සයනයිඩ් කරල මගේ දත් අතරය මම කෙටි හුස්මක් ඇද සන්සුන්ව බලා සිටියෙමි

  👤  4493 readers have read this article !
2018-04-15

කොටි තරුණියකගේ
පාපෝච්චාරණය අංක 51

මෙතෙක් කතාව

නිරෝමි යාපනේ ප්‍රභූ පවුලක දැරියකි. ඇය උසස් පෙළ ඉගෙනුම ලබද්දී ජනදිවිය බිඳ වැටේ. දෙමළ තරුණයෝ අවි අතට ගනිති. යාපනයේ යුද ගැටුම් උග්‍ර වේ. නිරෝමි සහ ඇගේ යෙහෙළියෝද කාන්තා සෙබළියන් ලෙස කොටි සංවිධානයට එක්වෙති. ඉන්දු-ලංකා සාම ගිවිසුම ක්‍රියාත්මක වෙයි. ඉන්දීය හමුදා පැමිණෙති. ඉන්දීය හමුදාවට රටින් බැහැර වන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නියැළුණු දිලීපන් මිය යයි. සාම ගිවිසුම බිඳ වැටේ. කොටි නැවතත් ආයුධ අතට ගනිති. කොටි ඉන්දීය හමුදාව සමඟ යුද වදිති.

මුරලි තුවාල ලබා අසිහියෙන් මෙන් සිටියේය. මට හුරු පුරුදු ඔහුගේ රැලි ගැසුණු හිසකේ, නිල්පාට සරොම සහ කැරමල් පැහැති කමිසය හඳුනාගත නොහැකි සේ ලෙයින් තෙත් වී රත් පැහැ ගැන් වී තිබිණි.

මේ සියල්ල සැබෑවක් දැයි මට අදහා ගැනීම අසීරු විය. මට දැනුණේ මා කොහේ හෝ දුරක සිට ඒ සියලු දෑ දෙස බලා සිටිනා සෙයකි.

කවුරුන් හෝ මගේ කමිසයේ කොලරයෙන් ඇද හදිසියේ මා බිම දැමුවේය. මා වටයක් දෙකක් බිම කැරකී ගිය පසුය මා සුදර්ශන් සිටිනු දුටුවේ. ඔහු ඒ වනවිටත් සිටියේ මගේ කොලරයෙන් අල්ලා ගත් ගමන්ය. ඒ හාම මීටර් දෙකක් පමණ නුදුරින් තවත් අත්බෝම්බයක් පුපුරා ගියේය.

"ඉක්මනට........!"

සුදර්ශන් මාද ඇදගෙනම තවත් වටයක් කරකැවී ගියේය. මා ලිස්සා ගොස් ඇද වැටුණේ පන්ජාන්ගේ සිරුර මතය. ඔහුගේ හිස් කබල විවර වී ඇතුළත කොටස් පැහැදිලිව පිටතට දිස් විය.

"සුදර්ශන් අයියා....!" මම කෙඳිරි ගෑවෙමි.

"අජන්ති, මුරලි අයියා මේ ඔක්කොම දාලා යන්න බෑ"

"එයාලා පස්සෙ ඒවි"

මගේ දකුණු බාහුවෙන් අල්ලා ඇදගෙන යමින් ඔහු කීවේ රළු ස්වරයෙනි. අපට ඉහළින් වෙඩි උණ්ඩ රාශියක් වේගයෙන් පියාඹා ගියේය.

"ඔයා මාත් එක්ක යන්ඩ ඕන"

ඔහු විශ්වාස කරනු හැර මට ඒ මොහොතේ කළ හැකි අන් කිසිවක් නොතිබිණි. අපි අමුර්දාන්ගේ සිරුර පසු කරමින් සිටියෙමු. මම සුදර්ශන්ගේ ග්‍රහණයෙන් මගේ අත මුදාගෙන අමුර්දාන්ගේ බාහුවෙන් අල්ලා සෙලවූයෙමි.

"අමුර්දාන්, එන්ඩ අපි දැන් යන්ඩ ඕන"
නමුත් මඳක් චලනය වූ ඔහුගේ සිරුර නැවත පොළොවට කඩා වැටුණේය.

"ගෑනියේ මෙහෙ වරෙන්...!"

සුදර්ශන් මා ඔහු වෙතට අදිමින් කෑ ගැසුවේය. ඔහු ඉන් පෙර කිසිදාක එවැනි රළු ස්වරයකින් මා අමතා තිබුණේ නැත.

අපි යුද බිමෙන් ඉවත්ව සිටියෙමු. තෙතැති තණ බිම දිගේ අප දෙදෙනා වේගයෙන් දුවමින් සිටියේ කලින් අප පසු කළ නිවාස පෙළ වෙතටමය. නැවත අප දෙදෙනා වටා මෝටාර් හා අත් බෝම්බ පුපුරා යමින් තිබිණි. උණුසුම් ලෝහ කැබලි දස අතේ විසිර ගිය අතර අප අවට දුමින් පිරී ගියේය. මම මගේ දෛවය සුදර්ශන් හට භාරදී කිසිදු ප්‍රශ්නයක් නොනඟා ඔහුගේ අණට කීකරු වූයෙමි.

අප දෙදෙනා ඉදිරියේ වූයේ උසැති කොන්ක්‍රීට් තාප්පයකි. අප පසුපසින් වෙඩි උණ්ඩ ගලා ආවේ තාප්පයේ සිදුරු මතු කරමිනි. එහි අනෙක් පස සැඟව සිටියේ දීබා, ලේඛා, වාධනා සහ ජෙසීය. අපට පෙර ඔවුහු පලා විත් සිටියහ. අරමුණකින් තොරව අප ඒ මේ අත දිව ගියද හැම තැනෙකින්ම නැඟුªණේ සතුරු යුද අවි හඬය. සතුරු වළල්ලෙන් පිට විය හැකි මඟක් අප හට සොයාගත නොහැකි විය. අසල වූ විශාල ලන්තානා පඳුර තුළ සැඟවී සිටීම වඩාත් සුදුසු යැයි යෝජනා කළේ සුදර්ශන්ය. අපි දණ ගා ගෙන ගොස් එහි අතු පතර සැඟවෙමින් බිම වැතිර ගතිමු. අපේ හදවත් ඉතා වේගයෙන් ගැහෙමින් තිබිණි. හිසේ සිට දෙපතුල දක්වා ගැලූ දහඩියෙන් සියොලඟ තෙත්ව ගොසිනි.

අවසන මා ජීවත්ව සිටින බව මට තේරුම් ගියේය. ලත්තානා පඳුරේ ඝනැති අතු රිකිලි අතරින් මම අහස දෙස බැලුවෙමි. පුල්ලි ගැහුණු හිරු එළිය අතු පතරින් පෙරී ආයේය. ලන්තානා පත්‍ර මතින් යැපෙන පණුවන්ද, මල්වල රොන් උරන්නට පැමිණ නද දෙමින් පියාඹා යන කෘමීන්ද මගේ දෑසට හසු විය. ඒ සමඟම දැනී ගියේ පඳුරෙන් නිකුත් වූ අප්‍රසන්න කුයිලයයි. තෙත පොළොවෙන් මතුවූ පුස් ගඳත් රුධිරයට මුහුවී තිබූ යුද්ධයේ ලෝහමය ගන්ධයත් ඊටම මිශ්‍ර වී නැඟිණි.

මා දෑස යවා වටපිට බැලුවේ අප නව දෙනාම මේ කොහේ හෝ සිටිතැයි යන හැඟීමෙනි. දකුණු කලවෙහි රැඳුණු වෙඩි උණ්ඩයත් සමඟ තුවාල ලබාසිටි ඊසන්, තම සරමෙන් කෑල්ලක් ඉරා ඊසන්ගේ කලවය වෙළමින් සිටි සෙංගමාලම්, ඔවුහු කිසිවෙක් එහි පෙනෙන්නට නොසිටියහ. මා සමඟ සිටි මගේ යහළු යෙහළියන් කිසිවෙක් දකින්නට නැත. මා මෙන්ම ඔවුන්ද කොහේ හෝ සැඟවී සිටිනවා ඇත. අවසාන වතාවට මා අකිලා දුටුවේ වතුර ටැංකිය පිටුපසදීය. ඇය මගේ දකුණු පස හිඳිමින් ඇගේ ර් 16 රයිෆලයෙන් වෙඩි තබමින් සිටියාය. නිහින්තා, පේළියේ ඉදිරියෙන්ම පාරට කිට්ටුවෙන් සිටිනු දුටුවා මට සිහිවිය.

සිතීමේ ශක්තිය පවා මගෙන් ඉවත්ව ගොස් තිබුණා වැන්න. මගේ මනස හිරි වැටී තිබිණි. දෑස ඉබේම පියවී ගියේය. වෙඩි හඬ ක්‍රමයෙන් තුනීවෙමින් යනු ද ලන්තානා පඳුර යට දැඩි උණුසුම ද ඊසන්ගේ කෙඳිරියද මට සිහිනයක් මෙන් දැනෙන්නට හා ඇසෙන්නට විය.

"නිරෝමි, වේලාව කීයද?"

ඉතා පහත් හ¾ඩින් ලේඛා ඇසුවාය. මම ඇස් විවර කොට අත් ඔරලෝසුව දෙස බැලුවෙමි. වේලාව දහය හමාර විය. වාධනා හමුදා සොල්දාදුවන් දුටු මොහොතේ සිට ඒ වනවිට ඉතා දීර්ඝ වූ පැය පහක් ගෙවී ගොසිනි. ලේඛාගේ නළල් තලයෙහි ඇමිණී තිබූ කුඩා ලෝහ කැබැල්ල මා දුටුවේ එවිටය. මම එය පිටතට ඇද දැමුවෙමි. ඒ සමඟ මගේ වම් උරතලයෙන් දැනුණේ තියුණු වේදනාවකි. තියුණු යමක් මගේ උරහිසේ වැදීමෙන් තුවාලයක් හටගෙන ඇති බවත් කමිසය ඉරී ඇති බවත් පැවැසුවේ ලේඛාය.

"නිරෝමි, ඔයාගේ ඇඟ පුරාම ලේ"

මම මගේ හිසකෙස් සහ මුහුණ අත ගා බැලුවෙමි. තෙත, ඇලෙන සුළු හිසකෙස් අතර රබර් වැනි කුඩා කැටිති විශේෂයක් මගේ ඇඟිලි අතරට හසුවිය. මම වැතිර සිටි තැනම වාඩි වූයෙමි. මා හැඳ සිටි කමිසයත්, රයිෆල් රඳවනයත් රුධිරයෙන් පෙඟීී ඇති බව මා දුටුවේ එවිටය. ලෙයින් මෙන්ම කුඩා, මස් වැදලිවලින්ද මම නැහැවී සිටියෙමි.

ගාන්ධිගේ හිස කුඩුපට්ටම් වී එහි කැබලි අවට විසිරී ගොස් ඔහුගේ හිස සුන් සිරුර බිම ඇද වැටුණු හැටි මට සිහිපත් විය. ඒ මගේ නොව ගාන්ධිගේ මස් වැදලි බව මම වහා තේරුම් ගතිමි. මගේ උගුර සිර විය.

කවුදෝ මගේ උරහිසට තට්ටුවක් දැම්මේය. ඒ සෙංගමාලම්ය. ඔහු දෙතොලට ඇඟිලි තුඩු යවා ව්‍යංගයෙන් පැවැසුවේ නිහඬ වන ලෙසටය. සිහින් මිමිනීමක් සමඟ බරැති සපත්තුවලින් මතු වූ හඬ හමුදා සොල්දාදුවන්ගේ බව අපි වටහා ගතිමු. ඊසන් හැර අන් සියලු දෙනා හිස් කෙළින් කොට වාඩි වූහ.

"වෙඩි තියන්ඩ සූදානමින් ඉන්ඩ" සෙංගමාලම් මිමිනුවේය.

"ඒ එක්කම "කුප්පි" කටට. හමුදාව අපිව දැක්කොත් පතරොම් තියෙන තරම් වෙඩි තියලා දාන්ඩ. ඊළඟ සයනයිඩ් කරල හපන්ඩ"

අපට කොඳුරා අණ දුන්නේ සෙංගමාලම්ය.

අපි ඔහු පැවැසූ පරිදි සූදානම් වූයෙමු. සපත්තු හඬත්, මිමිණීමත් වඩාත් ළං ළංව ඇසෙන්නට විය. පළින් පළ වෙඩි හඬ ද ඇසිණි. අප සැඟවී ඇතැයි අනුමාන කරන ස්ථානවලට ඔවුන් වෙඩි තැබුවා විය යුතුය. නිරනුමානවම ඔවුන් අප සිටින පඳුරට ද වෙඩි තබනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් සිටියෙමු.

මීටර් කිහිපයක් පමණක් දුරින් ඔවුහු පැමිණෙමින් සිටියහ. අපි ඔවුන්ගේ පාවහන් හොඳින්ම දුටිමු. තල්පත්ද, වියළි කොළද ඒ බරැති සපත්තුවලට පෑගී හඬ නඟනු ඇසිණි. මා කිට්ටුවෙන්ම කෝටුවක් පෑගි කැඩී ගියේය.

මගේ දකුණතෙහි දබරැඟිල්ල යටින් වූ රයිෆලයේ කොකාගෙන් මතුවූ මෘදු පීඩනය පවා මට හොඳටෝම දැනුණි. සයනයිඩ් කරල මගේ දත් අතරය. මම කෙටි හුස්මක් ඇද සන්සුන්ව බලා සිටියෙමි.

යුද භටයෝ අප පසුකොට අසලම වූ නිවෙස තුළට ගියහ. කැඩුණු ඉංගී්‍රසියෙන් ඔවුන් විමසුවේ අප පිළිබඳවය.

පරිවර්තනය - සුනිලා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon