අගමැතිනි සිරිමාට එරෙහිව කොල්වින් ගෙනා විශ්වාසභංග යෝජනාව

  👤  4188 readers have read this article !
2018-04-08

ව්‍යවස්ථානුකූලව අගමැතිවරයෙක් ධුරයෙන් ඉවත් කළ හැකි ප්‍රතිපාදනය වන්නේ ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට ගෙනෙන විශ්වාසභංග යෝජනාවක් බහුතර ඡන්දයෙන් දිනා ගැනීම වන්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීම ස¼දහාද විශ්වාසභංගයක් ගෙනඒම පිළිබඳව විපක්ෂයේ කතාබහද වසරක පමණ කාලයක් ඇදී ගියේය.


අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියට එරෙහිව 1975 දෙසැම්බර් 23දා විශ්වාසභංගයක් ගෙනෙන ලදී. බණ්ඩාරනායක මහත්මිය 1970 බලයට පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සමඟි පෙරමුණු ආණ්ඩුවෙනි. සමඟි පෙරමුණේ සමඟිය 1975 වන විට බිඳ වැටුණු අතර 1975 සැප්තැම්බරයේදී ලසසපය ආණ්ඩුවෙන් ඉවත් වූයේය. සමසමාජ පක්ෂය ඉවත්ව යෑමත් සමඟ ආණ්ඩුවට වැඩි පීඩනයක් එල්ල වූයේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ එජාපයෙන් නොව ලසසපයෙනි.
අගමැතිනිය ඉවත් කොට ආණ්ඩුව පෙරළා දැමීමේ බලවත් වුවමනාවක විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන පසුවිය. නමුත් ඔහු උපක්‍රමශීලී ලෙස පියවරක් පස්සට ගෙන සිරිමාට පහර එල්ල කිරීම ලසසපයට පැවැරීය. එක්සත් ජාතික පක්ෂය නොදත් ශ්‍රී ලනිප තොරතුරු ලසසපය සතු බව ජේ.ආර්. දැන සිටියේය. විශ්වාසභංගයට අස්සන් නොකළ ජේ.ආර්. උපායශීලීව නිහඬව සිටියේය.


විශ්වාසභංග යෝජනාව සකස් කළේ ලසසපයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා විසිනි. 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය හා බැඳුණු මැතිනියගේ ඉඩම් ගනුදෙනු යෝජනාවේ පදනම වූයේය.


ජාතික රාජ්‍ය සභාව ඉඩම් ප්‍රතිසංස්කරණ නීතිය සම්මත කළ 1972 අගෝස්තු 18 දින සහ මෙම නීතිය සහතික කළ දිනය වූ අගෝස්තු 25 යන දින අතර කාලය තුළ බණ්ඩාරනායක මහත්මිය ඉඩම් අක්කර 82ක් නීතියට පටහැනිව අලෙවි කොට මුදල් උපයා ගැනීමෙන් විශ්වාසය උල්ලංඝනය කරන ලද බවට කොල්වින් චෝදනා කළේය. එම ඔප්පු සහතික කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය එක් දිනයකදී ලබාගෙන තිබුණු බවද ඔහු පෙන්වා දුන්නේය.


රටේ අගමැති සැකයට පාත්‍ර නොවිය යුතුය. සැකයට පාත්‍ර විය හැකි තත්ත්වයෙන් අෑත්ව සිටිය යුතු යැයි ආචාර්ය සිල්වා අවධාරණය කළේය. අගමැතිනිය තමා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය අයුතු අන්දමින් ප්‍රයෝජනයට ගෙන ඇතැයි ඔහු තර්ක කළේය. විවාදයේදී මැතිනියගේ ආරක්ෂාවේ බර සම්පූර්ණයෙන්ම කරට ගත්තේ හෙක්ටර් කොබ්බෑකඩුව ඇමැතිවරයා විසිනි. මැතිනිය හෝ ඇගේ දරුවන් ඉඩම් නීතිය උල්ලංඝනය කර නැති බව ඔහු ප්‍රකාශ කළේය. විශ්වාසභංගය විපක්ෂයේ එකක් නොවන බවත් එය විපක්ෂයේ එක් කණ්ඩායමකගේ අදහස බවත් ඔහු පෙන්වීය.


අගමැතිනිය සිය කතාවේදී තමාත් තම දරුවනුත් තමන්ට අයත්ව තිබූ ඉඩම් අක්කර 2,000ක් ස්වේච්ඡාවෙන් රජයට භාරදුන් බව අමතක නොකරන්නැයි ඉල්ලා සිටියාය. තමාත් සැමියාත් දේශපාලනයේදී රට වෙනුවෙන් බොහෝ කැපවීම් කර තිබෙන බවද සැමියා දේශපාලන අපේක්ෂාවන් උදෙසා ජීවිතය පුද කළ බවද ඇය පැවැසුවාය


අක්කර 2,000ක් රජයට පරිත්‍යාග කිරීම පිළිබඳව අගමැතිනිය කළ ප්‍රකාශය ගැන කොල්වින්, විමතිය පළ කෙළේය. ඔහුගේ අදහස වූයේ රජය අනුගමනය කළ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉඩම් රජයට පවරාගත් හෙයින් කිසිවකු ස්වේච්ඡාවෙන් ඉඩම් පරිත්‍යාග කර නැති බවය. පෞද්ගලික පරිත්‍යාගයන් ගැන කතා කර තේරුමක් නැති බව කොල්වින්ගේ නිගමනය විය.
යෝජනාවට විපක්ෂව මන්ත්‍රිවරු 100ක් ඡන්දය දුන් අතර පක්ෂව ලැබුණේ ඡන්ද 43කි. කෙසේ නමුත් මේ විශ්වාසභංගය නිසා අගමැතිනියගේ කීර්තියට බරපතළ හානියක් සිදු විය.
බණ්ඩාරනායක මැතිනිය පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමීම සඳහා 1980 එජාප ආණ්ඩුව ඇති කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවටද මේ චෝදනා ඇතුළත් කරන්නට ජේ.ආර්. වගබලා ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon