දූෂිතයෝ සහ දූෂකයෝ

  👤  3356 readers have read this article !
2018-03-22

මෛත්‍රි - රනිල් හවුල් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන (සංශෝධන) පනතට එරෙහිව පිරිසක් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම්වලට මැදිහත් වීමට අවසර ඉල්ලා තවත් පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.
පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කර ඇත්තේ අදාළ පනත මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අවදානමක් පවතින බවය. මහාචාර්යවරයා පවසන්නේ දූෂණ - වංචාවලට අදාළ නඩු ඇසීමට නව අධිකරණ අවශ්‍ය නොවන බවත් පවතින නීතිය යටතේම එය කළ හැකි බවත්ය. එහෙත් අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරලගේ මතය අනෙකකි. ඇමැතිවරිය අවධාරණය කර ඇත්තේ වැරැදි පූර්වාදර්ශ ලබාදීමට ආණ්ඩුව සූදානම් නොමැති බවත්, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත සම්මත වූ පසු වංචා - දූෂණවලට චෝදනා ලැබූවන්ට දඬුවම් ලබාදීමේ කටයුතු ඉක්ම වනු ඇති බවත්ය. පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේදී අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රකාශ කර ඇත්තේ 'සුදු කරපටි' අපරාධකරුවන් සිදුකරන මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු විභාග කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කෙරුණු මේ සංශෝධන පනත් කෙටුම්පත මඟින් නඩු පමා කිරීම වැළැක්වීමට උදාවී ඇති ස්වර්ණමය අවස්ථාව පැහැර නොහැරිය යුතු බවය.

වංචනිකයන් දූෂිතයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා මේ ආණ්ඩුවට වසර තුනක් ගතවෙලත් නීති හදා ගැනීමට නොහැකි වී ඇත. ළමා හා කාන්තා අපයෝජනයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ද මෙවැනිම අවාසනාවන්ත තත්ත්වයක් මතුව තිබේ. ඉකුත් ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවද නීති සංශෝධනය කරන බවටත් අලුත් අධිකරණ පිහිටුවන බවටත් පොරොන්දු දුන්නද ඒ කිසිවක් හරිහැටි ඉටු කෙරුණේ නැත.
මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක අවුරුදු එකොළහක හා අවුරුදු දාහතරක දැරියන් දෙදෙනකු අපයෝජනය කළ වරදට එක් පුද්ගලයකුට අවුරුදු 17ක්ද අනෙක් පුද්ගලයාට අවුරුදු 15ක්ද වශයෙන් අධිකරණය දඬුවම් නියම කර ඇත.

අවුරුදු එකොළහක දැරිය අපයෝජනය කළ පුද්ගලයාට සිර දඬුවමට අමතරව රුපියල් විසි දහසක දඩයක් සමඟ වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබිණි. දාහතර හැවිරිදි දැරිය අපයෝජනය කළ පුද්ගලයාටද රුපියල් දස දහසක දඩයක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීම අධිකරණයේ තීරණය වී ඇත.

ලබාදී ඇති තීන්දු ඉතා සාධාරණය. පැහැදිලිය. ප්‍රශ්නය වන්නේ අදාළ නඩු තීන්දු ලබා දීමට වසර අටක් ගත වී තිබීමය. එක් සිද්ධියක් 2010 අගෝස්තු මාසයේද අනෙක 2010 මාර්තු මාසයේද සිදුව ඇත. ඒ අනුව වින්දිත දැරියන්ට සාධාරණය ඉටු වන විට ඔවුන් පිළිවෙළින් වයස අවුරුදු 19ක හා වයස අවුරුදු 22ක නව යෞවනියන්ය.
කාන්තා හා ළමා අපයෝජන සිද්ධින්වලදී වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවුරුදු ගණනක් ගතවීම ඔවුන්ට කරන බරපතළ අසාධාරණයකි. එහෙත් බලධාරීන්ට ඒ පිළිබඳ සංවේදිතාවක් ඇති බවත් නොපෙනේ. සිද්ධියක් වූ විට විවිධ පොරොන්දු දුන්නද උණුසුම පහ වී යෑමත්් සමඟ ඔවුන්ගේ උනන්දුවද පහ වී යයි. 'සේයා' දැරියගේ සිද්ධියේදී විවිධ පිරිස් නීති වෙනස් කළ යුතු යැයි ඝෝෂා කළද කාලයත් සමඟ ඔවුන්ටද ඒ බව අමතක වී ගියේය. ඒ අපේ මිනිසුන්ගේ හැටිය. ඔවුන්ට බොහෝ දේවල් ඉක්මනින් අමතක වෙයි. ළමා අපයෝජන, කාන්තා හිංසන, දූෂණ වංචාවලට වඩා බොහෝ දෙනා 'වඳ පෙති' ගැන කරදර වෙති.

ඊනියා දේශපාලනඥයන් මෙන්ම ඊනියා උගත්තුද සංවේදී වන්නේ ඇත්ත යුත්තට නොව මිථ්‍යාවට හා බොරුවටය. ඇත්තට වඩා ඔවුන් ප්‍රිය කරන්නේ බොරුවටය. එවැන්නන් සිටින රටක අනාගතය දීප්තිමත් නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon