ලුණු - දෙහි

  👤  2906 readers have read this article !
2018-03-21

ජිප්සීස් සංගීත කණ්ඩායම ගැයූ ගීත අතරින් 90 දශකයේ මුල ජනප්‍රිය වූ 'ලුණු - දෙහි' ගීය සිහියට නැඟුණේ වර්තමානයේ මෙරට සිටින දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් ගැන සිතා බලද්දීය. 'අපි දෙන්නා එක්වීලා සහයෝගෙන් වැඩේ දෙන්නේ' යැයි ලුණු - දෙහි ගීතයේ කියන්නා සේ දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් එකතු වී මහජනයාට වින කටින බවක් පෙනෙන්නට ඇත.

මේ රටේ සිටින සියලුම දේශපාලනඥයන් හෝ සියලුම රජයේ නිලධාරීන් 'ලුණු - දෙහි' ගණයට නොවැටෙන නමුත් සැලකිය යුතු පිරිසක් ඒ ගණයට වැටෙන බව කනගාටුවෙන් වුවද කිව යුතුය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අලුත්ම වාර්තාවකට අනුව දේශපාලනඥයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සියයට 70ක් පමණ දෙනා සිය වත්කම් - බැරකම් ප්‍රකාශ භාරදීම පැහැර හරින්නෝ වෙති. 1975 අංක 1 දරන වත්කම් - බැරකම් ප්‍රකාශ කිරීමේ පනත අනුව රජයේ සේවයේ මාණ්ඩලික හා ඊට ඉහළ ශේ‍ර්ණිවල නිලධාරීන්, දේශපාලනඥයන් සිය ආයතන ප්‍රධානීන්ට වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම කළ යුතුය. වත්කම් - බැරකම් ප්‍රකාශ භාරදීම පැහැර හරින දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක නීතියට අනුව අධිකරණයෙන් පැනවෙන්නේ රුපියල් 1,000ක දඩයක් පමණි. මෑතකදී එවැනි දඩ ගැසීම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකුට කර තිබුණු අතර ඔවුන්ට නඩු පැවැරීමට දඩ මුදල් මෙන් කිහිප ගුණයක් ජනතාවගේ මුදල් වැය කිරීමට සිදුවන්නට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් කෙටුම්පත් කිරීමට වෙහෙසෙන ආණ්ඩුව මෙවැනි කාරණා පිළිබඳ එතරම් අවධානය යොමු කරන්නේ නැත. සාමාන්‍ය ජනතාවට බලපාන කාරණාවලදී දඩ මුදල දෙගුණ තෙගුණ කිරීමට පසුබට නොවන ආණ්ඩුව දේශපාලනඥයන්ට හා රජයේ නිලධාරීන්ට බලපාන කාරණාවලදී උදාසීනය.

විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයන් කරන වැරැදිවලට උපරිම දඬුවම් ලබාදෙන අධිකරණය සුපිරි රාජ්‍ය නිලධාරීන් සිදුකරන සුපිරි වැරැදිවලට දඬුවම් ලබාදීමේදී සානුකම්පිත වන බවක් දක්වන බැව් බැලූ බැල්මට පෙනී යයි.

පසුගිය කාලයේ එවැනි රජයේ සුපිරි නිලධාරීන් පිරිසක් ආණ්ඩුවට තර්ජනය කළේ තමන්ට චෝදනා එල්ල කර නීතිය හමුවට පමුණුවාලීමට පියවර නොගන්නා ලෙසය. දේශපාලනඥයන් දුන් නියෝග අනුව රාජකාරිය කළා මිස තමන් වරදක් කර නැතැයි ඔවුන්ගේ නිදහසට හේතු දක්වමින් කියා තිබිණි. එහෙත් ජනතාවගේ දේපොළවල භාරකරුවා රාජ්‍ය නිලධාරීන් මිස දේශපාලනඥයන් නොවන බව ඔවුන්ට අමතකව තිබිණි.

නොඑසේ නම් ඕනෑකමින් අමතක කළේය.

රාජ්‍ය ආයතනවල බරපතළ දූෂණ හා වංචා සෙවීමට පත්කරන ලද කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබුණේ රාජ්‍ය ආයතනවල සහ සංස්ථාවල මුල් පුටුවලට හා වැදගත් තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවය. නුසුදුස්සන් හා දේශපාලන හෙංචයියන් මේ ආයතනවලට පත්කිරීම රාජ්‍ය අංශය කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව නොකිවමනාය. මේ ආණ්ඩුව නොව මීට පෙර තිබූ ආණ්ඩුද දිගටම කළේ මේ දේශපාලන වැරැද්දය. මින් රටේ සංවර්ධනයට බාධා පැමිණෙන අතර ආර්ථිකයට බරපතළ හානි සිදුකරයි.

1970 සමඟි පෙරමුණ ආණ්ඩුව ජනසතු කළ 'වතු' බොහොමයක් භාරදුන්නේ නුසුදුස්සන්ටය. ඉන් සිදු වූයේ ලාභ ලැබූ, සාර්ථකව ක්‍රියාත්මක වූ 'වතු' සුදු අලින් බවට පත්වීමය. මෙවැනි උදාහරණ ඕනෑ තරම් පෙන්වාදිය හැකිය. එහෙත් ඉන් පලක් නැත. පාලකයන් තමන් කළ වැරැදි ගැන මනාව අවබෝධයකින් පසුවන නිසාය. හොරට නිදන එකා අවදිකිරීම අසීරුය. තක්කඩියන්ට ඇත්ත යුත්ත පෙන්වා දුන්නාට පලක් නැත. ඔවුහු කිසිවක් නොපිළිගනිති. අපි හඳට ඇඟිල්ල දිගු කළවිට මෝඩයෝ ඇඟිල්ල දෙස බලති. මේ රටේ 'ජනතාව' ලෙස හඳුන්වන පිරිසකගෙන් සැලකිය යුතු පිරිසක් එවැන්නන්ය. එවැන්නන් රටක සිටීම පාලකයන්ට වාසිදායකය. එහෙත් අනාගත පරපුරට අවාසිදායකය. පළමුව ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ඇත්ත යුත්ත තේරුම් ගන්නා තුරු දේශපාලනඥයන් හා රජයේ නිලධාරීන් ලුණු - දෙහි මෙන් එකතුවී වැඩේ දෙනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්