ජිනීවාවල සිංහ-කොටි සටන

  👤  3355 readers have read this article !
2018-03-20

රටකට එරෙහිව විදේශ බලවේග ක්‍රියාත්මක වන විට එයට එරෙහිව නැඟී සිටීමට නායකත්වය දිය යුත්තේ රටේ පාලකයන්ය. එය රටක පාලකයන්ගේ ඓතිහාසික වගකීමයි. ජාතියට ඇති තර්ජනයක් හඳුනාගෙන එයට සාර්ථකව මුහුණදීමට අසමත් නායකයන් වහාම ඉවත් කිරීම රටක ජනතාවගේ ඓතිහාසික වගකීමයි. 1940දී හිට්ලර්ගේ නාසිවාදයෙන් බි්‍රතාන්‍යයට විය හැකි දිගුකාලීන අනතුරු වටහා ගත නොහැකිව හිට්ලර් සමඟ සාම සාකච්ඡා උගුලක පැටලී සිටි බි්‍රතාන්‍ය අගමැති නෙවිල් චෙම්බර්ලේන් එළවා දමා නව අග්‍රාමාත්‍ය ලෙස වින්සන්ට් චර්චිල් නමැති අභීත නායකයා පත් කරගන්නට බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව එදා තීරණය නොකරන්නට දෙවැනි ලෝක යුද්ධයෙන් බි්‍රතාන්‍යයේ ජරාජය නිසැක වන්නට තිබිණි.

අද ලංකාව මුහුණ දී තිබෙන්නේ එවැනි තත්ත්වයකටය. ලංකාවට එරෙහිව යුද්ධයක් අද නැති වුණත් එදා යුද්ධයෙන් පවා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදීනට ඉටුකර ගත නොහැකි වූ ඊළාම් සිහිනය, ලංකාවේ වත්මන් බියගුලු නායකත්වයට විදේශ බලපෑම් එල්ල කිරීම තුළින්, යහපාලන ආණ්ඩුවේ පාලන කාලය තුළම ඉටු කරවා ගැනීමේ ක්‍රියාවලිය ජගත් මානව හිමිකම් කොමිසම හරහා 2015 සිට ආරම්භ වී ඇත.

දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදී කොටස් උපක්‍රමශීලීව කටයුතු කොට 2009 යුද ජයග්‍රහණය කණපිට හරවමින් සිටින ආකාරය අපි මඳක් විමසා බලමු.

2009 මැයි මස 19දා අවසාන කොටි නායකයාත් ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කර දැමුවා යැයි අප සිතුවාට ලංකාවෙන් පිටස්තරව ක්‍රියාත්මක වූ කොටින්ගේ අන්තර්ජාතික ජාලය තවමත් ඉතුරුව ඇති බව එවකට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු නායකත්වය නම් හොඳින්ම වටහා ගෙන සිටියහ. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්.ටී.ටී.ඊ.යේ නායකත්වයට පත් 'කේ.පී' ව ඉතා සූක්‍ෂ්ම බුද්ධි අංශ මෙහෙයුමක් හරහා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන එන්නට ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා නායකත්වය දුන්නේ ඒ නිසාය. කේ.පී. මාර්ගයෙන් කොටින්ගේ අන්තර්ජාතික ජාලය ගැන තොරතුරු රැසක් හෙළි වූ අතර බුද්ධි අංශවලට ඊළඟට පැවැරුණු කාර්යය වූයේ එකින් එක මේ ජාලය බිඳ හෙළීමය. 'ඔපරේෂන් ඩබල් එජ්' (දෙපිට කැපෙන මෙහෙයුම) නමින් රහස් මෙහෙයුමක් ඇරැඹී ලංකාව තුළ සිට අන්තර්ජාතික කොටි ජාලයන් සමඟ සම්බන්ධතා පවත්වන ඔත්තුකාරයන් සෙවීම ඇරැඹෙන්නේ ඒ අනුවය. 2015දී යහපාලන ආණ්ඩුව විසින් එම මෙහෙයුම භාරව සිටි කර්නල් ශම්මි කුමාරත්න වැනි බුද්ධි අංශ නිලධාරීන්ව එක්නැලිගොඩ විමර්ශනය හරහා අත්අඩංගුවට ගෙන, මීට පෙර වතාවක රනිල් වික්‍රමසිංහ බලයට ආ 2002 වසරේදී සිදු කළ 'මිලේනියම් සිටි' පාවාදීම හරහා හිටපු අති දක්‍ෂ බුද්ධි හමුදා නිලධාරියකු වූ කර්නල් මුතාලිප් ඇතුළු කණ්ඩායමේ තොරතුරු එල්.ටී.ටී.ඊ.යට හෙළිදරව් කොට මුතාලිප් ඇතුළු 40කට වැඩි බුද්ධි අංශ නිලධාරීන්ගේ ඝාතනය කරන්නට කොටින්ට අවස්ථාව ලබා දුන්නාක් මෙන් මෙවරද 'ඔපරේෂන් ඩබල් එජ්' නමින් බුද්ධි අංශ විසින් හඳුන්වන ලද රහස් මෙහෙයුම කොටි හිතවාදීන්ට හෙළිදරව් කරවන ලදී. මේ අමන හා දේශද්‍රෝහී ක්‍රියාවල අවසාන ප්‍රතිඵලය නම් ලංකාවේ බුද්ධි අංශ අකර්මණ්‍ය වී අන්තර්ජාතික කොටි ජාලයන් ගැන සොයා බලනවා තබා අඩුම ගාණේ දිගන මුස්ලිම් කඩ ගිනි තැබීමේ සිද්ධිය පවා කලින් වැළැක්විය නොහැකි තරමට බුද්ධි අංශ දුර්වල වී ඇතැයි චෝදනා කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහටම සිදු වීමය. බුද්ධි අංශ මෙසේ දුර්වල වීමට හේතුවූයේ කවුදැයි දැන ගන්නට අවශ්‍ය නම් අගමැතිවරයාට කරන්නට ඇත්තේ කණ්ණාඩියක් ඉදිරියට යෑම පමණි.

ප්‍රභාකරන් හා එල්.ටී.ටී.ඊ.යේ අනෙකුත් සන්නද්ධ නායකයන් මියගොස් ලංකාව තුළ ත්‍රස්තවාදය තාවකාලිකව අවසන් වූවාට කොටින්ගේ අන්තර්ජාතික ජාලය විනාශ වූයේ නැත. මේ ජාලයට වාර්ෂිකව එකතු වෙනවා යැයි බුද්ධි අංශ විසින් 'කේ.පී' ගෙන් ලද තොරතුරුද ආශ්‍රිතව ඇස්තමේන්තු කොට තිබූ, ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් හෙවත් රුපියල් කෝටි 6,200ක පමණ මුදල අදත් ඔවුන්ට එකතු වේ. මෙය පහසුවෙන් අතහැරිය හැකි ධන නිධානයක් නොවේ. 'කේ.පී.' අත්අඩංගුවට ගනු ලද වහාම එල්.ටී.ටී.ඊ.යේ අන්තර්ජාතික ජාලය ප්‍රතිසංවිධානය කොට මතු පිහිටුවන ඊළාම් දේශයේ අගමැතිවරයා ලෙස දැනට ඇමෙරිකාවේ ජීවත් වන විශ්වනාදන් රුද්‍රකුමාරන් නමැත්තා පත්කර ගනු ලබන්නේ ඒ අනුවය. ඊට අමතරව ලොව පුරා විසිරුණු නායකත්ව මණ්ඩලයක් විසින් වත්මන් එල්.ටී.ටී.ඊ. ආදායම් පාලනය කෙරේ. දැන් යුද්ධයට මුදල් අවශ්‍ය නැති නිසා මේ ගෝලීය ව්‍යාපාරයේ අයිතිකරුවන්ට එදා යුද අවි සඳහා වියදම් කළ මුදලෙන් සුළු කොටසක් වැයකොට ලෝකයේ විවිධ රටවල දේශපාලනඥයන්, අන්තර්ජාතික ආයතනවල වගකිව යුතු තනතුරු දරන නිලධාරීන් හා චැනල් 4 වැනි කුප්‍රකට මාධ්‍ය ආයතනවල සහාය මිලදී ගැනීමට හැකියාව ඇත. විටින් විට උද්ඝෝෂණයක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා යුරෝපයේ විසිර සිටින අන්තවාදී තරුණ කොටස් කැඳවා ඔවුන්ගේ විය හියදම් බලා ගැනීම මේ සංවිධානයට සුළු දෙයකි. මේ උද්ඝෝෂණ නරඹන්නන් සිතන්නේ සමස්ත දෙමළ ප්‍රජාවම ඊළාම් සිහිනයට සහාය දක්වනවා කියාය. ලොව පුරා විසිරී සිටින තම බලගතු ගනුදෙනුකරුවන් හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළට පවා දෙමළ ඊළමේ අවශ්‍යතා රිංගවා ගන්නට කොටි ඩයස්පෝරාව මේ වනවිට සමත් වී ඇත. සෑම මාස තුනකට වරක්ම ජිනීවාවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිවාරවලට බුරුතු පිටින් සහභාගි වී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම ගැන අමූලික බොරු කියන ඉන්දියාවේ 'වයිකෝ' වැන්නන් මුදල් ගෙවා ගෙන්වා ගන්නේ මේ සංවිධානාත්මක කොටි ජාලය විසිනි.

ඇත්තෙන්ම කියනවා නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ස්වෛරී රටකට එරෙහිව කළ හැකි දෙයක් නැත. උදාහරණයක් ලෙස වසරක් පාසා මේ කවුන්සිලය විසින් ඊශ්‍රායලයට එරෙහිව සම්මත කරන යෝජනා ඊශ්‍රායලය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැත. එයට හේතුව රටකට එරෙහිව සම්බාධක ආදිය පැනවිය හැක්කේ මානව හිමිකම් කවුන්සිලයට ඉහළින් සිටින එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට පමණක් වීමයි. එතැනට ඊශ්‍රායලයට ඇමෙරිකාවේ රැකවරණය ඇත. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාවට එරෙහිව යම් යෝජනාවක් ආරක්‍ෂක මණ්ඩලයට ගෙන ගියද එහි නිෂේධ බලය හිමි චීනය, රුසියාව වැනි රටවල සහාය තිබෙන තාක් ලංකාවට එරෙහිව කිසිදු යෝජනාවක් ආරක්‍ෂක මණ්ඩලය තුළ සම්මත කර ගත නොහැකිය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගැන හුඹස් බියකින් පෙළීමට අවශ්‍යතාවක් පසුගිය රජයට නොතිබුණේ මේ නිසාය.

නමුත් 2015දී ආණ්ඩු වෙනස් වූවාට පසු රනිල් වික්‍රමසිංහගේ හා මෛත්‍රිපාල සිරිසේනගේ හවුල් ආණ්ඩුව යටතේ පසුව සිදුවූයේ අදහාගත නොහැකි ආකාරයේ ඓතිහාසික වරදකි. ඒ එවකට විදේශ ඇමැතිව සිටි මංගල සමරවීර ලංකාවට එරෙහිව ඇමෙරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට සම අනුග්‍රහය දැක්වීමට ගත් තීරණයයි.

2015දී ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රටක් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවකට යහපාලන නායකයන් විසින් සම අනුග්‍රහය ලබාදීම 1815දී නිලමේලා විසින් උඩරට ගිවිසුම මඟින් සිංහලය සුද්දාට පාවා දුන්නාක් වැනිම පාවාදීමකි. රජය එය නොකරන්නට චීනය හා රුසියාව ඇතුළු බොහෝ රටවල් ඇමෙරිකාව ගෙන ආ ජිනීවා යෝජනාවට විරුද්ධ වන්නට ඉඩ තිබිණි. ඔවුන් එසේ විරුද්ධ වූවා නම් එදා එම යෝජනාව මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත වුවත් එය කිසිදිනෙක ආරක්‍ෂක මණ්ඩලය දක්වා ගෙන ගොස් එහිදී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරගන්නට ජිනීවා යෝජනාව පිටුපස සිටි බලවේගවලට නොහැකි වනු ඇත. මන්ද චීනයට හා රුසියාවට ආරක්‍ෂක මණ්ඩලය තුළ නිෂේධ බලය හිමි බැවිනි. එහෙත් ලංකාව උඩබලාගෙන කෙළ ගසාගත් පසු කෙළ පිසින්නට ඉදිරිපත් වන්නේ කවුද? එදා ලංකා රජයම සම අනුග්‍රාහකත්වය දුන් ජිනීවා 30/1 යෝජනාව ඒකමතිකව සම්මත වූයේ එබැවිනි.

2015 සිට සෑම කාර්තුවකම මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට බුරුතු පිටින් කථිකයන් ගෙනැවිත් දෙමළ ඩයස්පෝරාව ඉල්ලන්නේ ලංකාවේ ප්‍රශ්නය ආරක්‍ෂක මණ්ඩලයට ගෙන යන ලෙසයි. ඔවුන් මේ වනවිටත් පළමු කඩුල්ල පැන ඇති නිසා මේ ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ දෙවැනි පියවරයි. මේ හරහා ශ්‍රී ලංකා රජය දැඩි පීඩනයකට ලක්කොට ලංකාව තුළම ව්‍යවස්ථා සංශෝධනයක් කරවා ගෙන තම ඊළාම් සිහිනය ඉටු කරවා ගැනීමට මූලික අඩිතාලම දමා ගැනීම ඔවුන්ගේ කෙටි කාලීන බලාපොරොත්තුවයි. එයද තම අරමුණ කරා යන ගමනේ ඔවුන් විසින් තබන්නට බලාපොරොත්තු වන එක් ඉදිරි පියවරක් මිස අවසාන පියවර නොවේ.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා ජිනීවාවලදී එම යෝජනාවට සම අනුග්‍රහය දීමට තීරණය කළ වේලේ අලුතින් පත්ව සිටි ජනාධිපතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ ගැන දැනුවත්ව නොසිටි බව බොහෝ දෙනකුගේ විශ්වාසයයි. එසේ නම් ජනාධිපතිවරයාගේ ලිඛිත අවසරයකින් තොරව විදේශ ඇමැතිවරයා ගත් තීරණයම නීති විරෝධී බව ලොව පිළිගත් සමහරක් නීති විශාරදයන්ගේ මතයයි. ඔවුන් කියනා ආකාරයට විදේශ ඇමැතිට ජාත්‍යන්තර ගිවිසුමක් අස්සන් කොට පැමිණ පසුව ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දී එහි වගකීම රට මත පැටවිය නොහැකිය. එමෙන්ම යෝජනාව නිසි විවාදයකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කළ ආකාරයත් නීති විරෝධී බව මේ විශේෂඥයෝ පෙන්වා දෙති. 2015දී ශ්‍රී ලංකා රජය සම අනුග්‍රාහකත්වය දැක්වූ, අද රට මර උගුලක පටලවා ඇති, බෙදුම් වාදයට උඩ ගෙඩි දෙන ජිනීවා 30/1 යෝජනාව සම්මත කළ ආකාරයට එරෙහිව නීතිමය පියවර ගන්නට රටට ආදරය කරන ලක් දූ පුතුන්ගෙන් සැදුම්ලත් ගෝලීය ශ්‍රී ලාංකේය සංසදය මේ වනවිට තීරණය කර ඇත්තේ ඒ නිසාය.

පසුගිය වසර ගණනාවක් තිස්සේ ජිනීවාවල ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ පිළිරැව් දුන්නේ අන්තවාදී දෙමළ ඩයස්පෝරාවේ කොටි හඬ පමණි. ලංකාවේ කීර්තිනාමය කිළුටු කරමින් ඔවුන් දේශන පිට දේශන පවත්වන විට ශ්‍රී ලංකාවේ යහපාලන රජයේ නියෝජිතයෝ මුනිවත රැක්කහ. නමුත් ශ්‍රී ලාංකේය ගෝලීය සංසදයේ රජය විසින් නොකරන වගකීම ඉටුකිරීම කරට ගත්දා සිට මේ තත්ත්වය වෙනස් වෙමින් පවතී. අද සිංහලයන්ද කොටින් හා කරට කර සිටිමින් තම වගකීම ජගත් මානව හිමිකම් කවුන්සිලය තුළ ඉටුකරන නිසා අනාගතයේ බලයට පත්වන දේශප්‍රේමී රජයක කාර්යභාරය තරමක් දුරට හෝ පහසු වී ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්