විශ්වාසභංග ගල උඩ සටන අන්තිම සතියේ රත්වූහැටි

  👤  5669 readers have read this article !
2018-04-01

උදේනි සමන් කුමාර

රනිල්ගේ ආර්ථික කළමනාකරණ කමිටුව රැස්වීම තහනම්

ආණ්ඩුවේ විවිධ ව්‍යාකුලතා මැද නමුදු අඟහරුවාදා ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙන් කැබිනට් එක රැස්විය. අගමැති ඇතුළු ඇමැතිවරු සියල්ලන්ම ඊට සහභාගිව සිටියහ.

අවස්ථා ගණනාවකම ජනාධිපති මෛත්‍රි විසින් අහෝසි කළ බව සඳහන් කළ ආර්ථික කළමනාකරණ කමිටුව අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේත් රැස්වී ඇති බව වාර්තා වීමෙන් ජනපති සිටියේ තරමක් උදහස්වය.

'මම කීප වතාවක් කිව්වා මට මේක කරන්න ඉඩ දෙන්න කියලා. ඔය කමිටුව ගත්ත තීරණවලින් ආර්ථිකයට වෙච්ච දෙයක් නැහැ. මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත් දීල තියෙන්නෙ ජපානයේ සුදුසු සමාගමකට නෙවෙයි. මම ජපානයට ගිය වෙලාවෙ දැනගත්තෙ. ඒ සමාගමේ ලොක්කො දැන් ඉන්නෙ හිරේ. මීට පස්සෙ රටේ ආර්ථිකය ගැන තීන්දු ගන්නෙ 'ආර්ථික සභාව'. ඒ ගැන වැඩිදුර විමර්ශන කරන්න අවශ්‍ය නම් කැබිනට් අනුකමිටුවක් මඟින් ඒ සොයා බැලීම් කරන්න පුළුවන්.' යනුවෙන් තරමක කේන්තියකින් අදහස් දැක්වූ ජනපති ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කළ බවට නියෝගයකටද අස්සන් තැබීය.

ග්ලයිෆොසේට් ගැන නවීන්-රාජිත ගැටෙති

වල් නාශකයක් ලෙස ග්ලයිෆොසේට් භාවිත කිරීම සම්බන්ධයෙන් මෙවර කැබිනට් පත්‍රිකා දෙකක්ම ඉදිරිපත් කර තිබිණි. තේ වගාව සඳහා ග්ලයිෆොසේට් භාවිතයට අවසර ඉල්ලා ඇමැති නවීන් එක් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර සියලුම වගාවන් සඳහා ග්ලයිෆොසේට් යොදාගැනීමට අනුමැතිය ඉල්ලා දුමින්ද දිසානායක ඇමැතිද පත්‍රිකාවක් දමා තිබිණි. නවීන්ගේ පත්‍රිකාවට පක්ෂව එස්.බී. කරුණු දැක්වීය. සෞඛ්‍ය ඇමැති රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවක් ඉදිරිපත් කරමින් ග්ලයිෆොසේට්වලට විරුද්ධව කතා කළේය. රාජිත 2015 වාර්තාවක් එළියට ගත් අතර නවීන් 2017 වාර්තාවක් ඉදිරිපත් කරමින් යුරෝපා සංගමයේ රටවල් 18ක් ග්ලයිෆොසේට් සඳහා පක්ෂ බව කීවේය. රාජිත - නවීන් ගැටුමක් බවට ප්‍රශ්නය ඇදී යද්දී මෛත්‍රි මැදිහත්ව තීරණ ගැනීම කමිටුවකට භාර කළේය.

උක් පර්යේෂණ ආයතනයට ප්‍රධාන කාර්යාලයක්

උක් වගාව සම්බන්ධ නවීන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වූයේ ප්‍රධාන කාර්යාලයක් සඳහා නව ගොඩනැඟිල්ලක් අවශ්‍ය බවය. මුදල් ඇමැති එකවරම ඊට විරුද්ධත්වය පළ කළේය. 'දැනට ආණ්ඩුවේ පවතින මුදල් තත්ත්වය අනුව තවත් ගොඩනැඟිලි හදන්න යෝජනා කරන්න එපා' මංගල කීවේය.

'මට සතයක්වත් එපා. අපේ අමාත්‍යාංශයේ මුදල් තියෙනවා. මම ඉල්ලන්නේ අනුමැතිය පමණයි. නවීන් කීවේය.

බුද්ධශාසන අමාත්‍යාංශය වයඹට

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් වයඹ පළාතේ ඉදිකළ යුතු බවට ඇමැති ජයවික්‍රම පෙරේරා ගෙනා යෝජනාව ගැන විවිධ අදහස් පළවිය.

ඒ පාර බුද්ධ ශාසනය කුරුණෑගල ගෙනයන්නද හදන්නේ මෛත්‍රි ඇසුවේය.

ඇමැති පට්ටමෙත් කෑලි කීපයක් ගැලවුණු නිසා අපි එතුමාට උදව්වක් කරමු දයාසිරි කීවේය. කෙසේ වුවද ජයවික්‍රමගේ යෝජනාවට අනුමැතිය නොලැබිණි.

අගමැතිගේ තටු කැපීම
ශ්‍රී ලංකා මහ බැංකුව නැවැත මුදල් අමාත්‍යාංශය යටතට පැවැරීම ඇතුළු අමාත්‍යාංශ කිහිපයකට සම්බන්ධ ආයතන වෙනස් කිරීමට ජනපති තීරණය කළේ මාසයකට පමණ පෙරය. එම වෙනස්කම් විද්‍යාත්මක අයුරු සිදු කළ යුතු අන්දම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුටද දැනුම් දී තිබිණි. එහෙත් එය කිසියම් හේතුවක් නිසා සිදුවූයේ නැත.
ජපන් චාරිකාව අවසන් කොට පැමිණි මෛත්‍රි මේ සම්බන්ධව ඔස්ටින් ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කළේය.

'ඔබතුමා ගැසට් එකට අස්සන් කළේ නැති නිසා මට ඒක යවන්න බැරිවුණා.'

'කෝ ගන්න මෛත්‍රි ආයතන වෙනස්කම් සම්බන්ධ නව ගැසට් නිවේදනය අස්සන් කළේය.

සුළු වේලාවකට පසු මෛත්‍රි ඇමැතූ රනිල් 'මහ බැංකුව මගෙන් ගලවන්න තීරණය කළා දැයි' ඇසුවේය.

'ඔව් ඒක සාම්ප්‍රදායිකවම මුදල් අමාත්‍යාංශය යටතේ තියෙන්න ඕන. ඉදිරියට හරියට වැඩ කරන්න මම තවත් වෙනස්කම් කීපයක් සිදු කළා' මෛත්‍රි පිළිතුරු දුන්නේය.
ඔස්ටින් ප්‍රනාන්දු හැරෙන තැපෑලෙන්ම මේ කතාව රනිල්ගේ කනේ තැබීම ගැන ඔහුට මෛත්‍රි ‍ෙදාස් පැවැරූ බවට නිල නොවන ආරංචි මාර්ගවලින් හෙළි විය.
රනිල්ට බැට දීම ගැන

හරීන්ට තද වෙයි.
එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලනිප පාර්ශ්වයෙන් එල්ල වන කෙනෙහිලිකම් ගැන තදින්ම උරනව සිටියේ ඩිජිටල් ඇමැති හරීන්ය. 28 වැනිදා බදුල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවූ හරීන් හැම පැත්තකට පහර එල්ල කළේය.

'බදුල්ල මහ නගර සභාවේ ආසන 9ක් දිනුවේ එජාපය. පොහොට්ටුවට ලැබුණේ 6 යි. ඒ අයට බෝනස් 2යි. පැරදුණු ශ්‍රී ලනිපයට පින් බෝනස් 5යි. පින් ඇමැතිලා පින් මහ ඇමැතිලා. පින් ජනාධිපතිලා ඉන්න රටේ ඒ අයට පින් බෝනස් 5ක්. ශ්‍රී ලනිප දෙපිටකාට්ටු වැඩපිළිවෙළට එරෙහිව අපි නැඟී සිටිනවා. අද රට අරාජික වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නින්දිත දේශපාලනය නිසයි. මෙතැනින් එහාට ශ්‍රී ලනිපය එක්ක මගේ යහපාලනයක් නැහැ. නායකයෝ මා ගැන කුමන පියවර ගත්තත් මා කියන දේ කියනවා. ආණ්ඩුව ඇතුළේ මහ ආණ්ඩුවකුයි පොදු ආණ්ඩුවකුයි දෙකක් ගහන්නේ මොකද? එජාපය මේ තරම් බලු විධියට වැටෙන්නේ මොකද? කියන ප්‍රශ්නය මට තියෙනවා. මෙහෙම වැඳ වැඳ ඉන්න ඕන නෑ.

එජාපය ජයග්‍රහණය කළොත් ශ්‍රී ලනිප එකෙක්ට ඇමැතිකම් දරන්න බෑ. ඇමැතිකම් දැරීම යුතුත් නෑ. ඇයි හොඳයියක් ඕනත් නෑ.'

කෘත්‍යාධිකාරි මණ්ඩලය රනිල්ට ෆුල් සපෝට් ලු
විශ්වාසභංගයට එජාපයේ වැඩි පිරිසකගේ සහාය ලැබෙන බව ප්‍රථමයෙන් කීවේ ඒකාබද්ධ විපක්ෂයේ ගම්මන්පිලය. අපිට රනිල් රකින්න කිසිම වුවමනාවක් නැහැ. අපි 27 දෙනෙක් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවා යැයි එජාපයේ රංගෙ බණ්ඩාර දෙවනුව කීවේය.

මේ අතර විශ්වාසභංගය ගැන තීන්දුව ගැනීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සිරිකොතේදී රැස් වී විශ්වාසභංගයට විරුද්ධව කිරීමට ඡන්දය දීමේ ඒකමතික තීන්දුවක් ගත්තේය. අකිල මාධ්‍යයට කීවේ රංගේ රනිල්ට සපෝට් බවය.

රනිල්ගෙ ක්ලබ් එකේ අයට පක්ෂය ගැන තනි තීන්දු ගන්න ඉඩ දෙන්න බෑ
එජාප පක්ෂ ප්‍රති සංවිධානය ගැන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි අවධානය යොමුව තිබිණි. පක්ෂ ප්‍රති සංවිධාන කමිටු තුන ඒ අනුව අප්‍රේල් 5,6,7 දිනවල රැස්වී වෙනස්කම් අවුරුද්දට පෙර සිදු කිරීමට තීරණය විය. වෙනදා රනිල්ට එරෙහිව කට නොසොල්වන බොහෝ දෙනා රනිල් විවේචනය කරමින් අදහස් දක්වනු පෙනිණි. දයා ගමගේ කීවේ මින් ඉදිරියට පක්ෂය ගැන තනි තීන්දු ගැනීමට රනිල්ගේ ක්ලබ් එකේ අයට ඉඩ නොදිය යුතු බවය.

එ.ජා.ප.ය ගෙනා විශ්වාසභංගය ඒකාබද්ධය කරට ගත්තා

ඒකාබද්ධ විපක්‍ෂයේ සහ ශ්‍රී ල.නි.ප. මන්ත්‍රිවරුන්ගේ අස්සන් 55ක් සහිත විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දුන්නේ එ.ජා.ප.යේද බහුතර සහය ලැබෙන බවට විශ්වාසයක් ඇතිවය. එ.ජා.ප.යෙන් ඡන්දය දෙන පිරිස ගැන නොයෙකුත් ගණන් හිලව් පසුගිය දිනවල අසන්නට ලැබිණි. නමුත් එ.ජා.ප. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම විනා අගමැති ඉවත් කර ආණ්ඩුව අර්බුදයට යැවීම තම අරමුණ නොවන බව "එ.ජා.ප. බහුතරයකගේ ස්ථාවරය විය. ඒ තුළ විශ්වාස භංගය පහසුවෙන් ජය ගැනීමට සිතා සිටි ඒකාබද්ධයේ අරමුණ දැඩි අභියෝගයකට ලක්ව තිබේ. තවද මෙහිදී ශ්‍රීලනිප අභ්‍යන්තර අරගලයක් ද නිර්මාණය වී තිබේ. විශ්වාසභංගයට පක්‍ෂ හා විපක්‍ෂව ශ්‍රීල.නි.ප.ය තුළ පැහැදිලි බෙදීමක් පවතින නිසා එම බෙදීම රටට නොපෙනෙන ලෙස සඟවා ගැනීමට ඔවුන් දැඩි වෙහෙසක් ගන්නා බව ද පෙනිණි. තිලංග පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෑල්ලු කළාලු

විශ්වාසභංගය ලබන 4දා පාර්ලිමේන්තුවේදී විවාද කිරීම හා ඡන්ද විමසීමට අදාළ කරුණූ සාකච්ඡා කිරීමට පක්‍ෂ නායකයන් කතානායක කරුගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

"තිලංග නියෝජ්‍ය කතානායකතුමා ඔබ එස්.බී. තියපු ශ්‍රීල.නි.ප. ප්‍රවෘත්ති සාකච්ඡාවට එකතු වෙලා විශ්වාසභංගය ගැන අගමැතිට විරුද්ධව කතා කළා. අගමැතිට විරුද්ධව එස්.බී. කී සියලු දේ ඔබ අනුමත කළා. නියෝජ්‍ය කතානායක ලෙස ඔබ තනතුරේ ගෞරවය හා පාර්ලිමේන්තු සම්ප්‍රදාය හෑල්ලු කළා. එහෙම පහත් වැඩ කරන්න එපා." සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවේය.

"ශ්‍රීල.නි.ප කෙනෙක් නිසයි මම ඒකට ගියේ. තනතුරු දැරුවත් මම ශ්‍රීල.නි.ප.ය නියෝජනය කරන්නේ" තිලංග සුමතිපාල උත්තර බැන්දේය.
"එහෙම කරන්න බෑ. කරු කතානායකතුමා ඒ තනතුරු බාරගත්තට පසු එ.ජා.ප. රැස්වීම්, ප්‍රවෘත්ති සාකච්ඡා තියා සිරිකොතටවත් එන්නේ නෑ. ඒ ගෞරවනීය ආදර්ශය ඔබ ඉගෙන ගන්න" කිරිඇල්ල යළිත් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

"මම නියෝජ්‍ය කතානායක නම් ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවට යන්නේ නෑ" කතානායක කරුද කීවේය.

උණුසුම් වාද විවාද මැද නිමා වූ පක්‍ෂ නායක රැස්වීමේදී "නම" කතාකොට විශ්වාසභංගයට ඡන්ද විමසීමට පක්‍ෂ නායකයෝ තීන්දු කළහ.
විශ්වාසභංගය පරද්දන්න එ.ජා.ප.යට ප්‍රතිසංස්කරණ ඕනෑ.

විශ්වාසභංගය ඉදිරිපත් වී තිබුණද අගමැතිවරයා යොදාගත් සියලු උත්සවවලට එක්විය. දකුණු ආසියානු වාණිජ මණ්ඩල සමුළුව හා උතුරේ ගුරුවරුන්ගේ සමුළුව ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය.

"ඔබතුමා අඩියක් පිටුපසට ගන්න" බොහෝ දෙනකු අගමැතිට කීවෝය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ සිරිකොත එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය.
එහිදී ආණ්ඩුව පෙරලා බලය ඩැහැගැනීමේ විපක්‍ෂ හා ආණ්ඩුව තුළම සිටිනා සුළු පිරිසකගේ මෙහෙයවීම පරදවා විශ්වාසභංගය පරාජය කිරීමට අදාළ යෝජනාවක් සම්මත කෙරිණි.

"ආණ්ඩුව පරද්දන්න එ.ජා.ප.යේ කවුරුවත් ක්‍රියා කරන්නේ නැහැ. ඒත් විශ්වාසභංගය පැරදවූ දිනට පසුදිනම එ.ජා.ප. ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතුයි. ඒ ගැන ප්‍රතිඥාවක් අවශ්‍යයි. නැතිනම් අපටත් තීන්දුවක් ගන්න වෙනවා. ඒ මතයේ එ.ජා.ප. හුඟ දෙනෙක් ඉන්නවා." සුජීව සේනසිංහ මෙන්ම රංගේබණ්ඩාර ද කීවේ එකම කතාවකි.
රැස්වීමෙන් අනතුරුව අගමැති හා මැති ඇමැතිවරු තේ පානය කරන ගමන් ද අදහස් හුවමාරු කර ගත්තේ අගමැතිවරයා මැදි කර ගනිමිනි විශ්වාසභංගය දින්නට පස්සේ
සජිත් හම්බන්තොටින් එලියට ඇවිත් වැඩ කරන්න සූදානම් වෙන්න රනිල් කීවේය.

ශ්‍රී ල.නි.ප.ය විශ්වාසභංගයට පක්‍ෂ වුණොත් අපි ඔවුන් නැතුව ආණ්ඩුව ගෙන යනවා.

"විශ්වාසභංගයට මුහුණදීමට එ.ජා.ප.ය සූදානම් අගමැතිතුමාගේ සැහැල්ලු හැසිරීම ඉතා හොඳ ලක්‍ෂණයක්" ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවිට සියලු දෙනා එය අනුමත කළහ.
"ශ්‍රීල.නි.ප. මෙතැනදී මොකක්ද කරන්නේ කියලා තාම නිසි තීන්දුවකට ඇවිත් නෑ" දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.

"මම දන්නේ නෑ එයාලා මොනවා කරාවිද කියලා. ජනාධිපතිතුමා තමයි තීන්දුව ගත යුත්තේ" අගමැති කීවේය.

"ආණ්ඩුවට එරෙහිව පැමිණි මේ විශ්වාසභංගයට පක්‍ෂව ශ්‍රීල.නි.ප.ය. ඡන්දය දුන්නොත් ඔවුන් නැතුව අපි ඉදිරියට යමු. එහෙම වුණොත් ජනාධිපතිතුමාත් තනිවෙලා ලොකු පීඩනයකට ලක්වෙනවා. ඒත් ඒ භයානකකම ගැන එතුමාට හරි වැටහීමක් වටේ අය ලබා දෙන්නේ නෑ. ඉතා අඥාණ ගේම් එකක් එයාලා මේ ගහන්නේ." මැති ඇමැතිවරු කිහිප දෙනකු කීවේ එවැනි අදහසකි.

විශ්වාසභංග කඩුල්ල පැනලා ඉතිරි හරිය බලාගමු

"අගමැතිතුමා යටතේ තිබුණු විෂයයන් කිහිපයක් ජනාධිපතිතුමා වෙනස් කරලා නේද?" වජිර අබේවර්ධන විමසීය.

"එ.ජා.ප.ය සතු විෂයයන් එ.ජා.ප.ය. ඇතුළෙමයි වෙනස් කරලා තියෙන්නේ. සමහර ඒවා කළ යුතු බවට අපි නිර්දේශ කළා" අගමැති කීය.

"ඒත් නිර්දේශ නොකළ ඇතැම් විෂයනුත් එහා මෙහා කරලා තව ප්‍රශ්නයක් හදලා නේද. එ.ජා.ප. විෂයයන් එ.ජා.ප. ඇමැතිවරු අතරේ වෙනස් කළත් එ.ජා.ප. එකඟතාවෙන් ඒක නොකිරීම ගැටලුවක් නේද?

එහි සිටි බදුලු දිසා මන්ත්‍රි චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.
"ඔව්. අපේ විෂයයක් ගැන තීන්දු ගත යුත්තේ අපිමයි." පී. හැරිසන් කීය.

"මුලින් 04දා විශ්වාසභංග කඩුල්ල පනිමු. ශ්‍රී ල.නි.ප.ය මේකට විරුද්ධ වෙලාත් අපි මේක දිනුවාම අගමැතිතුමා හා ආණ්ඩුව තව ශක්තිමත් වේවි." කිරිඇල්ල කීය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දුන්නොත් ආණ්ඩුවෙන් එළියට යන්න වෙනවා

"වසන්ත සේනානායකගේ දැන් අදහස මොකක්ද දන්නේ නෑ නේද?" එජාප නීති නිලධාරියෙක් ඇසුවේය. "මම දන්න තරමට බහුතර මතයට ගරු කරලා එතන හිට ගැනීම ඔහුගේ පිළිවෙත බව ආරංචියි" එම නිලධාරියා වැඩිදුරටත් කීය.

"මුස්ලිම් පක්ෂවල අලුත්ම මතය මොකක්ද?" දයා ගමගේ ඇසුවේය.

"දැනට ප්‍රශ්නයක් නෑ. අද දවස එජාප සියලු පක්ෂ නායකයන් මම හමුවෙනවා" අගමැති කීවේය.

"ශ්‍රී ලනිපය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් හෝ ඡන්දය වර්ජනය කළොත් ඒ අයට ආණ්ඩුවෙන් පිටවෙන්න වෙනවා. අපට විකල්පයක් බලන්න වෙනවා. එහෙම වුණොත් තනි ආණ්ඩුවකට අපව තල්ලු කළේ ඔවුන් බව ජනතාව තේරුම් ගනීවි." මැති ඇමැතිවරු කිහිප දෙනෙකු කී විට අගමැතිවරයා නළල රැලි ගන්වා ඉතා සැහැල්ලුවෙන් ඉවත බලාගත්තේ මඳ සිනහවක්ද සමඟිනි.

පළාත් ආයතනවල බලය ගන්න ගහපු ගේම බහුතර බලයක් නොමැති සභා සඳහා පළාත් පාලන ආයතන පනතට අනුව ඡන්ද විමසීම් මඟින් සභාපති, උප සභාපති හෝ නගරාධිපති, උප නගරාධිපති තනතුරු තෝරා ගැනීමට නියමිතව තිබිණි. ප්‍රථම වටය ලෙස 23 වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මහනගර සභාව, මිනුවන්ගොඩ සහ කටුනායක සීදුව නගර සභා සහ කටාන ප්‍රාදේශීය සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්විණි.

එහිදී මිනුවන්ගොඩ නගර සභාව ජයග්‍රහණය කිරීමේ කටයුතු ප්‍රසන්න කරට ගෙන සිටි අතර අනෙකුත් ආයතන තුනෙහි වගකීම පැවැරී තිබුණේ නිමල් ලාන්සා, ඉන්දික අනුරුද්ධ සහ සරත් කුමාර ගුණරත්න වෙතය. ඔවුන් තිදෙනා එක්ව එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසියක් තිබුණු මීගමුව මහනගර සභාවේ බලය ලබා ගැනීමට සමත් වූහ.
මිනුවන්ගොඩ නගර සභාවේ බලය ලබාගැනීම සඳහා කුමන පක්ෂයකට සහාය දුන්නත් පොහොට්ටුවට සහාය නොදෙන ලෙස නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැඩිව අවවාද කර තිබුණු නමුත් ප්‍රසන්නගේ මැදිහත්වීම මත මිනුවන්ගොඩ නගර සභාවේ බලය පොදුජන පෙරමුණ සතුවිය.

අත්තනගලු මෙහෙයුම

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් ද පසුගිය සතියේ සෑම කෙනකුගේම අවධානය යොමුව තිබුණේ එහි සභාපතිවරයා තෝරා ගැනීමට ද ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබුණු නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකවරිය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කටයුතු කිරීම නිසා මෙම විශේෂ උනන්දුව ඇතිව තිබිණි.

බදාදා උදෑසනම ප්‍රසන්න අත්තනගල්ල බලා ගියේ ප්‍රාදේශීය සභාවේ බලය ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීම පිණිසය. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට නුදුරු විහාරස්ථානයකට ගිය ප්‍රසන්න සභාවේ සියලු මන්ත්‍රිවරුන්ද එහි කැඳවාගෙන බලය ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීය.

මන්ත්‍රිවරුන් ප්‍රසන්නට කීවේ අත්තනගල්ල දිනාගැනීම සඳහා චන්ද්‍රිකා මහත් ආයාසයක් දරමින් සිටින බවය.

ඒ අතරතුර ප්‍රසන්නට මහින්දගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. "කොහොමද ප්‍රසන්න තත්ත්වය?" මහින්ද ඇසුවේය. "හොඳයි සර්. අපිට දිනන්න පුළුවන්" ප්‍රසන්න උත්තර දුන්නේය. "එහෙනම් කමක් නැහැ. මම ඔයාලට සුබපතනවා" කී මහින්ද ප්‍රසන්නගේ දුරකතනයේ ලවුඩ්ස් ස්පීකර් පහසුකම ක්‍රියාත්මක කරන ලෙස දන්වා අත්තනගල්ලට තේරීපත්ව සිටි මන්ත්‍රිවරුන්ට සුබපැතුවේය.

අත්තනගල්ලේ සභාපති උපසභාපති තනතුරු දෙකම පොදුජන පෙරමුණ ජය ගත්තේය.
සල්ලි හොරකම් කළාට ජනමතය හොරකම් කරන්න බෑ.

ඒකාබද්ධ විපක්ෂය අඟහරුවාදා මහින්දගේ නිල නිවෙසේ රැස්විය "එක්සත් ජාතික පක්ෂය වගේම ආණ්ඩුවට සහයෝගය දෙන අනෙක් සියලු දෙනාත් විශ්වාසභංගය නිසා හෙල්ලිලා" ඩලස් පැවසීය.

"ඒ කතාව ඇත්ත. ආණ්ඩුවෙම ඉන්න ගොඩක් අයට රනිල්ව අයින් කරන්න ඕනේකම තියෙනවා කියලා දැන් පැහැදිලි වෙලා ඉවරයි. ඒ අය බලන් ඉඳලා තියෙන්නේ කවුරු හරි අගමැතිව එළවලා දාන්න මූලිකත්වය ගන්නකම්." මහින්දානන්ද කීවේය.

"රනිල්ව රටට වගේම දැන් එයාගෙම පක්ෂයේ අයටත් එපා වෙලා ඉවරයි. කාටත් එපා වෙච්ච කෙනෙක් බලෙන් බලයේ රැඳිලා ඉන්න එකත් ඒකාධිපතිවාදයක් තමයි ප්‍රසන්න කීවේය.

"රනිල් නායකත්වයට පත්වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂය ජනතාවට එපා වෙලාම ගියා. 2001 දී වගේම 2015 හදපු ආණ්ඩුවත් වැඩ කළේ රට, ජාතිය ගැන හිතන්නේ නැතුවයි" පවිත්‍රා පැවසුවාය.

"හැබැයි අපිට ලැබිලා තියෙන ආරංචිවලට අනුව තවම රනිල් සටන අතහැරලා නැහැ. කොහොම හරි අගමැතිකමේ එල්ලිලා ඉන්න පුළුවන් තරම් උත්සාහ කරයි. ඒක තමයි රනිල්ගේ හැටි" ඩලස් කීවේය.

"ඔව් ඔව් අපිටත් ආරංචි වුණා දැන් මන්ත්‍රිවරුන් බිලී බා ගන්න සල්ලි මලු පිටින් විසිකරනවයි කියලා. මන්ත්‍රිවරුන්ගෙ වටිනාකම දැන් එන්න එන්නම වැඩි වෙනවා. මේ විදියට අල්ලස් දෙන්න වියදම් කරන්නේ බැඳුම්කරෙන් ගහපු සල්ලි ද කියන එක ගැන විමර්ශනයක් කරන්න ඕනේ" ප්‍රසන්න පැවසීය.

"එදා බැඳුම්කර හොරු ආරක්ෂා කරන්න එකතු වෙච්ච කට්ටියම තමයි දැන් රනිල්ව ආරක්ෂා කරන්නත් එකතු වෙලා තියෙන්නේ. මේ සේරම එක වල්ලේ පොල්" රෝහිත කීවේය.

"බැඳුම්කර වංචාවෙන් හොයපු මුදල් තමයි එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයට වගේම පළාත් පාලන මැතිවරණයටත් වියදම් කළේ. සල්ලි හොරකම් කළාට ඒ සල්ලි වියදම් කරලා ජනමතය හොරකම් කරන්න බැහැ කියන එක නම් කට්ටියට පසුගිය මැතිවරණයේදී හොඳටම තේරුම් යන්න ඇති" ප්‍රසන්න පැවැසීය.

විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නොත් දේශපාලන අනාගතයක් නෑ
"අද ජනතාව ඉන්නේ කොතැනද කියලා තේරුම් යන කිසිම කෙනෙක්ට විශ්වාසභංගයට විරුද්ධ වෙන්න බැහැ. මේ අණ්ඩුව ගෙදර යා යුතුයි කියලා අපි දරන මතයේ තමයි මේ රටේ බහුතර ජනතාව දැන් ඉන්නේ. ඒක පසුගිය මැතිවරණයේදී හොඳටම පැහැදිලි වුණා. ඒ හින්ද බහුතර මතයට පිටුපාලා විශ්වාසභංගය පරද්දන්න ඡන්දය දෙන කිසිම කෙනකුට දේශපාලන වශයෙන් අනාගතයක් ඉතුරු වෙන්නේ නැහැ. මහින්ද කළ විග්‍රහය සියලුදෙනා අනුමත කළහ.

රනිල් ගෙදර යවන වුවමනාවක් මහින්දට නෑ. විශ්වාසභංගය ගේමක්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සතියේදී රැස්විය. ජවිපෙ නායක සහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේද නායකයා වන අනුර දිසානායක මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

"දැන් රටේ වෙන කිසි දෙයක් ගැන නෙවෙයි කතා වෙන්නේ විශ්වාසභංගය ගැන. හැමදෙනාගෙම අවධානය මේකට හැරිලා. නමුත් ඒකෙන් ජනතාවට වන සෙතක් නම් නැහැ. මේක මහින්දලා මෛත්‍රිලා එකතු වෙලා ගහපු ගේම් එකන් විදියට තමයි පේන්න තියෙන්නේ" විජිත හේරත් කීවේය. "ඒකාබද්ධ විපක්ෂයෙන් මේක ගේනවා කිව්වට ඇත්තම වුවමනාව තිබුණේ වෙන කණ්ඩායමකටයි. මේ අස්සන් ඇතුළේ පේන්න නොතිබුණාට මෛත්‍රිපාල ජනාධිපතිගෙත් අස්සන තියෙනවා. මැතිවරණය කාලෙත් ජනාධිපතිතුමා එජාපයට ගැහැව්වා. රාජපක්ෂ කණ්ඩායම එක්ක ආණ්ඩුවක් හදන්න වුවමනාව දිගටම තිබුණේ එතුමට. ඒකයි පසුගිය කාලේ හොරු ආරක්ෂා කළේ". බිමල් රත්නායක කීවේය.

"ඒ කොහොම වුණත් අපේ තීරණය ගැන තමයි ගොඩක් අය අවධානයෙන් ඉන්නේ. මේකට අපි සහාය දෙන්න ඕනෑ. මේකේ කරුණු 14ක් වුණාට ඇත්තටම තියෙන්නේ කරුණු දෙකයි. බැඳුම්කර ගනුදෙනුවයි, මහනුවර දිගන ජාතිවාදී ප්‍රශ්නයයි. නමුත් මේකට ඇතුළු වෙන්න ඕනෑ කරුණු ගණනාවක් තියෙනවා. මේ රටේ ආර්ථිකය තිබුණ තැනින් තවත් කඩා වැට්ටුවා. සම්පූර්ණයෙන් අලුත් හොරු පරණ හොරු දෙගොල්ලම ආරක්‍ෂා කළා. රටේ ආර්ථික සම්පත් විකුණලා දානවා. මේවත් ඇතුළත් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ විවාදය දවසේ මේ දේවල් ජනතාවට දැනගන්න අපි කියන්න ඕනෑ". අනුර දිසානායක කීවේය.

අවුරුද්දෙන් පස්සට දාගන්න දිනේෂ් උත්සාහ කළා

"මහින්ද රාජපක්ෂ විශ්වාසභංගයට අස්සන් කළේ නැහැ. හැමදාමත් රනිල් ආරක්ෂා කරන ස්ථාවරයක තමයි මහින්ද ඉන්නේ. අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. රනිල් ගෙදර යවන්න ඇත්ත වුවමනාවක් මහින්දට නැහැ. විශ්වාසභංගය අස්සන් කරලා භාරදුන්නට විවාදයට ගන්න ඒකාබද්දෙ කණ්ඩායමට ඇත්ත වුවමනාවක් තිබුණෙත් නැහැ. අවුරුද්දෙන් පස්සට ගන්න පුළුවන් වෙයි කියලා තමයි දිනේෂ්ලා හිතුවේ. කොහොම වුණත් අපිට මේ කණ්ඩායම් දෙකේම පැටිකිරිය රටට කියන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා". බිමල් රත්නායක කීවේය.

"මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට පවරන්න හදනවා. මේකත් මේ දේශපාලන ගේම් එකේම කොටසක්. මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ගලවලා රනිල්ට භාරදුන්නෙත් ජනාධිපතිවරයයි. බැඳුම්කර ගනුදෙනුව සිදු වුණාට පස්සේ කඩිනමින් කරන්න තිබුණේ මහ බැංකුව රනිල්ගෙන් ඉවත් කරන එක. නමුත් ඒක කළේ නැහැඅවුරුදු 03ක් යනකල්. දැන් මේ විශ්වාසභංගය නිසා ඒක පවරගන්නවා. මේවා තමයි දේශපාලන විහිළු". විජිත හේරත් කීවේය.

20 කෙටුම්පත ගැන ජවිපෙ සංවාදයක්..
ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වැනි සංශෝධනය මේ වනවිට කෙටුම්පත් කරමින් තිබේ. ජවිපෙ නායකයන්ගේ මැදිහත්වීමෙන් නීතිඥ කණ්ඩායමක් වෙත මෙම කෙටුම්පත සකස් කිරීමට භාරදී තිබේ. මේ සම්බන්ධයෙන් මේ දිනවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥයන් ඇතුළු විද්වතුන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කොට ඇත. ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට පැවැරීම සම්බන්ධයෙන් පළාත් සභාවල ආණ්ඩුකාරවරයාගේ බලතල සම්බන්ධයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් අනතුරුව ඇතිවන අන්තර් කාලය සම්බන්ධයෙන් ආදී විවිධ කරුණු පිළිබඳ සංවාදයක් සිදුවෙමින් තිබේ. කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හමුවී සාකච්ඡා කිරීමට ජවිපෙ සූදානමින් සිටියි.

තාත්තා ගම හදපු තැන පුතත් ගමක් හදලා

නිවාස ඇමැති සජිත් ගිය සතියේ අම්පාර තිරුක්කෝවිල්වලට ගියේ "සංගමන්ග්‍රාමම්' නමැති 50 වැනි උදාගම විවෘත කිරීමටය. උත්සව කටයුතු අවසන් වීමෙන් පසු සජිත් ආසන්නයේ වූ පත්තිනි කෝවිලට ගොස් ආශීර්වාද පූජාවකටද සහභාගි විය. එම කෝවිල ආර්ථික අතින් ශක්තිමත් එකක් නොවූ අතර පසුපස කොටස ගරා වැටී තිබිණි. කෝවිල ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස නිවාස අධිකාරියට සජිත් උපදෙස් දුන්නේය. ඉනික්බිතිව එහි සිටි පිරිස අපූරු යමක් පෙන්වන්නට ඇමැතිවරයා කැටුව ගියේය. එය පැරැණි සමරු ඵලකයකි. එහි සඳහන් වූයේ 1981 දී අගමැති රණසිංහ ප්‍රේමදාස විසින් මෙහි'සංගමන්ග්‍රාම' නමින් නිවාස 30ක ගම්මානයක් ඉදිකළ බවය.

රට වැනසූ අගමැති යන්න

අගමැති රනිල්ගේ ලේකම් ධුරයෙන් ඉවත්වෙමින් සුදත් චන්ද්‍රසේකර යැවූ ලියුම ගැන දේශපාලන අංශවල ආන්දෝලනයක් ඇතිවී තිබිණි. වසර පහකට පෙර දෙවුන්දර සිට කොළඹට පැමිණි පා ගමනකට පහරදී රනිල් ගලවා ගත් බවත් සුදත් එහි දක්වා තිබිණි. මේ ගැන එජනිපෙ මෛත්‍රි ගුණරත්න බෙහෙවින් උනන්දු විය. ඊට හේතුව වූයේ තම මතවාදය නිසා පහරකෑමට ලක්ව දැනටමත් අධිකරණ කටයුතු හේතුවෙන් හිරිහැරයකට පත්ව සිටින පිරිස මෛත්‍රි ගුණරත්නගේ ආධාරකරුවන් වීමය. එම නඩුව සමතයකට ගෙන එනු පිණිස මෛත්‍රි සුදත් සමඟ කළ දුරකතන කතා බහ සතුටු දායකව අවසන්ව තිබිණි. මේ අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණ මාර්තු 31 නුවර සිට කොළඹට "රට වැනසූ අගමැති යන්න" තේමාවෙන් පා ගමනක් සංවිධානය කරමින් සිටී.

කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායකකම කාටද?

කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායකකම සඳහා සුදුස්සකු නම් කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරු 23 දෙනකුගේ සහභාගිත්වයෙන් පසුගියදා නෙලුම් පෙදෙස කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ ගේ නම යෝජනා වුවත් ඊට විරුද්ධව අදහස් ඉදිරිපත් වීම නිසා අවසන් තීරණයකින් තොරව සාකච්ඡා අවසන් වී තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශ්නය භාරදීම අවසන් විසඳුම බව තීරණය විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon