ශ්‍රී ලනිපයට මෛත්‍රිලාගෙන් අපලද?

  👤  4144 readers have read this article !
2018-04-12

එච්.ශ්‍රී නිශ්ශංක සහ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක කලණ මිතුරෝ ය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ නීතිය හැදෑරුවේ එකට ය. ලංකාවේ සංස්කෘති ය සහ බෞද්ධ පරිසර ය ගැන ශ්‍රී නිශ්ශංකට මනා අවබෝධයක් තිබුණේ ය. බණ්ඩාරනායකගේ වැඩවසම් මොළය සේදුවේ ඔහු ය. පක්ෂයට නම දුන්නේ ශ්‍රී නිශ්ශංකය. ලකුණ දුන්නේත් ඔහු ය. ශ්‍රී ලනිපය තිඹිරිගෙය වූයේ හැව්ලොක් ටවුමේ 'යමුනා' නිවෙස ය. ගඟ ගලන්න පටන් ගත්තේ එතැනින් ය. පක්ෂයට ව්‍යවස්ථාවකුත් හදලා දීලා බණ්ඩාරනායකව බෝට්ටුවෙන් තිබ්බේ ඔහු ය. ගඟ ගලන දිසාව පෙන්නුවේ ඔහු ය. එහෙම බැලුවාම ශ්‍රී ලනිපයේ න්‍යායාචාර්ය ශ්‍රී නිශ්ශංක ය. ශ්‍රී නිශ්ශංක කෘතහස්ත නීති විශාරදයෙකි. මියෙන තුරුම අමාත්‍ය පදවියක් දැරුවේ නැත. තමන්ගේ සංකල්ප ය, නම, ලකුණ බණ්ඩාරනායකට පරිත්‍යාග කරන්න තරම් ඔහු නිර්ලෝභී වුණේය. ශ්‍රී ලනිපය යනු එවන් සුජාත සාමාජිකයකුගෙන් ඇරැඹි සුජාත පක්ෂයක් ය.

1980දී ශ්‍රී ලනිප ය බරපතළ අර්බුදයකට මුහුණ දුන්නේ ය. එවකට පක්ෂ නායකත්ව ය දැරුවේ බණ්ඩාරනායක මැතිනියයි. ජේ.ආර්. විසින් මැතිනියගේ ප්‍රජා අයිති ය අහෝසි කෙරිණි. මැතිනිය සභාපතිකම විලියම් ගොපල්ලවට පැවැරීමට තීරණය කළා ය. පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූයේ මෛත්‍රිපාල සේනානායක ය. ඔහු එක හෙළා මෙම තීරණයට විරුද්ධ විය. 1981 පෙබරවාරි මස මුලදී ගොපල්ලව මිය ගියේ ය. පක්ෂයේ බහුතරය මැතිනිගේ නායකත්වයට එරෙහිව කැරැලි ගැසුවෝ ය. කැරැල්ල මෙහෙය වූයේ මෛත්‍රිපාල සේනානායක ය. තිරය පිටුපස සිටියේ අනුර බණ්ඩාරනායක ය. මෛත්‍රිපාල සේනානායක නායකත්වය ඉල්ලුවේ ය. මැතිනියගේ කැමැත්ත එය නොවී ය. පක්ෂ නායකත්වයෙන් ඉවත් වී, දේශපාලන අනාථයකු වීමට මැතිනිය කැමැති වූයේ නැත. සේනානායක, මැතිනිය තරම් ප්‍රබල චරිතයක් නොවුණේ ය. එතරම් ජාතික ප්‍රතිරූපයක් ද නොතිබුණේ ය. ශ්‍රී ලනිපය දෙකඩ වුණේ ය. පක්ෂ මධ්‍යම කාරක සභාවේ 16 දෙනකු සමඟ මෛත්‍රිපාල සේනානායක-අනුර බණ්ඩාරනායක සමඟ එළියට බැස්සේ ය. ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයත් අල්ලා ගත්තේ ය. "අපි තමයි නියම ශ්‍රී ලනිපය" දෙගොල්ලෝම කියා ගත්තෝ ය. පක්ෂයේ අයිතිය උදෙසා නඩු ගියේ ය. විජය-චන්ද්‍රිනකා-ටී.බී.- කොබ්බෑකඩුව එකතු වී සිටි මැතිනියගේ පිල දිනුවේ ය. ඒ වෙනකොට වෙන්න ඕන දේවල් සියල්ල වී හමාර ය. පක්ෂ ය හොඳටම දුර්වල වී තිබුණේ ය. පක්ෂ ය කබලෙන් ලිපට වැටුණේ විජය-චන්ද්‍රිකා-ටී.බී. ඇතුළු ප්‍රබලයන් රැසක් ශ්‍රී ලනිපයෙන් ගිය පසු ය. 1980 සිට 1988 තෙක් කාලය ශ්‍රී ලනිපයට දුර්භික්ෂයක් විය. 82', 88' ජනාධිපතිවරණවලිනුත් පක්ෂය පරාජයට පත්විය. මෛත්‍රිපාල සේනානායකගේ 16 කල්ලියේ සෙල්ලම නිසා 17වසරක් යන තුරු ශ්‍රී ලනිපයට ආණ්ඩුවක් පිහිටුවාගත නොහැකි වුණේ එහෙම ය.

ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතියි. නැවතත් 16 කල්ලියක් ය. මෛත්‍රිපාල සිරිසේන ය. දැන් රටේ ජනාධිපති ය. පක්ෂයේ සභාපති ඔහු ය. මෛත්‍රි 13 වසරක් ශ්‍රී ලනිප ලේකම්ව සිටියේ ය.
පක්ෂයට පිටුපා ගිය ලේකම්වරුන්ගේ නරක ඉතිහාසයක් ශ්‍රී ලනිපයට ඇත. ශ්‍රී ලනිප සම ලේකම් බර්නාඩ් අලුවිහාරේ 1956 මැතිවරණය කට උඩ තියාගෙන යූඑන්පීයට එකතු වුණේ ය. මාතලේ ආසනය ඡන්ද 2590කින් පරාජය වුණේ ය. 1976 දී ශ්‍රී ලනිප ලේකම් ටී.බී. සුබසිංහ පක්ෂය හැර ගියේ ය. 1977 ඡන්දයෙන් ඔහු අන්ත ලෙස පරාජය වුණේ ය. හර්බට් වික්‍රමසිංහගෙන් පසුව ලේකම් වූ කේ.කේ. සූරියආරච්චි යූඑන්පීයට එක්වී දේශපාලනයෙන් සමුගත්තේ ය. කරුණු කාරණා සිද්ධ වුණේ එහෙම ය. ශ්‍රී ලනිප ලේකම් මෛත්‍රිපාල සිරිසේන 2015 ජනපතිවරණ ය කටඋඩ තියා යූඑන්පීය සමඟ අත්වැල් බැඳගත්තේ පොදු අපේක්ෂකයා ලෙස ය. මෛත්‍රි රටාව වෙනස් කළේ ය.

ඡන්දයෙන් උඩින්ම දිනුවේ ය. ජනාධිපතිත් වුණේ ය. පසුව ලේකම් වුණේ දුමින්ද දිසානායක ය. කලාවැව බර්ටි ප්‍රේමලාල්ගේ පුතා ය. ඔහු යටතේ පක්ෂයේ ඡන්ද පදනම සෝදාපාළු වුණේ ය. ඔහු අත් දෙක බැඳගෙන බලාගෙන සිටියා පමණි. පක්ෂයේ අසාර්ථකම ලේකම්වරයා හැටියට ඔහු ඉතිහාසගත වන්නේ ය. 2019 ඡන්දයේදී ඔහුත් යූඑන්පීයට පනීවිදැයි කියන්නට දන්නේ නැත. පැන්නොත් පුදුම වන්නට දෙයක් ද නැත.

1981 දී මෙන් ශ්‍රී ලනිපය නැවතත් බරපතළ අර්බුදයකට මුහුණපා ඇත. විශ්වාසභංගයේදී රනිල්ට විරුද්ධව ඡන්දය දුන් ශ්‍රී ලනිපයේ 16දෙනා පක්ෂයේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරති. තවදුරටත් යූඑන්පීය සමඟ දීග කෑම ප්‍රතික්ෂේප කරති. ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේදී මෛත්‍රි පැවැසුවේ මේ 16 දෙනා තනි කරන්නේ හෝ විසි කරන්නේ නැති බව ය. එස්.බී. ගේ නිවෙසේ පැවැති 16 දෙනාගේ සාකච්ඡාවේදී ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාවේ බලය අල්ලාගෙන ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා අනුමතිය ලබා ගැනීමට තීරණයක් ගත්තේ ය. කරුණු කාරණා පෙළ ගැසෙන්නේ එහෙම ය. පක්ෂයේ අපේක්ෂකයාට එරෙහිව පොදු අපේක්ෂකයා වී මෛත්‍රි පක්ෂයට පිටු පෑවත් පසුව පක්ෂයේ සභාපති ලෙස පක්ෂය රැක ගැනීමේ වගකීම කරට ගත්තේ ය. මේ 16 දෙනා කැරැලි ගහන්නේ පක්ෂ ය වෙනුවෙන් ය. යූඑන්පීයට මේ 16 දෙනා වහකදුරු වී ඇත. මේ භේදභින්නයෙන් ශ්‍රී ලනිපය දෙකඩ වීම යූඑන්පියට ගජ වාසියක් ය. උෟරන් කැකුණ තළන විට හබන් කුකුළන්ට ජය මඟුªල් ය.

පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට කැරට් කවා රනිල් විශ්වාසභංගයෙන් බේරුණේ ය. ඒත් යූඑන්පීයේ නායක අර්බුදය එහෙමම ය. උඩිනුත් ගින්දර ය. යටිනුත් ගින්දර ය.

ආප්පෙ කර වෙන්න කලින් බා ගත්තොත් වැඩේ ගොඩ ය. නැත්නම් උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියා මෛත්‍රිටයි-රනිල්ටයි දෙන්නටම කන්න වෙන්නේ අඟුරු ය.

1981 දී මැතිනියයි-මෛත්‍රිපාල සේනානායකයි දෙපිල බෙදී පක්ෂයේ අයිති ය වෙනුවෙන් නඩු කීවේ ය. පක්ෂ ය වළපල්ලට ගියේ ය. දැන් මැතිනියගේ දුව චන්ද්‍රිකාත්, මෛත්‍රිගේ ඔළුවට උඩින් අත දමා මේ හදන්නේ පක්ෂය අල්ලේ නටවන්නට දැයි කියන්න දන්නේ නැත. ඉගෙන ගත යුතු පාඩම් ඉතිහාසයේ එමට ඇත. දැන් ශ්‍රී ලනිප නායකයා මෛත්‍රි ය. මේ වෙලාවේ පක්ෂය බේරා ගැනීමේ වගකීම ඔහු සතු ය. ශ්‍රී ලනිප ලේකම්වරුන්ගේ ඉතිහාසයට වෙනස් කළ මෛත්‍රි ශ්‍රී ලනිප ඉතිහාසය වෙනස් කරාවි දැයි කියන්නට තවමත් කල් වැඩි ය.

මේඝනාද

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon