මම ය මගේ ය

  👤  4222 readers have read this article !
2018-03-18

මහනුවරින් පටන්ගත් ගිනි දසතින් නැඟෙමින් තිබුණත් දැන් ඒ ගිනි නිවී ගොසිනි. ඒ ගිනි නිවෙද්දී, රට යථා තත්ත්වයට පත්වෙද්දී මෛත්‍රි ජපානයේය. ජපන් ගිය මෛත්‍රි එරට ආයෝජකයන්ට කීවේ ලංකාවට පැමිණ ආයෝජනය කරන ලෙසටය. ජපනුන් ආවට ගියාට ආයෝජනය කරන්නේ නැත. එසේ ආයෝජනය කරන්නේ නම් ඒ රටෙහි දේශපාලන හා ආර්ථික අතින් යම් ස්ථාවරත්වයක තිබිය යුතුය. 'ආයෝජන ගෙන එන්න' යැයි ජපනුන්ගෙන් ඉල්ලූ මෛත්‍රි එරට ශ්‍රී ලාංකිකයන්ට කීවේ... පසුගියදා සිදුවූ ගැටුමට අදාළ ෆේස්බුක් කතාවක්ය.

"ලංකාවේ බොහෝ දෙනා ජංගම දුරකතන - ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ රට වනසන්නයි. ෆේස්බුක්වලින් සමාජයට වන හානිය පාලනයටත් ක්‍රමවේදයක් ඕනෑ. තහනමෙන් පස්සෙ ටෙලිකොම්, විදුලි සංදේශයට දවසේ ආදායම මිලියන 200කින් වැඩිවෙලා."

මෛත්‍රිගේ මේ කතාව ඇත්ත වුවත් ජපනුන්ට නම් ඉන්ටර්නෙට් නැති සංවර්ධනයක් ද නැත. ඊට තහංචි දමන ආර්ථික ක්‍රමයකින්ද ඵලක් නැත. ආයෝජනයට හිතකර යටිතල පහසුකම් නවීන ලෝකයේ ඉතා තියුණු දියුණුවක් ලබමින් සිටින මොහොතක වෙළෙඳ ක්‍රමයේ බහුතරයක කාරණා තවමත් අප රටේ පවතින්නේ ගල් යුගයේය. එනිසා ජපනුන්ට ආයෝජනයට එන්නැයි කියන ගමන් එරටේදීම අපේ ෆේස්බුක් තහනම ගැන කීම එතරම් ප්‍රඥාගෝචර නොවූ දෙයක් බවට අදහස් පළ වන්නේය.

"දියුණු රටක තාක්ෂණ හරඹයෙන් තමයි සුපිරි නිපැයුම් නිම වෙන්නෙ. අපි තවමත් බඩගාද්දී.. තියෙන ෆේස්බුක්වලටත් තහංචි දැමුවාය, ඒ නිසා ඇතැම් ආයතන ලාභ ලැබුවාය කියා කියාපෑම නොකළ යුතුව තිබුණු දෙයක්" මේ ගැන අදහස් පළ කරන මධ්‍යස්ථ විද්වත් විවේචකයන්ගේ මතයයි. කෙසේ වෙතත් මහනුවර ගිනි නිවෙන්නට පෙරම මෛත්‍රි වැඩට බැස ඇත්තේ ඉතිරිව ඇති සුළු කාලයේදී හෝ යමක් කරන්නට ඕනෑ යැයි සිතුණු නිසාම නම් ඒ සිතිවිල්ලත් නරකම නැත.

මෛත්‍රි කාගෙ කාගේත් ඡන්දයෙන් ජනාධිපති පුටුවේ ඉඳගත්තේ... ඒ කාට කාටත් වඩා යහපාලනය ගෙන එන්නට ඕනෑ කරන නිසාවෙන් බව පුන පුනා කීවේය. ඊට අමතරව තව බොහෝ දේ ද කීවේය. එබැවින් ඉදිරි වසර දෙක රටට යමක් කරන්නට මෛත්‍රි හිතනවා නම් මෛත්‍රිගේ මේ අතීත කතාද දැක්වීම අපේ යුතුකමකි.

"මම තව අඩියක් ඉස්සරහට තියනවා මිස එක අඩියක් පස්සට තියන්නේ නෑ"

2016/07/19 දා කිලිනොච්චියේදී.

ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනය විවෘත කරන්නට ගොස් මෛත්‍රි එසේ කීවේ උතුරේ ජනතාවගේ විශ්වාසය ඇති කරන බවට සහතික වෙමිනි. එය උතුරට පමණක් නොව දකුණටද ගළපා ගත හැකි බවක් පෙනෙන්නට තිබිණි. අදහස පංකාදුය.

මෛත්‍රි රටේ මුදල් ඉතිරි කිරීම ගැනද කළ කතාවක් මෙසේය.

"රටේ මුදල් ඉතිරි කිරීම ගැන මා රටට ආදර්ශයක් දුන්නා. සල්ලි ඉතිරි කරනවා වගේම කාලයත් ඉතිරි කරගන්න ඕනෑ"

2016/03/31දා මහා භාණ්ඩාගාර පරිශ්‍රයේදී.

ආර්ථිකයට අත්‍යවශ්‍ය අංගයක් වූ මහා භාණ්ඩාගාරයට අවශ්‍ය අලුත් ගොඩනැඟිල්ලක් විවෘත කළ දා මෛත්‍රි එසේ කීවේ රටේ මුදල් තත්ත්වය ගැන දැන සිටි නිසා විය යුතුය.
මේ.... මෛත්‍රි ගොවි ජනතාව ගැන සිතා කළ කතාවකි.

"වැය වූ මුදල ගැන වෙබ් අඩවිවලින් විවේචනය කිරීම අසාධාරණයි. වාරි ගොවි සමුළුව පැවැත්වූයේ දුක් විඳින ගොවීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නයි. ගොවීන්ට වැඩ වර්ජන කරන්න බෑ. ඒ නිසා පාරට බැසීම සාධාරණයි"

2016/04/06 කොළඹදී.

වාරි ගොවි සමුළුවේදී මෛත්‍රි එදා එසේ කීවත් ඔහුගේ කෘෂිකර්ම ඇමැතිවරයාට පොහොර ටික නියමිත වේලාවට නිසි පරිදි බෙදා දෙන්නට හැකියාවක් තිබුණේ නැත. එය කළමනාකරණය කරගන්න දක්ෂකමක් තිබුණේ නැත. ඒ නිසා ගොවි ජනතාව බහුල ප්‍රදේශවලදී ඊට ප්‍රතිචාර ලෙස පළාත් පාලන ඡන්දයෙන් පණිවුඩයක් ලැබී ඇති බවද සිහි කළ යුතුය.

ඊට එහා යමින් මෛත්‍රි අසීරු තීන්දුවක් ගැනද කතා කළේය. එය මෙසේය.

"කුමන විරෝධතා විවේචන එල්ල වුවත් වස විස ආහාර නිපැයුම නවත්වනවා. වස විස ආහාර රටාව වෙනස් නොකළොත් මුළු රටම වකුගඩු රෝගීන්ගෙන් පිරේවි"
2016/04/12 අනුරාධපුරයේදී.

එම ප්‍රකාශය හොඳ වුවත්, මැතිවරණ ප්‍රතිඵල නිසා කලබලයට පත් වී ගිය නිසාදෝ පොහොර යළි ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කර යළිත් පෙර පරිදි පොහොර ලබාදෙන ක්‍රමයකට හැරී ඇත. ඉන් කුපිත වූ නිසාදෝ මීට මුල් වූ අතුරලියේ රතන හිමියෝ පැවසූවේ වස විස පොහොර ව්‍යාප්තිය නතර නොකළොත් ආණ්ඩුව පෙරළන බවය.
මෛත්‍රි ජනාධිපති මැඳුරට පදිංචියට ගිහින් රට කරවන්නේ නැති බව කලිනුත් කියා තිබුණේය. එය ඉන් පසුද කීවේය.

"ලොකු මන්දිරේක උන්නාම මුල අමතක වෙන්න පුළුවන්. මම ජනපති මන්දිරේට නොයන්නේ ඒකයි"
2016/06/08 කොළඹදී.

ජනපති මැඳුර ජනතාවට නරඹන්නට ඉඩ හසර සපයමින් එය විවෘත කිරීමේ උත්සවයේදී මෛත්‍රි එසේ පැවැසූ සේම තවමත් එහි පදිංචියට ගියේ නම් නැත. එහෙත් මෙහි සඳහන් "මුල අමතක කළාද?" යන්න යළි යළිත් විමසිය යුත්තක් බවට පත්ව ඇත.

පළාත් පාලන ඡන්දයට පෙර සිට මෛත්‍රිගේ හැසිරීම ගැන දන්නෝ ඒ වෙනුවෙන් කියන කතාද බොහෝය.

ඒ අතරම බලය රැක ගන්න මානසිකත්වයක තමන් නැති බව මෛත්‍රි කියා තිබුණේය.

"ඇතැමුන්ට රිදුණත් රටට අවශ්‍ය දේ කරනවා. බලය තහවුරු කරගැනීමේ මානසිකත්වයක් මට නෑ"

2016/06/13දා කොළඹදී.

"ඉහළ තනතුරු දරන අයට පුංචි මිනිසාගේ දාඩිය සුවඳ අමතකයි. ඉදිරි කාලයේදී සියලු අංශවල පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කරනවා"

2017/01/23 තලවකැලේ තේ පර්යේෂණායතනයේදී

"භික්ෂුන් වහන්සේලා නිකරුණේ සිරගත කිරීම බෞද්ධයන් හැටියට කනගාටුවට කරුණක්"

2016/12/18දා සෝම හිමි අනුස්මරණ සංඝාවාසය විවෘත කිරීමේදී

"ඕනෑම විරෝධතාවක්, පෙළපාළියක් තියන්න කිසිදු තහංචියක් නෑ. කවුරු පාරේ ලැග්ගත් ජනතාව ගොනාට ඇන්දුවත් රජයේ ගමන වළක්වන්න කාටවත් බෑ"
2017/03/05දා කොළොන්නාවේදී.

මේ කතා හීන්සීරුවේ කියවන අයකුට නම් 'බලය රැක ගැනීම' යන කාරණා ගැනත් 'පුංචි මිනිසාගේ දහදිය සුවඳ' ගැනත්, 'භික්ෂුන් වහන්සේ නිකරුණේ සිරගත කිරීම' ගැනත්, 'පෙළපාළි යෑමට එරෙහිව කටයුතු කිරීම' ගැනත් යළිත් සිතන්නට ඉඩ හසර සපයා ඇත. සමෘද්ධිය ලබාදීමේදී තමන්ගේම ඇමැතිවරයා හරිහැටි ක්‍රියා කළාද එය නිර්පාක්ෂිකව කළාද නැද්ද යන්න ගැන විවේචන ඇත්තේය. ඒ නිසාම ඡන්ද ප්‍රතිඵලද ලැබී ඇත්තේය.

මේ සියල්ල නුදුරු අතීතයේදී මෛත්‍රි කියූ දේවල්ය. එය අමතක නොවන ඉමක තිබෙන්නේය. එසේ නම් එය යළිත් මෛත්‍රිට සිහිකර දිය යුත්තේ තවත් ස්වල්ප කාලයක් ඔහුට ඉතිරිව තිබෙන නිසාය.

මෛත්‍රිට මෙහිදී තනි ගමනක් යන්නට බැරි වුවද ඔහු දැන් පෙන්වන්නට හදන්නේ 'මම තමයි රට හදන්න හොඳම තීන්දු ගන්නේ' යන්න විය යුතුය. එසේ නම් ඔහුට රනිල්ගේ ආර්ථික සභාවද ඕනෑ නැත. රනිල්ලාගේ විශේෂ ව්‍යාපෘතිද ඕනෑ නැත. මහනුවර ගිනි නිවෙන්නටත් පෙර මෛත්‍රි ඉන්දියාවටත් අනතුරුව ජපානයටත් ගිහින් කතා කරන්නේ, පෙන්වන්න සූදානම් වන්නේ, "මෛත්‍රි මුල් කරගත් ආර්ථිකයක් - රටක්" ද කියා විමසන්නට සිතෙන්නේය. ඊට ඉඩහසර සැපයෙන කතාද මෛත්‍රි කියාගෙන යන්නේය.

"දේශීය ව්‍යාපාර රකින්න සියලු තීන්දු ගන්නවා. දේශීය කර්මාන්ත යටපත් වන අයුරින් කෙරෙන විදේශීය ආයෝජනවලට ඉඩ දෙන්නේ නෑ."

2018/03/05දා ජනපති කාර්යාලයේදී.

"කුරුණෑගල දිසාවේ ජල ප්‍රශ්නය විසඳීමට විශේෂ ඒකකයක්. පිටරටවල නළවලින් තෙල් ගෙන යන විදියට ලංකාවේ වතුර ගෙන යන ක්‍රමයක් හදනවා."

2018/03/07දා කුරුණෑගලදී.

"උතුරු නැඟෙනහිර සංවර්ධන වැඩට විශේෂ කාර්ය සාධන බළකා 2ක් පිහිටුවනවා"

2018/03/03 මඩකළපුවේදී.

මේ ප්‍රකාශ හා ඒ හා බැඳුණු ප්‍රතිපත්ති මෛත්‍රිගේ ප්‍රතිපත්තිද, යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිද යන්න පැහැදිලි නැතත් මතුවෙමින් තිබෙන්නේ කුමක්ද යන්න ගැන විවේචන බොහෝය.

"මේ විදිහට තනි පුද්ගලයකු වටා තිබෙන තීන්දු තීරණ ගැනීමේ ඉඩකඩ නිසා තමයි සාමූහික වගකීම බිඳිලා ආණ්ඩුව ඇතුළෙ ආණ්ඩු දෙකක් තිබෙන බව පෙනෙන්නෙ. ඒ තත්ත්වය රටකට අහිතකරයි. ජනතාව බලයට පත් කළේ, අහවලා පුටුවට ඔසවා තිබ්බේ ඔය රාජකාරිය එකතු වෙලා හරියට කරන්නයි. ඒක තම තමන්ගේ අභිමතය විදිහට සිද්ධ වෙච්ච නිසා එදා රට වැටුණා. ඒ විපත දැකලා එදා රට වැටුණා කියලා පෙන්වලා තමයි මෛත්‍රි ජනාධිපතිතුමා බලයට ආවේ. එහෙම නම් මේ දෙපැත්තට අදින, තමන්ට ඕනෑ විදිහට ආණ්ඩු කෙරිල්ල නිසා රට අනතුරක."

පෙළ ගැසෙන තත්ත්වය හා ආකාරය අනුව සිදුවන්නට යන දේ විශ්ලේෂණය කරමින් අදහස් දක්වන මධ්‍යස්ථ විචාරකයන් දරන්නේ එවැනි මතයක්ය. කෙසේ හෝ මෛත්‍රි හා රනිල් තවමත් එකිනෙකාගේ මුහුණ කෙළින් බලාගෙන කතා කරන තැනක නැත.

එක් අතකින් රනිල් මත පැටවූ අර්බුද හා පක්ෂය තුළ ගොඩනැඟී ඇති අර්බුද සමඟ ඔහු කතා කරගන්නවත් බැරි තැනකය. මෛත්‍රිට ඊළඟ වතාවේ ජනාධිපති තනතුරට ඉල්ලන්නට රනිල් නම් ඉඩක් දෙන්නේ නැත යන උපකල්පනය අනුව තවත් නම් එජාපය පැත්තෙන් ඉඩක් මෛත්‍රිට නැති වන්නේය. මහින්දගෙන්ද මෛත්‍රිට සමාවක් හෝ ඉඩක් ලැබෙන්නේ නැත. රනිල් හා මහින්ද හීන්සීරුවේ තම තමන්ගේ පාර්ශ්වය ජයගන්නා උපක්‍රම සහිතව සීතල යුද්ධයකය. මෛත්‍රිගේද, අසහාය නායකයා වූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ මුල් යුගයේ කතාවක් පෙන්වා දීම වැදගත්ය.

"1924 අපි ඒ ගොල්ලන් කවුන්සලේට යැව්වා. අපිට මොනවද කළේ. ඒ ගොල්ලන්ට පඩි නියම කර ගත්තා. මේ පාර තවත් වැඩි කර ගනීවි. රටේ සාමාන්‍ය හැඟීම අන්න ඒකයි. අපි මෙහේ පෙනී සිටින්නේ මහජන නියෝජිතයන් වශයෙන් බව මතක තබාගත යුතුයි. අපි මෙහේ සිටින්නේ 75%කට දෙවේලක් නොව එක වේලක්වත් හොඳට කන්න නැති කොටසක්ද ඇතුළු මහජනතාව වෙනුවෙන්. ගම්වල මිනිසුන් දස දහස් ගණනින් ඇවිත් මේ ගොඩනැඟිල්ල (පාර්ලිමේන්තුව) සමතලා කරන දවසක් ඒවි. මගේ මිත්‍රයන්ගේ කනට මිහිරක් වූ මුහුදේ හඬ, සිය අසරණ දරුවන් වෙනුවෙන් වැලපෙන කාන්තාවන්ගේ සුසුම් විදිහට මට ඇහුණා. මොන තීරණයට බැස්සත් මට ලැබෙන මුදලින් වැඩි කොටසක් මහජන වැඩට වියදම් වෙනවා. වෙන කිසිවක් නැති නම් චරකය ප්‍රචාරය කිරීමට මම ඒ මුදල් වියදම් කරනවා. මේ සභාවේ කෙරෙන වැඩ ගැන බලාපොරොත්තු තබාගෙන සිටින දස දහස් ගණනකගේ බලාපොරොත්තු සුං නොකර සිටිමු."

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක

1931 ජූලි 28දා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී

මාගම්පුත්‍ර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon