ජේ.ආර්.-ගාන්ධි ගිවිසුම සහ රනිල්-සම්පන්දන් ගිවිසුම

  👤  4168 readers have read this article !
2018-04-19

චාර්ලිස් මුදලාලිගේ කතාව

හතරලියැද්ද ගම්මානයේ චාර්ලිස් මුදලාලි මුළු ගමේ ම ලොක්කා ය. ගමෙන් භාගයක්ම ඔහුගේ ය. ගොඩින් අක්කර බර ගාණක් ද මඩින් අක්කර බර ගාණක් ද ඔහුට තිබුණේ ය. රබර් වතු, තේවතු, පොල් වතු, කුඹුරු ඒ අතර විය. මේ වතු ටික හරි හමන් විදිහට නඩත්තු කිරීම ලේසි පහසු නැත. චාර්ලිස් මුදලාලි අවට ගම් දෙක-තුනකින්ම වතුවල වැඩට මිනිසුන් ගෙන්වා ගත්තේ අඩු වියදමකින් වැඩේ හරියට කර ගන්නටය. වැඩි පහසුවට ඔවුන්ට මුදලාලිගේ වතුවලම තාවකාලික මඩුවල නවාතැන් සැපයිනි.

සප්පායමද අවටින් මය. මුදලාලි වයසට යද්දී වතුවල වැඩ කළේ මුල් සේවකයන්ගේ දරුවන් ය. දරුවන්ගෙත් දරුවන් ය. උන් මුල හරියට දන්නේ නැත. වැඩි කල් නොගොස් මුදලාලිගේ මඩු ඔවුන්ගේ ගෙවල් ද, මුදලාලිගේ වතු ඔවුන්ගේ ඉඩම් ද විය. වැඩේ කෙරෙන නිසා මුදලාලිටත් මේ ගැන හරිහැටි නිච්චියක් තිබුණේ නැත. මුදලාලිගේ ඉඩම්වල මුදලාලිගේ භුක්තිය ගිලිහුණේ මුදලාලිටත් නොතේරීම ය. ඉඩමක-කඩමක වෙනසක් කරන්නත් මුදලාලිට ඔවුන්ගේ අවසරය ගන්නට සිදු විය. මුදලාලිගේ සින්නක්කර දේපළ ඔවුන්ටම ගියේ ය. ඔවුන්ගේ මුල් ගම්වල නෑදෑයන් ඔවුන් වෙනුවෙන් සටනට ආවේ ය. අයිතිවාසිකම් කීවේ ය. මුදලාලිගේ දරු-මුනුබුරන්ටවත් ඒ ඉඩම්වලට අත තැබීම උගහට විය. කරබාගෙන සිටිනවා හැර මුදලාලිට කර කියාගන්නට වෙන දෙයක් නැති විය.

ඒ හතරලියැද්දේ හතරවරං අහිමි වූ චාර්ලිස් මුදලාලිගේ කතාවේ මුල මැද සහ අගය. මේ කියන්න යන කතාවේ මුල ගැන දන්නෝ දනිති. මැද ගැන නම් සඳහනක් කළ හැකිය. අග ගැන කියන්නට තවම කල් වැඩි ය.

අසූව දශකය අසූ වියැති ජේ.ආර්.ගේ ජනපති ධුරයේ අවසන් කාලයයි. 1987 වෙද්දී ජේ.ආර්. බෙල්ලටම සිර වී සිටියේ ය. ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉන්දියාව බරපතළ ලෙස අතපෙවීම ආරම්භ වී තිබුණේ ය. ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. ප්‍රධානීන් තමිල්නාඩුව අතහැර යාපනයට එන්න තීරණය විය. ජේ.ආර්. උතුරට හමුදාව යවා එල්.ටී.ටී.ඊ.ය යාපනයටම හිර කළේ ය. එල්.ටී.ටී.ඊ.ය දුර්වල වීම ගැන තමිල්නාඩුව උරණ වේ යැයි සිතූ ඉන්දීය රජය යුද ක්‍රියාමාර්ග වහාම නවත්වන ලෙස බල කළේ ය.

