණ්ඩුව රැකියා ලබාදීලා නැහැ. දැන් දෙන්න තීරණය කරලා තියෙන්නේ 2016 දෙසැම්බර් 31 දක්වා උපාධිධාරීන්ට පමණයි. ඒ වගේම 2012 සිට අනුපිළිවෙළට ගන්නෙත් නැහැ" තවත් දිස්ත්‍රික් නියෝජිතයෙක් පැවැසීය. "ඒ වගේම ආසනයට 20 ගාණේ දැනටමත් තෝරාගෙන තියෙනවලු. තනිකරම දේශපාලන පත්වීම් විදියට තමයි මේවා ලබාදෙන්න යන්නෙ. එහෙම වුණොත් සෑහෙන පිරිසකට අසාධාරණයක් වෙනවා. මේ ගැන අපි ක්‍රියාමාර්ග ගන්න ඕනෑ" සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය. "රටේ මානව සම්පත්වලින් ප්‍රයෝජනයක් ගන්න ආණ්ඩුවට බල කරන්න සිද්ධ වෙලා. අපි මේ ගැන මාධ්‍ය හමුවක් කරමු. මුලින්ම මේ ගැන ඇත්ත තත්ත්වය රටට කියන්න ඕනෑ. ඒ වගේම කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කරමු" රැකියාලාභී උපාධාරී සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි යෝජනා කළේය.

එස්.බී. එජාපයට යයිද?

දේශපාලන ගේම්වලදී එස්.බී. දිසානායක බොහෝ දුර දිග බලා තීරණ ගන්නා කෙනෙකි. කාට අවාසි වුණත් තමන්ට අවාසි වන තීන්දු එස්.බී. ගන්නේ නැත. එහෙත් විශ්වාසභංගයේදී නම් එස්.බී. ගේ ගේම කන පිට හැරිණි. අන්තිමට ඇමැතිකමත් අහිමි විය. විශ්වාසභංගයට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳ ශ්‍රීලනිප අභ්‍යන්තර සාකච්ඡාවලදී එස්.බී. දිගින් දිගටම අවධාරණය කර ඇත්තේ ගන්නා තීරණයක් තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටීමට හැකිවන අයුරු ගත යුතු බවය. එහෙත් අවසාන මොහොතේ ඔහු 16 කණ්ඩායමේ රැල්ලට හසු විය. එස්.බී. අගමැතිට විරුද්ධව ඡන්දය දුන්නේ ඊට ජනපතිගේ අනුකූලතාව තිබූ නිසා බව පසුව ඔහු පවසා තිබිණි. කෙසේ වුවද විශ්වාසභංගය පරාජය වීමෙන් පසුව 16 කණ්ඩායමත් සමඟ පැවැති ශ්‍රීලනිප මධ්‍යම කමිටු රැස්වීමේදී අගමැතිට එරෙහි වූ ශ්‍රීලනිප ඇමැතිවරුන්ගේ තනතුරු අත්හරින්නට තීරණය කෙරිණි.

තීරණයට එළැඹීමෙන් පසු එස්.බී. කනස්සලු මුහුණින් ජනපති නිල නිවෙසේ වොෂ් රූම් දෙසට ගමන් කරමින් සිටියේ ශ්‍රීලනිප ප්‍රබලයකු වූ ඇමැතිවරයකු සමඟය.

"මෙයා අපි යූ.ඇන්.පී.යට ගියොත් ගනීද?" එස්.බී. ඇසීය.

"ඇයි අංකල් එහෙම අහන්නෙ යූ.ඇන්.පී.යට යන අදහසක් තියෙනවද?"

නැහැ ඉතින් මට නම් මේ පක්ෂයත් එකයි, පොහොට්ටුවත් එකයි, යූ.ඇන්.පී.යත් එකයි. අපිව එතෙන්ට ගනීද කියන්න බෑනෙ"

එස්.බී. කීවේය.

විහාර දේවාලවල සේවය කරන උදවියට සජිත්ගෙන් නව ගම්මාන

නිවාස ඇමැති සජිත් ඉකුත් සතියේ අනුරාධපුර සංචාරයක නිරත විය. පලුගස්වැව, වසාඋල්පතදී 'නව තිස් සමරුගම' විවෘත කළ දින උදෑසන සජිත් බෝධි පූජා සඳහා ශ්‍රී මහ බෝධි උඩමළුවට ගිය අවස්ථාවේ අටමස්ථානාධිපති පල්ලෙගම සිරි නිවාස හිමියන් බැහැදැක පිළිසඳරක යෙදුණි. සිරිනිවාස හිමියෝ සජිත්ගෙන් ඉල්ලා සිටියේ විහාර දේවාල ගම්වල සේවාවන්හි නිරත පවුල් පාරම්පරිකව පදිංචිව සිටින ගම් ආරක්ෂා කර දෙන ලෙසය. එවැනි ගම්මාන 9ක් රජකාලේ සිට පැවැත එන බව ඇසූ විට සජිත් පුදුමයට පත් විය. සිරිනිවාස හිමියන් පෙන්වා දුන්නේ එම ගම්මානවල ඉඩම් පිටස්තර පුද්ගලයන්ට විකුණන ඉඩම් කොල්ලයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවය. දැනට ඇති ගම්මාන නවයට අමතරව තවත් ගම්මාන කීපයක් වෙන් කර දීමටද කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පොරොන්දු විය.

නියෝජ්‍ය කතානායකකම මුජිබර් රහුමන්ට ඕනෑලු
අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලනිප මන්ත්‍රිවරු ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් විය යුතු බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබිණි. ඒ අනුව ඇමැතිවරු 4 දෙනකුද ඇතුළුව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු 15 දෙනකු තම ධුරයන්ගෙන් ඉවත් වූහ. විශ්වාසභංගයට පක්ෂ වූවන්ගෙන් ඉතිරිව සිටින්නේ තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයා පමණි.

ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ විට තිලංග නියෝජ්‍ය කතානායකකමින් ඉවත් කර එම ධුරයට කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රි මුජිබර් රහුමන් පත්කර ගැනීමට එජාපය සූදානම් වන බව දැනගන්නට ඇත. මේ සම්බන්ධව ඉල්ලීමක් සහිත එජාප පසුපෙළ මන්ත්‍රිවරු 14 දෙනකුගේ අස්සන් සහිත ලිපියක් අගමැතිට භාරදී ඇත.

සුසිල් විපක්ෂ නායකකමට පත්කරන සැලැසුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම ලබන සතියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් පසු ඔවුන්ගේ සහයද ලබාගෙන ආර්. සම්පන්දන් මහතා විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කොට සුසිල් ප්‍රේමජයන්ත් මහතා විපක්ෂ නායක තනතුරට පත්කර ගැනීමේ වැඩපිළිවෙළක් දියත් වෙමින් තිබේ. දේශපාලන ආරංචි මාර්ග හෙළි කරන අන්දමට ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධව ඉදිරියෙන් කටයුතු කරමින් සිටී. එහෙත් නීතිමය තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලනිපය තවමත් සම්මුතිවාදී ආණ්ඩුවේ රැඳී සිටින බැවින් රජයේ හවුල්කාර පක්ෂයකට විපක්ෂ නායකකම ඉල්ලීමට හැකියාවක් නැති බවට ඇමැති වජිර අබේවර්ධන ප්‍රකාශ කර තිබිණි. ඒ මහතා පෙන්වා දී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වූ එජනිස මන්ත්‍රිවරුන් වන බැවින් ඔවුන්ට විපක්ෂ නායකකම ඉල්ලීමට ප්‍රතිපාදනයක් නැති බවය.
කතානායකතුමා

කිරි ගහට කොටයි.

තමා සිය බිරිය සමඟ පුරා වසර 46ක් අඛණ්ඩව සිංහල අවුරුද්දට ළිපගිනි මොලවා අවුරුදු චාරිත්‍ර සැමරීමට කටයුතු කළ බව කතානායක කරු ජයසූරිය මහතා හෙළිදරව් කළේ කොළඹ අමරසේකර මාවතේ නිවෙසේ අවුරුදු චාරිත්‍ර වාර්තා කිරීමට පැමිණි ගුවන් විදුලි මාධ්‍ය කණ්ඩායම සමඟය. මෙවරද සිය බිරිය වූ වෛද්‍ය වසන්තා ජයසූරිය සමඟ එක්ව මුට්ටියට කිරි වත්කර ළිපගිනි දැල්වීය. කොතරම් නාගරික පරිසරයක වුවද මල් පැලෙහි පහන් දල්වා, උදැල්ලෙන් වැඩ ඇල්ලූ කතානායකවරයා සිය නිවෙසේ කිරිගහට කෙටීම සහ ගනුදෙනු කිරීමේ චාරිත්‍රයද අකුරටම ඉටු කළේය.

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය

මෙවර ජාතික හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයද අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික හිසතෙල් ගෑමේ උත්සවයේ ප්‍රධානතම කාර්ය භාරය මෙවරද ඉටු කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වන අතර විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා එම මහත්මිය ද ඒ.එච්.එම්. ෆවුසි, ලසන්ත අලගියවන්න යන මැති ඇමැතිවරුන්ද කල් ඇතිවම උත්සවය සඳහා පැමිණ සිටියහ.

මවගේ උපන් ගම වූ අත්තනගල්ල රජමහා විහාරයට ඉතා කුඩා කල සිටම ආ ගිය තොරතුරු විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද හිමියන් සමඟ කතාබහ කළ කතානායක කරු ජයසූරිය මහතා අත්තනගල්ල විහාරය සිය ජීවිත ගමනේ ගෞරවනීය සන්ධිස්ථානයක් වූ අයුරු සිහිකළේ "අපිව එදා මවුපියන් ගමේ පන්සලට යොමුකළ විදියට වර්තමාන පරපුරත් පන්සල, පල්ලිය සමඟ සම්බන්ධ කිරීමට හැකිනම් වර්තමානයේ ඇතිවී තිබෙන බොහෝ සමාජ ප්‍රශ්නවලට පිළියම් සෙවිය හැකි බව" කියමිනි.
ජාතික ආගමික සංහිඳියා සර්ව පාක්ෂික සමුළුව

මේ අතර නව පාර්ලිමේන්තු සැසිවාරයට දින ගණනාවක් තිබියදී ගෙවී ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව බෙහෙවින් කාර්යබහුල වූයේ විශේෂ කටයුත්තක් වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහජීවනය තහවුරු කිරීම සඳහා වූ පාර්ලිමේන්තු කමිටුව විසින් කැඳවන ලද සර්වපාර්ෂික සමුළුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු ශාලාවේදී පැවැත්වූයේ බෞද්ධ හින්දු ඉස්ලාම්, කතෝලික ආගම් නියෝජනය කරන ප්‍රධාන පෙළේ ආගමික නායකයන් රැසකගේ සහභාගිත්වයෙනි. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල ප්‍රධානීහු මෙන්ම මැති ඇමැතිවරු රැසක්ද ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය. කලින් කලට ජාතික ආගමික සංහිඳියාව පිළිබඳව විවිධ කතිකාවන් ඉස්මතු වුවද මින් පෙර පාර්ලිමේන්තුව පක්ෂ භේදයකින් තොරව මෙවන් සක්‍රිය මැදිහත් වීමක් කර නොමැති බව අවධාරණය කළ සර්වාගමික නියෝජිතවරු ශක්තිමත් ස්ථිරසාර වැඩපිළිවෙළක් ලෙස එය ඉදිරියට ගෙනයන ලෙස ඉල්ලා සිටියහ.

මෙන්න දයාසිරි

මූල්‍ය අපරාධ කොට්ඨාසය නීති විරෝධී ආයතනයක් බවත් එය වහාම අහෝසි කළ යුතු බවටත් හිටපු ඇමැති දයාසිරි පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. දයාසිරි මේ කතාව කීවේ ඇමැතිකම අත්හැරීමෙන් පසුව වීමද විශේෂත්වයකි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ජ්ඛ්ධ්ච් යනු එජාපය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා අටවාගත් මර උගුලක් බවය.

ඒකාබද්ධ විපක්ෂයේ මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව පවරා ඇති කැරම් බෝඩ් නඩුව විභාග වූ දින අලුත්කඩේට ගිය දයාසිරි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ කැරම් බෝඩ් ආනයනය කරද්දී මහින්දානන්ද කිසිදු වංචාවක් සිදුකර නොමැති බව හිටපු ක්‍රීඩා ඇමැති ලෙස තමා හොඳින් දන්නා බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon