කවදා පායයි ද ඒ සූර්යයා

  👤  3628 readers have read this article !
2018-04-17

අලුත් අවුරුද්දෙන් පසු කවුරු කවුරුත් වැඩ අල්ලන්නට දනි පනි ගා නැඟිටින මොහොතක්ය. රට කරවන මැති ඇමැතිවරුද ඒ කෙරිල්ල බලාගෙන විපක්ෂයේ සිට කටයුතු කරන විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් බොහෝ දෙනකු ද රට සවාරි ගොහින්ය. සිංහල බෞද්ධකමට, දෙමළ හින්දුකමට පණ දෙනවා යැයි කෑ මොර දෙන්නවුන්ද ඒ අතරය. ඒ උතුමන්ලාගෙන් බොහෝ දෙනා මෙරට සැමරිය යුතු අවුරුද්ද සැමරුවේද රටින් පිටය. පිටරටය.කිසිවක් කරකියා ගන්නට බැරි වූ සාමාන්‍ය ජනතාව හන්දියේ උකස් බඩු කඩේ පෝලිමේ තැප අතකර රන් සොච්චමත් උකසට තියා දරු මුනුපුරන්ගේ සතුට වෙනුවෙන් අවුරුදු කෑමට පෙලැඹුණු අයුරු අමතක කළ නොහැකිය. සැබැවින්ම නොකර බැරිකමට චාරිත්‍ර ඉටු කරන පොදු මහජනතාව දැන් ඉතින් අවුරුද්දත් කාලා ඉවරය. හෙට ඉඳන් අපි ජීවත් වෙන්නේ කොහොමදැයි සිතන මොහොතකය.

ආණ්ඩුවක් ඇතැයි පෙනෙන්නට නැති තරමට එක එක කතාය. අවුරුද්දට රටේ නායකයා වූ ජනාධිපතිත් පිටරටය. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන්ය. රට ගොහින් ආපසු විසඳන්නට ගැටලු බොහෝය. ඒවා මඟහැර යා නොහැකි ඒවාය.

ජනාධිපතිත්, අගමැතිත් රටේ නායකයන් වශයෙන් සිහිබුද්ධියෙන් රට කරවා ජනතාවට සෙතක් කළ යුතු යැයි සිතන ජනතාව තවමත් ඉතිරි වී ඇත. ඒ අතර ජනාධිපතිට එරෙහි බලවේග තැන තැනය. අගමැතිට එරෙහි බලමුළු තැන තැනය. ඒ දෙපාර්ශ්වයටම එරෙහි බලමුළු තවත් තැනකය. එය එක්තරා විදියක නිද්‍රාවෙන් යුතු රටක 'මොනවාවත්ම සිදු නොවන' තැනකය.

එහි කූටප්‍රාප්ති අවස්ථාව එළැඹෙන්නේ දැන්ය. අලුත් අවුරුද්දෙන් පසුවය. ජනාධිපති තමන්ට ලබා දුන් ජනවරමට පිටුපා තමන්ගේ අභිමතය අනුව කටයුතු කරනවා යැයි නැඟෙන චෝදනාය. අගමැතිට එරෙහි චෝදනා බොහෝය. ඒ සියල්ල මැද හිටපු ජනාධිපතිටත් චෝදනාය. කවුරු කවුරුත් ජනතාව වෙනුවෙන් පත්වී වැඩ කළ අයය. මේ අයගේ චෝදනා විභාග වන්නේ නැතැයි කියන කතා රට පුරාමය.

වීවලට සහතික මිලක්, පොහොර සහනාධාරය නිසි කලට, ජීවත් වෙන්න ඉඩක්, බඩු මිල ඉහළ නැඟෙනවාට සහනයක් වැනි අර්බුද ගණනාවක් එකට ගැට ගැසී තැනින් තැන පුපුරා ගිය මතකයන් මැද ජනතාව අසරණ බවින් පිරිලාය.

ජීවත් වෙන්නට සාධාරණ වැඩපිළිවෙළක් හැදෙන්නේ සාධාරණ සමාජයක් තුළය. එකී 'සාධාරණ සමාජය' බෝඩ් ලෑලිවලට සීමා වීය. එය ගෙන එන්නට බලය අතට ගත් ප්‍රධානීන් වල්මත් වෙලාය. ජනතාවට සාධාරණය ලබාගැනීම සිහිනයක් වේ දෝයි සිතෙන තරමට එය මිරිඟුවක් සේය.

එවන් පසුබිමක හිඳ අලුත් අවුරුද්දෙන් පසුව ජනතාව තුෂ්ණිම්භූත භාවයෙන් මුදා ගන්නට මේ කියන නොකියන සෑම නායකයකුටම අයත් කාරියක්ය. එය ඉටු
නොකළොත් ජනතාවගේ ශාපයෙන් ඒ අයට මිදෙන්නට බැරිය. කවදා පායයිද ඒ සූර්යයා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon