මහත්මා ගාන්ධිගේ කතාවට ධර්මපාලතුමා බැට දුන් හැටි

  👤  4330 readers have read this article !
2018-04-15

'දඹදිව බුද්ධ ශාසනය සංස්ථාපනය කරන්නට මවිසින් වැඩ කළේ අතේ කිසි මුදලක් නැතිවයි. නීල් කමල් බාබුලාගේ කුඩා ඉස්තෝප්පුවේ අඩි තුනේ මේසයයි, නවන පුටුවයි මගේ වැඩට ආධාර විය. දාහත් අවුරුද්දක් මම ඇඳක නිදා ගත්තේ නැහැ. එක් අවුරුදු 5 මාසයක් උදේ තේ වතුර බීවේවත් පිටින් කෑවේවත්, රාත්‍රි පොත් බලන්ට එළියක් ලැබුණේත් නැහැ. මෙසේ බොහෝවිට දුක්වි¼ද පටන් ගත් මහාබෝධි සමාගමට දැනට විසිතුන් අවුරුද්දක්. පයට සපත්තු, සෙරෙප්පු නොදමා හැමතැනම දඹදිව සංචාරය කළේ බුදු හාමුදුරුවො සිහි කරගෙන...'

මේ අනගාරික ධර්මපාලතුමන්ගේ පෞද්ගලික ලිපියකින් කොටසකි. ඉන්දියාවේ බුද්ධගයාව එකල අත්පත් කරගෙන සිටි මහන්තාගෙන් ලබාගෙන බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයක් බවට යළි පත් කරන්නට අපමණ වෙහෙසක් ගත් ධර්මපාලතුමන්ගේ වදන්ය. බුද්ධගයාව බේරාගත් මේ ජාතික වීරයා අපමණ දුක් වළඳමින් වසර ගණනාවක්ම ගත කළේ ඉන්දියාවේය.

පහත පළවන්නේ අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවේ පැවැති වෙසක් උත්සවයකදී මහත්මා ගාන්ධි විවේචනය කළ අන්දමයි.

1925 මැයි මාසයේ වෙසක් පුන් පෝ දා වෙනුවෙන් කල්කටා මහාබෝධි මධ්‍යස්ථානයේ වෙසක් පින්කමක් පැවැත්විණි. එම උත්සවයේ මුලසුන හොබවන ලෙස ආරාධනා කර තිබුණේ එදා යටත් විජිත ආණ්ඩුවේ දෑස් යොමු වී තිබුණු ඉන්දීය නිදහස් සටනට නායකත්වය දුන් මහත්මා ගාන්ධිටය.

එහිදී මහත්මා ගාන්ධි මුලසුනේ කතාව පවත්වමින් මෙසේ කීය.

'මා වරක් එංගලන්තයට ගිය අවස්ථාවක එරට සිටි මගේ මිත්‍රයෙක් 'ලයිට් ඔෆ් ඒෂියා' නමැති පොත මට කියවන්නට දුන්නා. එය ඉංග්‍රීසි බසින් ලියැවුණු බුදුන් වහන්සේගේ චරිත කතාවයි. එය කියැවීමෙන් මට බුදුන් වහන්සේ පිළිබඳව ඉමහත් ශ්‍රද්ධාවක් ඉපදුණා. බුද්ධාගමත්, හින්දු ආගමත් දෙකම ආගම් දෙකක් නෙවෙයි. එය එකම ආගමක්. අපි හින්දු ක්‍රමයට බුද්ධාගම අදහනවා. බෞද්ධයො බෞද්ධ ක්‍රමයට බුද්ධාගම අදහනවා. මේ දෙකේ ඇති වෙනසක් නෑ...'

මෙලෙස මහත්මා ගාන්ධි කළ කතාව අවසන් කළ පසු නැඟී සිටි අනගාරික ධර්මපාලතුමා සිය වේගවත් අදහස් ගාන්ධිට එරෙහිව පළ කළේ මෙලෙසිනි.

"බුදුන් වහන්සේ උපන්, බුදු වූ, පිරිනිවන් පෑ මේ වෙසක් පෝය දවස බෞද්ධ අපිට තිබෙන උතුම්ම දවසයි. එනිසාම තමයි අපි ඉන්දියාවට ඉන්න ලොකුම ජන නායකයා වූ මහත්මා ගාන්ධි අපේ මේ මහෝත්සව සභාවේ මුලසුනට ආරාධනා කර ගෙන්වා ගත්තේ. නමුත් ගාන්ධිට අපි හිතාපු තරම් ලොකුකම රැකගන්ට බැරිවීම ගැන බොහොම කනගාටුයි.

මහත්මා ගාන්ධි කියනවා එංගලන්තෙදි එයාගෙ අතට සුද්දෙක් 'ලයිට් ඔෆ් ඒෂියා' පොත දුන් දවසෙ ඒක කියවලාලු බුදුන් වහන්සේ ගැන දැනගත්තෙ. කොහෙද? ගාන්ධි උපන්නෙ ඉන්දියාවෙද? ගාන්ධිට බුදුන් වහන්සේ ගැන ඉන්දියාවෙදි අහන්ඩ ලැබිලා නෑ. එංගලන්තෙදි තමයි බුදුන් ගැන අහන්ඩ ලැබිලා තියෙන්නෙ. ඔන්න ඉන්දියාවට නිදහස අරගන්ඩ කතා කරන වීරයා තමා උපන් ඉන්දියාව ගැන දන්න හැටි.

බුද්ධ චරිතය හොඳ වුණේ සුද්දා එයාගෙ පොත ගාන්ධි අතේ තිබ්බ නිසයි? ඔය විදියට සුද්දන්ට කත් අදිමිනුයි ගාන්ධි රට නිදහස් කරගන්න යන්නෙ?

මේ වාගේ දුර්වල අදහස් තියෙන මහත්මා ගාන්ධි කියන්නෙ බුද්ධාගමත්, හින්දු ආගමත් දෙකම එකක්ලු. ඒ කොහොමද? අපි දැන් මහන්සි වෙනවා බුදුන් දෙසූ 'මහා පට්ඨාන ප්‍රකරණය' සංස්කෘත භාෂාවට පරිවර්තනය කරන්ට.

නමුත් සංස්කෘතික භාෂාවෙ ඒකට වචන නෑ. හින්දු ආගම තියෙන්නෙ සංස්කෘත භාෂාවෙන්. එනිසා බුදුන් වහන්සේගෙ අදහස් කියන්න සංස්කෘත භාෂාවෙ වචන පවා නෑ. ඉතින් හින්දු ආගමයි, බුද්ධාගමයි එකක් වෙන්නෙ කොහොමද?

(ධර්මපාලතුමන්ගෙ ඒ වචන ඇසීමත් සමඟම එය අනුමත කරන්නාක් මෙන් මුලසුනේ අසුන්ගෙන සිටි මහත්මා ගාන්ධි ඊට හිස සැලු බව මුත්තෙට්ටුගම ධර්මේෂ්වර හිමියන් සඳහන් කර ඇත.)

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon