ආප්පද කළු කෝපිද

  👤  4159 readers have read this article !
2018-03-23

මහනුවරින් හටගත් ගින්න නිවෙන්නටත් පෙර මෛත්‍රි ඉන්දියාවටත් ඉන් අනතුරුව ජපානයටත් ගොහින් ලංකාවට පය තබාපු හැටියේම වාගේ ආයෙත් පාකිස්තානයට යන්න ගත්තේ "ලංකාවේ ඉන්නකොට ඔළුව කැක්කුම වැඩි නිසා වෙන්න ඇති" කියා මේ මොනවාවත් දන්නේ නැති මහජනයා කතා වන්නේය.

රටේ නොඉඳ, රට රටවල යන රාජ්‍ය නායකයාට රට කරවන්නට වෙලාවක් තියේද කියලත් කවරකුට හෝ කියන්නට පුළුවන. ඒ කෙසේ වෙතත් යූඑන්පීයේ ප්‍රබලයෙක් පැවසුවේ..

"ජනාධිපතිතුමා රට යන්නෙ රාජ්‍ය තාන්ත්‍රික වැඩවලට කියලා කිව්වත් මේ යන ගමනත්, ඒ අතරෙ රට ඇතුළෙ වෙන දේවලුත් දැක්කම ඕනෑම මෝඩයකුට තේරෙනවා මොනවා හෝ වෙනවා.. එහෙමත් නැත්නම් වෙන්නට ඇරලා යනවා කියලා. හැබැයි ඒ ඔක්කොම හෙළිවෙන එක වළක්වන්න බෑ. නූල් සූත්තර, ගේම්, ප්‍රයෝග කාට කාටත් දාන්න පුළුවන්. ඒත් මේ හැම දේකින්ම රටේ පොදු ජනතාවට වැඩ කරන්න තියෙන කාලය නැති වෙනවා. රනිල්ට විශ්වාසභංගයක් ගේන්න ඉඩ ඇරලා කවුරු කවුරුත් මොනවාවත් වුණේ නැති ගානට, වෙන්නෙ නැති ගානට ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට වෙස් බැඳගෙන නැටුවට කාට කාටත් එළියෙ නටන්න වෙනවා. එතකොට බලමු කවුද නැටවෙන්නෙ" කියලාය.

එහෙත් මෛත්‍රි පිලේ අය තැන තැන කියාගෙන යන්නේ වෙන වෙන කතාය. කවුරු කොහොම කීවත් වෙන්නේ අහවල් එකය කියලාය. මේ එහෙම එකක් ගැනය.
"අගමැතිතුමාට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න මුල් වුණෙත්, පළමුවැනි වෙඩි මුරය තිබ්බෙත් යූඑන්පීයේම කලකිරුණු අය. ඒ අය පටන් ගත්ත වැඩේ අපේ අයත් අතට ගත්තා. අර්බුදවලට මුල් වූයේ අගමැති නම් එයා නම්බු පිටින් ඉල්ලා අස් වෙන්න ඕනනේ. ඉතිං රට යන අතට යන්න දෙනවා ඇරෙන්න ඒක වළක්වන්න බැහැ. අගමැතිතුමාට තමන්ගේ පක්ෂය ඇතුළෙ තියෙන පිපිරිල්ල නවත්තගන්න බැරි නම් රටේම පිපිරිල්ල නවත් වන්නෙ කොහොමද? මේකට මෛත්‍රි ජනාධිපතිතුමාට ඇඟිල්ල දික්කරලා බෑ. හැබැයි එතුමා අගමැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වෙ කලින්මයි"

මේ වන විට රනිල්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ හැබෑ නාටකයේ, සැබෑ තිරපිටපතට අනුව නම් සිද්ධ වෙන්නට තියෙන දෑ තව ඉදිරියටය. ඒ හැම සිද්ධ වෙන්නේ කොහොමදැයි කියන්නට ද හැකිවනු ඇත. ඒ අනුව අසවල් ගණනක් දැන් අස්සන් කර හමාරය. ඔන්න දැන් මෙච්චරය, අච්චරය කියා හැඟවෙන වාර්තා එළියට එනු ඇත. විශ්වාසභංගය ගැන නොයෙකුත් අපූරු කතා එළියට එනු ඇත. කතානායකටත් එය භාර දෙන්නටද පුළුවන. එහෙත් පාර්ලිමේන්තුවේදී එය සම්මතව රනිල් පරාජයට පත් වූවත් නැතත් මෛත්‍රි පරදින තරමට, හිරවන තැනට කරුණු කාරණාද පෙළ ගැසෙමින් තිබෙන්නේය.

ඒ ඔක්කෝටම ඉස්සර තිර නාටකයේ හැටියට මෛත්‍රි ලංකාවට ගොඩබැහැපු වෙලාවක යළිත් සැලසුම් කරගත් පරිදි ඔහුගේ මැති ඇමැතිවරුද උපදේශකයෝද අගමැති කෙරෙහි විශ්වාසයක් නැතිය, ඒ නිසා පාර්ලිමේන්තුවේ ඔහු හා වැඩ කරන්නට බැරි තැනකය යන්නට ලිඛිත හේතු දැක්වීම් සිදු කෙරෙන්නටද පුළුවන. එහි ඊළඟ පියවර විශ්වාසභංගයෙන් අගමැති පරදින්නට පුළුවන්ය කියා එජාපය ඇතුළේ හැංගී තිබෙන කැරැල්ල එළිපිට දක්වන්නට උසිගැන්වීම් සිදුකිරීමය.

යම් හෙයකින් අගමැති රනිල් විශ්වාසභංගයෙන් පරාජයට පත්වී ඔහුට ගෙදර යන්නට සිදු වුවහොත් එජාපයේ බළමුළු දුර්වල කර, එයින් කඩා එළියට ගත හැකි පිරිසක් හා ශ්‍රී ලනිපයේ පිරිස සමඟ අලුත් අගමැති කෙනකු යටතේ දුර්වල සුළුතර ආණ්ඩුවක් පිහිටු විය හැකිය. එහෙත් එය එසේ වේදැයි කියන්නට අපහසු වන තරමටම කරුණු කාරණා ඇත. යටි බිම්ගත සැලසුම් ඇත.

"මේ විශ්වාසභංගයෙන් අගමැතිව ගෙදර යවලා ශ්‍රී ලනිප අගමැති කෙනෙක් යටතේ කොහොම හරි ආණ්ඩුවක් පිහිටුවනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙයි. මහින්දගේ පිලෙන් ඇවිත් මේ ආණ්ඩු කෙරිල්ලට එකතු වෙලා ඉතිරි වෙච්ච ටික කාලෙදි නාගන්න වැඩක් කරාවි කියලා හිතන්න අමාරුයි. මහින්ද වුණත් ඒකට කැමැති වෙන එකක් නෑ. එයාටත් ඕන කොහොම රහස් කතා කියලා මෛත්‍රි ළංවෙලා බලන්න හැදුවත් තනි බලයක් තියෙන මහින්දගේම ආණ්ඩුවක්. මේ වැඩෙන් මහින්දලා නාගන්න යන්න කැමැති නෑ. බැරිවෙලාවත් විශ්වාසභංගය පරාජය වුණොත් ඒකේ අපවාදය, ලැජ්ජාව මහින්ද භාරගන්න ලෑස්ති නෑ. මහින්ද අස්සන් කරාවිද කියලත් සැකයි. ඒ නිසා වැඩේ ඔය කියන තරම් ලේසි නෑ"

එසේ පැවැසුවේ එජාපයේ පැරණි ප්‍රබල ජේ‍යෂ්ඨයෙකි. එසේ නම් මෛත්‍රි පිලේ එස්.බී.ලා, සුසිල්ලා, තිලංගලාගේ වෙහෙස මහන්සියට මිලක් ලැබෙයිද යන්න විමසිය යුතුය. ඔවුන් පුළුල් කාර්යභාරයක් ඉටුකරනවා වන්න පුළුවන් වුවද මෛත්‍රිගේ අනුදැනුම ඇතිව ශ්‍රී ලනිපයේ ක්‍රියාකාරිත්වයෙන් කරන හැම දෙයක්ම ඒවායෙහි සියලු වගකීම ගන්නට වන්නේද ඔවුන්ටමය. ශ්‍රී ලනිපය මුල් වී ගෙන එන්නක් බව සමාජයට දැනෙන්නට සලස්වන එකී විශ්වාසභංගය පාර්ලිමේන්තුව තුළදී නිසැකවම ජයගන්නට තව බොහෝ කඩුලු පැන යන්නට සිදුවනු ඇත. එසේ නම් බහුතරය නම් "අපි දිනනවා" ය කීවත් ඡන්දය ප්‍රකාශ කරන්නට යද්දී අස්සන් කළ අයගෙන් කී දෙනකු හැලේවිද කී දෙනකු ඡන්දය ප්‍රකාශ කරාවිද යන්න අවිනිශ්චිතය.

"මෛත්‍රි මහත්තයත් මහින්ද මහත්තයත් හමුවෙලා කතා කරපුවා ගානට වැඩ කරාවි. රනිල්ට හොම්බෙන් යන්න වේවි. බලන්නකො ඉස්සරහට වෙන දේවල්. හිතාගන්නවත් බැරි වැඩ වේවි" ය කියා විශ්වාසයෙන් කටයුතු කරන, කතා කරන ශ්‍රී ලනිප පොඩ්ඩෝද කිහිපදෙනෙකි.

"මහින්ද මහත්තයත් එක්ක එකට ඉඳගෙන හිනා වෙවී ආප්ප කාලා පස්ස හරවලා මෛත්‍රි කරපු හරිය. දීපු දුක දන්න කෙනෙක් එයාගෙ ලණු කන්න ආයෙත් යන්නෙ නෑ. එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පල්ලෙහාට දාලා පක්ෂය පාවා දුන්නු මෛත්‍රිටයි ඉස්සෙල්ලාම දෝෂාභියෝගයක් ගේන්න ඕනෙ. කොහොමද එහෙම වුණානම්! ඒකට අත උස්සන්න කොයි තරම් දෙනෙක් ඉඳීවිද? ලේසි වෙන්නෙ නෑ. එහෙම වුණොත්" එහෙව් කතා කියමින් තත්ත්වය පෙළ ගැහෙන ආකාරය පිළිබඳ ඉව අල්ලමින් කතා කරන යූඑන්පීයේ මන්ත්‍රිවරුද සිටිති.

තත්ත්වය පෙළ ගැසෙන ආකාරය ගැන ඉව අල්ලමින් ශ්‍රී ලනිපයේ මෛත්‍රි පිලේ අයද වැඩේ අතඅරින්නේ නැති පාටය. එහෙත් මධ්‍යස්ථව සිතන පතන කිහිපදෙනකු ද නැතුවාම නොවේ. මේ එවන් කතාවක්ය.
"මෛත්‍රි ජනාධිපතිතුමාට ඇති වෙන්න ලණු දෙන කට්ටියක් ඉන්නවනෙ. ඒ අය ගානට වැඩේ කරගෙන යනවා. ඊටත් හපන් අපූරු උපදේශකයෝ, අපූරු ඩිරෙක්ටර්ලා. මේ ඊයේ පෙරේදා සෙට් වුණු හාදයෝ ටිකත් මරේ මරු. දැන් ඒ අය තමයි රට කරවන හැටි කියන්නෙ. තනිකරම ජනපදනමක් නැති, ශ්‍රී ලංකා එකේ අරටුව දන්නෙ නැති පුස්සො ළං කරගෙන මේ මනුස්සයා මොනවා කරන්න යනවද මන්දා"

එය මෛත්‍රි ළඟ සිටියත් යම් කලකිරීමක් සහිත මන්ත්‍රි උතුමන්ලාගේ හද ගැස්මය. මෙම තීරයෙන් මීට පෙරද දක්වා ඇති පරිදි මෛත්‍රිට යා යුතු නිවැරැදි මාවත පෙන්වා දෙන්නට මුල් කාලයේ බොහෝ අය සිටියා වුවද කෙමෙන් ඒ අය දුරස්ව ඒ ඒ තැන්වලට කඩාපාත් වූයේම, ඔහු හා හිතවන්තභාවයක් දක්වමින්, උපදේශකයන්ව, ඔහු රකින්නට යැයි කියමින් පැමිණි අයවලුන්ය. එබැවින් මෙම ක්‍රමය යටතේ, පැමිණි අර්බුද හමුවේ ඔවුන් ලබා දුන් උපදෙස්වල තරම මෛත්‍රිගේ ඇස් පනාපිට ඔප්පු වෙමින් ඇත. එහෙත් එය වටහා ගත්තාදැයි පෙනෙන බවක් නම් නැත.

කෙසේ වෙතත් රනිල්ට එරෙහිව ගෙන එන විශ්වාසභංගය ඉතාමත් තීරණාත්මක දේශපාලන කරුණු කාරණා රැසක් මතු කරවන්නට සමත් වන ඉඟි පළවෙමින් පවතින මොහොතකි. එහි කූටප්‍රාප්ති අවස්ථාද නැතුවා නොවේ.

ටී.බී. ඒකනායක ඇමැතිවරයා මෛත්‍රි ළඟ උන්නත් මහින්දගේ ආශීර්වාදය පතන කෙනෙකි. ඔහු ප්‍රසිද්ධියේ රනිල්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් තැබූ බව කීමත්, සුසන්ත පුංචිනිලමේ ප්‍රසිද්ධියේ එසේ කීමත් මෙම නාටකයේ වැදගත් සලකුණුය. මෛත්‍රි ළඟ සිටින ප්‍රබල ඇමැතිවරයකුත් මහින්ද ළඟ සිටින අයගෙත් අස්සන් තැබීම හරහා උනන්දු කරවන්නේ ශ්‍රී ලනිපයේ මූලිකත්වයෙන්, මහින්ද පිලේ ආශීර්වාදයෙන් මේ විශ්වාසභංග නාටකය බලගැන්වීමකටය. ඒ අතර එජාපයෙන් ඩැහැ ගත හැකි දුර්වලයන් ද සහිතව අවැසි අස්සන් ප්‍රමාණය පූර්ණ කළේ යැයි දක්වන වහසි බස් නාටකයන්ද බලවත්ය.

රනිල්ට එරෙහිව එවැනි බලවේග දෙකක් මෛත්‍රි හා මහින්ද පිලේ උත්තේජකයන් මැද පිබිදෙද්දී රනිල් ඔහේ බකං නිලාගෙන ඉන්න බවක්ද පෙන්වයි. රනිල් ඔහේ බලා ඉන්නවාය කියා පෙනෙන්නට තිබුණත් ඔහු යම් විශ්වාසයකින් හෝ එකඟතාවකින් නිශ්චිතව සිටින බවක්ද කියැවෙයි.
"නායකතුමාට පක්ෂය ඇතුළේ කැරැල්ලත්, මෛත්‍රිගේ රහසිගත කැරැල්ලත් යන දෙකටම හොඳින් මුහුණ දෙන්න වෙනවා. මෛත්‍රි බබා වගේ ඉඳලා ගේම දෙනවා. තමන්ව බලයට ගෙන ආපු නායකයාටම ගහපු මෛත්‍රි රනිල්ට නොගහා ඉඳීවිද? ඒ නිසා නායකතුමා යූ.එන්.පීියේ වැටීමත්, නැඟිටීමත් මේ තීරණාත්මක මොහොතේදී හරියට කළමනාකරණය කරගන්න ඕනෑ. නැත්නම් ඉවරයි" එසේ කියන්නේ එජාපයේ පැවැත්ම උදෙසා කැපවූ පළපුරුදු ජේ‍යෂ්ඨයෙකි. ප්‍රවීණයෙකි.

කෙසේ වෙතත් යම්කිසි හෙයකින් රනිල් පරාජයට පත්වී විශ්වාසභංගය ගෙන ආ අය ජය ගතහොත් එජාපය තුළ කැලඹීමක් ඇති කරවන්නේය. එය ජනාධිපතිවරණය අභිමුව රනිල් නැති එජාපයක් හරහා සටනට මුහුණ දෙන්නට එජාපයට ඉඩ හසර ලබා දෙන්නක් වනු ඇත. ඒ ඇරුණුකොට රනිල් මේ විශ්වාසභංගය ජයගතහොත් එහි වාසිය එජාපයට ලැබෙනු ඇත. නව ජවයකින් ඉදිරි පියවරට මුහුණ දෙන්නට හැකිවනු ඇත.
රනිල් පරාජය වීම යනු තවත් අතකින් එජාපයට අලුත් නායකයකු යටතේ සටන් මඟට පිවිසෙන්නට ලැබීමකි. එජාපය වටා ඇති සුළු ජාතික ඡන්ද හා සුළු ජාතිකයන් බලවත් පක්ෂ හා කණ්ඩායම් තීරණාත්මක ලෙස එක්ව ජනාධිපතිවරණයේදී බලගැන්වෙනු ඇත.

රනිල් පරාජය වීමකින් බැලුවොත් සුළුතර ආණ්ඩුවක් යටතේ මෛත්‍රිට ඉතිරි කාලය ගෙවා දමන්නට සිදුවීමකි. ඔහු තව තවත් දේශපාලන හා ආර්ථික අර්බුදවලට මුහුණදී හෙම්බත් වනු ඇත. එයට එකතු වී අත පුච්චා ගන්නට මහින්ද කැමැති වන්නේ නැත. මහින්ද දුර සිටන් ආලය කරනවා වැනි වැඩක් පෙනෙන්නට කළත්, යම් යම් තීන්දුවලදී සහාය වුවත්, පැත්තකට වී සිටිනු ඇත. එහිදී අප්‍රසාදයට පත්වන සුළුතර ආණ්ඩුව තව තවත් ජනතාවගෙන් අෑත්වනු ඇත. එය මහින්දට වාසියකි.
මේ අතර රනිල් විශ්වාසභංගයට පෙර ඉතා ඉක්මනින් තමන් තවදුරටත් ඉදිරි කාලය තුළ අගමැති හැටියටත් එජාප නායකයා හැටියටත් සිටින අතර මීළඟට තමන්ගෙන් පසු එජාප නායකත්වයට එජාපයම ඉල්ලන තරුණ නායකත්වය නම් කර දැක්වුවහොත් එය එජාපය පුබුදු වන දෙයක් වනු ඇත.

ඒ අනුව නවීන්ට නියෝජ්‍ය නායකත්වය ලැබෙන, හරින්, එරාන්, හර්ෂ, අකිල, සුජීව වැනි තරුණ නායකයන් ඇතුළත් සංවිධායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතුය. එහිදී වසන්ත සේනානායකලා මෙන්ම රුවන් විජේවර්ධනලාද එහි සිටිනු දැකීම එජාපයේ බහුතර ජනතාවකගේ මතය වී ඇත. සේනානායක පරපුර, විජයවර්ධන පරපුර මෙන්ම සජිත්ලාගේ ජන පදනමද ශක්තිමත්ව නැඟෙනු ඇත.

පෙළ ගැසෙන ආර්ථික අර්බුද හමුවේ ඊට මුහුණ දිය හැකි ආකර්ෂණීය ජනතා සහන සැලසෙන වැඩසටහනක් සහිතව මොවුන් නැඟී සිටිය යුතුය. වැඩ කරන්නට හැකි ජවසම්පන්න මිනිසුන් නැතිව පැලැස්තර දැමීමට ගියහොත් රනිල් ඇද වැටුණු පසු එජාපයද ඇද වැටෙන තැනකය. රනිල්ට මෙවර ඒ දේ නොකර සිටිය නොහැකි තැනකය. විශ්වාසභංගයෙන් බේරුණත් ඔහුට පක්ෂයෙන් බේරෙන්නට බැරිය. එය බිම් මට්ටමේ ජනතාවගේද හද ගැස්මය. කෙසේ වුවත් මෛත්‍රි පිලෙත් රනිල් පිලෙත් තීරණාත්මක බල පෙරැළිය තියුණුය. එය ආප්ප කා පෙරළනවාද කළු කෝපි බී පෙරළනවාදැයි කියන්නට කල් වැඩිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්