කෙළින්-කටින්-පුටින්

  👤  4364 readers have read this article !
2018-03-22

එංගලන්තයේ විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශයේ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් තකහනියක්ම ලංකාවට දුවගෙන ආවේ යුද්ධයේ උච්චතම අවස්ථාවේදී ය. ඒ වෙලාවේ මහින්ද හිටියේ ඇඹිලිපිටියේ ය. මුලින් ගෝඨාභය මුණගැසුණු ඔවුහු වහාම යුද්ධය නතර කරන ලෙස ඉල්ලීමක් කළහ.

"මේ වෙලාවේ ඒ තීරණය මට ගන්න බෑ. ඒක තීරණය කරන්න පුළුවන් ජනාධිපතිතුමාට විතරයි. එතුමාගෙන් ඉල්ලන්න." ගෝඨා කීවේ ය.
"ඔබතුමා මතක තියා ගන්න. අපි ඔබේ යටත් විජිතයක් නොවෙයි. අවුරුදු 60කට කලින් නම් එහෙම හිටියා. මම ස්වාධීන රටක ජනවරම ලත් ජනාධිපතිවරයා. ත්‍රස්තවාදය ඉවර කරන තුරු මේ සටන නවත්වන්නේ නෑ. මගේ වැඩේ ඉවර කරලයි මම ගෙදර යන්නේ. "
ඇඹිලිපිටියට ගිය මිලිබෑන්ඩ්ටයි-බර්නාඩ්ටයි මහින්ද උත්තර දුන්නේ එහෙම ය.

ප්‍රශ්නයක් ය. අපි ස්වාධීන රටක් ද?
කියන්නට දන්නේ නැත.
1948 අපි නිදහස ලැබුවෙමු. පුරන්අප්පුලා, කැප්පෙටිපොළලා, ගොන්ගාලේගොඩ බණ්ඩලා, මොහොට්ටාලලා, බූටෑවේ රටේ රාලලා, කොහුකුඹුරේ හැටේ රාලලා එතකොට හිටියේ නැත.
ආයෙත් ප්‍රශ්නයක් ය. එතකොට සුද්දෝ එළවගන්න අපි රට භාරදුන්නෙ කළු සුද්දන්ටද?
කියන්නට දන්නේ නැත.
48' නිදහස දිනූ ලංකාව බි්‍රතාන්‍ය කිරීටය හිසෙන් ගලවා බිම තැබුවේ 1972දීය. එතැන් සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විය.
නිදහසින් පසු රට පාලනය කළ නායකයා ඩී.එස්. ය. වැඩි කල් නොගොස් ඩී.එස්. එපා වුණේ ය. සුදු හුනු වසා කළු හුනු තවරාගත් චරිත පහළ විය. චින්තනය දේශීය විය. ආගම බෞද්ධ විය. ජාතිය පිරිසුදු සිංහල විය. ඇඳුම ජාතික විය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක 1956 දී නායකයා විය.
ආයෙත් ප්‍රශ්නයක් ය. එතකොට අපි ටයි කෝට් ගහපු කළු සුද්දා එළවලා රට භාර දුන්නේ ජාතිකවාදියකුට ද? ජාතිවාදියකුට ද? දෙකම නැති අයකුට ද?
කියන්නට දන්නේ නැත.

1959දී බණ්ඩාරනායක ඝාතනය කළේ ය. 1960දී සිරිමාවෝ බණ්ඩාරනායක නායිකාව වුණේ ය. 1964 ආණ්ඩුව විශ්වාසභංගය පරාජය වී මැතිනිය ගෙදර ගියාය. 66'දී නැවතත් ටයිකෝට් ය. ඒ ඩඩ්ලි ය. 1969 වෙද්දී ඩඩ්ලිත් එපා වී තිබිණි. නැවතත් සිරිමාවෝ ය. හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කීවා ය.1970දී ඇය නායිකාව කරගත්තේ ය. හාල් තියා කැඳත් නැති විය. 1976 වෙද්දී සිරිමාවෝ එපාම වෙලාය. සුදු හුනු වසා කළු හුනු තවරාගත් චරිත ය. චින්තනය දේශීය විය. ආගම බෞද්ධ විය. ජාතිය පිරිසුදු සිංහල විය. ඇඳුම ජාතික විය. ධර්මිෂ්ට සමාජයක් ය.

ධාන්‍ය රාත්තල් 8ක් උස්සන් ආ ජේ.ආර්. ජයවර්ධන 1977 දී නායකයා විය. ඇට 8 මොනවාදැයි ඇසුවේ නැත. සෙල්ලම් දදා 77' සිට 88' වෙනකන් සිටියේ ය. දේශපාලනය උඩු යටිකුරු කළ රජ පුටුව හැදුවේ ය. වසර 12ක් නායකයා ය. 1989දී නායකයා ප්‍රේමදාස ය. ජේ.ආර්.ගේ අනුගාමිකයා ය. 1993දී ඝාතනය විය.
1994දී චන්ද්‍රිකාය. සිරිමාවෝගේ දුවය. සාප දුන් රජ පුටුව බිම දාන පොරොන්දුවය. ත්‍රස්තවාදය දුරු කර, සාමය ගෙන එන බලාපොරොත්තුවය. කට ඇරන් බලා සිටියේ ය. චන්ද්‍රිකාත් එපා විය. 2002 දී රනිල් වික්‍රමසිංහ සෙල්ලමක් දමා ආණ්ඩුව පෙරළුවේ ය. අගමැතිකම අරගත්තේ ය. නායකයා වෙන්න සිහින මැව්වේ ය. යුද්ධය නැවැත්වූයේ ය. බටහිරින් සාම දූතයන් ය. සටන් විරාමය. සාම කතා ය. වැඩේ නාගෙන යනකොට 2004දී චන්ද්‍රිකා ආණ්ඩුව විසිරෙව්වා ය. ඒ රනිල්ගේ මාමා හැදූ රජ පුටුවේ අනුහසින් ම ය.

ත්‍රස්තවාදයෙන් බැට කෑ ලාංකිකයන් අලුත් උණුහුමක් හෙව්වේ ය. නම මහින්දය. ගම ගිරුවාපත්තුව ය. දකුණේ ය. පෙරළිකාරයෙක් ය. ජාතිය පිරිසුදු සිංහල විය. ඇඳුම ජාතික විය. නිදහස් රටක් ය. නිවහල් දේශයක් ය. ඒකීය රාජ්‍යයක් ය. 2005දී මහින්ද නායකයා විය. සාම කතා පටන් ගත්තේ ය. හරිගියේ නැත. සටන් විරාම අහවරය. බැරියර්ස්වලට පයින් ගැසුවේ ය. සාම දූතයන් හැරුණේ ය. 2009 දී යුද්ධය අවසන් කළේ ය. 30 වසරක ත්‍රස්තවාදයෙන් රට මුදා ගත්තේ ය. ලංකාව නිදහස් හුස්මක් ගත්තේ ය.

2014 වෙනතුරු සිටියේ ය. ප්‍රතිවාදියෙක් අහලකවත් නැත. විපක්ෂ නායක රනිල් දිගටම නායක සිහිනයේ ය. ඒත්, ආසයි බයයි විය. මහින්දත් එපා විය. ඒකාධිපතියා විය. ගෙදර යැවිය යුතු විය. විකල්පයක් තිබුණේ ද නැත. ධනපති බලවේග, වාමාංශික බලවේග, සිවිල් බලවේග එකට එකතු වුණේ ය. ජාත්‍යන්තරයෙත් උදවු ය. සුදු හුනු වසා කළු හුනු තවරාගත් චරිත ය. චින්තනය ගෝලීය විය. නිර් ආගමික විය. ජාතිය ශ්‍රී ලාං‍ෙකික විය. ඇඳුම ජාතික විය. යහ පාලනයක් ය. අපමණ අගයක් ය. සාප දුන් රජ පුටුව බිම දාන පොරොන්දු ය. පොදු අපේක්ෂකයෙක් ය. සර්ව පාක්ෂිකය. ඒ මෛත්‍රිපාල සිරිසේන ය. 2015දී නායකයා විය.

ආයෙත් ප්‍රශ්නය. එතකොට මිනිස්සු මෛත්‍රිට රට භාරදුන්නේ රනිල් අගමැති කරන්නද? දූෂිතයන් එළවන්නද? ඒකාධිපති බලය නැති කරන්නද? මහින්ද එක්ක තරහටද?
කියන්නට දන්නේ නැත.

වසර 3ක් යන්නටත් කලින් මෛත්‍රිත් එපා වී ඇත. එපා වීමේ වැඩි ගෞරවය අගමැති රනිල්ට ය. රැල්ල නැවතත් මහින්ද පැත්තට හැරී ඇත.
ආයෙත් ප්‍රශ්නය. එතකොට මිනිස්සු ආයෙත් මහින්දට ඡන්දය දෙන්නේ මෛත්‍රි වැඩේ හරියට නොකළ නිසා ද? රනිල්ගේ නම මහ බැංකු හොරකමට ගෑවුණු නිසා ද? බඩු මිල වැඩි වූ නිසා ද? බදු වැඩි වූ නිසා ද? දූෂිතයෝ එළියේ නිසාද? මේත් හොරු නිසා ද?
කියන්නට දන්නේ නැත.

මහින්ද නායකයා වන විට රට යුද්ධයෙන් අරාජික වී තිබුණේ ය. ආර්ථිකය ගරා වැටී තිබුණේ ය. රනිල්ගේ සටන් විරාමය කොටි ත්‍රස්තවාදීත් ශක්තිමත් කර තිබුණේ ය. වසර 3ක් ඇතුළත, වසර 30ක යුද්ධය මහින්ද නිම කළේ ය. අම්මලාගේ-තාත්තලාගේ පපුවලට හුස්ම පිම්බේ ය. වතුර නැවතත් ලේ වුණේ ය. වතුර වුණු ලේ යළිත් ලේ කළ මහින්දට වතුර ඉල්ලූ සටනකදී ලේ හැලුණු නිසාම යළි ගෙදර යන්නට සිදු විය. යුද්ධයෙන් පසු මහින්ද යම්තාක් දුරට රට සංවර්ධනය කළේ ය. දැනෙන සහ පෙනෙන සංවර්ධනයක් කළේ ය. පාරවල් හැදුණේ ය. පාලම් හැදුණේ ය. ඇඟිලි ගැසීම්වලට ඉඩ දුන්නේ නැත. ස්වෛරීත්වයක් ගොඩනඟා ගත්තේ ය. බටහිර රටවල් මෙයට කිපුණේ ය. ඔවුන්ට මහින්ද ඇල්ලුවේම නැත. මහින්ද චීනයට හේත්තු වීමෙන් ඇමෙරිකාවට ජුවල් නැග්ගේ ය. මහින්ද වට්ටන්න දත කෑවේ ය. ජනතාව තීරණයක් ගත්හ. මහින්දට ගෙදර යන්න සිදු විය.

අපේ රට එහෙම ය. අපේ ජනතාව එහෙම ය. ටික දවසකින් එපා වෙන්නේ ය. හොඳට වඩා නරක පේන්නේ ය. නරක පන්නන්න අඳුරේ වුවද හසුවෙන ඕනම ආයුධයක් අතට ගනියි. ඒ නයකු වුවද කම් නැත. තේරෙන්නේ පෙරළා දෂ්ට කළාට පසුවය.

පසුගිය දිනෙක ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පරාජය සහ බංග්ලාදේශ පිලේ අනිසි හැසිරීම් නිසා ඇති වූ සිද්ධි සමාජ ජාලා කැලඹුවේ ය. "බංගලියොන්ට අමතක වුණා ලංකාව කියන්නේ තමන්ට බැරි නම් පොදු අපේක්ෂකයෙක් දාලා හරි ගේම ගහන ජාතියේ පොරක් අගමැති වෙච්ච රටක් කියලා." අවසන් තරගයේදී ඉන්දීය පිලට ජයග්‍රහණ සඳහා උපරිම සහාය දුන් ලාංකිකයන් ගැන ෆේස්බුක්වල සඳහන් වූයේ එසේ ය. කතාවේ ඇත්ත නැත්ත නම් කියන්නට දන්නේ නැත.

පුටින් උඩින්ම දිනන්නේ මේ අල්ලපනල්ලේ ය. දැන් කතාව පුටින් ගැනය. "ලෝකය ඒකාධිපතිවාදී රැල්ලකට හැරිලා. ජාතිකවාදය තමයි දැන් ට්‍රෙන්ඩ් එක." විචාරකයකු කියනු ඇසුණේ ය. සටන්කාමී පුටින් රුසියාවේ නායකයා වන්නේ 2000දී ය. ඒ රටේ ආර්ථිකය, ආරක්ෂාව ආදී අංශ ගණනාවක් දුර්වලව තිබූ අවස්ථාවක ය. පුටින් රුසියාව කෙළින් කටින් සිටුවන්නේ ය. ඇඟිලි ගැසීම්වලට බය වූයේ නැත. බාහිර බලපෑම් තඹයකට මායිම් නොකළේ ය. අන්තවාදී ත්‍රස්තවාදීන්ට බරපතළ ප්‍රහාර එල්ල කළ ඔහු ඔවුන්ගේ ඔළුවට මිටියෙන් තැළුවේ ය. රුසියානු ව්‍යවස්ථාවට අනුව 2008දී ඔහු ජනපති ධුරයෙන් ඉවත් විය. අගමැති විය. 2012 නැවැත විශිෂ්ට ජයග්‍රහණයකින් තුන්වැනි වතාවටත් රුසියාවේ නායකයා විය. වසර 6කට පසු 2018දී පැවැති ජනපතිවරණයෙන් නැවැතත් ඔහු වාර්තාගත ජයග්‍රහණයක් ලබන්නේ 75%කට වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ය.

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට ගැති එරට විරුද්ධ පක්ෂය දිගින් දිගටම පුටින්ට චෝදනා කළේ ය. පුටින් ඒකාධිපතියකු යැයි කීවේ ය. දූෂිතයකු යැයි කීවේ ය. දහස් ගණන් ජනතාව රැස් කර විරෝධතා තැබුවේ ය. ඔහුට එරෙහිව මානව හිමිකම් ගියේ ය. නමුත් ජනතාව තෝරාගත්තේ ඔහු ය. ඒ ඔහු රුසියාව කෙළින් කටින් හිටවපු පුටින් නිසා ය. ඒ රුසියානුවන් ය. වාමාංශිකයන් ය. ලංකාවේ වාමාංශිකයන් වගේ නොවේ ය. පිදුරු ගස්වල එල්ලෙන්නේ නැත.

මහින්ද ලංකාවේ අයගේ හැටි හරියට තේරුම් ගත්තේ නැත. එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නැත. දැන් ලංකාවේ මිනිස්සු ආයෙත් මහින්ද පස්සෙන් යති. මහින්ද නාමයෙන් පළාත් පාලන ඡන්දයේදී පොල් ලෙලිවලටත් කතිර ගැසුවෝ ය. වැඩි කල් නොගොස් ජනතාව මෙසේ ද කියනු ඇත.

"තිස් වසක යුධ බිය දුරු කළේ නුඹ
තුන් වරක් වැඩි නෑ පුතේ"
ලංකාවේ මිනිස්සු වෙනස් ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon