ලෝකය අල්ලෙන් වැසිය හැකිද?

  👤  3478 readers have read this article !
2018-03-23

මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, තෙල්දෙණිය හා අකුරණ ආදී ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී කැලඹිලි මැඬ පැවැත්වීම පිණිස ආණ්ඩුව ගනු ලැබූ ප්‍රමුඛ ක්‍රියා මාර්ගය වූයේ ෆේස්බුක්, වයිබර් හා වට්ස්ඇප් සන්නිවේදන මාර්ග අවහිර කිරීමය. ඊට අමතරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම හා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමද සිදුවිය.
කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුවට එම ක්‍රියා මාර්ග හකුළා ගැනීමට සිදුවිය. දැන් සියල්ල අවසන්ය. ඉතිරිව තිබෙන්නේ කඩා බිඳ දැමූ ගේ-‍ෙදාර නැවත ඉදිකිරීම හා වන්දි ගෙවීම් පමණි.

ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ වගකිවයුතු අංශ දක්වන අදහස් අනුව ජාතිවාදී ගැටුම් මැ¾ඩීමට ෆේස්බුක් තහනම සාර්ථක ක්‍රියා මාර්ගයක් ලෙස ආණ්ඩුව සලකන බව පෙනේ. ඒ අනුව අනාගතයේ ඇති විය හැකි මෙවැනි උපද්‍රවයන්හිදී කෝකටත් තෛලය ලෙස ෆේස්බුක් තහනම යොදා ගන්නට ආණ්ඩුව තීරණය කර සිටිනවා විය යුතුය
ආණ්ඩුව ඇල්ලුවේ ප්‍රශ්නයේ නිවැරැදි තැනින්ද යන්න නැවත සලකා බලන්නට පවත්නා නිහඬ කාල පරිච්ඡේදය යොදා ගතයුතුය යන්න අපේ හැඟීමයි. නවීන සන්නිවේදන මාර්ග ජනතාව අතට පත්කිරීම ගැන ආණ්ඩුව ඕනෑවටත් වඩා කතා කර තිබේ. වයිෆයි කලාප, පාසල් සිසුන් සඳහා ලැප්ටොප් ආදී සිත් ගන්නා සටන් පාඨ ආණ්ඩුව ඉදිරිපත් කළ බව සියල්ලෝම දනිති. දුරකතන ඇමැතුමක් ගැනීමේදී සැකෙන් බියෙන් පසු වූ රටක සකලවිධ වාරණයන් දූරීභූත කළ ආණ්ඩුවක් ලෙස යහපාලන ආණ්ඩුව ඉදිරියට පැමිණි බව අපි දනිමු. ආණ්ඩුව නවීන තාක්ෂණය වෙනුවෙන් කොපමණ පෙනී සිටියාද යන්න නිදහස් උළෙල සඳහා ලැප්ටොප් නැටුමක්ද සංවිධානය කිරීමෙන් පැහැදිලි වේ.
එහෙත් හිටි අඩියේ 360—කින් ආපස්සට හැරීමට ආණ්ඩුවට සිදුව තිබේ.

ෆේස්බුක් අවහිර කිරීමෙන් ජාතිවාදී කැලඹීම් අවසන් කළ හැකි යැයි නිගමනය කළහොත් එය මහා මුළාවකි. අන්තර්ජාලයට බැරියර් දැමිය නොහැකිය. මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් හඳුන්වා දුන්නේ 2004 දීය. අද ලෝකයේ භාෂා 140කට අයත් ජනයා බිලියන ගණනක් ෆේස්බුක් ඇසුරු කරති. 2007දී ලංකාව ෆේස්බුක් හඳුනාගත් අතර ෆේස්බුක් සමාගම්වල දත්ත අනුව මෙරට ලක්ෂ 60ක් ෆේස්බුක් පරිහරණය කරති. තොරතුරු සන්නිවේදනය තුළ වර්තමානයේ වේගවත්ම මාධ්‍යය වන්නේ ෆේස්බුක් බව රහසක් නොවේ.

ප්‍රශ්නය ෆේස්බුක් තුළින් සිදුවන විෂම ක්‍රියාකාරිත්වයන් නියාමනය සඳහා නිසි යාන්ත්‍රණයක් ඇති කිරීමට ආණ්ඩුව අපොහොසත් වීමය. වරද ඇත්තේ එතැනය. ෆේස්බුක්, ට්විටර් වැනි කිසිම මාධ්‍යයක් අහිංසක නැත. ඒවා ජාතිවාදය, ලිංගිකත්වය ආදී ඕනෑම දෙයක් උපයෝගී කරගනිමින් ජනතාව ප්‍රාණ ඇපකරුවන් කොට බිලියන ගණනින් මුදල් උපයයි. ඒ අතරම ව්‍යාපාරික ලෝකය මෙන්ම අධ්‍යාපන ‍ෙක්‍ෂත්‍රයද වර්තමානයේ ෆේස්බුක් මත යැපෙන බව වටහා ගත යුතුය. ෆේස්බුක් තහනම් කළ කෙටි කාලය තුළ විදුලි සන්දේශ නියාමන කොමිසමට, ස්වකීය ව්‍යාපාර කඩා වැටුණු බවට චෝදනා කරමින් ඒවා තිබූ පැමිණිලි ප්‍රමාණය අනුව ඒ සම්බන්ධව අදහසක් ඇති කර ගත හැකිය.

ෆේස්බුක් හා සමාජ මාධ්‍ය පාලනය සඳහා ප්‍රමාණවත් නීති දැනටමත් ලංකාව සම්මත කොට තිබේ. නැත්තේ පරිගණක අපරාධකරුවන් නීතිය හමුවට යා හැකි යාන්ත්‍රණයකි. ආණ්ඩුව කළ යුත්තේ ඒ සඳහා අවශ්‍ය විද්වත් දැනුම යොදා ගනිමින් නියාමන ක්‍රමවේද සැකසීමය. එසේ නොකොට, තම ඍජු වගකීම අමතක කොට, කැලඹිලි හටගත් විට ‍ෙදාරගුළු වසා දමා සියල්ල හරි යැයි සිතා හිත හදා ගන්නට නම් ආණ්ඩුවක් අවශ්‍ය නැත. ආණ්ඩුව ආණ්ඩු කළ යුතුය. නිහඬ මිනිසුන්ගේ නිදහස් සිතිවිලි මල් පුදින්නට ඉඩ හරින අතරම ගිනි අවුළුවන්නන් දඟගෙයි ලෑමටද ආණ්ඩුවට හැකි විය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon