යා දෙක නොරත රත

  👤  4569 readers have read this article !
2018-04-10

නිදහස ලබා වසර 70කට පසුවත් ලංකාවේ අපට තවමත් කතා කරන්නට සිදුව ඇත්තේ සමාජ, ආර්ථික හා දේශපාලන ගැටලු ගැනය. වසර 30කට ආසන්න කාලයක් රට එක තැන පල් වීමට හේතුවක් ලෙස එදා අප දුටු ත්‍රස්තවාදයේ බලපෑම අද නැත. එහෙත් යුද සමයටත් වඩා රට අකර්මණ්‍ය වී ඇති බව නම් පිළිගත යුතුය. උදාහරණයක් ලෙස පසුගිය වසරේ ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය ආසියාවේ අන් රටවල් හා සසඳන විට පහළම අගයක තිබිණි. ජීවන වියදම සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති අතර 2018 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වීමට පටන්ගත් නව බදුවල බලපෑම ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට තදින්ම දැනෙනු ඇත.


ජීවන වියදම අහස උසට ඉහළ යෑමට ආණ්ඩුව විසින් ජනතාවගෙන් විවිධ ක්‍රමවලින් අය කරන බදු සෘජුවම බලපාන බව ජනතාවගෙන් බොහෝ දෙනෙක් නොදනිති. සෘජු හෝ වක්‍ර බදු ලෙස අවසානයේ රජයට බදු ගෙවන්නේ රටේ ජනතාවය. උදාහරණයක් ලෙස "මම නම් ආදායම් බදු ගෙවන්නේ නැහැ" කියා සිතන කෙනෙක් නොදන්නේ ඔහු හෝ ඇය මිලදී ගන්නා සෑම භාණ්ඩයක් හා සේවාවකින්ම රජය සෘජුව හෝ වක්‍රව බදු අය කිරීම නිසා එම භාණ්ඩයේ හෝ සේවාවේ මිල වැඩිවී ඇති බවය. ව්‍යාපාරවලින් රජය ගන්නා බදු වැඩි වෙන විටද විවිධ සේවාවලට බදු වැඩි කරන විටද එම ආයතනය කරන්නේ අවසානයේ සෘජු හෝ වක්‍ර ආකාරයකට එම මුදල පාරිභෝගිකයාගෙන් අය කර ගැනීමයි.
2018දී ජනතාව රජයට ගෙවන බදු ප්‍රමාණය 2014ට සාපේක්ෂව වැඩි වන්නේ කෙසේද?


ආදායම් බදු රුපියල් කෝටි 19,800 සිට රුපියල් කෝටි 37,500 දක්වා වැඩි වීමට නියමිතය.
භාණ්ඩ සහ සේවා බදු රුපියල් කෝටි 61,600 සිට රුපියල් කෝටි 123,900 දක්වා වැඩි වීමට නියමිතය.
විදේශ වෙළෙ¼දාම් බදු රුපියල් කෝටි 23,600 සිට රුපියල් කෝටි 42,000 දක්වා වැඩි වීමට නියමිතය.
2018 අය-වැය අනුව රජය විසින් අය කරගැනීමට නියමිත සමස්ත බදු ප්‍රමාණය 2014 ගෙවූ රුපියල් කෝටි 105,000 සිට රුපියල් කෝටි 203,400 දක්වා වැඩි වීමට නියමිතය.


මෙම බදු වැඩි වීම සරල බසින් කිවහොත් ආසන්න වශයෙන් රුපියල් කෝටි ලක්ෂයක වැඩි වීමකි.
මේ තත්ත්වය අනාගතයේදී හෝ සුබදායී ආකාරයට වෙනස් වීමට නම් සැලසුම් සහගත රාජ්‍ය පාලනයක් රටට අවශ්‍ය වේ. නමුත් අද රටේ රාජ්‍ය පාලනයක් තිබේද යන්න වැදගත් ප්‍රශ්නයකි. රට කරවන අය පිල්වලට බෙදී කුළල් කා ගන්නවා විනා කිසිවෙක් රට පාලනය කරනා බවක් අපට පෙනෙන්නට නැත. උදාහරණයක් වශයෙන් 2018 වසර ගනිමු. ජනවාරි හා පෙබරවාරි මාස ගත වුණේ පළාත් පාලන මැතිවරණයට සූදානම් වීමට, තරග කිරීමට හා ප්‍රතිඵල ආවර්ජනයටය. මැතිවරණය අවසන් වී මසකට පසුවත් තවමත් බොහෝ පළාත් පාලන ආයතන පිහිටුවා නැත. අලුතින් හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමය අසාර්ථක බව ජනාධිපතිවරයා පවා පෙන්වා දී ඇත. මාර්තු මාසය ගත වූයේ මුළු රටම අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංගයක් ගැන කතා කරමිනි. අවසානයේ පසුගිය අප්‍රේල් 4දා විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලදුව පරාජය විය. ඉන් සතියකට පසුවත් ආණ්ඩුව තවමත් කරන්නේ විශ්වාසභංග යෝජනාවට පක්ෂ විපක්ෂ වූවන් ගැන වාද කරමින් සිටීමයි. පාලනය කිරීමට රටක් ඇති බව කිසිවකුට මතක තිබෙනා ආකාරයක් පෙනෙන්නට නැත.


විශ්වාසභංග යෝජනාව විවාදයේදී රජය වෙනුවෙන් කතා කළ ප්‍රධාන කථිකයකු වූ රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ මේ එළැඹෙන්නේ දඬුවම් කිරීමේ වසර කියායි. පසුගිය වසර 3 තුළදී ආණ්ඩුව මූලිකවම කළ දෙය දේශපාලන ප්‍රතිවාදීන් ප්‍රශ්න කරමින් අත්අඩංගුවට ගනිමින් නඩු පවරමින් මාධ්‍ය සන්දර්ශන පැවැත්වීම නිසා ලබන වසරේද ආණ්ඩුව රට පාලනය කිරීමට වඩා දේශපාලන මර්දනයට මුල් තැන දීමට බලාපොරොත්තු වන බව ඉන් පැහැදිලි වේ.


වත්මන් ආණ්ඩුවට ජනතාව ඡන්දය දුන්නේ හොරු ඇල්ලීමට පමණක් නොවේ. ඔවුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වූයේ රට වඩා හොඳින් පිරිසුදුව පාලනය කිරීමයි. නමුත් ඇත්තටම වත්මන් ආණ්ඩුවේ පාලනය පිරිසුදු ද? කිසිසේත්ම නැත. වත්මන් පාලකයන් අතින් රටට පසුගිය වසර 3 තුළ සිදු වූ තරම් දූෂණ වංචා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවකින් නොවූ බව අනාගතයේ ඔප්පු වනු ඇත. පසුගිය කාලයේ විවිධ මාධ්‍ය හරහා ජනතාව දැනගත් වත්මන් රජය වගකිව යුතු පාඩු, නාස්ති, දූෂණ කිහිපයක් මතක් කර බලමු.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවී ඇති විශාලතම මගඩිය වන මහ බැංකුවේ සිදුවූ මහා බැඳුම්කර මගඩිය හේතුකොට ගෙන 2015.02.27 සිට 2015.....31 දක්වා කාලය තුළදී පොලී අනුපාතය කෘත්‍රිම සහ දූෂිත ලෙස ඉහළ නැංවීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 145ක් යැයි හිටපු මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතා පවසා ඇත. ඊට අමතරව වෙන්දේසිය සිදුවූ 2015.02.27 දින පමණක් ආණ්ඩුවට සිදුවූ සෘජු පාඩුව රුපියල් බිලියන 2ක් පමණ වූ බවද විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.


2015.02.27 මහ බැංකු බැඳුම්කර මගඩියෙන් පසු පවත්වන ලද වෙන්දේසිවලදී හිතාමතාම වෙළෙඳපොළේ පිහිටි පොලී අනුපාතවලට වඩා බෙහෙවින් ඉහළ පොලී අනුපාතවලට අලෙවි කරන ලද බැඳුම්කර නිකුතු නිසා සිදුවූ පාඩුව රුපියල් බිලියන 55ක් බව මෑතකදී හෙළි වූ මහ බැංකු අභ්‍යන්තර විගණන වාර්තාව හරහා පෙන්වා දී ඇත.
බැඳුම්කර මගඩිය ඔස්සේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනාගේ සමාගම හරහා අතිශයින් අඩු මිලකට මිලදී ගන්නා ලද භාණ්ඩාගාර බැඳුම්කර ඉතා කෙටි කාලයක් තුළදී ඉහළ මිලකට සේවක අර්ථසාධක අරමුදල වෙත පැවැරීම නිසා ලාංකික වැඩ කරන ජනතාවට අයත් සේවක අර්ථසාධක අරමුදලට විඳින්නට සිදුවී ඇති පාඩුව රුපියල් බිලියන 15 ඉක්මවයි.


2015 සහ 2016දී ආර්ථිකයේ දුර්වල සහ දූෂිත කළමනාකාරීත්වය නිසා ශ්‍රී ලංකා රුපියලේ අගය දැවැන්ත ලෙස කඩා වැටීම ඔස්සේ රටේ හෝ රාජ්‍ය සම්පත්වලට කිසිදු භෞතික අගයක් එකතු කිරීමක් නොමැතිව රාජ්‍ය ණය බර වැඩි වූ නිසා සිදුකරන ලද පාඩුව 2015දී රුපියල් බිලියන 285ක්ද, 2016 වසරේදී රුපියල් බිලියන 141ක්ද වූ බව මහ බැංකු නිල වාර්තාවලින් හෙළි වී ඇත.


ශ්‍රී ලංකා එයාර් ලයින්ස් සමාගම විසින් පසුගිය රජයේ නිල කාලයේදී ඇණවුම් කරන ලද නව අහස් යානා කීපයක්ම වර්තමාන රජය විසින් පදනම් රහිතව අත්හිටුවීම හරහා එම අහස් යානා සපයන ආයතනයට ඇ.ඩො. මිලියන 110 හෝ රුපියල් බිලියන 17ක වන්දියක් ගෙවීමට රජයට සිදුවී ඇත. මේ බව සමාගමේ වාර්ෂික වාර්තාවේම සඳහන් වේ.
කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය පදනම් රහිතව අත්හිටුවීම ඔස්සේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන සමාගම විසින් රජයට විරුද්ධව ගොනු කරන ලද වන්දි ඉල්ලීම වන ඇ.ඩො. මිලියන 148, එනම් රුපියල් බිලියන 23 සමථයකට පත් කිරීම සඳහා ඉදිරියේදී ගොඩ කරන භූමියෙන් වැඩිපුර කොටසක් චීන පාර්ශ්වයට ලබා දෙන්නට රජය එකඟ වීමෙන් එම වන්දි ඉල්ලීම දැනටමත් වක්‍රාකාරව පියවා ඇති බව විවිධ වෙබ් අඩවිවල පළවී තිබිණි.


විවිධ ආකාරවලට රේගු බදු පද්ධතිය දූෂණය කරමින් තෝරාගත් පිරිසකගේ වාසිය තකා රුපියල් බිලියන 40ක පමණ මුදලක් රජයට අහිමි කර ඇති බවටද මෑතකදී මාධ්‍යයෙන් තොරතුරු හෙළි වී ඇත.


ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවලටත් අවනත නොවී, ගල් අඟුරු මිලදී ගැනීමේදී විවිධ අක්‍රමිකතා ඔස්සේ රුපියල් බිලියන 48ක පමණ මගඩියක් හරහා රජයට පාඩු සිදුකර ඇති බවට විවිධ මාධ්‍ය වාර්තාවන් පසුගිය මාස කීපය තුළදී ප්‍රසිද්ධියට පත්විය.


ලංකාවට විශාල විදේශ විනිමයක් උපයා දුන් විශ්‍රාමික රණවිරුවන් රැසකට රැකියා ලබා දුන් ඇවන්ගාර්ඩ් සමාගමට විරුද්ධ බොරු චෝදනා නඟා එහි ව්‍යාපාර කටයුතු අඩාල කිරීම වෙනුවෙන් මේ වන විට ගෙවන්නට නියමිතව ඇති වන්දිය රුපියල් මිලියන 840කි.
මේ වත්මන් රජයට එරෙහිව කරළියට පැමිණ ඇති චෝදනා ඉතා සුළු ප්‍රමාණයක් පමණි.


ලෝකය හමුවේද ලංකාවේ පාලන අසාර්ථකත්වය තවදුරටත් රහසක් නොවේ.
ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් ආයතනය විසින් මේ වන විට ලංකාව විදේශ ආයෝජනවලට අනතුරුදායක රතු කලාපයක් ලෙස වර්ගීකරණය කර තිබේ. විරැකියාව ඉහළ යෑම හා විදේශ සංචිතවල කඩාවැටීම ඔවුන් විශේෂයෙන්ම සඳහන් කොට තිබිණි.


2018 ජනවාරි මස ජාත්‍යන්තර ශේ්‍රණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ආයතනය කියා තිබුණේ ණය ආපසු ගෙවීමේ හැකියාව අතින් ලංකාව ආසියාවේ 24 වැනි ස්ථානයට පහළ වැටී ඇති බවයි.


පසුගිය වසර 3 තුළ බොහෝ අන්තර්ජාතික ශේ්‍රණිගත කිරීම්වලින් ලංකාව පහළට පැමිණ ඇත.


නීතියේ ආධිපත්‍ය - 2014දී ශ්‍රී ලංකාව ලෝකයේ 48 වැනි ස්ථානයේ පසු වුවද මේ වන විට 68 වැනි ස්ථානයට කඩා වැටී ඇත.
ආර්ථික නිදහස - 2014දී ශ්‍රී ලංකාව ලෝකයේ 90 වැනි ස්ථානයේ පසු වුවද මේ වන විට 112 වැනි ස්ථානයට කඩා වැටී ඇත.
ව්‍යාපාර කිරීමේ පහසුතාව - 2014දී ශ්‍රී ලංකාව ලෝකයේ 89 වැනි ස්ථානයේ පසු වුවද මේ වන විට 111 වැනි ස්ථානයට කඩාවැටී ඇත.
ජාත්‍යන්තර තරගකාරීත්වය - 2014දී ශ්‍රී ලංකාව ලෝකයේ 68 වැනි ස්ථානයේ පසු වුවද මේ වන විට 85 වැනි ස්ථානයට කඩා වැටී ඇත.
දූෂණය පිළිබඳ පොදු මතය - 2014දී 85 වැනි ශේ්‍රණියේ පැවතුණද 2017දී යහපාලන රජය යටතේ 95 වැනි ස්ථානයට බිඳ වැටී ඇත.
2014 අවසන් වන විට රටේ සමස්ත රාජ්‍ය ණය බර රුපියල් බිලියන 7391ක් වූ අතර ඒ තුළ මහවැලි සංවර්ධනයට එක්සත් ජාතික පක්ෂ රජය විසින් ගත් ණයවලින් කොටසක් පවා ඉතුරුව තිබිණි.


මහ බැංකු වාර්තා අනුව 2017 අවසන් වන විට රටේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 10,400 ඉක්මවා ඉහළ ගොස් තිබිණි.
ඉන් රුපියල් බිලියන 3000ක්ම එක්කොට තිබෙන්නේ වර්තමාන රජයයි. ඒ වසර 3ක් තුළය. දිනකට රුපියල් බිලියන 3කට වඩා වේගයෙන් මේ කාලය තුළ රටේ ණය බර ඉහළ ගොස් ඇත.


මීට අමතරව රටේ සමාජයීය ගැටලු රාශියක් මතුවෙමින් පවතී. සියදිවි නසා ගැනීම්, කාන්තා දූෂණ, පොලිස් ස්ථාන තුළ සිදුවන මරණ, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාරය, අලි ඇතුන් ඝාතන, මත්ද්‍රව්‍ය භාවිතය වර්ධනය වීම වැනි බොහෝ අංශවලින් රට තවදුරටත් පරිහානියට පත්වෙමින් තිබෙනා බව පෙනී යයි.


මෙය ඉතා විනාශකාරී තත්ත්වයකි. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට වත්මන් රජයට හැකියාවක් ඇතැයි සිතීමට අපහසුය.
2018 අප්‍රේල් 4දා අපි ආණ්ඩුවේ පළමු පිපිරීම දුටුවෙමු. ඒ ආණ්ඩුවේම ඇමැතිවරුන් කණ්ඩායමක් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අවස්ථාවයි. "යා දෙක නොරත රත එකට පෑහීමක් නැත" කීවාක් මෙන් එකිනෙකට නොගැළපෙන දේශපාලන මතවාදයන් දෙකක් මත ගොඩනැඟුණු ආණ්ඩුවකට හුදෙක් නායකයන් කිහිපදෙනකුගේ බල ලෝභී අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් දීර්ඝ කාලයක් එක්ව කටයුතු කළ නොහැකි බවත්, එසේ එක්ව සිටියත් ඔවුන්ට සාර්ථක පාලනයක් කළ නොහැකි බවත් දැන් ඔප්පු වෙමින් පවතී. ආණ්ඩුවේ ඉතිරිව ඇති කෙටි ආයු කාලය තුළ මේ පිපිරීම තවත් ඔඩුදුවනවා විනා ආණ්ඩුව ශක්තිමත් වීමක් නම් නොවන බව තේරුම් ගැනීමට විශාල බුද්ධියක් අවශ්‍ය නැත.
නමුත් ජනතාවට නම් තව ටික කාලයක් පටි තද කරගෙන ඉවසන්නට සිදුවනු ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon