අගමැති රනිල් වික්‍රමසිංහට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මැති ඇමැතිවරු දැක්වූ අදහස්

  👤  3564 readers have read this article !
2018-04-05

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

විශ්වාසභංගය දිනුවත්, වෙනත් කරුණු මත අගමැති ඉවත් කිරීමට ජනපතිට පුළුවන්

"විශ්වාසභංග යෝජනාව දිනුවත්, වෙනත් කරුණු පදනම් කරගෙන අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට පුළුවන්"

මේ යෝජනාවෙන් පෙන්නුම් කරන්නේ අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසයක් නැති බවයි. මේ ආණ්ඩුව පත්වීමත් සමඟ සිංගප්පූරු පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා හැටියට පත්කළා.

රටකට තිබෙන්නේ මහ බැංකු එකයි. එවැනි ආයතනයක සම්මතයට විරුද්ධව අධිපති හැටියට සිංගප්පූරු වැසියකු පත්කළා.

මුදල් ඇමැතිවරයා යටතේ පැවතුණු ශ්‍රී ලංකා මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කරනු ලැබුවා. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපතිවරයා ලෙසට පත්කිරීම පමණක් නෙවි, ඔහු මූල්‍ය මණ්ඩලයේත් ප්‍රධානියා හැටියට පත් කළා.

අර්ජුන මහේන්ද්‍රන්ට සම්බන්ධ, තමාගේ ඥාතීන්ට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම ගැන අපි දිගින් දිගටම පෙන්වා දුන්නා. රටේ මූල්‍ය ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසය කඩ වී චෝදනාවන්ට ලක් වී තිබෙනවා. මෙයට සම්බන්ධ නිසා අපේ රටේ මුදල් ඇමැති රවි කරුණානායකට මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර ඉල්ලා අස්වීමට සිදු වුණා.

ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පැවැති කෝප් කමිටුව සහ සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් පැවැති කෝප් කමිටු වාර්තාවල මේ සියල්ල සඳහන් වී තිබෙනවා.

(එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු කෝ කට්ටිය... කෝ කට්ටිය... කියමින් කෑගසති.)

දිනේෂ් ගුණවර්ධන

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගිහින් හම්බවෙලා ඇවිල්ලද කෑගහන්නේ? අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ඕන කරලා තියෙනවා. තවම අගමැතිතුමාට මහේන්ද්‍රන්ව ගෙන්ව ගන්න බැරි වුණා.

අධ්‍යාපන ඇමැති

මම දිනේෂ් ගුණවර්ධන හිටපු ඇමැතිතුමාට කියනවා පුළුවන් නම් හවසට මන්ත්‍රිවරු පනහක් විරුද්ධව ඡන්දය දෙන්න ගෙන්වන්න කියලා.

දිනේෂ් ගුණවර්ධන

මම ඒ මන්ත්‍රිවරු දෙන්නගෙන්ම අහනවා, කවදද මේ රටේ පොල්ගෙඩිය රුපියල් සියයට ගියේ කියල. මේ මුදල් මංකොල්ලය නිසා පොල් ගෙඩිය රුපියල්සියයට ගියා.

සමරවික්‍රම ඇමැතිතුමා කියනවා රටට විදේශ ආයෝජකයන් එන්නෙ නැහැ කියල. මේ විදියට මුදල් වංචා සිදු වෙනකොට, රුපියල බාල්දු වෙන කොට මේ රටට ආයෝජකයන් එයිද?

අපි අද මේ කතා කරන්නේ ඔප්පු වෙලා තියෙන වාර්තා අනුවයි. නීතිපති අංශයෙන් ෆයිල් හංගපු නිසා, ජනාධිපතිතුමාට සිදුවුණා කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරන්න.

දැන් මේ වංචාව ඔප්පුවෙලා තිබෙනවා. දැන් ජනාධිපතිතුමාට තිබෙන්නේ විශ්වාසයක් ඇති කෙනෙක් අගමැතිකමට පත් කිරීමටයි. වෙනත් කරුණු සැලකිල්ලට ගැනීමෙනුත් ජනාධිපතිතුමාට පුළුවන් අගමැතිවරයා ඉවත්කර වෙනත් අයකු පත් කරන්න.

මේ මහා අපරාධය තේරුම්ගෙන, විශ්වාසභංග යෝජනාවට ඡන්දය පාවිච්චි කරන ලෙස මම සියලුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අගමැතිතුමාත්, රජයත් අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට අපොහොසත් වී තිබෙනවා.

ආර්ථිකය කඩා වැටිලා, රට අරාජික තත්ත්වයට පත්වෙලා. මුළු ලෝකයම බලාගෙන ඉන්නවා, ඒ නිසා පක්ෂ භේදයකින් තොරව ජාතියේ නාමයෙන් මේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටිනවා.

ජනපතිට හා අගමැතිට එරෙහිව හැට දෙලක්ෂයක් ජනතාව විශ්වාසභංගයක් ගේන්න ඕනෑ -අනුර කුමාර දිසානායක

"ජනවාරි 8 වැනිදා ජන වරමට පිටුපා ක්‍රියා කිරීම නිසා මේ ජනාධිපතිට හා අගමැතිට එරෙහිව හැට දෙලක්ෂයක් ජනතාව විශ්වාසභංගයක් ගේන්න ඕනෑ" විශ්වාසභංගයට අපේ සහයෝගය ලබාදීම නිසා රාජපක්ෂ කඳවුරට යම් උත්තේජනයක් ලැබෙන බව ඇතැමුන් කියනවා. උත්තේජනයක් ලබන තරමට ඒ කඳවුරට අවස්ථාව දුන්නේ ජනපති සහ අගමැතිවරයායි.

දේශපාලන අවබෝධයෙන් තමයි අපි විශ්වාසභංගයට සහයෝගය දෙන්නෙ. කවර වර්ගයේ ආණ්ඩුවක් හැදුණත් ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් නොලැබෙන බව දැනගෙනයි අප මේ විශ්වාසභංගයට සහයෝගය දක්වන්නෙ.

වංචාව හා දූෂණයට එරෙහි වීම මේ විශ්වාසභංගය තුළ තිබෙනවා. ජාතිවාදයට එරෙහි බවත් යෝජනාවේ තිබෙනවා. අස්සන් කළ අය අතර හොරකමේ කප්පිත්තන් හා ජාතිවාදයේ කරවටක් එරුණු අය ඉන්නවා.

මේ ආණ්ඩුවට ජතිවාදය ගැන චෝදනාවක් තිබෙනවා. ජාතිවාදය නිදැල්ලේ වර්ධනය වීමට ඉඩ ලබාදීම ගැන චෝදනාවක්ද ඇතුළත් විය යුතුව තිබුණා. කන්න දෙකක් පාළු වී ගොවි ජනතාව ජීවිතය ගැටගසා ගන්න බැරිව සිටියදී අගමැතිවරයාට මිලියන 559කට වාහන දෙකක් ගේනවා. ශ්‍රීල.නි.ප.ය බෙදීම තම ජයග්‍රහණය බව අගමැතිවරයා කල්පනා කළා. ඒ අනුව රාජපක්ෂ බල කේන්ද්‍රය හදන්න අගමැතිවරයා උදවු කළා. පැහැදිලිවම වංචනිකයන් ආරක්ෂා කිරීමට අගමැතිවරයා ක්‍රියා කළා. දූෂණ මර්දන කමිටු කාර්යාලය විසුරුවා හැරියේ කමිටුව හා පොලිසිය භාර ඇමැති අතර සිදුවූ ගැටුමක්. අගමැතිට වැදගත් වුණේ දූෂිතයන්ට එරෙහි ක්‍රියාකාරීව නොව සාගල රත්නායක ආරක්ෂා කිරීමයි. 2015 ජනවාරි අට වැනිදා ජනවරමට පිටුපා ක්‍රියා කිරීම නිසා මේ ජනපතිට හා අගමැතිට එරෙහිව 62 ලක්ෂයක් ජනතාව විශ්වාසභංගයක් ගේන්න ඕනෑ.

පොලිසිය, සී.අයි.ඩී.ය හා එෆ්.සී.අයි.ඩී.ය දිවි පරදුවට තබා පරීක්ෂණ කර දූෂිතයන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරද්දී ඒ පුද්ගලයන්ට ඇමැතිකම් දෙන්න නිර්දේශ කරන අගමැති මොන අගමැතිවරයෙක්ද? පැරැණි දූෂිතයන්ට ඇමැතිකම් නිර්දේශ කිරීමෙන් අගමැතිවරයා ජනතා විශ්වාසය භංග කර තිබෙනවා. රටේ දේපළ විකිණීමේ ප්‍රතිපත්තිය අගමැතිගේ, බේ‍රා්කර් මලික් සමරවික්‍රම, විකිණීමේ අස්සන ගහන්නේ මහින්ද සමරසිංහ. විකිණීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මෙහෙයුම්කරු අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි මේ විශ්වාසභංගය සාධාරණයි.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් සැඟවීමේ අවශ්‍යතාව තිබෙන්නේ ඔහුට නොව අගමැතිවරයාටයි. මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හා ජනතාවගේ විශ්වාසය පලුදු වෙලා. පැරැණි මෙන්ම අලුත් දූෂිතයන් ආරක්ෂා කිරීම ගැනත් විශ්වාසය නැතිවෙලා. ඒ නිසා මේ අගමැතිවරයාගේ තනතුර අහිමි විය යුතුයි.

මහ බැංකු කොල්ලයේ සල්ලි බෙදලා තමයි මේ යෝජනාව පරාජය කරන්න හදන්නේ- විමල් වීරවංශ

අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ආණ්ඩුව පරදලා මැති ඇමැතිකම් ගන්න නොව දේශපාලන රසායනික විපර්යාසයක් ඇතිකරන්නටයි.
පසුගිය පෙබරවාරි 10 වැනිදා මේ රටේ ජනතාව මේ ආණ්ඩුව පිළිබඳ තිබෙන අවිශ්වාසය ප්‍රකාශ කළා.

(ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු කෑකෝ ගසති)

මේ විශ්වාසභංග යෝජනාව ඉදිරියේ දැන් තමුන්නාන්සේලා නිරුවත් වෙලා සිටිනවා. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ප්‍රකාශ කර තිබෙනවා. තමුන්නාන්සේලාට තුනෙන් දෙකක බලය මේ විශ්වාසභංග යෝජනාව මඟින් ඇතිකර තිබෙනවා.

අගමැතිතුමා ගණන් නොගන්නා මන්ත්‍රිවරුන් සමඟ කතාකරන තැනට මේ සති දෙක තුළ විශ්වාසභංග යෝජනාව අවස්ථාව සැලසුවා. අගමැතිතුමා කතා නොකරන මන්ත්‍රිවරුන්ට කතා කරන තත්ත්වයක් ඇති කළා. මොනර කොළ තමුන්නාන්සේලා ළඟට ගේන තත්ත්වයක් ඇති කළා. අද රෑ ‍ෙදාළහෙන් පස්සෙ තමුන්නාන්සේලාට හමුවෙන්නෙ දැන් ඉන්න රනිල් නෙවි. දැන් තමුන්නාන්සේලාට ඇහුම්කන් දෙන රනිල් නෙවී හෙට ඉන්නේ. තමුන්නාන්සේලා දේශපාලන කනත්තට අරගෙන යන රනිල් තමයි හෙට හමුවෙන්නේ. මේ අගමැති කරපින්නාගෙන දේශපාලන කනත්තට යන එක තමයි තමුන්නාන්සේලාට වෙන්නේ.

තමුන්නාන්සේලා අගමැතිතුමාගේ දේශපාලන ප්‍රාණය රැකදුන්නාට පස්සෙ, එතුමා තමුන්නාන්සේලාට දෙනව පෝරියල්. ඊයේ හිටපු හකීම් ඇමැතිතුමා නෙවි අද මේ ඉන්නේ.

වෙන හකීම් කෙනෙක්. මොනර කොළවලට කරන්න බැරි දෙයක් නැහැ. මළ මිනීවලටත් පණ දෙන්න මොනර කොළවලට පුළුවන්. අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමේදී කිව්වා, අගමැතිතුමාගෙ කීමටයි මේ සේරම කළේ කියලා. ඒ මහ බැංකු කොල්ලයේ මහ මොළකරු තමයි තමුන්නාන්සේලා මේ ආරක්ෂා කරන්නේ.

මහබැංකු කොල්ලයේ සල්ලි බෙදලා තමයි මේ යෝජනාව පරාජය කරන්න හදන්නේ.

මහ බැංකුව පවරා නොගත්තා නම් මාස කිහිපයකින්
ඒකත් අපට අහිමි වෙනවා මහින්දානන්ද අලුත්ගමගේ

ආර්ථික කමිටුව තමයි හොර ගුහාව, ජනාධිපතිතුමා ආර්ථික කමිටුව අහෝසි කර මහ බැංකුව පවරා නොගත්තා නම් අපට මාස කිහිපයකින් මහ බැංකුවත් අහිමි වෙනවා.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන අපට හෙට උදේ බලාගන්න පුළුවන්. පසුගිය වසර තුනක් රටේ ආර්ථිකය හැසිරෙව්වේ අගමැතිතුමායි. ඒක අසාර්ථක වූ නිසා ජනාධිපතිතුමා ආර්ථික කමිටුව අහෝසි කළා. ආර්ථික කමිටුව තමයි හොර ගුහාව. සියලු හොරකම් ටික වෙන්නෙ ආර්ථික කමිටුවෙන්. කමිටුව අහෝසි කළා. මහ බැංකුව පවරා ගත්තා. නැත්නම් මාස කිහිපයකින් අපට මහ බැංකුවත් අහිමි වෙනවා. ලංකා බැංකුවට කෝටි ගණනක් පොලු කියාපු එකෙක් ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරලා.
එජාප මන්ත්‍රින් අද ලොකු සතුටකින් ඉන්නවා. ඊයේ දවාලෙත් අඬමින් වෙව්ළමින් හිටියේ ඇමැතිකම්, අගමැතිකම් නැතිවෙයි කියලා.

විශ්වාසභංගය ජයග්‍රහණය කර පෝස්ටරයක් ලෑස්ති කර තිබෙනවා. රූපවාහිනියේ සින්දුවකුත් හදලා තියෙනවා. අපට කුණු බිත්තර ගහන්න සිරිකොතෙන් ඇවිත් ඉන්නවා. මේ ආණ්ඩුවේ දෙදරීම පටන් ගන්නෙ අද හැන්දෑවෙ.

එජාප මහලේකම්තුමා අද රාත්‍රි 12.00න් පසු එතැන නැහැ. යූඇන්පීය ඇතුළෙ කතා කරන්න බැරි දේවල් කතා කරනවාට මට ගාණක් දෙන්න. අපි බෝම්බයක් ගැහුවා. ඒකෙන් සියලු දෙනාටම තුවාලයි. අපට ප්‍රශ්නයක් නැහැ. 2019 පොදු අපේක්ෂකයා වෙන්න රාජිත ඇමැතිතුමා ඉන්නවා. එහෙම වුණොත් අපේ පැත්තෙ හොඳම කථිකයා වෙන්නෙ ඔබතුමාගෙ පුතා.!

විශ්වාසභංග යෝජනාව මඟින් දේශපාලන වුවමනාවක් ඉටුකර ගන්නයි හදන්නේ ආර්. සම්පන්දන්

'පොදුජන පෙරමුණේ මූලික අවශ්‍යතාව අගමැති ඉවත් කිරීමයි. ඊළඟ ඉලක්කය ජනපතිවරයා විය හැකියි. මෙවැනි යෝජනාවකට අප සහාය දෙන්නේ කොහොමද?'
විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ දූෂණය ගැනයි. දූෂණය දරුණු ව්‍යසනයක්. දේශපාලකයන් දූෂණයට මූලාශ්‍රයක් වන බවට පවතින මතය අප තුරන් කළ යුතුයි.
දූෂණය සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් සම්පූර්ණයෙන් විමර්ශනය කළ යුතුයි. චූදිතයා වරදකරු වී නම් දැඩි දඬුවම් ලබාදිය යුතුයි. ඒ හැර වෙනත් විසඳුම් නැහැ. මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කවුරුවත් අත් නොහැර දඬුවම් ලබාදිය යුතුයි. පුද්ගලයාගේ තරාතිරම අනුව නීතියේ ආධිපත්‍යය විචල්‍ය නොවිය යුතුයි.

බැඳුම්කර වංචාව උපයෝගී කර ගනිමින් විශ්වාසභංග යෝජනාව මඟින් කිසියම් දේශපාලන වුවමනාවක් ඉටුකර ගන්න හදනවා.

විශ්වාසභංග යෝජනාවේ බැඳුම්කර වංචාව නම් මුඛ්‍ය කරුණ ගැන නිශ්චිත චෝදනා ඉදිරිපත් කර නැහැ. මෙතරම් දියාරු වචන ඇයි? මේ යෝජනාව දැන් ගෙන එන්නේ ඇයි? අගමැති යම් පුද්ගලයකු විශ්වාස කළා. ඒ පුද්ගලයා වංචා කර තිබෙන බව නම් යෝජනාවේ සඳහන් වෙනවා. එහෙත් අගමැතිවරයාට එරෙහිව ඒ සම්බන්ධයෙන් නිශ්චිත චෝදනාවක් සඳහන් වන්නේ නැහැ.

ඒ නිසාම යෝජනාවේ විශ්වසනීයත්වය නැතිවී තිබෙනවා. වංචාව සිදුවුණේ වසර තුනකට කලින්. මෙපමණ කලකට පසු විශ්වාසභංගයක් අගමැතිට එරෙහිව ගේන්නේ ඇයි?
මෙය අගමැතිවරයාට එරෙහිව ගෙන එන චෝදනාවක්ද? නැත්නම් ආණ්ඩුව පලවා හැරීමේ යෝජනාවක්ද?

විසිවසරකටත් පසු
විපක්‍ෂයට තිබෙන
ප්‍රධාන අභියෝගය
රනිල් බව පැහැදිලියි ඇමැති මංගල සමරවීර

1999 ජනාධිපතිවරණයේදී අපේ මාධ්‍ය කමිටුව එදා රට පුරා පෝස්ටර් ගැහුවා 'රනිල්ට බෑ' කියලා එදා අප හොඳින්ම දැන හිටියා. චන්ද්‍රිකා යළි පත්වීමට එරෙහි ශක්තිය ඇත්තේ රනිල්ට බව. ඒ නිසා තමයි අප පෝස්ටර් ගහලා රනිල්ට බැහැ කීවේ. අවුරුදු විස්සකට පස්සෙත් පැහැදිලිව පෙනී යනවා.
විපක්ෂයට තිබෙන ප්‍රධාන දේශපාලන අභියෝගය රනිල් වික්‍රමසිංහ බව. මේ විශ්වාසභංග යෝජනාව රනිල් වික්‍රමසිංහට වඩා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉලක්ක කරගෙන බවයි මගේ විශ්වාසය. රනිල් වික්‍රමසිංහ එළවාගෙන එජාපය දෙකට තුනට කැඩිලා ගියාට පසු 2019 ජනාධිපතිවරණයේදී ඒ අයට පහසු ජයක් ලබාගන්න පුළුවන් කියා සමහරු හිතනවා. මෙය එක්තරා දේශපාලන කුමන්ත්‍රණයක පළමුවැනි පියවර පමණයි. ඒක ගෙනාපු අයගෙ අවාසනාවට රටේ වාසනාවට දැනටමත් යෝජනාව පරාජය වී හමාරයි.

පුළුවන්නම් තනියෙන් ආණ්ඩුවක් හදල බලමු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත්

"අනාගතයේදී අපි පුළුල් සන්ධානයකට ගිහිල්ලා මේ රටේ නියම ජන මතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු කරලා ස්ථිරසාර ආණ්ඩුවක් හදනවා" මේ චෝදනා සියල්ල ආණ්ඩුවේ නායකයා හැටියට අගමැතිවරයාට තමයි ඇවිල්ලා තියෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ධුරයට රටේම ජනතාව ජනාධිපතිතුමා පත් කරනවා. ඒ නිසා අපි මේ කාරණය පටලවාගත යුතු නැහැ. විධායකය එකක්. ව්‍යවස්ථාදායකය එකක්. මේ යෝජනා ඇවිල්ලා තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒක විධායක ජනාධිපති ධුරයට අදාළ වන්නේ නැහැ.

විධායක ජනාධිපති ධුරයේ විධායක බලතල තමයි අගමැතිවරයාට සහ ඇමැති මණ්ඩලයට අනු නියෝජනය කර තිබෙන්නේ.

මේ සිද්ධිය වෙලා තිබෙන්නේ දින සියයේ ආණ්ඩුව තුළ. අපි ඒ ආණ්ඩුවේ හිටියෙ නැහැ. මේ සිද්ධිය වෙලා තිබෙන්නේ ජනවාරි මාසයේ 27 වැනිදා. සම්මුති ආණ්ඩුව හැදුවේ අගෝස්තු මාසයේ 17 වැනිදාට පස්සෙ.

අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 323 වැනි පිටුවේ සඳහන් වෙනවා. මේ රටේ පුරවැසියකු නොවන අයකු ගෙනැල්ල නිර්දේශ කළේ කවුද?

මන්ත්‍රිවරු - හෙජින් හොරා. හෙජින් හොරා.

තුෂාර ඉඳුනිල් අමරසේන - සිල්වතෙක් හැටියට කතා කරන මේ ඇමැතිවරයා බාල තෙල් නැව් පහක් ගෙනැල්ල ඒවා කොල්ල කෑවා.

සුසිල් ප්‍රේමජයන්ත - අපි ඉතාම පැහැදිලිව කියනවා. රිළව් නැටුවට මිනිස්සු කලබල වෙන්නෙ නැහැ. රිළව් නටවනවා. අහිගුණ්ඨිකයො පොල්ල වනනකොට රිළව් නටනවා. එහෙම රිළා මඩමක් නෙවි මේ පාර්ලිමේන්තුව.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී ආණ්ඩුවකට එන්න තීන්දු කළේ ජනාධිපතිතුමායි කියන එක අපි ඉතාම පැහැදිලිව කියනවා. එදා තනියෙන් කිසි පක්ෂයකට ආණ්ඩුවක් හදන්න බැරි වුණා. දැන් තමුන්නාන්සේලා හදාගන්න. හෙට ඉඳල හදාගන්න. අපිටත් ඕන ඒක තමයි. තනි ආණ්ඩුවක් හදන්න. ඔව් හදලා බලමු. අද කෝ ජනවරම? සියයට 32ක් ගත්ත අය ජන වරම හඳුනන්නෙ නැහැ.

පසුගිය මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ අවසාන මැතිවරණයේදී එදා ලේකම්වරු තහනම් නොකළා නම් අද තමුන්නාන්සේලා ආණ්ඩු පක්ෂයේ නෙවි ඉන්නේ. ඒක කියන්නෙ මම නෙවේ. තමුන්නාන්සේලා පත් කරපු ජනාධිපතිතුමා තමයි කියන්නේ.

ජනතා විමුක්ති පෙරමුණට මම ස්තුතිවන්ත වෙනවා. එතුමන්ලා ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරනවා. එතුමන්ලා අපිත් එක්ක ඉතාම විනයගරුකව වැඩ කළා.

අපි හොරකම් කරලා නැහැ. හොරකම් කරපු එවුන් ගැන කතා කරනකොට තමයි හොරුන්ට කේන්ති යන්නේ. මේ බැඳුම්කර සිද්ධිය වුණේ විකෘති ආණ්ඩුවක් තුළ.
මේ සියලු දෙනා ආරක්ෂා කරන්න යන්නේ අර්ජුන මහේන්ද්‍රන්වයි. දැන් කෝ එයා? එයාව ගෙනාවෙ කවුද? එයාව රෙකමන්ඩ් කළේ කවුද? එයාව තියාගන්න හැදුවෙ, එයාව රැක්කේ කවුද? එයාට රට යන්න හැරියේ කවුද? අර්ජුන මහේන්ද්‍රන්ගේ ඇපකාරයා කවුද? අපිද? විත්තිකාරයා නැත්නම්, ඇපකාරයාට මොකද වෙන්නේ? මේ ඒ වරෙන්තුව. මේ තිබෙන්නේ ඇපකාරයාට නිකුත් කරපු වරෙන්තුව.

අපට වඩා වේගයෙන් අගමැතිවරයා ඉවත් කළ යුතු බව කීවේ එජාපයේ අයයි චන්ද්‍රසිරි ගජධීර

"මහ බැංකුවේ අධිපතිවරයා, බැඳුම්කර ගනුදෙනුවෙන් විශාල මූල්‍ය වංචාවක් කළ අවස්ථාවේ, මහ බැංකුව තමාගෙන් ඉවත් කිරීමට අගමැතිතුමා ක්‍රියා කළේ නැහැ" ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ අපේ අයිතියක් නිසයි. එක්සත් ජාතික පක්ෂයේ අය අපට වඩා වේගයෙන් මේ අගමැතිවරයා ඉවත් කළ යුතු බව කියා සිටියා. ඒක රට හමුවේ තිබුණා. රටේ ජනතාවගේ සිතුම් පැතුම් පිළිබිඹු කිරීම තමයි මේ විශ්වාසභංග යෝජනාවෙන් සිදුවන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව තමා යටතට ගෙන, විදේශිකයකු ඒ බැංකුවේ අධිපති හැටියට පත්කර ඔහු කෙරේ විශ්වාසයක් රටටම ඇතිකර, මේ විශාල බැඳුම්කර වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපි අගමැතිතුමාගෙන් හැර වෙන කාගෙන්ද අහන්නේ?

මහ බැංකුවේ අධිපතිවරයාට, මේ අන්දමට රටේ ආර්ථිකයට හානි පැමිණවන ආකාරයට කටයුතු කිරීමට ඉඩ දීපු අගමැතිවරයා පිළිබඳ අපි විශ්වාසයක් තබන්නේ කොහොමද?

'අපේ හොරා අපට හො¼දා'
කියන දේශපාලනයක් අපට නෑ බිමල් රත්නායක

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමාට ලද ජනවරම පාවා දී තිබෙන බැවින් ඔහුට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම සාධාරණයි.

මේ විශ්වාසභංගය පාවාදීම් තුනක් පිළිබඳ කතාවක්. රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයේ පදනම කුමක්ද? එතුමා පාවාදී තිබෙන්නේ ලැබුණු ජනවරමයි. ඉතාම මජර කළු දශකයක ජනතාව පීඩා විඳිනවිට මේ සඳහා මහජන බලයකින් ලද ජනවරමයි ඔහු පාවා දුන්නේ. යෝජනාවේ කරුණු දාහතරෙන් දහතුනක තිබෙන්නේ බැඳුම්කර වංචාව ගැනයි. අගමැතිතුමා වංචාවට සම්බන්ධ නොවූ බව සභානායක හා මංගල සමරවීර අමාත්‍යවරුන් කිව්වා. රනිල් වික්‍රමසිංහ මේකෙන් පෞද්ගලිකව කීයක් ගත්තාද කියනවාට වඩා එතුමා දැනුවත්ව දූෂිතයන් ආරක්‍ෂා කළා. එතුමාට විශ්වාසභංගයක් ගෙන ඒම සාධාරණයි.

කෝප් කමිටුවේදී එ.ජා.ප. මන්ත්‍රි කණ්ඩායම ඉතා කැත විදියට අපට පහර එල්ල කළා. ඒක නිසා තමයි ජනවරම පාවා දුන්නා කියන්නේ. තරුණ මන්ත්‍රිවරු පිරිසක් යූ.ඇන්.පි.යට ආවා. ඒ තරුණ මන්ත්‍රිවරුන් පාවා දුන්නා.

මේ විශ්වාසභංගයේ තිබෙන්නේ භාගයයි. රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්‍ෂ පවුලේ පාලනයේ අන්ත දූෂිතයන් ආරක්‍ෂා කළා. නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළේ නෑ. ඒ නිසයි, ඔහුට විශ්වාසභංගය සුදුසු වන්නේ.

මේ විශ්වාසභංගයේ ලොකුම ජනවරම පාවා දුන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයායි. මේ විශ්වාසභංගය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ. ඒ බව අපි පැහැදිලිව කියනවා. පුංචි ඡන්ද පරාජයේ වගකීම එ.ජා.ප.යට පවරන්න ඕනෑකම තිබුණා. රනිල්ට අස්වෙන්න කීවා. අස් වුණේ නෑ. 113කින් වෙනම ආණ්ඩුවක් හදාගන්න උත්සාහ කළා. ඒක බැරිවුණා. නිමල් සිරිපාල අගමැති කරගන්න උත්සාහ කළා. ඒක බැරි වුණා. විශ්වාසභංගය කියන වචනය මුලින්ම මතු වුණේ ජනාධිපතිගේ පැත්තෙන්. ඒ අනුව මේ විශ්වාසභංගය හරහා මෛත්‍රිපාල සිරිසේන මහතාත් ජනවරම පාවාදී තිබෙනවා. අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාත් හොරු ආරක්ෂා කළා. ඒ අනුව අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජනාධිපතිවරයාටත් අදාළයි. එතැනින් පටන් ගත් සැලැස්මයි යන්නේ.

මහින්ද රාජපක්‍ෂ මහතාත් මේ යෝජනාව හරහා තමන්ගේ ජනවරම පාවාදී තිබෙනවා. මේ විශ්වාසභංගය ජයග්‍රහණය කරවන්න මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය ප්‍රමාණවත් පරිදි මහන්සි වුණාද?

මහන්සි වුණේ ගෝඨාභය කල්ලියයි. ඒ ගොල්ලෝ එළියේ බැනුම් අහනවා. අද ලංකාවේ ලොකුම ඩීල් එක රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්‍ෂ අතර ඩීල් එකයි.

අපි අපේ ජනවරම පාවා දෙන්නේ නෑ. අපි කොයි හොරාටත් විරුද්ධයි. කොළ පාට, නිල් පාට හොරු සියලු දෙනාටම විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ යුතුයි. කෙසේ වෙතත් අපේ ජනවරම පාවා නොදෙමින් මේ විශ්වාස යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙනවා. 'අපේ හොරා අපට හො¼දා කියන' දේශපාලනයක් අපට නෑ.

විවාදය පටන්ගන්න කොටම හුළං බැහැලා ලක්ෂ්මන් කිරිඇල්ල

විවාදය පටන් ගන්න කොටම හුළං බැහැලා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා එතුමාගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව කතා කළා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වූ හැම අවස්ථාවකම, කෝප් කමිටුවේ සභාපතිකම විපක්ෂයේ මන්ත්‍රිවරයකුට ලබා දුන්නා. ආංශික අධීක්ෂණ කමිටුවල සභාපති කම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට ලබාදුන්නා.

කිසිම කෝප් කමිටුවක වාර්තාවක අගමැතිතුමාගේ නම සඳහන් වෙලා නැහැ. කෝප් කමිටුවේවත්, විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේවත්, අගමැතිතුමාගේ නම සඳහන් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ කොහොමද අගමැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්නේ?

දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබියදීත් අගමැතිතුමා, කැමැත්තෙන් ජනාධිපති කොමිසමට ගිහින් අහපු ප්‍රශ්නවලට උත්තර දුන්නා. අවුරුදු විස්සක් රට පාලනය කළ කොයි අගමැතිවරයාද කොයි ඇමැතිවරයාද කොමිසමට ගිහින් සාක්කි දුන්නේ.

කොමිසමට පැමිණීම ගැන කොමිසම අගමැතිතුමාට ප්‍රශංසා කළා. අර්ජුන මහේන්ද්‍රන්ගේ පත්වීම නීතියට පටහැනි නොවන බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා.

දිනේෂ් ගුණවර්ධන

ලංකාවේ පුරවැසියකු නොවන කෙනකුට මහ බැංකුවේ අධිපතිකම දීම සුදුසුයි කියලා ඇමැතිවරයකු හැටියට ඔබතුමා පිළිගන්නවාද..?

ලක්ෂ්මන් කිරිඇල්ල

දැන් අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු පුරවැසියෙක් කියලා කියනවා. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියෙක් නොවෙයිද..? දිගන ප්‍රශ්නයත් මේ යෝජනාවට ඇතුළත් කර තිබෙනවා. ඒ සිද්ධියට අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිවරු. දැන් තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් තුන්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ඒකට සහයෝගය දක්වලා තිබෙනවා.

අගමැති සිංගප්පූරුවට ගිය විට
අර්ජුන මහේන්ද්‍රන් තානාපති කාර්යාලයට ගෙන්වා සාකච්ඡා
කළා කියලා හැමෝම සැක කරනවා වාසුදේව නානායක්කාර

සම්මුති ආණ්ඩුවේ ඇමැතිවරු පවා විශ්වාසභංගයට පක්ෂව කතා කරනවා. මේ විශ්වාසභංගය ගේන්නේ ජනාධිපතිතුමා තනි කිරීමට බවට මංගල සමරවීර මහතා පැවසුවා. ජනාධිපතිතුමා ඒ කතාව පිළිගන්නෙ නැහැයි අප කියන්නෙ ජනාධිපතිතුමාගේම පක්ෂයේ මැති ඇමැතිවරු විශ්වාසභංගයට පක්ෂව කතා කරන නිසයි. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්වා දෙන්න අගමැතිතුමාට බැරිද? අගමැතිතුමා සිංගප්පූරුවට ගිය විට අර්ජුන මහේන්ද්‍රන් තානාපති කාර්යාලයට ගෙන්වා සාකච්ඡා කරන ලද බව හැමෝම සැක කරනවා. ඔහු අධිකරණයට ගෙන්වා දීමේ වගකීම ගන්නෙ කවුද? අගමැතිතුමාට ඔහු ගෙන්වා දෙන්න පුළුවන්ද බැරිද කියන්නෙත් නැහැ.
මේ විශ්වාසභංගයෙන් කරන්නේ බොහෝ දෙනා නිරුවත් කිරීමයි. ආණ්ඩුවේ හෙට අනිද්දා බිඳවැටෙන විශ්වාසය දෙපළු කිරීමයි.

විශ්වාසභංගය සම්මත නොවුණහොත් ඉදිරි වසර එකහමාර හිරු නොපායන අඳුරු කාලයක් උදාවේවි උදය ගම්මන්පිල

විශ්වාසභංග යෝජනාවේ කරුණු 14ක් අඩංගු වුණා. පසුගිය සති දෙකේදී කවුරුත් මේ චෝදනා එකක් හෝ වැරැදි බව කීවේ නැහැ. නඟා ඇති චෝදනා අනුව තවදුරටත් අගමැතිවරයා ගැන විශ්වාසය තැබිය හැකි දැයි මන්ත්‍රිවරුන් තේරුම් ගත යුතුයි.

පුංචි ඡන්දයේදී එජාපය 30%ක් ඡන්ද ලබා ගත්තා. විරුද්ධව 70%ක් ලැබුණා. බි්‍රතාන්‍ය සම්ප්‍රදාය අගයනවා නම් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුයි. මාස දෙකක් ඇතුළත ඉතියෝපියාවේ නායකයා ඇතුළු රාජ්‍ය නායකයන් හතර දෙනෙක් ඉල්ලා අස්වුණා. මේ රටේ අගමැතිවරයාට විරුද්ධව 70%ක ඡන්ද ප්‍රකාශ කර තිබෙනවා. පුංචි ඡන්දයෙන් පසු අගමැතිගේ ජනාධිපති හීනය කුඩුපට්ටම් වුණා. ඒ නිසා දැන් එතුමා බලන්නේ ඉදිරි අවුරුදු එකහමාර ගැනයි. ජනතාව පිළිබඳ කේන්තියෙන් ඉන්න, විජාතික මතය අත තබාගෙන සිටින අගමැතිවරයකුට ඉන්න දීම භයානකයි.

මේ යෝජනාවේ තිබෙන්නේ කිසිවකුට විරුද්ධ විය නොහැකි පරම ඇත්ත. මුදල් සියල්ල පෙරට එනවා යැයි බුදුන්වහන්සේ අද හිටියානම් දේශනා කරයි. විශ්වාසභංග යෝජනාව ගෙනැත් තියන්නේ කවුරුවත්. කෝටි ප්‍රකෝටි ගණන් හොයන්නේ වෙන කවුරුවත්. විශ්වාසභංග යෝජනාව සම්මත නොවේ නම් මෙය ජනතා අදහස් පිළිනොගන්නා තත්ත්වයක්. මේ යෝජනාව අද යම්හෙයකින් සම්මත නොවුණහොත් ඉදිරි අවුරුදු එකහමාර තුළ හිරු නොපායන අඳුරු කාලයක් උදාවන බවයි කිව හැක්කේ.

මහනුවර සිද්ධිය මෙයට ඇතුළත් කිරීමෙන්
ආතල් එකක් ගන්නයි පොහොට්ටුව උත්සාහ කරන්නේ රවුෆ් හකීම්

"අගමැතිවරයා ඉලක්ක කරගෙන විශ්වාසභංග යෝජනාව මඟින් මුස්ලිම් ජනතාව බිලිබා ගැනීමට උත්සාහ කිරීම මා තරයේ හෙළා දකිනවා. විශ්වාසභංග යෝජනා ගණනාවක් මා දැක තිබෙනවා. එහෙත් ප්‍රථම වතාවටම හුළං බැස්ස විශ්වාසභංග යෝජනාව මේකයි. කදිරගාමර්, අෂ්රොෆ් වැනි ඇමැතිවරුනට එජාපය විශ්වාසභංග ගෙනා හැටිත් ඒවාට ඇමැතිලා මුහුණ දුන් ආකාරයත් මා දුටුවා.

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී තිබෙනවා. මෙය ජාතික වශයෙන් වැදගත් අවධියක මුහුණදෙන විශ්වාසභංග යෝජනාවක්.

බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ එ.ජා.ප. ආණ්ඩුවකින්. ඊළඟ මැතිවරණය වැළැක්වීම සඳහා යෙදූ අවියක් තමයි ඒ යෝජනාව. ඒවගේම ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට ගත් උත්සාහයක් දැයි සැකයක් ඇතිවෙනවා.

දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ දෙකම මෙවැනි යෝජනාවකදී වෙනම මිනුම් දණ්ඩක් තිබෙනවාද? දින 100 ආණ්ඩු කාලෙත් විශ්වාසභංගයක් ගෙනාවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරියා ඒක ව්‍යාර්ථ වුණා. බැඳුම්කර කොමිෂන් වාර්තාවේ අගමැතිට එරෙහි කිසිවක් සඳහන් වී නැහැ. මේ විශ්වාසභංගය කෙළින්ම රජය ඉලක්ක කරගෙන ගෙනෙන ලද්දක්. රනිල් වික්‍රමසිංහ සංකේතාත්මක ස්ථාවරයක් පමණයි.

මන්ත්‍රිවරුන් බිලිබා ගැනීමට කරන ලද මේ වෑයම නිසා ආණ්ඩුව තවත් ශක්තිමත් වුණා. මහනුවර සිද්ධිය මෙයට ඇතුළත් කිරීමෙන් වෙනත් ආතල් එකක් ගන්නයි පොහොට්ටුව උත්සාහ කරන්නෙ. මුස්ලිම් ජනතාව බිලිබා ගන්න මේකෙන් උත්සාහ ගැනීම මා තරයේ හෙළා දකිනවා. ඇත්ත වශයෙන්ම මේක කැත වැඩක්.

එම සිද්ධියේදී මීට වඩා වේගවත් ක්‍රියාමාර්ග නොගත්ත නිසා අප එකතුවෙලා තිබෙනවා. වැරැදිකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ රටට හානියක් සිදුවී තිබෙනවා.

අගමැතිතුමා ඉලක්ක කරගෙන මුස්ලිම් ජනතාවගේ ආත්ම ගරුත්වයට පහර දුන්නා. ඒ සිදුවීම දේශපාලන දඩමීමා කර ගැනීම ගැන කනගාටු වෙනවා. අගමැතිතුමාට විශ්වාසය පළකිරීමේ යෝජනාවක් බවට පරිවර්තනය වී හමාරයි. ඒ යෝජනාවට ශ්‍රී ල.මු.කො. සහාය පළ කරනවා.

මේ ආණ්ඩුව අවුරුදු තුනටම කරපු හොඳ වැඩක් නෑ අතුරලියේ රතන හිමි

''පසුගිය ආණ්ඩුව වැරැදි කළා. මේ ආණ්ඩුව ඊටත් වඩා වැරැදි කර තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව පිහිටුවන්න පුරෝගාමීව කටයුතු කළ මම ලැජ්ජා වෙනවා. මේ රටේ මුදල් අවභාවිතාවක් පිළිබඳව තමයි මේ විශ්වාසභංග යෝජනාව ගෙනැවිත් තිබෙන්නේ. මේ ආණ්ඩුව අවුරුදු තුනටම කරපු හොඳ වැඩක් නෑ. මේ විශ්වාසභංගය පිළිබඳව පමණක් නොව, මේ ආණ්ඩුව පසුගිය අවුරුදු තුන තුළ සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබෙනවා. එට්කා ගිවිසුම අස්සන් කිරීම සම්බන්ධයෙන් අපි අපේ අදහස් ප්‍රකාශ කළා.
මේ යහපාලන ආණ්ඩුව ඇති කිරීමට කටයුතු කළ මමත් අද කනගාටු වෙනවා.

රටට අහිතකර වෙළෙඳ ගිවිසුම් ඇති කිරීම, ඉඩම් විකිණීම, බහුජාතික සමාගම්වලට යටත් වෙලා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන්න යනවා. ගොවීන්ට අයිති ඉඩම් ඔවුනට අහිමි වන තත්ත්වයක් උදාවී තිබෙනවා මේ තත්ත්වය යටතේ ආණ්ඩුවට ඡන්දය දිය නොහැකියි.

ආණ්ඩුව වැරැදි දෙකක් කළා. ආණ්ඩුවට බැරි වුණා පොහොර ටික වෙලාවට දෙන්න. ආණ්ඩුවට බැරි වුණා ගොවීන්ට සල්ලි ටික දෙන්න. ආණ්ඩුවක් ඇතුළේ නොකළ යුතු දේ නොකරමු. කළ යුතු දේ කරමු. අපි විපක්‍ෂයත් සමඟ එකතු වී යම්කිසි එකඟතාවකට පැමිණිය යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකටත් රට ෆෙඩරල් කිරීමට අවශ්‍යව සිටින පිරිසකටයි. ඒකට ඉඩ දෙන්නේ නෑ.

අද ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය, රට බේරා ගැනීමට කටයුතු කළ හමුදාව දංගෙඩියට යවන තත්ත්වයකට පත්වී තිබෙනවා.

රට අස්ථාවර කර, කාලකණ්ණි තත්ත්වයට පත් කරන්න එපා. අවුරුදු තිහක් තිස්සේ අප යුද්ධයකට මුහුණ දුන් තත්ත්වයට පත් වීමට අපට අවශ්‍ය නෑ.

රට අස්ථාවර නොකරන්න අවුරුද්දක සම්මුතිවාදී ආණ්ඩුවක් ඇති කිරීම සඳහා යෝජනා මාලාවක් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මහින්ද රාජපක්‍ෂ මහතාටත් දුන්නා එ්කට කිසිම උත්තරයක් නෑ.''

විශ්වාසභංග යෝජනාවක් විහිළුවට ලක් කිරීම සුදුසු නෑ බන්දුල ගුණවර්ධන

මේ පාර්ලිමේන්තුවට විශ්වාසභංග 46ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. අගමැතිවරුන් තිදෙනකුට විරුද්ධව විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වුණා. මේ විශ්වාසභංග යෝජනාවලින් දිනා තියෙන්නේ එකයි. එසේ දිනුවේ අමිර්තලිංගම් මහතාට විරුද්ධ යෝජනාව පමණයි.

විශ්වාසභංග යෝජනාවක් නිසා සමාජමය, දේශපාලනමය හා ආර්ථිකමය වශයෙන් ඇති වන බලපෑම කිසිසේත් ලඝු කොට තැකීමට හෝ විහිළුවට ලක් කිරීම ප්‍රඥාගෝචර දේශපාලනයකට සුදුසු නැහැ.

අගමැතිවරයාට මේ සභාවේ විවිධ කරුණු සම්බන්ධ ගෞරවයක් තිබුණා. නමුත් එතුමා විශ්වාසය තැබූ පුද්ගලයන් එතුමා වටා සිටි පුද්ගලයන්, ගජ මිතුරන්, ප්‍රශස්තිකරුවන්, ආවතේවකරුවන් සියලුදෙනාගේම ක්‍රියාවලි සමුච්චයක ප්‍රතිඵලය ලෙසයි එතුමාට විරුද්ධව මේ විශ්වාසභංග යෝජනාව ගෙනෙන්නේ.

අගමැතිගේ නිර්දේශ මත සිංගප්පූරු පුරවැසි අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කළා. එහි වගකීම අගමැති භාර ගත්තා. අර්ජුන මහේන්ද්‍රන් මේ රටේ ව්‍යවස්ථාව අනුව දිවුරුම් දුන්නෙ නැහැ.

අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම ආයතන සංග්‍රහයේ විධිවිධානවලට පටහැනි නිසා ඔහුට ගෙවන ලද වැටුප්, දීමනා අනෙක් වරදාන ගෙවීමට පත් කළ නිලධරයා වගවීමට බැඳී සිටිනවා.

පාර්ලිමේන්තුව අද (5දා) පෙරවරු 10.00ට යළි රැස්වෙයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon