කාලි මෑණි අනුහසින් දරුපල නැති කතුනට ඔෟෂධීය කායමක්

  👤  4262 readers have read this article !
2018-04-15

කාලි මාතාව කළුවන් සිරුරකින් යුක්තය. ඇය නිල්වන් වස්ත්‍රයකින් සැරසී නාග වළලු පැලඳ සිටින්නීය. බැලූ බැල්මට ඇයගේ ස්වරූපය බිය ගෙන දෙනසුලුය. ඇයට රක්තවර්ණ කෝපාවිෂ්ට මුහුණක් ඇත. ඇස් රතු පාටය. දෑසින් ගිනිදැල් මතු කරයි. නැහැය උල් පිහියක් මෙන් තියුණුය. දත් කොටිදත්වලට සමානය. ඇය ගෙල පැලඳ සිටින්නේ මරණය සංකේතවත් කරන මිනිස් ඔළු මාලයකි. අත් දහයෙන් ආයුධ දහයක් දරාගෙන දෙපයින් අසුරයකු පාගා ගෙන සිටී.' මේ කාලි ග්‍රන්ථවල දැක්වෙන අන්දමට කාලි මෑණියන්ගේ රූපය විස්තර කරන අයුරුය.

එලෙසම කාලි මෑණියන් සෞම්‍ය ස්වරූපයෙන් දැක්වෙන රූපද ඇත. ඒ ඇය හොඳ නරක දෙකම නියෝජනය කරන නිසාය. කාලි මාතාව ලෝකයේ අසුර බව නසා යුක්තිය හා සාධාරණය ස්ථාපනය කරන්නීය.

සෞභාග්‍යය උදා කරයි. බැතිමතුන්ගේ ලෙඩ රෝග අපල උපද්‍රව නැති කරයි. දරු උපත් ලබා දෙයි. ඒ සමඟම සතුරන්ට, දුදනන්ට වින කරයි. ඔවුන් ආබාධිත කරයි. පිස්සු වට්ටවයි. මරා දමයි.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කට්ට¾ඩීහු කාලි දේවතාවිය, මහා කාලි අම්මා යන ගෞරව නාමයෙන් ඇය හඳුන්වති. අෂ්ටාංග මන්ත්‍ර විද්‍යාවට අධිපතිත්වය දරන ඇය මන්ත්‍රවලට බලය ලබා දෙන්නීය.

කාලි මාතාව රෝගීන් සුවපත් කිරීම පිණිස ඔෟෂධ ලබා දෙතැයි බැතිමත්හු විශ්වාස කරති. උඩප්පුවේ ශ්‍රී භද්‍රකාලි දේවාලයට යන දරු පල නැති කාන්තාවන් එහිදී ලබා දෙන කායම් නමැති ඔෟෂධය ලබා ගෙන දරුවන් ලබන බවට විශ්වාසයක් පවතී.

චෝල දේශයේ එක් කැලෑබද ගමක ජීවත් වූ අඹු සැමි යුවළක් ජීවිකා වෘත්තීය වශයෙන් ඔෟෂධ නිෂ්පාදනය කර ඇත. ඔවුන් අසල වනයට ගොස් ඔෟෂධීය පැළෑටි, මල්, කොළ, මුල් ආදිය ගෙනැවිත් වියළා අඹරා බෙහෙත් හැදීම කර ඇත. විවාහ වී දිගු කලක් ගත වුණද දරුවන් නොලැබීම ඔවුන්ට සිත් තැවුලක් විය. දෙදෙනා කාලි මෑණියන්ට නිතර පුද පඬුරු තබන බැතිමතුන් වූයෙන් ඇය වෙත තම කන්නලව්ව ඉදිරිපත් කළහ. දිනක් කාලියගේ සෝබා නමැති ගිරවිය සිහිනෙන් ඔවුන් ඉදිරියේ පෙනී සිට වඳ ස්ත්‍රීන්ට දරුපල ලබා දිය හැකි බෙහෙත් වට්ටෝරුවක් හෙළි කළාය. එ අනුව ඔවුහු එම බෙහෙත් වට්ටෝරුව ආශ්‍රයෙන් ඔෟෂධීය කායමක් සාදාගෙන අනුභව කර දරුපල ලබන්නට සමත් වූහ. ඉන් පසු ඔවුන් කාලි මෑණියන් වෙනුවෙන් කෝවිලක් සාදවා වඳ ස්ත්‍රීන් සුවපත් කරන්නට පටන් ගෙන ඇත.

මුන්නේශ්වරම, අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට පැමිණෙන දරුපල නොමැති කාන්තාවන්ට මෑණියන් පිහිට වී ඇති බව එම කෝවිලේ ප්‍රධාන පූජාක මහේන්ද්‍රසාමි පවසයි.

කාලි මෑණියන්ගේ හාස්කම් දැක්වෙන කතා බොහෝය. ඉන් එක් කතාවක් මෙසේය. දිනක් ධීවරයකු මසුන් බෑම සඳහා කෝවිල අසල පිහිටි වැව අසලට ගොස් ඇත.
ඔහුට හදිසියේම ඒ අසල සෙල්ලම් කරමින් සිටි ළමයින් දෙදෙනකු දක්නට ලැබිණ. ධීවරයා ළං වන විට ඒ දරුවන් අතුරුදන් වී ඇත. පසුදින පඳුරකට මුවා වී සිටි ඔහු ඒ දරුවන් අල්ලා ගැනීමට තැත් කළේය. පිරිමි දරුවා පැන ගිය අතර ගැහැනු දරුවා පමණක් අල්ලා ගත්තේය. පුදුමයකි. මොහොතකින් ඇය රන් පිළියමක් බවට පත්වූවාය. මේ සිද්ධිය කටින් කට පැතිර ගොස් රජුටද ආරංචි විය. රජතුමා රන් පිළිම ගණනාවක් සාදවා, ධීවරයා ගෙන්වා ඔහු අල්ලා ගත් දැරියගේ රූපය පෙන්වන ලෙස අණ කෙළේය. බියට පත්ව සිටි ධීවරයාට එය කළ නොහැකි විය. පසු දින ඔහු නැවත ගෙන්වා ගෙන ප්‍රශ්න කරන විට දැරියගේ රූපය නිවැරැදිව හඳුනාගන්නට සමත් විය. ධීවරයා කියා සිටියේ තමන් රාත්‍රියේ නිදා සිටියදී කාලි මෑණියන් සිහිනෙන් පෙනී සිට යම් පිළිමයක වම් පස සෙලවෙන්නේද නුඹ එය පෙන්විය යුතු යැයි කියා නොපෙනී ගිය බවය. මෙයින් කාලි මෑණියන් ගැන පැහැදුණු රජතුමා දේවාලයට පුද පූජා පවත්වා කාලි මාතාවගේ බැතිමතෙක් බවට පත්විය.'
කාලි මෑණියන්ගේ හාස්කම් පිළිබිඹු කරන එම කතාව පුරාණ ජනප්‍රවාදවල සඳහන් වූවකි. මෑණියන්ගේ හාස්කම් පිළිබඳව කියැවෙන එවැනි තවත් ජනප්‍රවාද බොහෝය.

නන්දන තෙන්නකොන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon