කවන්ධය හා මහසෝන්නු

  👤  3121 readers have read this article !
2018-03-19

'අපි බුදු බණට හීලෑ වුණු යක්කු බොලව්' මේක බුදුන්ගේ රට - දෙමළුන්ටයි හම්බයන්ටයි ඕනෑ ඕනෑ විදියට දඟලන්න දෙන්නේ නෑ' මේ වැකි 'මහසොහොන්
බළකාය' නම් සිංහල අන්තවාදී සංවිධානයේ ඒවාය. මිනිසුන්ගේ හැඟීම් කුප්පන මෙවැනි අන්ත ජාතිවාදී මුග්ධ වැකි ලිවීමට සිහිබුද්ධිය ඇති මනුස්සයකුට නොහැකිය. අවශ්‍යයෙන්ම ඔවුන් අමනුස්සයන් විය යුතුය. 'මහසෝනා' එවැන්නන්ගේ එකතුවකට කදිමට ගැළපෙන නමකි. මන්ද, 'මහසෝනා' යනු අමනුස්සයකු නිසාය.
'මහසෝන් බළකාය' නම් ඊනියා සිංහල ජාතිවාදී සංවිධානයේ නායකයා යැයි කියන පුද්ගලයා ඇතුළු ක්‍රියාකාරීන් පිරිසක් මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ, මහනුවර දිස්ත්‍රික්කයේ දිගන ඇතුළු ප්‍රදේශ කිහිපයක මුස්ලිම් කඩසාප්පු, නිවාස, වාහන සහ පල්ලි ගිනි තබා විනාශ කළ මුස්ලිම් විරෝධී ජාතිවාදී අන්තවාදී ක්‍රියාවන්ට වගකිව යුතු බවට චෝදනා එල්ල වී ඇති නිසාය.

මේ සිද්ධිවලට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ 'මහසෝන් බළකාය' නම් ඊනියා සංවිධානය යැයි කීමට අපිට හැකියාවක් නැත. ඒ බව රටට ඔප්පු කළ යුත්තේ ආණ්ඩුව විසිනි. එහෙත් එක් කාරණයක් පැහැදිලිය. සිංහල ජාතිකයන් තුළ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට මේ සංවිධානයෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබී ඇති බවය. මෙවැනි ඊනියා සිංහල ජාතික සංවිධාන කිහිපයක් රට තුළ පිහිටුවා තිබේ. මේ සංවිධාන බොහොමයක් පිටුපස සිටින්නේ නොදියුණු දේශපාලන පක්ෂ බව නොරහසකි. බලය රැකගැනීමටත්, බලය ලබා ගැනීමටත් ඔවුන්ට මේ සංවිධාන හොඳ කිහිලිකරුය.

මහනුවර මුස්ලිම් විරෝධී ප්‍රහාරවල වගකීම 'මහසෝන් බළකාය' පිට පටවා ඇඟ බේරා ගැනීමට දේශපාලනඥයන් කටයුතු කිරීමට ඉඩ ඇත. ඉන් සිදුවන්නේ සෙසු ජාතිවාදීන්ට හා අන්ත ජාතිකවාදීන්ට නිදහසේ සිය පටු දේශපාලනය පවත්වාගෙන යෑමට නිදහස හිමි වීමය. ඉන් බලලෝභී දේශපාලනඥයන්ට මිස රටට කිසිදු සෙතක් අත් නොවනු ඇත.

කාරණය අනෙකකි.
බි්‍රතාන්‍යයන් මේ රට අතහැර ගිය පසු ගෙවුණු වසර 70දී 'ලාංකික' ජාතියක් ගොඩනඟා ගැනීමට නොහැකි වීමේ ඓතිහාසික 'අත්වැරැද්ද' ගැන යළි සිතාබැලීමට අවස්ථාව නුවර ගැටුමෙන් උදා වී තිබේ.

'උෟරන් කැකුªණ තළන විට හබන් කුකුළන්ට රජ මඟුල්' කීවා සේ සිංහල, දෙමළ, මුස්ලිම් පිල් බෙදී ඇන කොටා ගන්නා විට එහි වාසිය සතුරන්ටය. කරුමය වන්නේ ඒ බව මේ උෟරු රැළට නොතේරීමය. සියොළඟම ජාතිවාදී අසූචි තවරාගත් මේ උෟරන් සෙස්සන්ගේ සිරුරුවලද අසූචි තැවරීමට වෙහෙසෙති.
මේ රටේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා අති බහුතරයක් දෙනා ජාතිවාදී අන්තවාදී පිස්සන් නොවේ. පක්ෂවලට බෙදී කුළල් කා ගැනීමට තරම් මොළේ අමාරුවක්ද ඔවුන්ට නැත. එහෙත් බලලෝභී දේශපාලනඥයන් එදා මෙදා තුර කළේ අනෙකා 'සතුරු' කර ජනතාව බිය ගන්වා බලය ලබාගැනීමට යන මාවත විවෘත කර ගැනීමය. ඔවුන් ඉන් විපුල පල නෙළා ගනිද්දී පොදු ජනතාව ජාති, ආගම් භේදයකින් තොරව දුක කඳුළ වේදනාව හා මරණය භුක්ති විඳිමින් සිටිති.

සිංහල අන්තවාදීන්, ජාතිවාදීන් මෙන්ම මුස්ලිම් හා දෙමළ ජාතිවාදීන් අන්තවාදීහු මෙරට සිටිති. මින් භයානකම කොටස වන්නේ අවස්ථාවාදී ජාතිවාදීන්ය. ඒ කොටස් අනිවාර්යයෙන්ම නියෝජනය කරනු ලබන්නේ් ඊනියා දේශපාලනඥයන් විසිනි.

පොල් ගෙඩි දෙකකට පාන් ගෙඩි දෙකක් හුවමාරු කරගන්නා තරමට රටේ ආර්ථික අර්බුදය උග්‍ර වී ඇත. මිත්තණියගෙන් හොරාගත් රත්රන් බඩු උකස් තියා මත්කුඩු බොන මුනුපුුරන් සිටීමෙන් සමාජයේ පිරිහීම පැහැදිලිය. ඥාතීන් අතින්, ජාතක කළ පියා අතින්, සිය සහෝදරයා අතින් අපයෝජනයට ලක්වන දියණියන් සිටින සමාජයක සංස්කෘතිය ගැන කවර කතාද? පුංචි දරුවන් නිවෙසේ තනිකර දමා පලා ගිය මවුපියන් ගැන මාතලේ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණේ ඉකුත්දාය. සිය රථයෙන් පැමිණ කුණු මලු ටික නගරය මැද පාරේ දමා ගිය ව්‍යාපාරිකයකු හසු වී තිබුණේ මීරිගමිනි. සියලු සමාජ සංස්ථා ඇත්තේ අර්බුදයකය.

මෙතරම් කුණු වූ රටක් ජාතිවාදී මඩ ගොහොරුවට ඇද දැමීමට තැත් කරනවා නම් ඒ කිසිවකුට සමාවක් දිය යුතු නැත. තිස් අවුරුදු යුද්ධයකටත් පසු යළි ජාතිවාදය අවුළුවාලීමට සිහිබුද්ධිය ඇති කිසිවකු තැත් දරයිද? එසේ කරනවා නම් ඒ මහසෝහොන්නුන්ට විය යුතුය. කවන්ධයක් වී ඇති රටකට මහසෝනකුගේ හිස සවි කිරීමට ඉඩ දිය යුතු නැත. සබුද්ධික සියලු දෙනා ජාති, ආගම් භේදයෙන් තොරව ඊට එරෙහිව එක මිටට එකතු විය යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්