යුරෝපය ලේ විලක් කළ සුද්දෝ ඇහැළේපොළගේ දරුවන් ගැන හඬා වැටුණු හැටි

  👤  4331 readers have read this article !
2018-04-15

කීර්ති ශ්‍රී රාජසිංහ රජු ප්‍රමුඛ නායක්කර් වංශික රජවරුන් පිළිබඳ අවධානය යොමු කළ උගතුන් ඔවුන් විදේශිකයන් බව ප්‍රමාණයට වඩා අවධාරණය කර තිබෙන බව කේම්බි්‍රජ් යුනිවර්සිටියේ එච්.එල්. සෙනෙවිරත්න පෙන්වාදී තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ ඇතුළු නායක්කර් වංශික රජවරුන්ට ප්‍රබල විරුද්ධත්වයකින් තොරව කටයුතු පවත්වාගෙන යෑමට හැකි වූයේ ඔවුන් බැතිමත් බෞද්ධ රජවරුන් වශයෙන් ක්‍රියා කළ බැවිනි. නායක්කර්වරුන් බෞද්ධාගමෙහි නොමසුරු අනුග්‍රාහකයන් වී යැයි ලෝනා දේවරාජාද සඳහන් කරයි.

ලංකා ඉතිහාසයෙහි සියලු රජවරුන් අතරින් බෞද්ධාගමට විශාලතම සේවය කළ රජු ලෙස නායක්කර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජු හැඳින්විය හැකියැයි ආනන්ද කුමාරස්වාමි ද පවසා තිබේ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බි්‍රතාන්‍යයන්ට පාවා දීම සාධාරණය කරන්නට තරම් කරුණු නායක්කර් වංශික රජවරුන්ගේ පාලන සමය තුළ සොයා ගැනීම උගහට බැව් ඔප්පු කරන අභිමතාර්ථය ඇතිව කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පාලන සමයේ ඇතිවූ ශාසනික පුනර්ජීවනය අලළා මෙසේ කරුණු පෙළ ගැස්වූයෙමි. නායක්කර්වරු හුදෙක් තම දේශපාලනික අභිමතාර්ථ සාධනය කර ගැනීම සඳහා පමණක් බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයත් පවත්වාගෙන ගියේ යැයි කෙනකුට තර්ක කළ හැකිය. කෙසේ වුවද නායක්කර්වරුන්ගේ පාලන සමය තුළ දෙමළ භාෂාව භාවිතය හා අනෙකුත් නායක්කර් සංස්කෘතිකාංග භාවිතය උඩරට සිංහල බෞද්ධ ප්‍රභූ සමාජයේ වරප්‍රසාද ලබා ගැනීමට හේතුවක් වූ බව පෙනේ. ඒවා අනුකරණය කළ යුතු දෑ මිස විරුද්ධ විය යුතු අදහස් නොවන බවට මතයක්ද තිබිණි. කන්ද උඩරට ජනයාගේ අපේක්ෂාවනට අනුරූප වන අනන්‍යතාවක් සකස් කර ගැනීමටත් නායක්කර් පෞරුෂය උඩරට පසුබිම සමඟ මැනැවින් සම්මිශ්‍රණය කර ගැනීමටත් නායක්කර්වරු සමත් වූහ. උඩරට සිංහල රදල ප්‍රභූන් නායක්කර්වරුන්ගේ පාලන සමය තුළ දෙපිටකාට්ටු භූමිකාවක් රඟපෑවේ යැයි සඳහන් කිරීම සාහසික හුවා දැක්වීමක් නොවනු ඇත. කිසියම් අවාසනාවක් නිසා මේ තත්ත්වය නිවැරදිව වටහා ගන්නට ඉතිහාසඥයන් සමත් නොවීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (ක්‍රි.ව. 1798 - 1815) නෙරපීම ලංකා ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීම වන්නේය. එහෙත් බි්‍රතාන්‍යයන්ගේ පැත්ත ගත් උඩරට අදිකාරම්වරු හා නිලමෙලා මෙන්ම මල්වතු අස්ගිරි විහාරවාසී භික්ෂුන් වහන්සේද සමකාලීන බුද්ධිමතුන් හා ග්‍රන්ථකරුවෝද ඉතිහාසය බරපතළ අන්දමින් විකෘති කළා පමණක් නොව එම විකෘතිය දිගින් දිගටම නඩත්තු කරන්නටද නොපසුබට වූහ. ඒ නිසාම ශ්‍රී වික්‍රම රාජසිංහයන් පිළිබඳ අදත් පවතින්නේ නරක අඳුරු චිත්‍රයකි. එය වැරැදි සාහසික එකකි.

