තිතට ගහන ගැට

  👤  3739 readers have read this article !
2018-04-20

අවුරුදු සමය නිම වී ගියේ අළු යට ගිනි තිබියදීය. විශ්වාසභංගයෙන් සියල්ල විසඳී ගියැයි ඇතැමුන් සිතුවද ඉන්පසු එළැඹි අවුරුදු සමය තුළ "නිහඬ මෙහෙයුම්" කිහිපයක්ම තිබිණි. රට කරවන මැති ඇමැතිවරුන්ගෙන් වැඩිදෙනා ගත කළේ පිටරටය. ඒ අතර සිංහල බෞද්ධකමත් දෙමළ හින්දුකමත් හිස මුදුනින් පිළිගෙන බෙරිහන් දෙන අයද වූ අතර ඔවුහු අවුරුදු සිරිත් කළ යුතු වූයේ මෙරටදී වුව ඒ හැම පිටරටදී නොකරම සිටි වගක් කියැවන්නේය.


කෙසේ වෙතත් මෛත්‍රිද රාජ්‍ය තාන්ත්‍රික ගමනක් ගියා වුවද සිටියේ පිටරටය. මෛත්‍රි පැමිණෙන තුරු කළ යුතු වන දේ කල් තියා කියාදී ගොස් තිබුණා වන්නට පුළුවන. ඒ නිසාම මෛත්‍රිගේ ශ්‍රීල.නි.ප.යත්, එයින් ගැලවී ගිය ශ්‍රීල.නි.ප.යටත් නැති ඒකාබද්ධයටත් නැතැයි හැඟෙන '16 දෙනාගේ කල්ලිය'ත් එකිනෙකට වෙනස් පරස්පර කතා කියා ගත්තද යන්නේ එකම දිශාවකට බැව් පෙනෙයි.


"විශ්වාසභංගය ගෙනාවෙ අගමැතිට එරෙහිව. අගමැති කාගේ ආණ්ඩුවේ අගමැතිද? ඒ ජනාධිපතිගේ නායකත්වයෙන් තියෙන වත්මන් ආණ්ඩුවෙ අගමැතියි. ශ්‍රීල.නි.ප.ය කාගෙද? ඒකෙ නායකයා කවුද? ඒ ජනාධිපති මෛත්‍රිනේ. එහෙම නම් මෛත්‍රිගෙම ශ්‍රීල.නි.ප.ය විශ්වාසභංගයට ඡන්දය නොදී ඉන්නත් කට්ටියක් පක්ෂව ඡන්දය දෙන්නත් දෙවිධියකින් බැහැනේ. මොකෝ මේ වග මෛත්‍රි දන්නෙ නැතිව නෙවෙයිනේ. ඒකෙන් වුණේ මෛත්‍රි හා ශ්‍රී ලංකා එකේ කට්ටිය දෙකට බෙදුණා. කට්ටියක් අගමැති රකින්න ඕනෑ නිසා, ආණ්ඩුව රකින්න ඕනෑ නිසා ඡන්දය දෙන්න ආවේ නෑ. රනිල්ට විරුද්ධව ඡන්දය දුන්නු 16 දෙනාම ඇත්තටම කියනවා නම් මහින්දවාදියෝ. නමට මෛත්‍රිත් එක්ක හිටපු මහින්දට කඩේ ගිය අය. එහෙම නම් මේ බෙදිල්ල නිසා ජනතාවට හරියටම පෙනුණා ආණ්ඩුව තියාගන්න ඕනැයි කියන කට්ටියයි මහින්දට හෝයියා කියන කට්ටියයි කවුද කියලා"


ජනතාව කතා වෙන්නේ එලෙසය. මෙහි ගැඹුරු දේශපාලන සත්‍ය නම් මෛත්‍රිගේ මෙහෙයුමක් වෙනම රහසිගතව දියත් වූ අතර ඊට පරිබාහිරව ඒ මෙහෙයුමේම සිටි 16 දෙනා මහින්ද සමඟද මෙහෙයුමක සිටි බවය. මෛත්‍රිගෙත්, මහින්දගෙත් ගෙවල් දෙකෙන්ම කාපු බීපු මේ මෙහෙයුම්කරුවන් අතරද වෙනස්කම් තිබුණු අතර ඒ දෙකටම නැතිව වෙනත් ගමනක් බලාපොරොත්තුවෙන් සිටි පිරිසක්ද වූහ. ඒ අනුව ශ්‍රීල.නි.ප.ය කොටස් තුනකට කැඩී ගිය තත්ත්වයකි. මෙම තත්ත්වය අවබෝධ කරගත් ශ්‍රීල.නි.ප.යේ පැරැන්නකු ප්‍රකාශ කළේ අපූරු කතාවකි. එය මෙසේය.


"ශ්‍රීල.නි.ප.ය ඉතිහාසයේ දෙකට කැඩිලා තිබෙන අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ වුණත් මේ බෙදීම සුවිශේෂයි. මෛත්‍රි හිතාගෙන හිටපු එයාගෙ ශ්‍රීල.නි.ප. කණ්ඩායමයි මහින්දගෙ කණ්ඩායමයි පැහැදිලිවම දෙකට බෙදී පෙනුණා. මේ සියලුදෙනාම වැඩියෙන් නම්‍යශීලී වෙන්නේ මහින්දටයි. ඔය කැඩී ගිය 16 දෙනා විතරක් නෙවී දැනටත් මෛත්‍රි ළඟ ඉන්න වැඩි දෙනෙක් තවමත් ඉන්නෙ මහින්ද එක්කයි. එහෙම බැලුවාම මෛත්‍රිටය කියලා සමීපව, විශ්වාසයෙන් ඉන්න පිරිස අතේ ඇඟිලි ගාණටත් අඩුයි.

ඔය පිරිස අතර ගෝඨාභයටත් හිතවත් ගෝඨාවත් ගේන්න හදන කට්ටියකුත් ඉන්නවා. එහෙම බැලුවාම මේක අවුල් ජාලයක්. ඒ වුණත් එක දෙයක් පැහැදිලියි. මහින්දත් ගෝඨාභයත් අතර ලේ නෑකම, බැඳීම වැඩියි. ඒකෙ අවසාන කතාව තමයි මහින්ද බලවත් වුණාම ගෝඨාභය එයාට ශක්තියක් වීමයි. අන්තිමට තනි වෙන්නෙ මෛත්‍රි. මෛත්‍රි තනි වෙනවා විතරක් නෙවි තමුන්ගෙ ධුර කාලය ඉවර වෙලා ගෙදර යන්නේ එ.ජා.ප.යේ ජන පදනමටත්, ශ්‍රීල.නි.ප.යේ ජන පදනමටත් සතුරෙක් වෙලායි. මේ තත්ත්වය ශ්‍රීල.නි.ප.යේ කවර හෝ නායකයකුට හිමි වුණේ නෑ. මේ දෙදරීම ඛේදවාචකයක්."


මේ දිගහැරෙන සත්‍යයට අනුව කරුණු පෙළගැසේ නම් මෛත්‍රි කොතරම් බලවත් වන්නට උත්සාහ කළත් ඒ හැම මොහොතකම ප්‍රතිඵලය වන්නේ ඔහු අප්‍රසාදයට ලක් වීමයි. ඔහුට සහාය වන්නට, ඔහුට අත දෙන්නට කිසිවෙක් ඉතිරි වන්නේ නැත. දැනට සවිය දෙන්නට යැයි සිතන පිරිසද එක්කෝ නාහෙන් අඬඅඬා ගොස් සමාව අයැද මහින්දට එකතු වනු ඇත. එසේ යන්නට නොහැකි වන අය රනිල්ට එකතු වනු ඇත.


"ශ්‍රීල.නි.ප.ය දුර්වල වෙලා. පක්ෂයක් හැටියට ගම් මට්ටමේ සංවිධාන ශක්තිය දුර්වල වෙලා. පක්ෂය දිනවන්න කටයුතු කළ බිම් මට්ටමේ ක්‍රියාශීලී නායකයන් පොහොට්ටු පක්ෂයට ගාල් වෙලා. මේ තත්ත්වය මත මෛත්‍රිපාල ජනාධිපතිට තමන් නායකත්වය දරන ශ්‍රීල.නි.ප.ය ගොඩගන්න එක දුෂ්කර කටයුත්තක්" යැයි පවසන්නේ මෛත්‍රි පිලේ බිම් මට්ටමේ ක්‍රියාවලිය සංවිධානය කිරීමට උරදුන් අයෙකි.


පෙළගැසෙන මෙම තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කරගෙන මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රීල.නි.ප. අපේක්ෂකයා විය යුත්තේ මෛත්‍රිපාල බවටත් කියැවෙන කතා ඇත. එය අතිශය තීරණාත්මක වන්නේය.


"මෛත්‍රිගේ උත්සාහය මොකක්ද කියලා පැහැදිලි නෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නත් පුළුවන්. ශ්‍රීල.නි.ප.යේ වගකීම දරනවා නම් සභාපති හැටියට එහෙම කරන්නත් වෙනවා. තවම හරියට කියන්න බෑ." මේ පිළිබඳව තොරතුරු පළ කළ හැකි මට්ටමේ ප්‍රබලයකු පැවැසුවේ එසේය. එය තහවුරු කරමින් පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රීල.නි.ප. මහ ලේකම් දුමින්ද දිසානායක කියා සිටියේ "දැනට ශ්‍රීල.නි.ප.යේ සිටින ජනප්‍රියම නායකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමායි. කවුරු කොහොම කීවත් මධ්‍යස්ථ නායකයකු විධියට මෛත්‍රි ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට යළිත් සුදුසුයි" කියලාය.


එසේ නම් මෛත්‍රිට මහ මෙරක් තරම් වැඩ ඇත්තේය. ඒකාබද්ධයේ පිරිස හා කතිකා කර එහි ගාල්වූ ශ්‍රීල.නි.ප. ප්‍රබලයන් ඩැහැගත යුතුය. එම බලවේගයේ ශක්තිය ආශීර්වාදය ලබාගත යුතුය. එපමණක් නොව සුළු ජනතාවගේ නියෝජනය ඇති සුළු පක්ෂවල සහායද ලබාගත යුතුය. එසේ ලබාගත හැකි නම් එහිදී එන ඒ කට්ටිය අනුව ශ්‍රීල.නි.ප.ය පෙරටු කරගත් ඒකාබද්ධය සහාය වන ආණ්ඩුවක් ඇති කළ හැකි වටපිටාව සකස් කරගත හැකි වනු ඇත. ඒ සඳහා ඔහු නියත වශයෙන්ම ජනාධිපතිවරණය ජයගත යුතුය.


මෛත්‍රිට මේ අභියෝගය ජය ගන්නට මේ මොහොතේ ඉඩක් ඇත්දැයි සැක සහිතය. මේ මොහොත වන විට දෙමළ හා මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂ සිටින්නේ එක්සත් ජාතික පෙරමුණ සමඟය.


මෛත්‍රි මේ සියල්ල කෙසේ කළමනාකරණය කර ගත්තද ඔහුට ඉතිරි කාලය හොඳින් රාජ්‍ය පාලනය කළ යුතු වන්නේය. එසේ කර පෙන්වීමට සිදු වන්නේය. කකුලෙන් අදින, ගේම් ගහන දේ නොකර ඉතිරි වූ අල්ප වූ කාලය යහපත් ජනාධිපතිවරයකුට ආරූඪ විය යුතු වන්නේය. තමන් ළඟ සිටින සහචර මැති ඇමැතිවරු කළමනාකරණය කරගෙන ඒ අයට නිසි ඇමැතිකම් දී රඳවාගත යුතු වන්නේය. එය ශක්තිමත්ව තබන බර අනුව ඉතිරි කාලය ගෙවා ගන්නට වන්නේය.


"ශ්‍රීල.නි.ප.ය වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ගෙන එන්න පත් කරපු මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා අස්වෙච්ච 16 දෙනාගේ තැන්වලට ශ්‍රීල.නි.ප.යේම ඉතිරි අය පත් කරනවාට අගමැති කැමැතිය. අගමැති ඒ ඉතිරි තනතුරුවලින් එකක්වත් ඉල්ලන්නේ නෑ. මෛත්‍රි තමයි මේ අවස්ථාව පැහැර හරින්නේ නැතිව කළමනාකරණය කරගන්න ඕනෑ."


එ.ජා.ප. ප්‍රබලයකු එසේ පැවැසුවේ එ.ජා.ප.යේ හදගැස්මට අනුවය.


"මෛත්‍රි කරන්න යන්නේ ඉතිරි කාලය ඉතා හොඳින් රට පාලනය කරන්න නම් පරණ ක්‍රමය අත්අරින්න වෙනවා. එ.ජා.ප.යත් එක්ක එළිපිටත් යටිනුත් ගැටෙන්න යෑම අනතුරුදායකයි. ගැටෙන හැම මොහොතෙම ගැටලු ඇති වෙලා රට ගෙනියන්න බැරි වෙනවා. ඒකෙන් ශ්‍රීල.නි.ප.යටත්, එ.ජා.ප.යට.ත් හානි වෙනවා. එක් කොටසකට පමණක් ගැලවෙන්න වෙන්නෙ නෑ."


ඒකාබද්ධයට බර තවමත් මෛත්‍රි හා සිටින ප්‍රබලයකු එසේ පැවැසුවේ සැබෑ තත්ත්වය එයම බව දක්වමිනි.
තත්ත්වය මෙසේ තිබියදී රනිල් අවුරුද්දෙන් පසු වැඩ අල්ලන්නේ කෙසේදැයි මෛත්‍රිද මහින්දද බලා සිටින්නේ නොඉවසිල්ලෙනි. රනිල්ට වරදින හැම මොහොතක්ම මෛත්‍රිටත් වඩා වටින්නේ මහින්දටය. මහින්දගේ හැඩගැස්ම එක්තරා විදියකට ජයග්‍රාහී වී තිබෙන මානසිකත්වය මැද එය ඉදිරියට ගෙන යෑම ඔහුගේ අපේක්ෂාවය.


"ආණ්ඩුවෙන් පැන්න 16 දෙනා විපක්ෂයේ ඒකාබද්ධයට බැඳෙන්නෙ නැතැයි කිව්වට නොනිල වශයෙන් එකතු වෙන්නෙ මහින්දගෙ ගොඩටයි. සමහර විට පාර්ලිමේන්තුව රැස් වෙද්දි දෙතුන් දෙනෙක් විපක්ෂයේ ඉඳගන්නත් පුළුවන්. මේක රනිල්ට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මෛත්‍රිට තමයි හිසරදයක් වෙන්නෙ. මහින්දට පිරිස් බලය වැඩි වෙනවත් එක්කම තවත් පැත්තකින් රට පුරා එකින් එක වැඩ වර්ජන රැල්ලක් දියත් කරවලා ආණ්ඩුව එපා කරවන තැනට වැඩ ගෙන ඒවි. ඒ අතර මහ මැතිවරණයක් ගන්න හඬක් නැඟේවි. මහින්දගේ ප්ලෑන තමයි ජනාධිපතිවරණය පස්සට දාලා මහ මැතිවරණය ඉස්සරහට ගන්න එක. මෛත්‍රිටත් රනිල්ටත් තියෙන අභියෝගය තමයි මේකට සාර්ථකව මුහුණදීම."


පෙළගැසෙන තත්ත්වය ගැන එසේ අදහස් දක්වමින් පැරැන්නකු කරන කරුණු දැක්වීම නොසලකා හැරිය නොහැකිය.
මහින්දගේ ප්‍රවේශයත් උපාය උපක්‍රමත් හොඳින් දන්නා රනිල් පළමුව තම පක්ෂය තුළ වන කැරැල්ල මැඬපවත්වා ගැනීමකට වඩා එය යථාවාදීව විස¼දාගෙන සාමාන්‍ය තත්ත්වයකට පත් කරගෙන ජයග්‍රාහී ගමනකට ප්‍රවේශ වන ආකාරය ගැන මහින්ද සිටින්නේ සීරුවෙනි.


උප්රටවැට්ටි හා ගේම්වලින් තොරව රනිල් සැබෑ ප්‍රතිසංවිධානයක් සිදුකොට තරුණ නායකයන්ට නායකත්වයේ මංපෙත් විවර කර මීළඟ ජනාධිපතිවරණයට ජයග්‍රාහීව මුහුණදිය යුතු කඩුල්ල හරිහැටි පැනිය යුතුය. එහිදී රනිල්ගේ එක් දුර්වල තීන්දුවක් හා පියවරක් මහින්දට කෝටියක් වටින්නේය. එසේම රනිල්ගේ සාර්ථක හැම පියවරකටම පක්ෂයේ සෙස්සන්ගේ උපරිම සහයෝගයද ලැබිය යුත්තේය. මේ කඩුල්ල පැනගත්තේ නැත්නම් නායකයාත් සමඟ පක්ෂයද, පක්ෂ යාන්ත්‍රණයද විනාශ වන්නේය. ඇද වැටෙන්නේය. ඒ ඇද වැටීමේ අවසානය මහින්දට අනවශ්‍ය බලයක් උරුම කර දීමය. එ.ජා.ප. නායක රනිල් මේ මොහොතේ ස්වකීය කාර්යභාරය එ.ජා.ප.යේ අනාගතයත් එ.ජා.ප. ජනාධිපතිවරයකුගේ ජයග්‍රහණයත් වෙනුවෙන් හරිහැටි නිවැරැදිවම කළ යුත්තේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්