ඉන්දීය රාජ්‍ය ඇමැතිවරයකු වූ දිනේෂ් සිං ලංකාවට පැමිණ ජේ.ආර්. මුණගැසුණේ මේ අතර ය. හොඳ හිත පෙන්නන්න හිතාගෙන ජේ.ආර්. බෙදුම්වාදීන්ට දින 8ක සටන් විරාමයක් ප්‍රදානය කළේ ය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා බස්වලින් එමින් සිටි මගීන් 130ක් එල්.ටී.ටී.ඊ.ය විසින් වෙඩි තබා මරා දැමුවේ ය. කොළඹ ප්‍රධාන බස් නැවතුම්පොළේ බෝම්බයක් පුපුරුවා 150 දෙනකුට ජීවිත අහිමි කළේ ය. බෙදුම්වාදීන් ජේ.ආර්.ගේ සටන් විරාමයට ප්‍රතිචාර දැක්වූයේ එහෙම ය.

තමා බරපතළ දේශපාලන අනාථ තත්වයකට පත් වීමට යන බව තේරුම් ගත් ජේ.ආර්. වඩමාරච්චි මෙහෙයුම දියත් කළේ ය. 1987 මැයි 26 දින ඇරැඹි එම මෙහෙයුම දින 10ක් පැවැතුණේ ය. හමුදාවේ 29ක් කොටි 100 පමණ මරණයට පත් විය. සෙස්සෝ පලා ගියහ. තමිල්නාඩුවේ සිට භටයන් සහ යුද ආධාර සැපැයෙන ඊසාන දිග වෙරළ තීරයේ බලය හමුදාව අල්ලා ගත්තේ ය. "ඒ අවස්ථාවේදී ඔවුන්ව තීරණාත්මක ලෙස පරාජය කරන්නට ඉඩ තිබුණා. ඉන්දියාව මැදිහත් වුණේ නැතිනම්" වඩමාරච්චි මෙහෙයුමේ ප්‍රධානියකු වූ බි්‍රගේඩියර් විජය විමලරත්න කීවේ එහෙම ය. යාපනය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා හමුදාව වෑයම් කළොත් ඉන්දියාව නිකන් ඉන්නේ නැති බවට ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් විසින් එවකට ජාතික ආරක්ෂාව භාර අමාත්‍ය ඇතුළත්මුදලිට අනතුරු අඟවා තිබිණි. මඟ ඇහිරීම නිසා යාපනයට හිර වී සිටි එල්.ටී.ටී.ඊ.ය දැඩි ආහාර හා ඉන්ධන හිඟයකට මුහුණ පා සිටියේ ය. තමිල්නාඩුව ඇ.ඩො. ලක්ෂ 32ක් එල්.ටී.ටී.ඊ. යට තෑගි කළේ මේ අල්ලපනල්ලේ ය. තමිල්නාඩුවේ බලපෑමට ඉන්දියාව බඩු පිර වූ ධීවර යාත්‍රා 20ක් බලෙන් ම යාපනයට එව්වේ ය. ශ්‍රී ලංකා නාවික හමුදාව ඒවා හරවා යැව්වේ ය. තරහා ගිය ඉන්දියාව අන්තර්ජාතික නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් ආහාර හා ඔෟෂධ ටොන් 22ක් ගුවනින් හෙළුවේ ය. ලංකාවේ බෙදුම්වාදීන්ට ඉන්දියාව ප්‍රසිද්ධියේම උදවු කළේ එහෙම ය.

ජේ.ආර්. - ගාන්ධි ගිවිසුම

දේශපාලන ආධාර ජේ.ආර්. ගෙන් අෑතට ගියේ ය. අළුයට ගිනි එළියට ආවේ ය. ජේ.වී.පී. ය කැරැලි ගැසුවේ ය. රට දේශපාලනික වශයෙන් අරාජිකවෙමින් පැවැතියේ ය. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සමඟ ගිවිසුමකට එළඹීම සඳහා කොන්දේසි එහා මෙහා දෝලනය විය. අන්ත අසරණ වූ ජේ.ආර්. රජිව් ගාන්ධිට එකඟ විය. උතුර-නැඟෙනහිර තාවකාලිකව ඒකාබද්ධ කර හදිසි නීතිය ඉවත්කොට ජනමත විචාරණයක් පැවැත්වීමට එකඟ විය. රටම ගිනි ගනිද්දී 1987 ජූලි 29දා ජේ.ආර්.-ගාන්ධි සමඟ ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළේ ය.

(01) 1. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන හෙයින්ද,

2. ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතීන් අතර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ බර්ගර් ජාතීන්ගෙන් සමන්විත වූ බහුජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුත් බහුවිධ සමාජයක් ඇති බව පිළිගන්නා හෙයින්ද,

3. සැලකිල්ලෙන් පෝෂණය කළ යුතු වූ එකිනෙකට වෙනස් සංස්කෘතික සහ භාෂාමය අනන්‍යතාවක් එක් එක් ජනවාර්ගික කොට්ඨාසයට ඇති බැව් පිළිගන්නා හෙයින්ද,
4. දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකික ජනයා අනෙකුත් ජනවාර්ගික කොට්ඨාසයන් සමඟ එකට මෙතෙක් ජීවත් වූ නැඟෙනහිර සහ උතුරු පළාත් එම දෙමළ භාෂාව කතා කරන ජනයාගේ ඓතිහාසික වාසභූමි ලෙස තිබූ බැව් පිළිගන්නා හෙයින්ද,

5. ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවය, ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාවට ආධාර වන්නා වූ බලවේගයන් ශක්තිමත් කිරීම හා සමානාත්මතාවයෙන් හා සමඟියෙන් යුතුව ජීවත් වෙමින් සමෘද්ධිය ළඟා කර ගනිමින් ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ට ස්වකීය අභිමතාර්ථයන් ඉටුකරගත හැකි අයුරු ශ්‍රී ලංකාවේ බහුජාතික සහ විවිධ භාෂාවන්ගෙන් යුක්ත වූ බහුවිධ සමාජ ස්වරූපය ආරක්ෂා කිරීම පිළිබඳ අවශ්‍යතාව දන්නා හෙයින්ද,

02. මෙසේ සම්මත කරති.

1. සමීපව පිහිටි පළාත්වලට එක් පරිපාලනමය ඒකකයක් සෑදෙන සේ එකිනෙකට සම්බන්ධවීමටත් උතුරු හා නැඟෙනහිර පළාත් සම්බන්ධයෙන් පහත විස්තර කර ඇති අයුරින් ජනමත විචාරණයක් මාර්ගයෙන් ඒවාට වෙන්වීමටත් ඉඩදීමට ශ්‍රී ලංකා රජයේ යෝජනා කරන හෙයින්,

2. මෙහි පනත 2-8 වැනි ඡේදයෙහි සඳහන් පළාත් සභා ඡන්ද විමසීමේ දින සිට 2,3 වැනි ඡේදයෙහි සඳහන් ජනමත විචාරණය පවත්වනු ලබන දිනය දක්වා වූ අතුරු කාලපරිච්ඡේදය වශයෙන් හඳුන්වනු ලබන කාලපරිච්ඡේදය තුළ උතුරු-නැඟෙනහිර පළාත් ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන එකම පළාත් සභාවකින් යුත් එකම පරිපාලන ඒකකයක් වනු ඇත. එවැනි ඒකකයක් සඳහා එක් ආණ්ඩුකාරවරයකු, එක් ප්‍රධාන ඇමැතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් පත්කරනු ඇත.

3. (අ) නැඟෙනහිර පළාත උතුරු පළාතට සම්බන්ධ වූ එක් පරිපාලන ඒකකයක් වශයෙන් පැවැතමින් ඉහත 2-2 වැනි ඡේදයෙහි සඳහන් අයුරු උතුරු පළාත සමඟ දිගටම ඒකාබද්ධව පාලනය කරගෙන යා යුතුද නැතහොත්,

(ආ) නැඟෙනහිර පළාත එක් ආණ්ඩුකාරවරයකු එක් ප්‍රධාන ඇමැතිවරයකු සහ එක් අමාත්‍ය මණ්ඩලයක් සහිත වෙනම පළාත් සභාවක් ඇති වෙනත් පරිපාලන ඒකකයක් විය යුතු, යන්න නැඟෙනහිර පළාතේ ජනතාව විසින් තීරණය කරනු ලැබීමට හැකිවන සේ 1988.12.31 දින හෝ ඊට පෙර ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇත. එවැනි ජනමත විචාරණයක් ස්වකීය අභිමතය පරිදි ජනාධිපතිවරයා විසින් කල් දමනු ලැබිය හැකිය.

4. ජනවාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා නිසා හෝ වෙනත් හේතූන් නිසා ස්වකීය වාසස්ථාන හැරයෑමට සිදු වූවන් හට එවැනි ජනමත විචාරණයකදී ඡන්දය දීමේ අයිතිවාසිකම් හිමිවනු ඇත. ඔවුන් කලින් සිටි ප්‍රදේශවලට ආපසු පැමිණීමට අවශ්‍ය වාතාවරණය ඇති කරනු ඇත.

5. එම ජනමත විචාරණය අග්‍ර විනිශ්චයකාර තැනගේ ප්‍රධානත්වයෙන් වූද ශ්‍රී ලංකා රජය විසින් නම් කරනුු ලැබ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයකුගේ සහ නැඟෙනහිර පළාතෙහි දෙමළ භාෂාව කතා කරන ජනයාගේ නියෝජිතයන් විසින් පත්කරනු ලබන සාමාජිකයකුගෙන් යුත් කමිටුවක පරීක්ෂාව යටතේ පවත්වනු ඇත.
6. ජනමත විචාරණයේ ප්‍රතිඵල තීරණය කිරීම සඳහා සාමාන්‍ය බහුතරයක් ප්‍රමාණවත් වනු ඇත.

7. රටෙහි පවත්නා නීතිය අනුව ඉඩදිය හැකි රැස්වීම් සහ අනෙකුත් අන්දමේ ප්‍රචාරක කටයුතුවලට ජනමත විචාරණයට පෙර ඉඩකඩ ලැබෙනු ඇත.

8. මීළඟ මාස 3 ඇතුළතදී කෙසේ වෙතත් 1987 දෙසැම්බර් මස 31 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙනු ඇත. උතුරෙහි සහ නැඟෙනහිර පළාත් සභා ඡන්ද විමසීම් සඳහා ඉන්දීය නිරීක්ෂකයන්ට ආරාධනා කෙරෙනු ඇත.

9. 1987 අගෝස්තු මස 15 වන විට උතුරු නැඟෙනහිර පළාත්වල හදිසි අවස්ථාව ඉවත් කෙරෙනු ඇත. මෙම ගිවිසුම අස්සන් කිරීමෙන් පැය 24 ඇතුළත දිවයින මුළුල්ලෙහිම සටන් නවත්වාලනු ඇත. සටන්කාමී කණ්ඩායම් සතුව දැනට ඇති සියලුම අවි ආයුධ ශ්‍රී ලංකා රජය විසින් පත්කරනු ලබන බලධාරිනට ගිවිස ගනු ලබන ක්‍රියා පරිපාටියක් අනුව භාරදෙනු ඇත.

10. උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක කිරීමේ සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ කාර්යයන් සඳහා රටෙහි අනෙකුත් ප්‍රදේශවල යොදාගන්නා රාජ්‍ය සංවිධානයන් සහ පරිපාටියම ශ්‍රී ලංකා රජය විසින් උපයෝගි කර ගනු ඇත.

11. ත්‍රස්තවාදය වළක්වාලීමේ පනත යටතේ සහ අනෙකුත් හදිසි අවස්ථා නීති යටතේ දැනට අත්අඩංගුවේ සිටින දේශපාලනමය සහ අනෙකුත් සිරකරුවන්ටද,

සටන්කාමීන්ටද මෙකී නීති යටතේ චෝදනා ලැබ නඩු පවරනු ලැබ සහ හෝ දඬුවම් කරනු ලැබ ඇති පුද්ගලයන් හටද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් පොදු සමාවක් දෙනු ඇත. සටන්කාමී තරුණයන් රටෙහි ජන ජීවිතයෙහි ප්‍රධාන ක්‍රියාවලියට ආපසු පමුණුවාලීම සඳහා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් විශේෂ පරිශ්‍රමයක් දරනු ඇත.

12. ඉහත විධිවිධාන ශ්‍රී ලංකා රජය විසින් පිළිගෙන ඒ අනුව කටයුතු කරනු ලබනු ඇත. අනෙකුත් සියල්ලන් විසින්ද එසේ කටයුතු කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

13. මෙම තීරණයන් සඳහා වූ මූලික රාමුව පිළිගනු ලබන්නේ නම් ශ්‍රී ලංකා රජය විසින් අදාළ යෝජනා වහාම ක්‍රියාත්මක කරනු ඇත.

14. මෙම යෝජනා ඉන්දියානු රජය විසින් සහතික කරනු ලබන අතර ඒවා ක්‍රියාත්මක කිරීමේලා සහාය වනු ඇත.

15. 1986.05.04 වැනි දින සිට 1986.12.19 වැනි දින දක්වා වූ කාලය තුළ සාකච්ඡා කරන ලද යෝජනාවන් පිළිගත යුතුය යන කොන්දේසියට මෙම යෝජනා යටත් වේ. අවසාන නිගමනයකට නොඑළැඹෙන ලද ඉතිරි කරුණු මෙම ගිවිසුම අස්සන් කිරීමෙන් සති 6 ඇතුළත ඉන්දියාව හා ශ්‍රී ලංකාව විසින් නිරාකරණය කරගත යුතුය. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙහිලා ඉන්දියානු රජය කෙළින්ම ශ්‍රී ලංකා රජයට සහාය වනු ඇත යන කොන්දේසියටද ඒවා යටත්ය.

16. ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා වූ යෝජනාවල මෙම මූලික රාමුව ශ්‍රී ලංකාවෙහි සිටින කිසියම් සටන්කාමී කණ්ඩායමක් විසින් නොපිළිගනු ලැබුවහොත් ඉන්දියානු රජය පහත සඳහන් අයුරු ක්‍රියාකරනු ඇතැයි යන කොන්දේසියටද මෙම යෝජනා යටත් වේ.

(අ) ශ්‍රී ලංකාවෙහි ඒකීයභාවයට දේශපූර්ණත්වයට සහ ආරක්ෂාවට අහිතකර කාර්යයන් සඳහා ඉන්දියානු භූමිය ප්‍රයෝජනයට නොගනු ලබන බව සහතික කිරීමට අවශ්‍ය සියලු පියවර ඉන්දියානු රජය විසින් ගනු ඇත.

(ආ) ද්‍රවිඩ සටන්කාමී කටයුතු ලංකාවට බලපෑම් වළක්වාලීම සඳහා ඉන්දියානු නාවික වෙරළාරක්ෂක හමුදා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහාය වනු ඇත.

(ඇ) මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජයෙන් යුද ආධාර ඉල්ලා සිටි විටකදී ශ්‍රී ලංකා රජයට එවැනි යුද ආධාර දීමෙන් ඉන්දියානු රජය සහාය වනු ඇත.

(අෑ) තමිල්නාඩුවෙහි සිටින ශ්‍රී ලාංකික සරණාගතයන්

ශ්‍රී ලංකාවට ආපසු එවීමත් සමඟම මෙරට වාසය කරන ඉන්දියානු පුරවැසියන් ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ආපසු ගෙන්වා ගැනීම ඉන්දියානු රජය විසින් කඩිනම් කළ යුතුය.

(ඉ) උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල ජීවත් වන සියලුම ජනවාර්ගික කොටස්වලට අයත් තැනැත්තන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

17. මෙම ගිවිසුමෙන් අදහස් කරනු ලබන ඡන්ද විමසීමේ ක්‍රියාවලියට නිදහස් පූර්ණව සහ සාධාරණව සහභාගි වීම උතුරු හා නැඟෙනහිර පළාත්වල සිටින සියලුම ඡන්ද දායකයන්ට

ශ්‍රී ලංකා රජය විසින් සහතික කරනු ඇත.

18. සිංහල භාෂාව ශ්‍රී ලංකාවෙහි රාජ්‍ය භාෂාව විය යුතුය. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ද රාජ්‍ය භාෂාවන් වනු ඇත.

(03) අස්සන් තැබූ විට මෙම ගිවිසුම සහ ඒ සමඟ ඇති ඇමුණුම ක්‍රියාත්මක විය යුතුය.

සියල්ල කණපිට හැරෙන්නට වැඩි කල්ගියේ නැත. ඒ දුක අවුරුදු 30ක් තිස්සේ වින්දේ රටේ ජනතාවය.

රනිල් - සම්පන්දන් ගිවිසුම

ජේ.ආර්.ගේ බෑනා රනිල් ය. ඔහු ලංකාවේ වර්තමාන අගමැති ය. අගමැති වී වැඩි කලක් යන්නට මත්තෙන් ඔහු දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ පෑවේ ය. පිහිය බෙල්ලටම ළං වූයේ ය. දේශපාලන වශයෙන් අසරණ වුණේ ය. එකම ගැලවුම්කරුවා වූයේ දෙමළ ජාතික සන්ධානයයි. දෙමළ ජාතික සන්ධානය යනු ඉන්දියාවේ අතකොළුවක් ය. ඔවුන් වැඩ කරන්නේ ඉන්දියාවේ උපදෙස්වලට අනුව ය. තීරණාත්මක අවස්ථාවලදී නායක සම්පන්දන් ඉන්දියාවට දුවන්නේ ඒ නිසා ය. 2018 අප්‍රේල් 04 වැනිදා ඉරණම් දවස විය. විශ්වාසභංගයෙන් බේරෙන්නට නම් දෙමළ ජාතික සන්ධානයේ සහාය අත්‍යවශ්‍ය විය. සුපුරුදු විදිහටම ය. කොන්දේසි ගණනාවක් රනිල් ඉදිරිපිට ය. අගමැතිකම බේරගන්න රනිල් කොන්දේසි 10කට එකඟ වුණේ ය.

1. උතුර නැඟෙනහිර ප්‍රශ්නයට කඩිනමින් දේශපාලන විසඳුමක් ලබාදීම.

2. මීළඟ මැතිවරණයකට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම.

3. යුද හමුදාව විසින් පරිහරණය කරනු ලබන උතුර නැඟෙනහිර වැසියන්ගේ ඉඩම් සියල්ල ආපසු ලබාදීම.

4. දේශපාලන සිරකරුවන් සියලු දෙනාම පොදු සමාවක් යටතේ නිදහස් කිරීම.

5. යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම හා ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටුකිරීම.

6. උතුර නැඟෙනහිර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම.

7. එම පළාතේ තරුණ තරුණියන්ට සුදුසු රැකියා ලබාදීම.

8. උතුර නැඟෙනහිර පළාත්වල රැකියා ලබාදීමේදී එම පළාත්වල සුදුසුකම් ඇති පිරිස් සිටියදී දකුණේ පිරිස්වලට උතුර හා නැඟෙනහිර පළාත්වල රැකියා ලබාදීම නතර කිරීම.

9. උතුර නැඟෙනහිර ප්‍රධාන දිස්ත්‍රික්ක අට සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයන් පත් කිරීම.

10. උතුර නැඟෙනහිර පළාත් සංවර්ධනය කිරීමේදී එම පළාත් සභා දෙකේ සිටින පිරිසේ මතයන්ට ගරු කිරීමද එම පළාත් සභාවල ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීමද සිදුවිය යුතුය.

කොන්දේසි දහය ක්‍රියාත්මක වේ දැයි කියන්නට දන්නේ නැත. 1987දී මාමා ජේ.ආර්. එල්.ටී.ටී.ඊ.යට සටන් විරාම ප්‍රදානය කළේ ය. ඔවුන් එය සත පහකට මායිම් නොකර ත්‍රස්තවාදය වැපිරුවේ ය. 2002දී බෑනා රනිල් එල්.ටී.ටී.ඊ.යට සටන් විරාම ප්‍රදානය කළේ ය. ඒකත් සත පහකට මායිම් නොකළ ඔවුන් තමන්ට රිසි සේ සන්නද්ධ වුණේ ය.

එහෙම බැලුවාම මාමා කළ දේ බෑනා නොකළොත් නොට්ටිගේ බෑනා කියා කතාවක් හැදුනත් වරදක් නම් නැත.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්