දෙමළ භාෂාවද ඉගෙන රාජසිංහ රජුගෙන් වැඩි වරප්‍රසාද ලබාගත් රත්වත්තේ නිලමේ උඩරට ගිවිසුමට අස්සන් කර තිබෙන්නේද"ඉරත්වත්තේ" යනුවෙන් දෙමළ, භාෂාවෙනි. නමුත් 1818 උඩරට කැරැල්ලේදී ඔවුන් සිටියේ වෙල්ලස්සේ දේශප්‍රේමීන්ට විරුද්ධව රොබට් බ්‍රවුන්රිග්ගේ පැත්තේය.

ඉංගී්‍රසීහු ස්වකීය සෑම ලේඛනයකම දේශීය ජනයා මෙන්ම රජවරුන්ද හැඳින්වූයේ ම්ලේච්ඡයන් ලෙසය. ඔවුහු පෙරදිග රටවල් ආක්‍රමණය කළේ ම්ලේච්ඡයන් ශිෂ්ටාචාරය වෙත කැඳවාගෙන යනු පිණිසය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහිව සමාජ ගත කළ ඇතැම් සිදුවීම් සත්‍යයන්ද යන්න නැවත විමසා බැලිය යුතුය. ශ්‍රී වික්‍රම ම්ලේච්ඡයෙක්, ඔහු බේබද්දෙකි, සාපරාධී මනුෂ්‍ය ඝාතකයෙකි, යන්නත් ඉතා මැනැවින් ඉතිහාසයට ඇතුළු කරන ලද්දේ ඉංගී්‍රසීන් විසිනි.

අප ම්ලේච්ඡත්වයෙන් නිදහස් කර ගනු පිණිස ක්‍රි.ව. 1800දී කන්ද උඩරටට බලන දුර්ගයෙන් ඉංගී්‍රසීන් ඇතුළු වනවිට යුරෝපය ලේ ගංගාවලින් සේදී යමින් තිබූ බව අමතක නොකළ යුතුය.

ප්‍රංශ මහා විප්ලවය සිදුවූයේ ක්‍රි.ව. 1789 දීය. 16 වැනි ලූවි රජු හා වර්සේල්ස් නුවර මාරි ඇන්ටොනයිට් රජ බිසවද ඇතුළු රජ පවුල ඝාතනය කළ ඔවුහු විප්ලවයට සම්බන්ධ වූවන් බවට නම් කළ ප්‍රංශ වැසියන් 15,000කට අධික පිරිසක් මරා දැමූවෝය. ඒ සඳහා කුප්‍රකට "ගිලටීනය" නම් යන්ත්‍රයක්ද නිර්මාණය කොට ඒ යාන්ත්‍රික ගිරයෙන් ප්‍රංශ ජනයාගේ ගෙල කපා දැමුවෝය. එකල යුරෝපීය සමාජය රුධිරය වැකුණු භීෂණය පිරුණු එකක්ම වූයේය. ප්‍රංශ විප්ලවයෙන් වසර 11කට පසු ඉංගී්‍රසීහු කන්ද උඩරට ආක්‍රමණය සාධාරණය කළේ ශ්‍රී වික්‍රම රජු ඇහැළේපොළ අදිකාරමගේ බිරිය හා දරුවන් ඝාතනය කළාය යන චෝදනාව ඉදිරියට දමමිනි. ඔවුහු යටත් විජිත බවට පත් කරගත් රටවල් ගණනාවකම මෙයට සමාන පිළිවෙතක් අනුගමනය කළහ. ශ්‍රී වික්‍රම රජු කෘෘර මිනිස් ඝාතකයෙක්ද යන්න ගැන නැවත විමසා බැලීම සඳහා ඉතිහාසය නැවත කියවමු.

උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon